2019 ජනවාරි 05 වන සෙනසුරාදා

බුදුදහම බේරාගන්න ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම වැදගත්

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 23

- ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ගංතුනේ අස්සජි මහ නාහිමියෝ

වසර 2326කට අධික කාලයක් භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ බෞද්ධ ජනතාව විසින් ආරක්ෂා කොටගෙන පැමිණි සම්බුද්ධ දේශනාවේ මූලිකාංග ඇතුළත් බුද්ධ ධර්මය හා බුද්ධ චරිතය විකෘති කරමින් අදහස් දක්වන හා වැරදි අර්ථකථන සමාජගත කරන පිරිස් පිළිබඳව වරින්වර වාර්තා වේ. මේ තුළින් බුදුන් වහන්සේ දේශනා කළ නිර්මල ධර්මය ඇතුළත් අදහස සම්පූර්ණයෙන් විකෘති වී වෙනත් අදහසක් සමාජගත වේ. දැනටමත් එකී අවාසනාවන්ත තත්ත්වයක් උද්ගත වෙමින් පවතී.

මේ හේතු පදනම් කරගනිමින් ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ජාතික උත්සවය භික්ෂූන් වහන්සේලා දහස් ගණනක සහභාගීත්වයෙන් හා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාතලේ අළුවිහාරයේදී ඊයේ (05) දින සිදුකෙරුණි. ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ගංතුන අස්සජී මහ නාහිමියෝ මේ පිළිබඳව අපට මෙසේ අදහස් දැක්වූහ.

ශාසනය කොටස් තුනකට බෙදා වෙන් කරනවා. පරියාප්ති, ප්‍රතිපත්ති හා ප්‍රතිවේද ඒ තුනයි. පරියාප්ති කියන්නේ ත්‍රිපිටක බුද්ධ වචනය බුදුන් වදාළ ධර්ම විනය. ප්‍රතිපත්ති කියන්නේ එම ඉගැන්වීම ක්‍රියාවට නැගීම. ප්‍රතිවේද කියන්නේ එමගින් ලබන ප්‍රතිඵලයයි. මේ සියල්ලටම මුල්වෙන්නේ බුද්ධ වචනයයි. මේ බුද්ධ වචන වෙනස් කළොත් එන අදහස වෙනස් වෙනවා. දැන් වෙලා තිබෙන්නෙත් එවැනි දෙයක්.

බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සෙ ශාස්තෘන් වහන්සේ විදිහට සලකන්න කීවෙත් ත්‍රිපිටක ධර්මයයි. ධර්ම විනය දෙක ශාස්තෘවරයා බවට පත්වුණාය කියන එක පිළිබඳ ආනන්ද හාමුදුරුවෝ වස්සකාර කියන බමුණාට දේශනා කළ බව සඳහන් වෙනවා. මෙහිදී පැහැදිලි වෙනවා බුද්ධ වචනය ඒ පරිද්දෙන්ම පැවතිය යුතුයි, නැතිනම් අදහස වෙනස් වෙනවා කියන කාරණය පිළිබඳව.

මිහිඳු මහරහතන් වහන්සේ විසින් මෙරටට දායාද කළ ධර්මය ස්වාමීන් වහන්සේලා විසින් කටපාඩමින් රුකගෙන එනු ලැබීය. එවකට රජවරැන්ගේ අනුග්‍රහය යටතේ දීඝ භානක, මජ්ජිම භානක, සංයුක්ත භානක, අංගුත්තර භානක, ධම්මපද භානක, ත්‍රිපිටක භානක ආදී නමින් වැඩසිටි ස්වාමීන් වහන්සේලා කටපාඩමින් තම කොටස සිසු පරපුරට උගන්වා පාරම්පරිකව රුකගෙන ආහ. මෙම ධර්මය වළගම්බා රජු යුගයේ ග්‍රන්ථාරෑඪ කර තිබුණි. ඒ එවකට රටේ පැවති දුර්භික්ෂයක් හේතුවෙනි. එවකට අළුවිහාරයේ ග්‍රන්ථාරූඪ කළ ත්‍රිපිටකය දැනට ලෝකයේ පවතින පිරිසුදු ථෙරවාදය සඳහන් පොත් වශයෙන් ප්‍රකටය.

