2019 ජනවාරි 05 වන සෙනසුරාදා

බොරුවක් නිසා බැටකන කල්පිටියේ රතුලූනු වගාව

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 16

රට පුරා ආර්ථීක මධ්‍යස්ථාන වෙත එළවළු සපයන කල්පිටිය ගොවියා පිළිබඳ කතාබහට ලක්වීම ගැන ගොවීන් තුළ ඇත්තේ හද පිරි සතුටකි. අතීතයේදී කල්පිටිය පිළිබඳ මාතෘකා කිහිපයක් ඔස්සේ කතා කළද එහිදී වැඩි අවධානය යොමු වූයේ ධීවරයා සහ බූරුවන් පිළිබඳව යැයි කිව හැකිය. වර්තමානයේදී සියල්ලට ඉහළින් කල්පිටිය ගොවියා කරළියට පැමිණ ඇත්තේ කල්පිටිය අර්ධද්වීපය තුළ රතුලූනු වගාවට ශීඝ්‍රයෙන් පැතිරී යන ඩිස්කෝ නැමති දිලීරය හේතුවෙන් වගාවන් සම්පූර්ණයෙන්ම වැනසී යන බව මාධ්‍යවල වාර්තා වීමත් සමඟය.

කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තුළ විශාල වශයෙන් ලූනු වගාව සිදුකරන අතර නොරච්චෝල, පල්ලිවාසල්තුරේ, පාලකුඩාව, නාරක්කල්ලිය, දළුව ප්‍රදේශයන්හි ලූනු වගාකරුවෝ බහුලව සිටිති. සෑම වර්ෂයක් තුළම වැසි ආරම්භ වීමත් සමඟ කල්පිටිය බලප්‍රදේශයේ ගොවීන්ට තම වගාබිම් අහිමි වී යාම සිදුවන්නේ ජලය බැස යාමට නිසි ඇළවේලි නොමැතිකමින් වැසි ජලය දින ගණන් ඒකරාශි වී ගොවිබිම් ජලයෙන් යටවීම හේතුවෙනි.

පසුගිය වැසි තත්ත්වයත් සමඟ ලූනු, බණ්ඩක්කා, මෑ, බීට්, ගෝවා, රාබු වැනි බෝග වගාවන් රැසක් විනාශයට පත්විය. මෙම තත්ත්වය ගොවියාට අලුත් අත්දැකීමක් නොවන්නට හේතුවක් වී ඇත්තේ වැසි සමඟ නිරන්තරයෙන් ගොවීන් වසර ගණනාවක් තිස්සේ විසඳුම් නොමැතිව මෙම තත්ත්වයට මුහුණ දී සිටීම හේතුවෙනි.

කල්පිටිය ගොවීහු තම දරුපවුල, ප්‍රදේශයේ ජනතාව පමණක් නොව විරුකියාවෙන් පෙළෙන බොහෝ ප්‍රදේශවල කාන්තාවන්ට අත්වැලක් වෙමින් තම කර්මාන්තය පවත්වා ගෙන යමින් සිටිති.

වසරේ සෑම දිනකම කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොඩ ගොවියා මුහුණදෙන ගැටලු පිළිබඳ සොයා බැලීමට කල්පිටියට යාමට පෙර කල්පිටිය දළුව ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලදී ගන්නා ජූඩ් ශාන්ත මහතා හා දුරකතනයෙන් විමසීමක් කළ අතර ඔහු පැවසුවේ විශේෂ ගැටලුවක් නොමැති බවත් ඩිස්කෝ යැයි හඳුන්වන  රෝගයක් හේතුවෙන් ඇතැම් ලූනු වගාකරුවන්ගේ වගාබිම්වලට සුළු හානි සිදුවී ඇති බවත් එම රෝගය විශේෂිත එකක් නොව පින්න හේතුවෙන් සෑම වසරකම ඇතිවන ගැටලුවක් බවයි. සම්පූර්ණයෙන් විනාශ වූ කිසිම ලූනු වගාවක් නොමැති බවත් මේ පිළිබඳ වගාකරුවන් හමුවී කතා කිරීමෙන් වැඩි යමක් දැනගැනීමට හැකි බවත් ඔහු පැවසීය.

