2019 ජනවාරි 05 වන සෙනසුරාදා

සුමන්තිරන්ගේ ව්‍යවස්ථා කතාව

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 136
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රී සුමන්තිරන් මහතා මෑතක කළ ප්‍රකාශයක් ගෙවුණු සතියේ දේශපාලන උණුසුමට හේතුවිය. ඒ නිසාවෙන්ම එම ප්‍රකාශ හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධව කියවෙන සංවාදයේ අපි ද කොටස්කරුවන් වන්නට තීරණය කළෙමු.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එසේ නැතිනම් මෙරට උත්තරීතර නීතිය ලාංකීය ජාතික සමාජ දේශපාලන අර්බුදවලට හේතු වූ ප්‍රමුඛ කාරණාවක් වන්නේය. මෙය අප විසින් සඳහන් කරන්නක් නොවේ. 1977 පසු මෙරට පක්ෂ විපක්ෂ නියෝජනය කළ දේශපාලන පක්ෂ කණ්ඩායම් විවිධ අවස්ථාවලදී මෙය නියමයෙන් අනියමින් කියා තිබේ. එය එලෙස නොකී දේශපාලන පක්ෂයක් නැති තරම්ය. එහි නිමැවුම්කරු වූ එක්සත් ජාතික පක්ෂය තුළින් පවා අදවන විට මෙම අදහස පිළිබිඹු වෙයි. සුමන්තිරන්ගේ ප්‍රකාශ හා සැබැඳි කාරණාවන් ඉස්මතු කරන්නට කලියෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ අද සංවාදයේ පදනම වෙත අවධානය යොමුකරමු.

නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ඉතිහාසය පුරා විවිධ අවස්ථාවල මතුව තිබේ. නමුත් එය සපුරා ගත නොහැකි විය. එය ප්‍රකට මැතිවරණ පොරොන්දුවක්. 2015 බල මාරුවට තුඩු දුන් ජනාධිපතිවරණයේ ද එය ප්‍රමුඛ පොරොන්දුවක් වූයේය. ඒ අනුව ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු පාර්ලිමේන්තුව ව්‍යවස්ථාව සම්පාදක මණ්ඩලයක් බවට පත්වූයේ කාගෙත් එකඟතාවයෙනි. ඒ 2016 ජනවාරි 09 දාය. එයට සමගාමීව ව්‍යවස්ථා සම්පාදනය සඳහා ස්ථාවර කමිටුවක් ද අත්‍යවශ්‍ය අනු කමිටු ගණනාවක් ද නිර්මාණය විය. වන විට එම ජනාධිපතිවරණයෙන් වසර 4 ක් ගතවී ඇත. එහෙත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධවන් තවමත් සැලකිය යුතු එකඟතාවක් නිර්මාණය වී නැත.

ඒ කෙසේ වුවද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයේ අරමුණ අතර උතුරේ දේශපාලන අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාදීම ප්‍රමූඛය. සුමන්තිරන්ගේ ප්‍රකාශ ගොනුවන්නේ එම කාරණාව මතය. එහෙත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය දකුණේ කියවෙන්නේ විධායක ක්‍රමය වෙනස් කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම අදී කරණු මතය. ඒ කෙසේ වුවද සුමන්තිරන්ගේ ප්‍රකාශය හදිසි දේශපාලන පිපිරීමක් වූයේ කෙසේ දැයි අප විමසා බැලිය යුතුය.

ශ්‍රීලනිප හා එජාපය එක්ව ගොඩනැගූ ජාතික ආණ්ඩුව බිඳවැටීම, මහින්ද රාජපක්ෂ අගමැති වීම මෙම නව ව්‍යවස්ථා කතාවට ඈඳෙයි. එය මෙසේය. ජනාධිපතිවරයා එජාපයට විරුද්ධව ඉදිරිපත් කළ චෝදනා අතර ව්‍යවස්ථාව සම්බන්ධ කාරණාව ද විය. එය පෙර ඒකාබද්ධ විපක්ෂයෙන් නිතර නැගුණු චෝදනාවකි. රට බෙදන ව්‍යවස්ථාවක් යන ඒකාබද්ධයේ සටන් පාඨයේ හවුල්කරුවෙක් බවට ඔක්තෝබර් 26 වැනිදා වන විට ජනාධිපතිවරයා ද පත්ව සිටියේය.

