2019 ජනවාරි 05 වන සෙනසුරාදා

ශ්‍රීලනිපය ඇතුළේ බණ්ඩාරනායක රාජපක්ෂ සටන

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 207
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වනවිට සිටින්නේ සංකීර්ණ, අමාරු අඩියකය. එය කවුරුන් විසින් හෝ ප්‍රතික්ෂේප කොට ශ්‍රී.ල.නි.ප.ය ශක්තිමත්යැයි කිවහොත් සැබැවින්ම එය ඇත්ත ප්‍රශ්නය යටගැසීම සඳහා දෙන හුදු ප්‍රකාශයක් පමණි .කෙසේ වෙතත් බොහෝ දෙනෙකු ඇත්ත ප්‍රශ්නය සඟවා විවිධ කතා කියමින් සැනසෙන්නට උත්සාහ ගන්නා අයුරු පෙනෙන්නට තිබේ.

ශ්‍රී.ල.නි.ප.යේ හිමිකරුවන් වූ බණ්ඩාරනායකවරුන්ගෙන් දැන් දේශපාලනයේ ඉතිරිව සිටින්නේ හතරවැනි විධායක ජනාධිපති වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පමණි. එහෙත් ඇය ද සක්‍රීය දේශපාලනයේ නොයෙදෙන අතර අවස්ථානුකූලව දේශපාලනික මැදිහත්වීම් පමණක් විශ්‍රාම ගියායින් පසුව සිදුකළාය. ළඟම උදාහරණය වර්තමාන ජනාධිපතිවරයා පොදු අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට මැදිහත් වීමය. එසේම එක් පැත්තකින් ඇය ශ්‍රී.ල.නි.ප.යේ අනුශාසකවරියෙකි.

මීට අමතරව ශ්‍රී.ල.නි.ප.යට හිමිකම් කියන අනෙක් පාර්ශවය වන්නේ රාජපක්ෂවරුය. ඩී.ඒ. රාජපක්ෂගේ සිට මහින්ද, චමල්, බැසිල්, නාමල් දක්වා අද වනවිට රාජපක්ෂවරු ක්‍රියාකාරී දේශපාලනයේ නිරතවෙමින් සිටිති. මහින්ද රාජපක්ෂ පස්වැනි විධායක ජනාධිපති වූ අතර අද වනවිට ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කරමින් විපක්ෂ නායක ධුරය හොබවන්නේය. එපමණක් නොව චමල්, නාමල් ද මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන රාජපක්ෂවරුය. එයින් නොනැවතුණු රාජපක්ෂවරු බණ්ඩාරනායකවරු මෙන් වෙනම පක්ෂයක් අලුතින් නිර්මාණය කළෝය. ඊට බැසිල් රාජපක්ෂ පසුපස සිටිමින් නායකත්වය ලබාදෙමින් රටේ දෙවැනි බලවේගය බවට පසුගිය මැතිවරණවලදී බලය තහවුරු කළේය.

කෙසේ වෙතත් දැන් කියන්නට යන්නේ මේ බණ්ඩාරනායක සහ රාජපක්ෂ කියන ශ්‍රී.ල.නි.ප ප්‍රබල කණු දෙකෙන් වර්තමාන ශ්‍රී.ල.නි.ප.ය.ට එල්ල වී ඇති අභියෝගය ගැනය.

2015 ජනවාරි 8 විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී.ල.නි.ප.යෙන් එළියට එන්නේ පක්ෂයේ ලේකම්වරයාව සිටියදීය. ඔහුත් සමඟ එවකට ශ්‍රී.ල.නි.ප.යේ සිටි දුමින්ද දිසනායක, දිවංගත එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන ඇතුළු ශ්‍රී.ල.නි.ප.යේ පිරිසක් එළියට ආහ. එදින දකුණු පැත්තෙන් වාඩිවී සිටියේ චන්ද්‍රිකා බණ්ඩාරනායකය. මෛත්‍රීපාල සිරිසේන මහතා රටම අමතමින් කිව්වේ තමන් රටේ පමණක් නොව තම පක්ෂය තුළද ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන බව කියාය. ඒ අනුව ශ්‍රී.ල.නි.ප.ය.ට ආදරේ කළ බිම්මට්ටමේ පිරිසක් මෛත්‍රීපාල මහතා සමඟ එක්වූහ.

මෛත්‍රීපාල මහතාගේ ජයග්‍රහණයෙන් දින කිහිපයකට පසුව මහින්ද රාජපක්ෂ මහතා පක්ෂය නැවතත් මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දුන්නේය. එසේ ලබාදී ශ්‍රීලංකා පාක්ෂිකයන් ආරක්ෂා කරන ලෙස ඉල්ලීමක් කළේය.

