2019 ජනවාරි 05 වන සෙනසුරාදා

රස්සා අස්සේ වයසක උදවිය වැඩියි!

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 8

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව 2018 වසරේ ශ්‍රී ලංකාවේ රැකියාවල නියුතු ශ්‍රමිකයන්ගේ ප්‍රමාණයෙන් සියයට 59.8ක් වයස අවුරුදු 40 ඉක්මවූ අය බව අනාවරණය වෙයි. එසේම රැකියාවල නියුතු අයගෙන් සියයට 1.9ක් වයස අවුරුදු 15-19 අතර අයවලුන් වීමද සුවිශේෂ වේ. මොවුන් ගෙන් 2.2ක ප්‍රතිශතයක් පිරිමි වන අතර ස්ත්‍රීන්ගේ ප්‍රතිශතය 1.1කි.

දෙපාර්තමේන්තු දත්ත අනුව ගැටවර වයස වන අවුරුදු 20-24 අතර වූවන් රැකියා නියුක්තිකයන් අතරින් සියයට 6.8ක් වන අතර අවුරුදු 25-29 අතර තරුණ පිරිසගේ සංඛ්‍යාව සියයට 8.6ක් තරම් සුළු ප්‍රමාණයක් බවද අනාවරණය කෙරේ. සියයට 22.9ක ප්‍රමාණයක් අවුරුදු 30-39 අතර වයස් කාණ්ඩවල අයවේ. මෙම සංඛ්‍යා දත්ත අනුව පෙනීයන්නේ කාර්යක්ෂම වැඩකළ හැකි ජවසම්පන්න වයස් කාණ්ඩය වන අවුරුදු 20 සිට 29 අතර වූ පුද්ගලයන්ගේ ප්‍රමාණය ප්‍රතිශතමය වශයෙන් 15.4ත් තරම් අවම අගයක් ගන්නා බවය.

මෙලෙස වැඩ කළහැකි අයගෙන් වැඩි ප්‍රමාණයක් වැඩ නොකර සිටීම රටේ ආර්ථික සංවර්ධනයට කොතරම් දුරට අහිතකර වන්නේ දැයි සොයාබැලීම වැදගත්ය. එසේම ඔවුන් ශ්‍රමය පරිත්‍යාග කිරීමෙන් වැළකී උදාසීනව සිටීමට බලපා ඇති කරුණු මොනවාද යන්න පිළිබඳව ද විමර්ශනයක් කිරීම වැදගත් වේ. එසේම මැදිවයසට පත්වූ හා වියපත් අය වැඩිවශයෙන් රැකියාවල යෙදී සිටින්නට බලපාන හේතු කවරේද යන්න සහ එහි යහපත හා අයහපත් පිළිබඳවද සොයාබැලීම රටේ අනාගතය ගැන සලකා බැලීමේදී කළයුතුයි. එසේම වයස අවුරුදු 15 ඉක්මවා ඇති පාසල් යන වයසේ දරුවන් යම් ප්‍රමාණයකට හෝ රැකියාවල යෙදීම රටේ සමස්ත ආර්ථිකයට හා සමාජ ගැටලු ඇතිකිරීමේ ප්‍රවණතාවකින් යුක්තද යන්න සොයාබැලීම සමාජ ගවේශකයන්ගේ යුතුකම සහ වගකීම වෙයි. පාසල් යන වයස්වල ළමයින් රැකියාවලට යන්නේ ඔවුන්ගේ පවුල්වල ආර්ථික ප්‍රශ්න නිසාද නොඑසේ නම් අධ්‍යාපනයක් ලැබීමට උනන්දුවක් නොදැක්වීම නිසාද කියා විමසිය යුතුවෙයි.

එසේම ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ තවත් සමීක්ෂණයක් අනුව අනාවරණය වී ඇත්තේ රටේ සමස්ත ශ්‍රම බලකාය ලක්ෂ 83ක් බවය. එහෙත් ඒ අතරින් විධිමත් ලෙස රැකියාවල නියුක්ත අයගේ ප්‍රමාණය ලක්ෂ 35ක් වැනි අඩකටත් අඩු ප්‍රමාණයක් වේ. ඒ අය අතරින් වුවද විශ්‍රාම වැටුප, සේවක අර්ථසාධක අරමුදල ඇතුළු සමාජ ආරක්ෂණවලට දායක වී ඇත්තේ ලක්ෂ 26ක් පමණක් බවද අනාවරණය කරගෙන ඇත. එසේම රැකියා කරන සංඛ්‍යාවෙන් කතුන්ගේ ප්‍රතිශතය සියයට 35.9ක් වන අතර පිරිමින් සියයට 75.1ක්වේ. මේ කාණ්ඩ දෙක අතර විශාල පරතරයක් තිබීම ද මෙහිදී කැපීපෙනේ.

රටේ සේවා නියුක්තිකයන්ගේ මෙම විෂමතා විද්‍යාමානවීම පිළිබඳව ආර්ථික විශ්ලේෂකයකු වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා මෙලෙස අදහස් පළකරයි.