එහෙත් නැවත බහුතරය හා නඩු තීන්දුව යන කාරණා මත එජාපය බලය තහවුරු කරගනු ලැබුවේය. ඒ දෙමළ සන්ධානයේ සහයෝගය මතය. ඒ මොහොතේදී එම එකඟතාවයේ පදනම ශ්‍රීලනිප පොහොට්ටු කණ්ඩායම විග්‍රහ කරනු ලැබුවේ රට බෙදන ව්‍යවස්ථාව ගෙන ඒමට හා සිය දේශපාලන අවශ්‍යතාවන් ඉටුකර ගැනීම වෙනුවෙන් දෙමළ ජාතික සන්විධානය කළ දෙයක් ලෙසය. එජාපය ඔවුන් සමඟ ගිවිසුම් ගතව ඇති බව එම කණ්ඩායම්වල චෝදනාව විය. එජාපය විසින් මෙය ප්‍රතික්ෂේප කරනු ලැබීය. එහෙත් දෙමළ ජාතික සංවිධාන එය නිසි ලෙස ප්‍රතික්ෂේප නොකළේය.

උතුරේ දේශපාලනය දමිළ නායකයන් විසින් ගොඩනැගුණේ දකුණේ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් විශ්වාසනීය නොවන්නේය යන පදනම මතය.  දැන් එය උතුරේ ජනගත වී අවසානය. යම් හේතුවකට දකුණේ දේශපාලකයකුට උපකාර කිරීමට දෙමළ ජාතික සන්ධානයට පහසු නැත. ඒ නිසා එජාපයට උපකාර කිරීමේ සාධනීය කාරාණාවන් උතුරට කිවයුතුය. එහෙත් නව ආණ්ඩුවට එම ප්‍රකාශන් හිතකර නොවේ. සුමන්තිරන්ගේ ප්‍රකාශ උතුර ප්‍රමුඛතම ප්‍රේක්ෂකාගාර ලෙස තබාගෙන කරන ලද්දකි. ඒ නිසා එය වර්තමාන ආණ්ඩුවට අයහපතක් ලෙස දකුණේ දී බල පෑ හැකිය. මේ සමඟ දක්වා ඇති අජිත් පී. පෙරේරා ඇමතිවරයා දැක්වූ අදහස්වලින් එය ප්‍රකට වේ.

ඇති වූ තත්ත්වය මත දකුණේ දී උපරිම දේශපාලන වාසි ලබා ගැනීමට නව විපක්ෂයට දැන් හැකියාවක් තිබේ. එය මනාව පසුගිය දින කිහිපයේ පැවති පොහොට්ටු ශ්‍රීලනිප මාධ්‍ය සාකච්ඡා තුළින් ද දිනේෂ් ගුණවර්ධන මහතාගේ අදහස්වලින් ද විද්‍යාමාන වේ. ජනතා විමුක්ති පෙරමුණ ද මේ පිළිබඳ සිය මතය ප්‍රකාශ කර තිබේ. ඔවුන්ට අනුව මෙය ජාතිවාදී දේශපාලනයේ ප්‍රතිඵලයකි. ඔවුන් පවසන පරිදි පෙබරවාරි 4 වැනිදාට කලියෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සිදුකළ හැක්කක් ද යන්න ගැටලුවකි. එහෙත් සුමන්තිරන් ඇතුළු කණ්ඩායමේ බලපෑම සහමුලින් ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් වර්තමාන ආණ්ඩුවට තිබේ දැයි යන්න සැකයකි. එය පාර්ලිමේන්තුව සංයුතිය දෙස බැලීමෙන් අවබෝධවෙයි.

සම්පන්දන් නිහඬව සිටිය දී සුමන්තිරන් මෙසේ ප්‍රකාශ කරන්නේ උතුරේ මීළඟ දේශපාලන නායකයා වීමේ අරමුණින් බව අප මීට පෙරත් අවධාරණය කර ඇත. අනික් අතට තම කිසිදු දේශපාලන අවශ්‍යතාවයක් ඉටුකර ගැනීමට මේ මොහොතේ ද්‍රවිඩ ජාතික සන්ධානය අසමත් වුවහොත් එය සැලකිය යුතු දේශපාලන පරාජයකි. ඒ බව සුමන්තිරන් දනී. දිනාගන්නවා නම් මේ මොහොතේ වටිනා තෑග්ග නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය. සුමන්තිරන් අර අදින්නේ ඒ වෙනුවෙනි. එය බලය මූලික වූ දේශපාලන භාවිතයේ ස්වභාවය මිස අනෙකක් නොවේ.

පෙබරවාරි 04ට කලින් නව කෙටුම්පත ගේනවා

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා

 “2015 අගෝස්තුවල ඉඳලම යහපාලන ආණ්ඩුවට එකතු වෙන්න කියලා දෙමළ සන්ධානයට ආරාධනා ලැබුණා. එක් වතාවක් ජනාධිපතිවරයාම කිව්වා ඇයි ඔයාලා එකතු වෙන්නේ නැත්තේ කියලා.

