2019 ජනවාරි 05 වන සෙනසුරාදා

මිෂෙල් ඔබාමා මුල්ම ඇමෙරිකානු ජනපතිනිය වන හැඩ!

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 131

අමෙරිකාව තුළ  2018 වර්ෂයේ වඩාත් ප්‍රසාදය හිමිකරගත් කීර්තිමත්ම කාන්තාව බවට පත්ව ඇත්තේ හිටපු ජනාධිපති ආර්යාව මිෂෙල් ඔබාමාය. කළු වුවත් දැකුම්කළු  තැනැත්තියක ලෙස ප්‍රසිද්ධ මිචෙල් එතෙක් මෙතෙක් අමෙරිකාව තුළ සිටි ජනාධිපති ආර්යාවන් අතර වඩාත් නිහතමානි චාම් ගතිගුණ සහිත කාගෙත් සිත්ඇද ගන්නා සොඳුරු පෞරුෂයක් සහිත තැනැත්තියක ලෙස ජනාදරය දිනාගත් තැනැත්තියකි. ඇගේ මේ ජනකාන්ත කීර්තිය වාර්තා බිඳ හෙලූ ආගමනයකි. ඒ අඛණ්ඩව වසර 17ක කාලයක් පුරා පෙරමුණ ගත් හිටපු ජනාධිපති ආර්යාවක හා ජනාධිපතිවරණ අපේක්ෂිකාවක වූ හිලරි ක්ලින්ටන් තෙවැනි ස්ථානයට පත් කරමින් මෙවර ඇය අංක එක බවට පත්වූ නිසාය. මේ සමඟ මිෂෙල් පිළිබඳ අලුත් කතාබහක් රට තුළ මෙන්ම ජාත්‍යන්තරය තුළත් පැතිර ගියේය.

1946 වසරේ සිට වාර්ෂිකව අමෙරිකාවේ සුප්‍රකට ගැලප් සමීක්ෂණ ආයතනය විසින් මෙම සමීක්ෂණය සිදු කරනු ලැබේ. මෙවර එහි සමීක්ෂණයට අනුව අමෙරිකාවේ වඩාත් ප්‍රසාදය දිනූ කීර්තිමත්  පුද්ගලයා ලෙස අඛණ්ඩව 11 වැනි වරටත් පත්වීමට හිටපු ජනාධිපති බැරුක් ඔබාමා සමත්ව සිටීම ද අපූරුවකි. එයට හේතුව බලයේ සිටින වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි ස්ථානයට ඇද දමන්නට ඔබාමා මෙවරත් සමත්ව සිටීම නිසාය. හිතුවක්කාර පම්පෝරිකාරයකු ලෙස කැපී පෙනෙන, අමෙරිකාව නැවත ලෝකයේ අංක 01 බවට පත් කළයුතුයැයි අණබෙර ගසමින් ගෝරනාඩු නගන ට්‍රම්ප් ජන ප්‍රසාදය මැන බලන මෙම සමීක්ෂණයෙන් දෙවැනි ස්ථානයට පත් වූ සිව්වැනි අවස්ථාව මෙය බව සඳහන්ය.

දැන් අමෙරිකාව තුළ කීර්තිමත්ම කාන්තාව ලෙස පත්ව ඇති  මිචෙල් ලව්වාන් රොබින්සන් වර්ෂ 1964 ජනවාරි 17 වැනි දින උපත ලබන්නේ චිකාගෝහි ඉලිනොයිස් ජනපදයේදීය.  1992 ඔක්තෝබර් 3 වැනිදා බැරක් ඔබාමා කියන පෙරුළිකාර දඟකාර චරිතය සමග විවාහ වූ පසුව ඇයගේ නාමයට පසුපසින් ඔබාමා යන නම එකතු විය. මිෂෙල් වර්ෂ 1985 දී Princeton විශ්ව විද්‍යාලයට ඇතුළත්ව උපාධිය අවසන් කොට 1988 දී හාවඩ් නීති විද්‍යාලයෙන් උපාධියක්ද ලබාගත් අතර ඇය මුළු ලෝකයම ආදරය කළ එක්සත් ජනපදයේ 44 ලෝක බලවතා බැරක් ඔබාමාගේ ආදරණීය බිරිඳ වීමට පෙර චිකාගෝහි නීතිඥවරියක් ලෙස කටයුතු කළාය. කිසිසේත්ම දේශපාලනය ප්‍රිය නොකළ හොඳ බිරිඳක් ආදර්ශවත් මවක් වන්නට සිතූ බුද්ධිමත් සහකාරියක වූ ඈ නිසාම ඔබාමා හට ජනාධිපති පදවිය දක්වා දිගු ගමනක් යාමට හැකි වූ බව නොරහසකි. මිෂෙල් සහ බැරක් මුළු අමෙරිකාවම කළු සුදු භේදයකින් තොරව  ආදරය කළ වාසනාවන්ත පවුලක් සඳහා සජීවී ආදර්ශයක් සැපයූ යුවලකි. එහි වැඩි ගෞරවය නිසැකවම හිමිවන්නේ මිෂෙල්ටය.