ඒ අනුව දළුවට ගමන් ඇරඹූ අප ලූනු වගාවේ නිරතවන කපිල සංජීව මහතා හමුවීමට ඔහුගේ ලූනු කොටුවට ගියද ඔහු නොසිටි හෙයින් දුරකතනයෙන් ඔහු හා සම්බන්ධ වීමට සිදුවිය. මෙම ඩිස්කෝ නැමති රෝගය වැසි හේතුවෙන් ඇතිවන එකක් බවත් විශේෂිත රෝගයක් නොවන බවත් පැවසීමත් සමඟ දුරකතනය විසන්ධි විය. 

එතැනින් පිටවූ අපට හමුවූ ලූනු ගොවියකු ඔහුගේ වගා බිමට අපව කැඳවාගෙන ගොස් සියල්ල පැහැදිලි කළේය. ඔහු නමින් සරත් ගුණසේකරයි.

මේ ප්‍රදේශයේ වල්ආර ලූනු සහ මල්ලූනු යන දෙකම වගා කරනවා. දින තිහ තිස්පහකින් අස්වැන්න ගන්නවා. මේ දිනවල පවතින පින්නත් එක්ක ලූනු ගස්වල කොළ පිනිවලට බරවෙලා කහපාට වෙලා පාත් වෙනවා. මේක විශේෂ රෝගයක් නෙවෙයි. මේ කාලෙට ලූනු පාත්තිවල අතරින් පතර ගස්වල එහෙම දකින්න පුළුවන්. මේකට විටමින් බෙහෙතක් තිබෙනවා. ඒක ඉස්සහම ලූනු පඳුරු යහපත් තත්ත්වයට පත්වෙනවා. එහෙමත් එකක් කහවෙලා මැරිලා යනවා. විශේෂයෙන්ම පිනි සෝදා දමනවා නම් මේ තත්ත්වය ඇතිවන්නේ නැහැ. කවුරු මොනවා කීවත් එහෙම එකක් නැහැ. එහෙම තිබෙනවා නම් අපේ කොටුවල තිබෙන්න ඕන. අපිට අසනීපයක් හැදුණාම බේත් ගන්නවා වාගේ ලූනු ගසට බෙහෙත් ගහලා සාත්තු කරන්න ඕන.

මේ දවස්වල මධ්‍යවල පළවෙනවා දිලීරයක් නිසා ලූනු වගාවට දැඩි හානි කියලා?

ඔය කියන තරම් තිබෙනවා නම් අපි කොහොමද මේවා කරගෙන යන්නේ. වැඩ කරන කාන්තාවකට අපි දවසට රුපියල් 1500ක් විතර ගෙවනවා. කාන්තාවො 15 - 20 අපි ගාව වැඩ කරනවා. අපි එයාලටත් පඩි දීලා මේ වගාව කරගෙන යනවා. ඔය කියන තරමට කොටු විනාශ වෙනවා නම් මේ ගොවියො වගාව අතහැරලා දාන්න එපායැ.

ගොවියකු වූ ඇලෙක්ස් සාන්ද්‍රන් මහතා 

සමහරු තමන්ගේ ප්‍රතිරෑපය හදාගන්න මාධ්‍ය ඉදිරියේ බොරු කියනවා. හැබැයි එයාලා දන්නෙ නැහැ තමන් කියන බොරැ නිසා ඒකෙ ප්‍රතිඵල නැවත තමන් ඇතුළු සමස්ත ගොවියාටම භුක්ති විඳින්න වෙනවා කියලා. මේ හැම එකටම රජයට බැණ බැණ ඉන්නවාට වඩා අපි ප්‍රතිකර්ම හොයාගන්න එක හොඳයි කියලයි මම හිතන්නෙ. අපිට නම් වගාව හොඳයි. අපට තව සේවිකාවන් අවශ්‍ය වෙලා තිබෙනවා. 

 රෝවන් පෙරේරා
 

 

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30