මට පෞද්ගලිකව ආරාධනා ලැබුණේ නෑ. හැබැයි ආණ්ඩුවට එක් වෙලා ඇමැතිකම් බාරගන්න කියලා අපේ සන්ධානයට යෝජනා ආවා. නමුත්, දෙමළ ජනතාවගේ ගැටලුවට ජාතික විසඳුමක් ලබාදෙනතුරු කිසිම ආණ්ඩුවකට එකතුවෙන්න අපේ කිසිම සූදානමක් නෑ.

අපිත් ජනතා විමුක්ති පෙරමුණත් එකතු වෙලා තමයි නව ව්‍යවස්ථාවට අදාළ අතුරු කමිටු වාර්තාව ගෙනාවේ. එහි උතුරු නැගෙනහිර පළාත් එකතු වෙන්න ඕන කියලා අපි සටහන් කරලා තියෙනවා.

මහජන එක්සත් පෙරමුණ විතරයි ඒකට අකමැති වුණේ. නමුත් ජනතා විමුක්ති‍ පෙරමුණ එයට අදහසක් දැක්වු‍වේ නැහැ. ඔවුන් කිව්වේ දැනට එය නොවිය යුතු දෙයක් කියලා. පළාත් ඒකාබද්ධ වෙනවනම් එහෙම එකතු වෙන්න පුළුවන්.

නමුත් එහෙම එකතු වෙන්න ජනමත විචාරණයකට යා යුතුයි කියලා එම වාර්තාවේ සටහන් කරලා තියෙනවා. එම කරුණට ජනතා විමුක්ති පෙරමුණ එකඟයි.

ඊයේ අගමැතිතුමා මහනායක හිමිවරුන් හමුවුණා. එහිදී බුද්ධාගමටත් ප්‍රමුඛස්ථානයක් දෙනවා කියන ප්‍රවෘත්තිය අද පළ වෙලා තියෙනවා. ඒ බව අර අතුරු කමිටු වාර්තාවෙත් තියෙනවා.

බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් දීම ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ වගේම අනිත් ආගම්වලටත් සමානව සලකන්න ඕනේ. මහින්දගේ පාර්ශ්වය කියන දෙයක් තමයි නොවැම්බර් 07 වැනිදා ගේන්න තිබුණ ව්‍යවස්ථා කෙටුම්පතට බාධා කරන්න තමයි අපි වෙනසක් කළේ කියලා. හැබැයි අපි ජාතික ආණ්ඩුවක් හදාගන්න අපේ සහය පළ කළේ අපිට අරමුණක් තිබ්බ හින්දා.

ඒ අරමුණ කඩා බිඳෙන ලෙස ඔක්තෝබර් 26 වැනිදා වූ සිදුවීමෙන් සිදුවූ වෙනස්කම් අපේ අරමුණට බාධා වෙන නිසාත් ව්‍යවස්ථාවට, නීතියට හා ප්‍රජාතන්ත්‍රවාදයට එකඟ නොවන හින්දාත් ඊට විරුද්ධ වෙන්න සිදු වුණා.

දැන් ඉක්මනින් නව ව්‍යවස්ථාවේ වැඩකටයුතු කරගෙන යනවා.  එළඹෙන පෙබරවාරි 04 ට කලින් එ.ජා.ප., ජ.වි‍.පෙ. සහ අපිත් එකතු වෙලා හදපු කෙටුම්පතක් ඉදිරි‍පත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

දැනටමත් විශේෂඥ කමිටුව දීපු වාර්තාවේ තිබෙන කරුණු ගැන අපේ පාර්ශව 03ම සලකලා බලනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වුණු නිසා පාර්ලිමේන්තු බහුතරය නැහැ කියලා කියනවා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 20 ක් 21 දෙනෙක් විතර ආණ්ඩුවට එක්වෙන්න යනවා කියලා කියනවා.

ඒ හින්දා අද ඒ අය අතරෙම අර්බුදයක් ඇති වෙලා. ඒ නිසාම එයාලට පක්ෂ කාර්යාලය වහන්නත් සිදුවෙලා. එයාලගෙන් එහෙම පිරිසක් ආවොත් අපේ අනිත් පාර්ශවයත් එක්ක 150 කට වැඩි ප්‍රමාණයක් ඉක්මවා යනවා”

ඔළුවෙ තියෙන දේ අනුව ව්‍යවස්ථා හදන්න බෑ

- පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක

අපි දන්නවා යුද්ධයෙන් පස්සේ අපේ රටේ දේශපාලනයේ නව වෙනස්කම් ඇතිවී තිබෙනවා. දේශපාලන ව්‍යාපාරයක් ඇතිවෙන නව තත්ත්වයන් තේරුම්ගන්නට නොහැකි වන්නේ නම් එම දේශපාලන ව්‍යාපාර අයිතිවන්නේ ඉතිහාසයට. ඒ නිසා ඇතිවී තිබෙන නව වෙනස්කම්වලට අනුරූපී වන පරිදි සියලු ජනයාගේ අයිතිවාසිකම් ඉතාමත් මැනවින් ස්ථාපිත වන, සියලු ජනයාගේ ගෞරවය ආරක්ෂාවන නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන ස්ථාවරයේ ඉන්න දේශපාලන ව්‍යාපාරයක් අපි. ඒක අපිට හංඟන්න දෙයක් නෑ.

