2019 ජනවාරි 05 වන සෙනසුරාදා

අලුත් අවුරුද්දේ අනතුරු

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 83
දෙසැම්බර් මස 31දා අවසන් වී උදාවන නව අවුරුද්ද ලෝකවාසීන් මෙන්ම ශ්‍රී ලංකිකයෝද වර්තමානයේ මහත් හරසරින් සමරති.

පෙර කොළඹ හා තදාසන්න පෙදෙස් ආවරණය කළ මෙම උළෙල අද වනවිට ගම් දනව් හරහා ද හමායනු පෙනේ. දෙසැම්බර් මස ව්‍යාපාරික ප්‍රජාව අතර ප්‍රචලිතව ඇත්තේ “සීසන්” එක ලෙසයි. 25 වැනිදා නත්තල උදාවන තෙක් දෙසැම්බර් මාසයේ මුල පටන් පටන්ගන්නා ව්‍යාපාරික පිබිදීම නත්තල් දවස පසුකරන ඉදිරි අවුරුද්දේ ජනවාරි පළමුවනදා දක්වා විහිදෙයි. ලංකාවේ නම් කොළඹ කෙන්ද්‍ර කරගත් මේ ලකලෑස්ති උප නාගරික සංස්කෘතිය තුළද නොමදව පැතිර තිබේ.

කෙසේ වුවද සිදුවිය යුත්තේ නව අවුරුදු උදාව සමඟ මිනිසුන්ගේ නවමු හැඟීම් ප්‍රමුදිත වීම වුවද බොහෝවිට සිදුවන්නේ ජනතාව මධුවිත ඇතුළු විනෝදය සමඟ ගෙවන සංස්කෘතියකට පෙළඹී සිටීමය. නව අවුරුද්දක් උදාවීම මිනිසුන්ගේ සිතුම් පැතුම් අලුත් කළ යුතුවුවද සිදුවන්නේ අනෙකකි.

ලෝකයේ වෙනත් රටවල් දෙස බැලුවද මෙම ප්‍රවණතායේ අඩුවක් දක්නට නැත. ජපානය, චීනය වැනි ඈත පෙරදිග රටවල නව අවුරුද්දට අදාළව සත්ත්වයන් පවා වෙන්කර ගෙන නව අවුරුද්ද සමරනු පෙනේ. ඔවුන් එයින් බොහෝ විට බලාපොරොත්තුවනවා ඇත්තේ නව අවුරුද්දේ ඔවුනට පැතුම් මල් පලගන්වන්ට අදාළ සත්ත්වයාගේ චරිත ලක්ෂණ ඉවහල් වෙතැයි සහ විශ්වාසයකි.

ලංකාවේ වුවද ඈත ඉතිහාසයේ සිටි නව අවුරුදු උදාව සමරන බවට වූ සාධක ඕනෑතරම් තිබේ. ඓතිහාසික ඡායාරූප පරීක්ෂණයෙදී පවා පෙනෙන්නනේ කොළඹ කේන්ද්‍ර කරගත් සංස්කෘතින් තුළ නව අවුරුදු උදාව විශේෂ තැනක් ගත් බවය.

කෙසේ වුවද මෙම ලිපියේ අරමුණ නව අවුරුදු උදාව සමඟ සිදුවූ හදිසි අනතුරුවල තත්ත්වය සොයා බැලීමය. අප සහෝදර පුවත්පතක් වාර්තා කළේ නව අවුරුද්දේ සිදුවූ හදිසි අනතුරු සංඛ්‍යාව හාරදහස් ගණනක් ලෙසය. නමුත් කොළඹ හදිසි අනතුරු අංශයේ වගකිවයුතු මහත්මියක් ප්‍රකාශ කළේ මෙවර දෙසැම්බර් මස 31 රාත්‍රියේ සිට 2019 නව වර්ෂයේ උදාවන මොහොත දක්වා කොළඹ හදිසි අනතුරු අංශයට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි රෝගීන් සංඛ්‍යාව 248ක් බවය. ඒ අනුව හදිසි අනතුරු අංශයෙන් නේවාසික ප්‍රතිකාර ලැබූ සංඛ්‍යාව 98කි. කෙසේ වුවද ඇතැම් මාධ්‍ය වාර්තා කළ පරිදි 3%කින් මේ වසර හදිසි අනතුරු අඩු වූ බවක් එම රෝහල් ප්‍රකාශිකාව සඳහන් කළේ නැත. එහෙත් ප්‍රතිකාර ලැබුවන් අඩුවීම යහපත් ප්‍රවණතාවක් වශයෙන් සැලකිය හැකියි.

එමෙන්ම මෙවර රතිඤ්ඤා නිසා රෝහල්ගතවූ සංඛ්‍යාවේ වර්ධනයක් තිබෙන බවද සඳහන් විය. පිරිමි අය 16ක් හා ගැහැනු 3ක් වශයෙන් පෙර වර්ෂවලට සාපේක්ෂව වැඩි රතිඤ්ඤා අනතුරු රෝගීන් පිරිසක් මෙවර රෝහල් ගතවී සිටියහ. ඔවුන් සියලුදෙනාටම රෝහල් ගතවීමට සිදුව තිබෙන්නේ නොසැලකිලිමත්කම නිසාය. නව අවුරුදු උදාව සමඟ සිදුවූ හදිසි අනතුරු අතර බීමත්කම ගැටුම්වලට මැදිවීම හා රථ වාහන අනතුරු බහුල යැයි ද ඒ සියල්ලටම කුඩා පොදු ගුණාකාරය ලෙස බීමත්කම හේතු වී ඇතැයි ද යන්න ද රෝහල් ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කළාය.

මෙවර වාර්තාවන පරිදි හදිසි අනතුරුවලට හේතුව රතිඤ්ඤා වීම දෛවෝපගත සරදමකි. රතිඤ්ඤා නොසැලකිලිමත් ලෙස මහා මාර්ගවලදී සහ තදාසන්න ප්‍රදේශවල තරුණයන් විසින් දල්වනවා මෙවර දැකගතහැකි විය.

කෙසේ වුවද තවත් පුවත් වාර්තා අනුව නව අවුරුදු උදාව සමඟ සිදුවූ හදිසි අනතුරු සංඛ්‍යාවේ අඩුවීමක් තිබෙන බව වාර්තා වී ඇත. වගකිවයුතු ආයතන හරහා ජනතාව වැඩි වශයෙන් දැනුවත් කිරීම මීට හේතුවන්නට ඇත.

නව අවුරුදු උදාවත් සමඟ ජනතාව සිය සිතුම් පැතුම් නවමු වටයකින් අලුත්කර ගැනීම සහ ඒ හා බැඳුණු ප්‍රායෝගික වැඩපිළිවෙළක යෙදීම යහපත් වුවද අනතුරු අඩු කරගැනීම ද ඒ හා සමඟම වැදගත්ය.

►රෙහාන් රාසික්