චිකාගෝහි කුඩා තනි නිදන කාමරයක් සහිත නිවසක උපත ලද  ඇයගේ ජීවිතය සුන්දරව ගලාගෙන යන්නේ ජලපොම්පාගාර ක්‍රියාකරුවෙක් වන පියා ෆ්රේසර් රොබින්සන් හා පුද්ගලික ආයතනයක ලේකම්වරියක වූ ආදරණීය මව මාරියන් ස්පීගල්ගේ ආදරය සමගිනි. පියාගේ පැත්තෙන් ඇය දකුණු කැරොලිනාවේ වහල් සේවකයන්ගෙන් පැවත එන්නියකි.  මිෂෙල්ගේ වැඩිමහල් සහෝදරයා ක්‍රෙග්ය. මේ දෙන්නා නිදා ගත්තේ සාලය ඉටිරෙදි තිරයකින් වෙන්කර තනා ගත් එක ළඟ පුංචි කුටි දෙකකය. නමුත් මේ හතර දෙනාගේම ජීවිතේ ගෙවෙන්නේ ඉතා සමීප ලෙංගතුකමකින් යුතුවය. කියවීම මිෂෙල්ගේ පවුලේ උදවියගේ ජිවිතේ ප්‍රධාන කොටසක් වූ නිසාම මිෂෙල්ගේ අතේ ද නිතරම පොතක්  වැරුදුණේම නැත. ඇය කියන විදිහට පසු කලෙක ජනපති ඔබාමාගේ ආදරණීය බිරිඳ සහ රටේ පළමු කාන්තාව ලෙස ලෝකයේම අවධානය දිනා ගන්නට ඇයට පත පොතෙන් ලද දැනුම මහත් සේ ඉවහල්ව තිබුණි.

මේ සුන්දර යුවලගේ එක්වීම සිදු වූ අයුරැ ද අපූරු කතාවකි. මිෂෙල් වරෙක මේ ගැන මාධ්‍යයකට කියා තිබුණේ මෙලෙසිනි. එයින් එළිදරව් වන්නේ බලවත්ම රටේ ආදර්ශවත්ම පවුලේ සුන්දර ආදර කතාවයි. 