දැන් අලුතින් බිහිවුණු පිරිසක් කියනවා, ලංකාවේ ත්‍රිපිටකය හා පොත්වල තිබෙන ධර්මය නියම බුද්ධ වචනය නෙමේ කියලා. ඒවා කියලා දෙන ස්වාමීන් වහන්සේලා මාර්ගඵල ලබලා නැතැයි කියලා දැනට ඉන්න ස්වාමීන් වහන්සේලාට දොස් නගනවා. මේ කියන අයලු දැන් නියම අරහතුන් වෙලා ධර්මය සොයාගෙන තියෙන්නේ. පොත්පත්වල තියෙන දේ වැරදියිලු. ඒ විදිහට මේ පිරිස මෙහෙම කියනවා, ත්‍රිලක්ෂණය පිළිබඳව.

අනිච්ච, දුක්ඛ, අනාත්ම පිළිබඳව මුලින්ම වාර්තා වන්නේ අනන්තලක්ඛණ සූත්‍රයේ. රජයේ රැකියා කරලා තලතුනා වයසෙදී මහණ වූ ඇතැමුන් මේ අදහස් විකෘති කරනවා. සමාජගත කරනවා. අනිච්ච කියන්නේ ස්ථිර නැති අදහස. මේකට ඔවුන් කියන්නේ තමන්ගේ කැමැත්ත හැටියට නොපවතිනවා කියන අදහස. මේ විදිහට පාලි වචනවලට එක එක අදහස් දෙන්න බෑ. පාලි නොදන්න නිසා සිංහල ක්‍රමයට හිතලා අදහස් දෙන්න හදනවා. අනත්ථ  වචනයත් ඒ වගේ. මෙතනට කියන්නෙ හිතවත් නැති අනර්ථ විදිහට. එහෙම ප්‍රකාශ කිරීම වැරදියි. වචනයකට නියමිත තේරුමක් තියෙනවා. කාටවත් බෑ ඒවා වෙනස් කරන්න. මේ තරම් කාලයක් කටපාඩමින් ගෙනල්ලා, ග්‍රන්ථාරෑඪ කරලා ලියලා උගන්වලා තියෙන එක අලුතෙන් හොයාගත්තා වගේ තේරැම් දෙන්න හදනවා. යැයි ගංතුන අස්සජි හිමියෝ පවසති.

සංචාර යනු සකස්වීමය. මේ සඳහා ඔවුහු සංදේශනා නමින් භාවිත කරති. සංකල්පනා යනු කාලය පීරමින් සොයාගැනීම යනුවෙන් පහදයි. බුද්ධ යනු අවබෝධයයි. ඔවුහු බුද්ධ සඳහා භවය උද්ධ කළ නැතිනම් උදුරා දැමූ තැනැත්තා ලෙස හඳුන්වති. භවය යන්න භව-වය ලෙස පෙන්වා භව වූ සියල් ක්ෂය වී යාම ලෙස දක්වයි. භව යනු හටගැනීම නියම අර්ථයයි.

සත්සතිය පිළිබඳ කියන ගාථාවලදී පටමං බෝධි පල්ලංකං.. නැමැති ගාථාවක් තිබේ. එහි බෝධි පල්ලංක යනු බුද්ධිය ඵලකයක් කරගැනීම බවට අර්ථ දක්වයි. එහෙත් මෙහි නියම අදහස බෝධීන් වහන්සේ ළඟ පර්යංකය බැඳගෙන සිටි බවය. මාර්ගඵල ගැන කීමේදී සකදාගාමී ලෙස කියනවා. කාම ලෝකයට එක් වරක් පමණක් පැමිණීම මින් අදහස් වේ. මොවුන් මෙය අර්ථ දක්වන්නේ හිතවත්කම නිසා නැවත පැමිණීම ලෙසය. සකි නැමැති සිංහල වචනය ආශ්‍රයෙන් මෙම මතය ඔවුහු ප්‍රකාශ කරති. ත්‍රිපිටකයේ සඳහන් කබලිංකාර ආහාර යන්නට මේ පිරිස දක්වන්නේ කය බලියක් බවට පත්කරන ලෙසය. අරිය යන්නෙහි අර්ථය ශ්‍රේෂ්ඨ යන්නය. එහෙත් මොවුන් ප්‍රකාශ කරන්නේ අරිය යන්නෙන් ගමන නැවැත්වූ යන්න කියවෙන බවය. නිරෝධ යන්නෙහි තේරැම රවුම් ගැසීම වැළකීම බවද කියයි.

