2019 ජනවාරි 05 වන සෙනසුරාදා

නීතිවේදියෙක් වෙන්න යන ලංකාවේ පළමු කොස්තාපල්

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 16
නීතිවේදී උපාධිය අධ්‍යයනයට පොලිස් කොස්තාපල්වරයෙක් සුදුසුකම් ලබා ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රථම වතාවටය. ශ්‍රී ලංකා පොලීසියට අභිමානයක් කීර්තියක් ගෙන දුන් මේ පොලිස් කොස්තාපල්වරයා වන්නේ එල්.පී. සජිත් ලක්රුවන් ද සිල්වා (84019) මහතාය.

මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට නීතිවේදී උපාධිය අධ්‍යයනයට එම තරග විභාගයෙන් සමත්ව සිටින පොලිස් කොස්තාපල්වරයා කාලයක් මීගමුව, මීරිගම සහ නිට්ටඹුව යන පොලිස් ස්ථානවල රථවාහන අංශයේ රාජකාරි කර මේ වනවිට පොලිස් මූලස්ථානයට අනුයුක්තව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන බව රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් කොස්තාපල් ලක්රුවන් ද සිල්වා මහතා නාවල විවෘත විශ්ව විද්‍යාලයේ නීති පීඨයට තේරී ඇත්තේ ලකුණු 137 ලබාගනිමිනි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථානයක් නීතිවේදී ප්‍රවේශ විභාගයට පෙනී සිටි රුවන් එම දිස්ත්‍රික්කයෙන් වැඩිම ලකුණු ලබාගනිමින් පළමුවැනියා බවට පත්ව ඇත. විවෘත විශ්වවිද්‍යාලයේ නීති පීඨයට නීතිවේදී උපාධි අධ්‍යයනයට අවශ්‍ය අවම ලකුණු ප්‍රමාණය 105කි.

පසුගිය ජූනි මාසයේ පැවති තරග විභාගයට අපේක්ෂකයන් පහළොස්දාහක් පමණ පෙනී සිට ඇති අතර ප්‍රතිඵල නිකුත් වූයේ දෙසැම්බර් මාසයේ අවසන් සතියේය. ලක්රුවන් මෙම විභාගයෙන් ඉංග්‍රීසි විෂයට ලකුණු 50ක් ලබාගෙන තිබේ. පොලිස් කොස්තාපල් ලක්රුවන් මහතා රඹුක්කන පින්නවල පදිංචිකරුවෙක් වන අතර රඹුක්කන සුජාතා විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවෙකි. සහෝදර සහෝදරියන් දහ දෙනකුගෙන් යුත් පවුලේ බාලයා ලක්රුවන්ය. ලක්රුවන් මහතාගේ පියා එල්.ජී.එස්. ද සිල්වා වන අතර මාපිය දෙදෙනාම ජීවතුන් අතර නොමැත. ලක්රුවන්ගේ පියා සිය බිරිය හා දරුවන් දහ දෙනා ජීවත්කර ඇත්තේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමෙනි. ඔහුගේ වැඩිමල් සහෝදරිය වන මල්කාන්ති ද සිල්වා මහත්මිය හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරියක වන්නීය.

සියලු අභියෝග ජය ගනිමින් ලක්රුවන් අපොස උසස් පෙළ උසස් ලෙස සමත් වී අවසානයේ පොලිසියට එක්විය. ඔහු එතෙක් ආ ගමන් මග කටුකොහොලින් පිරුණු එකක් විය. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට නීතිවේදී උපාධි අධ්‍යාපනය සඳහා ලක්රුවන් ගැන අපට මුලින්ම කිව්වේ පොලිස් ඥාති සංසදයේ ප්‍රධාන ලේකම් වෙදගේ ප්‍රසාද් මහතාය. පොලිස් කොස්තාපල් ලක්රුවන් අපට සම්බන්ධ කර දුන්නේ ප්‍රසාද් මහතාය. කොස්තාපල් ලක්රුවන් මහතා කියන කථාව මෙසේ පෙළගසන්නේ ඔහුගේම වචනවලින්ය.

“පාසල් ගිහින් ඉගෙන ගත්තේ ආර්ථික අපහසුතා ගොඩක් මැද්දේ. රඹුක්කන සුජාතා විද්‍යාලයේ තමා මුලසිටම ඉගෙන ගත්තෙ. කිසිදාක පෞද්ගලික පන්තිවලට ගිහිල්ල නෑ. ඉස්කෝලේ හවස පන්ති තියලා අපිට ඉගැන්නුවා. එවකට විදුහල්පතිවරයාට සිටියේ එස්. ජයසිංහ සර්. කල්‍යාණි ජයකොඩි සහ ජයන්ති මිස්ලා මට මේ තරම් දුරක් එන්න උදව් කළා. මේ ගුරු පියවරු මෑණිවරුන් මේ මොහොතේ සිහිපත් කරන්නේ ලොකු ගෞරවයකින්. පොඩි වැරැද්දකට ගුරුවරු ගැහැව්වා. ඒ විදියට ගහල ඉගැන්නුව නිසා තමා අපිට ඉගෙන ගන්න ලැබුණේ. ගුරුවරු ගැහැව්වා කියා අපි පොලිසිවලට පැමිණිලි කරන්න ගියේ නැහැ. මානව හිමිකම් සංවිධානවලට පැමිණිලි කරන්න ගියෙත් නෑ.” ලක්රුවන් විද්‍යාලයේ සිටින දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ද විය. පොලිස් දෙපාර්තමේන්තුවට පොලිස් කොස්තාපල්වරයෙක් ලෙස බැඳී ඇති ලක්රුවන් තඹුත්තේගම පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුවීම් ලබා ඇත. පොලිස් සේවයට එක්වීමට හිතුවෙ ඇයි කියන ප්‍රශ්නයට ලක්රුවන්ගේ පිළිතුර වූයේ මෙයයි.