දින කිහිපයක් ගතවීමත් සමඟ මහින්ද හිතවාදි පිරිස් තනතුරුවලින් ඉවත් කරනු ලැබීය. ආසන සංවිධායකම්වලින් නෙරපුවේය. සමස්ත ශ්‍රී.ල.නි.ප.යේම ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන බව පවසමින් මෛත්‍රී ජනාධිපතිවරයාට හිතවත් පුද්ගලයෝ එකී තනතුරුවලට පත් කරනු ලැබූහ.

මේ අතර මහින්ද හිතවාදීන් යහපාලන එ.ජා.ප.ය හරහාත් මෛත්‍රීවාදී ශ්‍රී.ල.නි.ප.ය හරහාත් දිගින් දිගට බැට කෑ නිසා ඔවුන්ට අනන්‍ය වූ පක්ෂයක් බැසිල් රාජපක්ෂ විසින් නිර්මාණය කෙරිණි. ඒ ශ්‍රී ලංකා පොදුජන පක්ෂයයි. එම පක්ෂය බිහිවීමත් සමඟ ශ්‍රී.ල.නි.ප.යේ පහළ ස්ථරය ගලවාගෙන ගොස් මහින්ද සමඟ සිට ගත්තේය. විශාල ගණනින් පොදුජන පක්ෂයට එකතුවුණු නිසා පක්ෂය ගම් මට්ටමින් ශීඝ්‍රයෙන් ජනප්‍රිය විය. එසේම 2015 මහමැතිවරණය සඳහා ශ්‍රී.ල.නි.ප.ය නියෝජනය කරමින් ඉදිරිපත් වූ මන්ත්‍රීවරු එළිපිට පොහොට්ටුව වැඩ කළහ. මේ නිසා 2018 පළාත් පාලන මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොහොට්ටුව එ.ජා.ප.යත් ශ්‍රී.ල.නි.ප.යත් පරජය කරමින් රටේ බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ගත්තේය. එවර මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොහොට්ටුව ලක්ෂ 50 ඉක්මවන ඡන්ද ප්‍රමාණයක් ලබාගත් අතර මෛත්‍රීපාල මහතා ප්‍රමුඛ ශ්‍රී.ල.නි.ප.ය.ට ලැබුණේ ලක්ෂ 16ක ප්‍රමාණයක් පමණි. එය දැවැන්ත පරාජයක් විය. ඒ හරහා මහින්ද රාජපක්ෂ මහතාගේ වෙන්වීමෙන් ශ්‍රී.ල.නි.ප.යට සිදුවූ හානිය රටටම පෙනී ගියේය.

එම පසුබෑමත් සමඟ ශ්‍රී.ල.නි.ප.යේ ප්‍රතිසංවිධානයක් ඇතිකරන බව පවසා දුමින්ද දිසානායක මහලේකම් ධුරයෙන් ඉවත්කොට ඒ සඳහා තාවකාලිකව මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස මහතා පත් කිරීමට ජනාධිපති සිරිසේන මහතා කටයුතු කළේය. ඒ ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණු ඇතිවය. එහෙත් එය තවමත් සිදුවුයේ නැත.

කෙසේවෙතත් මේ අතරතුර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගිය ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයෙහි පිහිටුවනු ලැබීය. ඒ ඔහු කෙරෙහි ඇති විශ්වාසය නිසාය.

එහෙත් මේ තීන්දුවට ශ්‍රී.ල.නි.ප.යේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් කැමති වූයේ නැත. ඔවුන් ජනාධිපතිවරයා සමඟ මේ ගැන කතා කළේද නැත. හදිසියේ නැවත ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහතා වෙත යාමත් සමඟ එතෙක් නිහඬව සිටි ශ්‍රී.ල.නි.ප පිරිස ජනාධිපතිවරයා හමුවී ජාතික ආණ්ඩුවකට යමු යැයි යෝජනා කළහ. එහෙත් ජනාධිපතිවරයා ඊට එකඟ වූයේ නැත. කැමැති අයට ආණ්ඩුවට එකතු විය හැකි වුවද එසේ යන අයට ඇමැතිකම් නොදෙන බවත් කීවේය. මේ නිසා බොහෝ දෙනා අඩියක් ආපස්සට ගත්හ.

කෙසේවෙතත් ඉන් නොනැවතුණු විජිත් විජයමුණි, ෆවුසි, පියසේන ගමගේ, ඉන්දික බණ්ඩාරනායක, ලක්ෂමන් සෙනවිරත්න යන අය ප්‍රජාතන්ත්‍රවාදය උදෙසායැයි පවසමින් එ.ජා.ප.යේ පැත්තට ගොස් හිටගත්තෝය. ඔවුන්ගේ එකම ප්‍රකාශය වුණේ මෛත්‍රීපාල මහතා මහින්ද සමඟ ගමනක් යාමට තීරණය කිරීම තමන්ගේ තීරණයට හේතු වූ බවය.