මම දැක්කා ජාතිවාදී කණ්ඩායම් කියනවා පෙබරවාරි 4 වැනිදාට කලින් ව්‍යවස්ථාවක් ගේනවාලු පාර්ලිමේන්තුවට. රනිල් වික්‍රමසිංහගේ හරි සුමන්තිරන්ගේ හරි මහින්ද රාජපක්ෂගේ හරි එහෙම නැත්නම් අපේ හරි ඔළුවේ ඇදෙන හිතලුවලට ව්‍යවස්ථාව සම්පාදනය කරන්න බෑ අපේ රටේ. 1978 ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලි ලෙස දක්වා තිබෙනවා තිබෙන ව්‍යවස්ථාව පරිච්චින්න කොට නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් ඒ කෙසේ ද කියලා.

සුමන්තිරන් කියන විදියට ආණ්ඩුක්‍රමය වෙනස් කරන්න බෑ

- පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන

සුමන්තිරන් මහතා සහ ඔහුගේ මිත්‍ර උපදේශකයෝ විදිහට පත් කරගෙන සිටින අය පාර්ලිමේන්තුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට දීර්ඝ කාලයක සිට එක්සත් ජාතික පක්ෂ නායකයන් සමඟ උත්සාහයක යෙදෙනවා. එය ඒකාබද්ධ විපක්ෂ විසින් හේතු සහගතව එහි ඇති කරුණු මත ප්‍රතික්ෂේප කරලා තියනවා. මේ නිසා ඒ වාර්තාව තේරීම් කාරක සභාවේ ඔක්තෝබර් රැස්වීමේදී ද අනුමත වුණේ නෑ. සුමන්තිරන් මහතාට ඕන විදිහට එහි වචන සහ වාක්‍ය ලියා තිබෙන නිසාවෙන්. ඒ අනුව සුමන්තිරන් මහතා කියන විදිහට රටේ ආණ්ඩුක්‍රමයන් වෙනස් කරන්න බැරි බව අපි වගකීමෙන් කියා සිටිනවා.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට ඕනෑ

- අමාත්‍ය අජිත් පී. පෙරේරා

එහෙම ව්‍යවස්ථා කෙටුම්පතක් හදලා නෑ. දැනට සකස් කරලා තියෙන්නේ යම් යම් විවාදිත කරුණු පිළිබද වාර්තාවක්. වාර්තාවක් කියන්නේ කෙටුම්පත නෙවෙයි. ඒ අනුව බොහෝම පැහැදිලිව කියන්න ඕනා එහෙම කෙටුම්පතක් හදලාත් නෑ. පෙබරවාරි හතරට කලින් එහෙම කෙටුම්පතක් ඉදිරිපත් වෙන්නෙත් නෑ.

අපේ රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. විධායක ජනාධිපති ක්‍රම අහෝසි කළ යුතුයි එකියන කාරණාව පිළිබඳ ජනතාව විටින් විට තමන්ගේ මතය ප්‍රකාශ කරලා තියනවා. ඒ වගේම පවතින මැතිවරණ ක්‍රමය පිළිබඳ ජනතාව තම විරෝධය ප්‍රකාශ කරලා තියෙනවා. කොළඹ කේන්ද්‍රගත වෙච්ච පාලන ක්‍රමය වෙනුවට ප්‍රාදේශීයව ජනතාවට ජීවිත ගැන තීරණය ගන්න පුළුවන් ආකාරයේ බලය විමධ්‍යගත කිරීමක් ගැන පොදු එකඟතාවක් තියෙනවා. මේ සියල්ලම ඒකීය රාජ්‍ය ව්‍යූහය ආරක්ෂා කරගනිමින් සිදු කළ යුතුයි. ඒ වගේම කුමන කොන්දේසි මතවත් බුදුදහම ඇති ප්‍රමුඛතාව ව්‍යවස්ථාවේ නව වැනි ව්‍යවස්ථාව වෙනස් කිරීමට එක්සත් ජාතික පක්ෂ විරුද්ධයි.


►චමිඳු නිසල් ද සිල්වා