“කුඩා කාලයේ ඉඳලම පොලිසියට මම ලොකු කැමැත්තක් දැක්වූවා මගේ තාත්තා නිතරම කිව්වේ පුතේ හොඳට ඉගෙනගන්න පොලිසියට බැඳෙන්න කියලයි. තාත්තාගේ හිතේ තිබුණු ආශාව ඉටු කරන්න ඕනෑ කියා හැඟීමක් මට තිබුණා.”

පොලිසියේ රාජකාරි කරන අතරවාරයේ නීතිවේදියෙක් වෙන්න බලපෑ කරුණු කාරණා ගැන තොරතුරු ලක්රුවන් කිව්වේ මෙවැනි කතාවකි.

“මගේ ලොකු අක්කා මල්කාන්ති  නීතිඥවරියක්. ඇය හලාවත උසාවියේ සේවය කරනවා. මගේ තවත් අක්කා කෙනෙක් වන ප්‍රභා ද සිල්වා නීති උපාධිය හදාරනවා. තාත්තාගේ සහෝදරයකුගේ දුව චන්ද්‍රිකා ද කොළඹ අලුත්කඩේ උසාවියේ නීතිඥවරියක්. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ හා පොලිස් අධිකාරි රුවන් ගුණසේකර යන සර්ලා දෙන්නත් නීතිඥවරුන්. මෙන්න මේ අය නිසා මමත්  කවදා හෝ නීතිඥයෙක් වෙන්න ඕනෑ කියන හැඟීම හිතේ ලොකුවට බලපෑවා. ඉතින් මම නීති ප්‍රවේශ විභාගයට පෙනී ඉන්න ඉගෙන ගන්න පටන් ගත්තා. නීතිඥයෙක් වන ධම්මික වික්‍රමසිංහ සර් මට කිසිදු මුදලක් අය නොකර නීතිය ගැන ඉගැන්නුවා. වික්‍රමසිංහ සර් මේ මොහොතේ මම මතක් කරන්නේ ඉමහත් ගෞරවයකින්.

පොලිස්පති පූජිත් ජයසුන්දර සර් මට ඉගෙනගන්න අවශ්‍ය වටපිටාව හදලා දුන්නා. සිවිල් ආරක්ෂක බලකා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් නිර්මල කොස්වත්ත එම දෙපාර්තමේන්තුව ව්‍යාපෘති අධ්‍යක්ෂ කර්නල් විජේනායක කටුනායක මූලස්ථානයේ අණදෙන නිලධාරි රංචාගොඩ සර්ලා මට මේ විභාගය සමත් වෙන්න උදවු කළා. මගේ බිරිය මට මෙහිදී යෝධ ශක්තියක් වුණා. නිට්ටඹුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් දිල්රුක්ෂ මට මගේ අධ්‍යාපන කටයුතුවලදී උපකාර කළා. ඒ සර්වත් මම මතක් කරන්නේ හදපිරි බැතියෙන්.

මම නීති ප්‍රෙව්ශ විභාගය ඉහළින්ම සමත් වී ඇති බව  දැනගත්තට පස්සේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ හා නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් යන සර්ලා කතාකරලා සුබපැතුවා. ඊට අමතරව පොලිසියේ තව ලොකු මහත්වරුන් ගණනාවක් ඇතුළු සහෝදර පොලිස් නිලධාරීන් විශාල පිරිසක් කතා කළ සුබපැතුවා. හැමෝටම ස්තූතියි.

විභාගය සමත් වුණාට පස්සෙත් පොලිසියේම සේවය කරනවා.  විශ්‍රාම යනකම් පොලිසිය දාලා යන්නේ නැහැ. උගත්කමට හැකියාවට පොලීසියේ හොඳ තැනක් තිබෙනවා.  පොලිසියට මම හදවතින්ම  ආදරෙයි.  නීතිය ඉගෙනගෙන ඒ තුළින් පොලිසියට යම් සේවයක් කිරීම තමා මගේ බලාපොරොත්තුව” යැයි ලක්රුවන් පැවසුවේය. මගේ අම්මයි තාත්තයි ජීවතුන් අතර සිටියා නම් කොච්චර සතුටු වෙයිද කියා ඔහු කිව්වේ කතා බහ නිමා කිරීමට මත්තෙනි. ලක්රුවන් අවුරුදු හතරක දියණියකගේ දයාබර පියෙකි.

►ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30