අපේ රටේ සේවා නියුක්තියන් වැඩි කොටස වැඩි වයස්වල වීමට හේතු ගණනාවක් බලපානවා. රාජ්‍ය අංශයේ (ත්‍රිවිධ හමුදාව) හැර ලක්ෂ 11ක පමණ පිරිසක් නිරත වී සිටිනවා. පෞද්ගලික අංශයේ ලක්ෂ 25 පමණ විධිමත් රැකියාවල ඉන්නවා. සමස්තයක් ලෙස පැවසුවොත් රාජ්‍ය අංශයේ ලක්ෂ 8ක් පමණ පිරිස වයස අවුරුදු 40ට වැඩි අයයි. රාජ්‍ය අංශයේ රැකියා කරන පිරිස ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. උපාධිධාරි ආදි වැඩි සුදුසුකම් ඇති අය එක් පිරිසක්, අනිත් කණ්ඩායම අ.පො.ස. සාමාන්‍ය පෙළ හෝ එයට පහළ සුදුසුකම් ඇති අය. වැඩි කොටස නුපුහුණු අයයි. සාමාන්‍යයෙන් රාජ්‍ය සේවයේ උපාධිධාරීන් ඉන්නේ සියයට 25ක් පමණයි. ඒ අයට ද ගෙවන්නේ නිශ්චිත වැටුපක්. අපේ ශ්‍රම වෙළෙඳ පොළේ තරගකාරීත්වයක් නැහැ. වැටුප තීරණ කරන්නේ සේවකයායි. සෙසු රටවල් හා සසඳන විට දෙන නිශ්චිත වැටුපට වැඩ කරන අය තමා අපේ වැඩි. රජයේ සහ ආයතනවල නිර්ණායකවලට සේවකයන් යටත්. ඔවුන්ට වැඩි වැටුප් ඉල්ලන්න බැහැ.

රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ වැටුප්තලවලට නිශ්චිත ප්‍රතිපත්තියක් නැහැ. උපාධිධාරින් වුවත් විවිධ වැටුප් තලවලටයි බඳවා ගන්නේ. වැඩිදෙනා නැඹුරුවන්නේ රාජ්‍ය සේවයටයි. ශ්‍රම වෙළෙඳපොළේ පෞද්ගලික අංශයට යාම සීමාවී ඇත. පෞද්ගලික අංශයට යන්න පුද්ගලයන්ට සානු බලයක් නැහැ. වැඩිදෙනා නිදහස් අධ්‍යාපනය ලබා විභාග සමත් කර රජයේ රැකියාවක් ලැබිය යුතුය යන මානසිකත්වයේ තමා ඉන්නේ. රජය දෙන අඩු වැටුප හා සේවක කොන්දේසි පැකිලීමක් නැතුව බාරගන්නට ඔවුන් යොමුවන්නේ ඒ නිසයි.

මෙයින් ඇතිවන දුර්වලතාව තමා ඌන සේවා නියුක්තියක් ඇතිවීම. ලැබෙන රැකියාව සුදුසුකම්වලට හා හැකියාවට ගැලපෙන්නේ නැහැ. මේ අය වැඩ කරන්නේ තෘප්තියකින් නොවෙයි. එසේම ඒ අයගෙන් ජාතික ආර්ථිකයට අවශ්‍ය නිසි ඵලදායිතාව ලබාගන්න බැහැ. හොඳම උදාහරණය වන්නේ ආර්ථික විද්‍යා විශේෂ උපාධිධාරීන් පවා රජයේ පාසල්වල 1, 2 ආදී ප්‍රාථමික පන්තිවලට උගන්වන්නට යොදාගෙන තිබීමයි. ඒ අය රැකියාව අවශ්‍ය නිසා එය කරන නමුත් එයට ගැලපෙන්නේ නැහැ. තෘප්තිමත් නැහැ.

අනිත් ගැටලුව තමා විශ්‍රාම යන අයට සමගාමීව බඳවා ගැනීම් නොකිරීම. කාලෙන් කාලෙට තමා බඳවා ගන්නේ. රැකියාවලට සුදුසු අය සෑහෙන කාලයක් ගෙවල්වල තියලා තමයි රස්සාව දෙන්නේ. ඔවුන්ගේ වයසෙන් අවුරුදු 5-10 ආදී වශයෙන් නිකරුණේ අපතේ යනවා. මේ නිසා රැකියාවට යනවිට අවුරුදු 40 හෝ එයට ආසන්න වෙලා තියෙනවා. වැඩි වයස් සංඛ්‍යාව ඉහළ යන්නේ ඒ නිසයි. වයස 20දී බඳවා ගන්නවා නම් වසර 40ක් වැඩ කරලා අවුරැදු 60දී විශ්‍රාම යා හැකියි. එහෙත් එලෙස හැකිවන්නේ ඉතාම සුළු පිරිසකටයි.