මට මතකයි මම මුලින්ම පොතක් කියවන්න ගන්තේ මට වයස අවුරැදු හතරෙදි. මම හය වසරේ ඉන්නකොට පාසලේ හොඳම ශිෂ්‍යාව වුණා. මට තෑගිත් ලැබුණා. මම නිතරම මගේ අයියාව අනුගමනය කළා. ඔහු වගේ හොඳට ඉගෙන ගන්න ඕන වුණා. නීති විද්‍යාලයේ අධ්‍යාපනයෙන් පසුව මම චිකාගෝවල සේවය කරන්න ගියා. මට මුලින්ම ඔබාමා කියන සුන්දර මනුස්සයාව මුණගැහෙන්නේ එතැනදී. වර්ෂ 1989 දී ගිම්හාන සෘතුව සහිත කාලයකදී. මුලින්ම මුණගැසුණු දවස අද වගේ මතකයි. ඒ හිනාව. අහංකාර බැල්ම. මට හායි! කියලා මුලින්ම කිව්වේ. මමත් ඒ කඩවසම් තරුණයාට හායි කියලා විතරක් උත්තර දීලා නිහඬව අහංකාරකමට හිටියා. තරුණ වයසනේ. කොල්ලෙක් බැලුවම ආඩම්බරකමට හැමෝම ඉන්නවා. මමත් එහෙමයි. ඔහු මට මුලින්ම  ආදර යෝජනාව ගෙනාවා. නමුත් මම මුලින්ම අකමැති වුණේ ඔහු දේශපාලනයට ටිකක් බර වැඩියි වගේ දැනුණ නිසයි. ඒ විදිහට මම ඔහුගේ ආදර යෝජනාව අවුරුදු දෙකක් තිස්සේ ප්‍රතික්‍ෂ්ප කළා. නමුත් මම හිත යටින් ඔබාමාට ආදරේ කළා. පසුව ඔහුට කැමැත්ත ප්‍රකාශ කළා. අවුරුද්දක ආදර සම්බධතාවයෙන් පසුව අපි විවාහ වෙනවා ට්‍රිනිටි යුනයිටඩ් පල්ලියේදී. එතැන විවාහ වෙලා වසර හතකට පස්සේ තමයි ලොකු දුව මාලියා ‘98දී ඉපදෙන්නේ. එයා තමයි මාවයි ඔබාමාවයි දෙමාපියන් කළ අපේ වාසනාවන්තම දරැවා වෙන්නේ. ඊට පස්සේ සාෂා  2001 දී ඉපදෙනවා. ඇත්තටම කිව්වොත් මේ දරැවෝ දෙන්නා අපිට වාසනාව ගෙනාවා...”

බැරක් ඇයව මුල්වරට හමුවන්නේ සිය නීති ආයතනයට පැමිණි ආධුනිකයකු ලෙසටය. ඔහුගේ චරිත ලක්ෂණ ඇගේ සිත් පැහැර ගත්ත ද ඔහුට වචනයක් දීම සඳහා ඇය දිගු කාලයක් ගත්තේය. 1991 වසරේ එක් අපූරු දිනෙක මේ තරැණ යුවළ මුල්වරට සිප ගත්තේ චිකාගෝහි සුපිරි වෙළඳ සලක් ඉදිරිපිටදීය. 2012 වසරේ ජනපති සටන කාලයේ මේ යුවල සිප ගන්නා දසුන වෙළඳ ආයතනය ඉදිරියේ පලකයක දක්වා තිබුණී. 

අමෙරිකාවේ මුල්ම කළු ජනාධිපති ආර්යාව වුවත් මිෂෙල් කළු සුදු භේදයක් නැතිව සෑම අමෙරිකානුවෙකුගේම හද දිනා ගත්තේ ඈ සතු ශක්තිය නිසාය. ප්‍රබල ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කළ ඇය එය තම රටේ ජනතාව වෙත ද බෙදා දුන්නාය. ඇගේ සමුගෙන යාමේ අවසන් කතාවේදී ඈ ජාතියට ශක්තිමත් වන්නට යැයි කිවේ තමන්ම ආදර්ශයක් වෙමිනි. ‘අප අපේ ජීවිතයේ මුහුණ දෙන සැකය හා බෙදීමටත්, තරහ සහ බියටත් එරෙහිව නැගී සිටීම සඳහා බලාපොරොත්තුව මූලික විශ්වාසය කර ගත යුතුයි. අපේ බලාපොරොත්තුව විය යුත්තේ අප ශක්තිමත්ව වැඩ කර අප ගැන විශ්වාස කිරීම’ යැයි ජනපති ආර්යාව ලෙස සමුගෙන යාමට පෙර කළ අවසන් කතාවේදී මිෂෙල් ඔබාමා ධවල මන්දිරයේදී ඇමරිකා ජනතාව අමතා කීවේ එහෙයිනි. එසේම ඇය නිදහස්කාමී නමුත් විනයගරැක මවක් ලෙස ද රටටම ආදර්ශයක් දුන්නාය. ඇගේ දියණියන් ගැන කාටත් කසුකුසු නගන්නට ඇය ඉඩක් තිබ්බේ නැත. තමන් සතු අව්‍යාජ නිරහංකාර සමාජශීලි චර්යා රටාව සිය දරැවන්ට ද ඇය දායාද කර තිබුණි.