මේ අතර අග්‍රාමාත්‍යධුරය අහිමි වූ පසු මහින්ද රාජපක්ෂ මහතා නැවත විපක්ෂ නායක ලෙස පත්වූයේ ජනාධිපතිවරයාගේ ආශිර්වාදය මැදය. ඒ හැකි ඉක්මනින් නැවත බලය ලබාගනිමුයැයි ඇති කරගත් ගනුදෙනුව මතය. කෙසේ වෙතත් මේ සම්බන්ධයට ශ්‍රී.ල.නි.ප.යේ බොහෝදෙනෙකුට කැමැත්තක් තිබුණේ නැත.

මෙහි පිපිරීම ආරම්භ වන්නේ පසුගිය මධ්‍යමකාරක සභා රැස්වීමේදීය. ජනාධිපතිවරයා එහිදී පවසා සිටියේ සියලු ආසන සංවිධයාකවරු ඉවත්කරන බවය. එසේම දිස්ත්‍රික් සංවිධායකවරුත් ඉවත් කරන බවද ඔහු කීය. මේ ප්‍රකාශය සමඟ ජනාධිපතිවරයා සමඟ සිටි බොහොමයක් ශ්‍රී.ල.නි.ප. ආසන සංවිධායකවරු ගැස්සී ගියහ.

මේ සියලු දේවල් සිදුවන විට තවත් පැත්තකින් චන්ද්‍රිකා මහත්මිය ශ්‍රී.ල.නි.ප.ය බේරාගැනීමේ සටනක නිරතවෙමින් සිටියාය. ඒ ඇයගේ නායකත්වයෙන් යුතුවය. ඇය දිගින් දිගටම කීවේ පක්ෂය නැවතත් බණ්ඩාරනායක ප්‍රතිපත්තියට ගන්නා බවය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ඉහත ප්‍රකාශයත් සමඟ ශ්‍රී.ල.නි.ප.යේ සංවිධායකවරුන් 25ක් පමණ සිය තනතුරුවලින් ඉවත්වෙන්න තීරණය කර ඇත. එපමණක් නොව ඔවුන් වෙනම ශ්‍රී.ල.නි.ප.ය බේරාගැනීමේ සටනක් ද ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ඒ බව සනාථ කරමින් ශ්‍රීලනිප ප්‍රබල කණුවක් වූ කඩුවෙල බුද්ධදාස ඇතුළු පිරිසක් මාධ්‍ය සාකච්ඡාවක් තබා හෙළිදරව්වක් සිදුකළහ. එනම් ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු 18 ක් ආණ්ඩුකාරවරයෙක් සහ සංවිධායකවරු විසිපහක් එළියට බැසීමට නියමිතව ඇති බවය. එය සුබවාදී තත්ත්වයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. එනම් ශ්‍රීලනිපය දැන් ඇත්තේ පිපිරීමට ආසන්න මොහොතකය.

මේ ආකාරයෙන් පාර්ෂව තුනකින් නැවතත් ශ්‍රී.ල.නි.ප.ය සෝදාපාලුවට ලක්වෙන තැනකට පත්ව ඇත. එක් පැත්තකින් රාජපක්ෂ හිතවාදී පිරිසය. තවත් පැත්‍තකින් ආසන සංවිධායකවරුය. අනෙක් පැත්තෙන් ආණ්ඩුවට එකතුවන පිරිසය. ඒ දෙපාර්ශවයටම නායකත්වය දෙන්නේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය වීමද විශේෂත්වයකි.

මේ ගැටලු ලිහාගැනීමට දැනට යෝජනා කිහිපයක් මෙකී පාර්ශ්ව විසින් යෝජනා කර ඇත. එක ශ්‍රී.ල.නි.ප.ය නැවත සන්ධානයක් සකසා මැතිවරණයකට තරග කිරීමය. දෙක ආණ්ඩුව සමඟ එක්වීමය. තුන මහින්ද රාජාක්ෂ මහතා සමඟ සන්ධාන ගතවීමය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා සිටින්නේ මහින්ද මහතා සමඟ ගමනක් යාමටය. එසේ වුවහොත් සැලකිය යුතු සංඛ්‍යාවක් ශ්‍රී.ල.නි.ප.යෙන් ඉවත්ව විවිධ පැතිවලට යනු ඇත. ඇතැම් විට එයට චන්ද්‍රිකා මහත්මිය නායකත්වය දෙනු ඇත. ඒ අතර එකක් පැහැදිලිය. මහින්ද පාර්ශ්වය නැවත ශ්‍රී.ල.නි.ප.යෙන් මැතිවරණ තරග කරන්නේ නැත. ඔවුන් ඒ බව ප්‍රකාශ කර අවසන්ය.

එසේ නම් ශ්‍රී.ල.නි.ප.යේ අනාගතය ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයෙනුත් ජනාධිපතිවරයාගෙනුත් අවසන් වේද...? ප්‍රශ්නය එතැනය. පිළිතුර පාක්ෂිකයන් සතුය.

►ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00