ඉක්මනින් රහත්වෙන්න දඟලන උගත් පිරිසක් පවා මේ අයත් සමඟ එකතුවෙලා ඉන්නවා. මේ පිළිබඳ දේශනා අන්තර්ජාලයේ දකින්න තිබෙනවා. බෞද්ධයන් පමණක් නොවේ, අන්‍යාගමිකයන් පවා දන්නවා බුදුරජාණන් වහන්සේගේ ජන්මභූමිය දඹදිව නැතිනම් ඉන්දියාව කියලා. මේවා පුරාවිද්‍යාත්මකව සනාථ වෙලා තිබෙනවා. මේ පිරිස කියනවා සිදුහත් කුමාරයා උපන්නේ ලංකාවේ කියලා. හැමදේම අපේ කරගන්න කැමති අය මේ විරූපී අදහස්වලට කැමති වෙනවා. මේ විදියට සිදුහත් කුමාරයා උපන් ස්ථානය, බුදු වූ ස්ථානය වශයෙන් ලංකාවේ තැන් නම් කරලා පොත්පත් පවා මුද්‍රණය කරන්න කටයුතු කරලා තිබෙනවා. මේ සඳහා කටයුතු කරන පිරිස අතර නක්කාවත්තේ අසරණ සරණ බුද්ධබරායණ භික්ෂුව හා වහරක අභයරතනාලංකාර භික්ෂුව ඉන්නවා. වහරක භික්ෂුව දැන් අපවත් වෙලා. බුදුන් ලංකාවේ ඉපදුණා කියන්නේ මීවනපලානේ ධම්මාලංකාර භික්ෂුව. එයා බොරු කියන නිසා නිකායෙන් පවා ඉවත් කළා. නමුත් විවිධ මත කියමින් මීරිගම පැත්තේ වැඩ ඉන්නවා. වලස්මුල්ලේ අභය භික්ෂුව මේ ගැන කියමින් පිටරට දේශනවලට යනවා. එයා ඉස්සර ඉංජිනේරු ශිෂ්‍යයෙක්. මේ කියන සමහර භික්ෂූන් සමහරවිට ගිහි ජීවිතයේ රුකියා කරලා තලතුනා වයසට ගිහින් මහණ වූ පිරිසක්. මේ අය සමඟ ඇතැම් උගත් ගිහි පිරිසකුත් එකතුවෙලා ඉන්නවා.

විශේෂයෙන් සඳහන් කළ යුතුයි, මෙවැනි පිරිස් රටේ සම්ප්‍රදායික පන්සල් නොවන වෙනත් ස්ථාන ගොඩනගා එහි කල්ගෙවන පිරිසක් බව. මේ හේතු කාරණා අනුව මේ සිදුවීම් අපේ ත්‍රිපිටක ධර්මයට හානි පමුණුවන වැඩපිළිවෙළක් කරනවද කියලා හිතන්න කරුණු තිබෙනවා.

මේ නිසා ත්‍රිපිටකයේ සඳහන් නිවැරදි වචන රැකගැනීමේ අදහසින් ත්‍රිපිටකය ජාතික උරැමයක් බවට පත්කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව ගංතුනේ අස්සජී මහ නාහිමියෝ පවසති.

ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කරන ලෙස ඉල්ලා තිබුණේ තුන්නිකායේ මහා සංඝරත්නය විසිනි. මේ පුණ්‍යකර්මය සඳහා බුද්ධශාසන අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කටයුතු කරමින් සිටීම සතුටට කරුණකි.

 සමන්ත විල්තෙර

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30