“තාත්තා ජනාධිපති වුණාට මහපොළොවේ පය ගහලා ජිවත් වෙන්න මම දුවලා දෙන්නට කියා දුන්නා. උදෙන්ම නැගිටීම, වෙලාවට නිදා ගැනීම, නිවැරදි තීරණ ගැනීම, හොඳින් ඉගෙන ගැනීම වගේම අනෙක්  අයට ගෞරව කිරීම මම ඒ දෙන්නාට පුරැදු කළා. ගෙදර වැඩ වුණත් ඒ අය කරන්න පැකිලුණේ නැහැ. අපි ගෙවත්තේ වැඩ කළා..” මේ කියන කාරණා ඇස් පනාපිටම අත්දුටු අමෙරිකානු ජනයාප්‍රීතිමත් කාගේත් හිතවතුන් ලෙස හැසිරැණු ඔබාමා පවුල ජාතික සංකේතයක් බඳු ගෞරවනීය මට්ටමකට පිළිගත් අතර මිෂෙල් දිනාගත් ජනප්‍රසාදය හේතු වුයේද එයයි. ඇත්තටම ඇය අපූරැ තැනැත්තියකි.

ශක්තිය ඇගේ ජිවනාදර්ශයයි. ළඟ හිතවතුන් ඈ හඳුන්වන්නේ කාන්තා සටන්කාරියක නැතිනම් “ග්ලැඩියේටර්” කෙනකු හැටියය. ඈ දවසේ නිශ්චිත කාලයක් “ජිම්” යාමට වෙන්කර තිබූ අතර ශක්තිමත් දෑතකට හිමිකම් කීවාය. මස්ගොබ පිරුණු සිය අත් කායවර්ධක මස් පිඬු ප්‍රදර්ශකයකු සේ ඔසොවා පෙන්නීමටත් ප්‍රිය කළාය. එලිනෝර්  රැස්වෙල්ට් ජනාධිපති ආර්යාවගෙන් පසු අමෙරිකාවේ එපදවිය දැරූ උසම තැනැත්තිය ඇයයි. ඇගේ උස 5.11කි. උසට සරිලන වඩා මහත් නොවූ සිරුරක හිමිකාරියක් වන ඇය හොඳ විලාසිතාකාරියකි. ඈ නිසා විලාසිතා මෝස්තර ආයතනවලට වැඩ අධික විය. ඇගේ මෝස්තර අනුකරණය ඉහළ යාමත් සමඟිනි. ඇය හොඳ නැටුම්කාරියකි. තමන් පළමු කාන්තාව වූ පසු ඇය මුල් වී ඇරැඹූ  ප්‍රජාසත්කාර අතර දරුවන් තරබාරු වීමෙන් වළක්වා ගන්නට ක්‍රියාත්මක කළ “Let’s Move” ව්‍යාපෘතිය දැඩි ජන ආකර්ශණයක් ලබාගත්තේය. 

මිෂෙල් පෙරුළිකාරියෙකි. චිකාගෝ සරසවියේ ඇය උද්ඝෝෂණ මෙහෙයවූයේ කල්ලන් වැඩිපුර ගුරු/ සිසු තනතුරු සඳහා ඇතුළත් කර ගතයුතු බව කියමිනි. ඈ නැවතුණේ  පසුව සරසවියේ සහකාර උපකුලපති තනතුරට ද පත්වය. පුංචි කාලයේ සිටම ඈ ඉගෙනීමට සූරය. දක්ෂතම සිසුන් අතර අති දක්ෂයා වූ මිෂෙල් හය වැනි වසර පන්තියේ සිටියදීම ජීව විද්‍යාව සහ ප්‍රංශ භාෂාව වැනි බරසාර විෂයයන් හදාරන්නට සුදුසුකම් ලැබුවාය. ඒ කාලයේ සිටම ඇය පියානෝ වාදනයට පිස්සු වැටී උන්නාය. උසස් පාසලේ දෙවැනි පෙළ ඉහළම ලකුණු ලබා සමත් වන්නට ඈ සමත් වූවාය. ඇත්තටම ඇය දුක දිනා ජීවිතය ජයගත් දිරිය දියණියකි. 