පෞද්ගලික අංශයේදී ද ඉල්ලන අධ්‍යාපන සහ වෘත්තිය සුදුසුකම් අනුව අඩු වයස්වල අයට අවස්ථාව ලැබෙන්නේ නැහැ. බඳවා ගන්නා අයට ලැබෙන වරප්‍රසාද වැඩිවුණත් පළපුරුදු අය ගන්නාවිට ඒ අය වයසින් මුහුකුරා ගිහිල්ලයි ඉන්නේ. ඒනිසා පෞද්ගලික අංශයේ නුපුහුණු අය හැරුණුවිට අනිත් අය වැඩි වයස් කාණ්ඩයේ වෙනවා.

තවත් පැත්තකින් සලකා බැලුවහොත් සේවයට වැඩි වයස් අය බඳවා ගැනීම වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. වයස වැඩි අයට හොඳ පළපුරුද්දක් හැකියාවක් තිබෙනවා. ඒ අය කාර්යක්ෂමතාව ඉහළයි. තරුණ සේවකයන්ට පුහුණුවක් ලබාදීමටත් ඒ අයට පුළුවන්. එහෙත් එය සිදුවන්නේ අඩුවෙන්. එයට හේතුව ඒ අය ඌන සේවා නියුක්තිය හේතුවෙන් තෘප්තිමත් නොවීමත්, පුහුණුවට ඒ අය යොදාගන්න වැඩපිළිවෙළක් නොතිබීමයි. මේ තත්ත්වය වහා වෙනස් කළ යුතුයි.

අපේ රටේ සමස්ත ශ්‍රම බලකාය සලකා බැලූ විට සියලුම ක්ෂේත්‍රවල ලක්ෂ 83ක් පමණ නියුක්තව සිටිනවා. ලක්ෂ 35ක් විධිමත් රැකියාවල නියුක්තව සිටින අතර ලක්ෂ 45 පමණ අවිධිමත් රැකියාවලයි සිටින්නේ. ඉතිරි අය නිතර වෙනස් වන රැකියාවලයි ඉන්නේ. අද බලවත්වෙලා තියෙන්නේ අවිධිමත් අංශයයි. රජය ජාතික ආර්ථික රටාව තුළ මේ අවිධිමත් කණ්ඩායම විධිමත් කිරීමට අපොහොසත් වෙලා. එයට හේතුව වැටුප්, දීමනා සහ වරප්‍රසාද නිශ්චිතව සකස් කර නොමැතිකමයි.

මෙම තත්ත්වය රටේ ආර්ථික සංවර්ධනයට ගැටලුවක් වී හමාරයි. රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකේම ඵලදායිතාව පහළ වැටීමට හේතු වී තියෙනවා. පුද්ගලයන් සුදුසුකම් නොසලකා රැකියා ලබාගෙන වැටුපට පමණක් සේවය කිරීමට පුරුදු වෙලා තිබෙන බව පෙනෙනවා. ශ්‍රම වෙළෙඳ පොළ තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධව ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කළ යුතුයි. වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගිය යුතුයි. රටේ ආර්ථික ප්‍රතිපත්ති ඒ අනුව සකස්වීම අවශ්‍ය වෙයි. එසේ නොවූවිට ජනතාවගේ හැකියාව හා ශ්‍රමය ඵලදායි නොවී අපතේ යාමත් සිදුවෙනවා. වසර ගණනක් නාස්ති වී සිට තමා කෙනෙක් රැකියාවට එන්නේ. මේ නිසා රටේ ශ්‍රම වෙළෙඳ පොළ නිසි අයුරු ක්‍රියාත්මක නොවෙන බව පෙනෙනවා.

රටේ සේවා වියුක්තිය සියයට 4.7ක්. එහෙත් සේවා වියුක්තිය අඩුය කියා අපට සතුටු වෙන්න බැහැ. එයට හේතුව මේ පිරිස අතර වැඩිදෙනා උගත්, වෘත්තිය සුදුසුකම් ඇති අය වීමයි. ඉගෙන නොගත් අය අතර සේවා වියුක්තියක් නැහැ. ඒ අයට කුමන හෝ රැකියාවක නිරත විය හැකියි. ඒ අයගේ ශ්‍රමය රටේ ආර්ථිකයට බලපානවා අඩුයි. නිදහස් අධ්‍යාපනයෙන් උගත් අය රැකියා විරහිත හෝ ඌන රැකියා නියුක්තිකයන් වෙනවා. ඒ අය වෙනුවෙන් අධ්‍යාපනය ලබාදීමට රජය වැයකළ මුදල අපතේ යාමක්. ඔවුන්ගෙන් ආර්ථික වර්ධනයට පිටිවහලක් නැහැ. අනුන්ගෙන් යැපෙන්නන් වෙලා.

1977 විවෘත ආර්ථිකයෙන් පසු රටේ ශ්‍රම වෙළෙඳ පොළ වර්ධනය වීමට අවශ්‍ය මූලික වැඩපිළිවෙළක් හෝ තවම සකස්කර නැහැ. ශ්‍රම වෙළෙඳ පොළ මේ හේතුවෙන් විකෘති වෙලයි තියෙන්නේ. මේ නිසා රැකියා වෙළෙඳ පොළ විධිමත් කිරීම සඳහා ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් නොපමාව සකස් කළයුතු බව පෙන්වා දෙනවා.

►යසවර්ධන රුද්රිගු

 

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30