ඔවුන්ගේ ජීවිතයේ මුල් අවදියේ ඇය නියම ගෘහනියක මෙන් නිවසේ සහ දරැවන්ගේ වැඩට තනිවම කර ගැසුවාය. ඇය චිකාගෝ සරසවියේ සම්මුඛ පරික්ෂණයට ගියේ සිවු හැවිරිදි  මාලියා දියණියද කර පින්නාගනය. මුලින් දේශපාලනය එපාවී සිටි ඇය බැරක් ජනපති සටනට ඉදිරිපත්වූ පසු එතෙක් කරමින් සිටි ඉලක්කම් හයක ලොකු වැටුපක් සහිත සිය රැකියාව ද අතහැර දමා ඡන්ද සටනේදී උරෙන් උර ගැටී බැරක්ට සහාය දුන්නේය. එසේම ධවල මන්දිරයට පා තැබු මුල් දින සිටම හිටපු ආර්යාවන් පවත්වාගන ආ සම්ප්‍රදායන්  සියල්ල සිය දරු පවුලේ එකමුතුකම් රුකෙන ආකාරයට පහසු වන ලෙස තමන්ගේ ක්‍රමයටම වෙනස් කළාය. සේවක පිරිස සමග අව්‍යාජ සුහද බවක් පළ කළ ඈ සමඟ ඔවුහු  ඉක්මණින්ම බඩ බැඳගත්තාක් මෙන්  ලෙංගතු වූහ. ඒ වැඩි දෙනෙක් සුද්දන් වීම එහි ඇති අපූරුවයි. ඇය කුස්සිය මුළුමනින්ම වස විස නැති අහාර සඳහා වෙන් කළ අතර ධවල මන්දිර වත්තේ එළවළු කොරටුවක් තමන්ම ඇරුඹූවාය. කුස්සියට කෙලින්ම ලැබුණේ ඇගේ කාබනික වගාවෙන් ලද භව භෝගයන්ය. ජීවිතයේ කම්කටොලු හමුවේ ගහක් ගලක් මෙන් ඈ මුහුණ දුන් එඩිතර බව කෙතරම්ද යත් බැරක් ඔබාමා ඇය හැඳින්වූයේ “මගේ ගල් පර්වතය” හැටියටය. ඒ හැර ඇයට වූ කෙටි ආදර නාමය මාෂී යන්නයි. 

සමාජ සේවා කටයුතු ඇගේ ජිවිතයේ මුල්තැන ගත් කැපවීමකි. දරැවන් වෙනුවෙන් සහ කාන්තාවන් වෙනුවෙන් ඈ මුල් වී ඇරඹූ සත්කාර බොහෝය. හොඳ දක්ෂ කතාකාරියක් වූ මිචෙල්  සිය කතාබහෙදි කාලින ඛේදවාචක ගෙදර දොර අඩුපාඩු ගැන කතා කරන්නියක වූ  නිසා  ජන දුක හඳුනන ජනපති ආර්යාවක ලෙස අගැයිමට ලක්වූවාය. බැරක්ගේ දෙවැනි පදවි ප්‍රාප්තියට ද ඇගේ මේ දුප්පතාගේ හිතවතිය භූමිකාව තදින්ම බලපෑ අතර බලය නැති මේ කාලයේත් ඉහළ ජන ප්‍රසාදයක් ලත් තනැත්තිය වීමට ඇයට ඒ ලෙංගතු බව ආධාර වී තිබේ. එසේම දැන් ජාත්‍යන්තර තලයේ ඕපාදුපයක් බවට පත්ව ඇති මිෂෙල් 2020 ජනපති සටනට එන ආරංචිය වඩාත් තහවුරැ කිරීමට ද මේ ජනතා ප්‍රසාදයම ඉවහල් වී හමාරය. කොටින්ම ඈ ජනපති සටනට එතොත් එන්නෙ මහාජන රුල්ලක ප්‍රතිඵලයක් හැටියටය. එසේ වුවහොත් ඇය අමෙරිකාවේ බලයට පත් මුල්ම කළු ජාතික ජනාධිපතිනිය හැටියට ඉතිහාස ගත වනු නියතය.

 සුගත්පි. කුලතුංගආරච්චි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00