2019 ජනවාරි 05 වන සෙනසුරාදා

බුහාරි හෝටලයේ ගැටුම...

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 224

බුරියානි යන නාමය ඇසූ පමණින් පළමුව කාහටත් මතකයට නැගෙන්නේ මරදාන පිහිටි බුහාරි හෝටලයය. 1922 වසරේ ආරම්භ කර ඇති බුහාරි හෝටලය එකල ඉන්දීය සමාගමක් විසින් පලානය කර ඇත. 1976 වසරේදී බුහාරි හෝටලය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජය මගින් පවරාගෙන සංචාරක අමාත්‍යාංශය යටතට බාර දෙනු ලැබීය.

1977 දී බලයට පත්වූ යූ.එන්.පී. ආණ්ඩුව යටතේ බුහාරි හෝටලය ජාතික සේවක සංගමය යටතට පවරා දුන් අතර එහිදී හෝටලයේ කොටස්වලින් සියයට දහකට අයිතිය සේවකයන්ට ද තවත් සියයට දහයක් රජයට සහ ඉතිරි සියයට අසූව ජාතික සේවක සංගමයට ද පවරා තිබිණි.

දැනට සේවකයන් 104 දෙනෙකු පමණ බුහාරි හෝටලය තුළ සේවය කරන අතර මෙම හෝටලයේ වර්තමාන දෛනික අලෙවිය රුපියල් ලක්ෂ අටක් ඉක්මවන බවද මේ වනවිට මෙම හෝටලය රුපියල් ලක්ෂ 550ක ස්ථාවර ගිණුමක් පවත්වාගෙන යන බවද එහි සේවකයෙක් දේශයේ අපට අදහස් දක්වමින් පැවසීය.

රජයේ ආයතන පෞද්ගලික අංශයට විකිණීමේ හා පාලනය පැවරීමේ ක්‍රමයට අනුව ජාතික සේවක සංගමයට බුහාරි හෝටලය සහ මහනුවර හුන්නස් ෆෝල්ස් හෝටලය මිලදී ගැනීමට හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ලබාදුන් ඉඩ ප්‍රස්ථාවට අනුව රුපියල් ලක්ෂ 65ක් ගෙවා ජාතික සේවක සංගමය විසින් මේ ආයතනය මිලදී ගෙන ඇතැයි සඳහන්ය.

මේ වනවිට ඉතා හොඳ පාලනයක් යටතේ සාර්ථකව පවත්වාගෙන යන බුහාරි හෝටලය බදුදීමට වර්තමාන ජාතික සේවක සංගමයේ සභාපතිවරයා පිඹුරැපත් සකසන බවට බුහාරි කාර්යමණ්ඩලය චෝදනා කරයි. මේ සම්බන්ධව ඔවුහු පසුගිය මස 28 වැනිදා හෝටලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ද පැවැත්වූහ. ඔවුන් විමසන්නේ තම පක්ෂය සතුවූ මෙවැනි සම්පත් ආරක්ෂා කිරීමට ක්‍රියානොකරන ඇමතිවරුන් රටේ සම්පත් ආරක්ෂා කරන්නේ කෙසේද යන්නයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් බුහාරි හෝටලය සුරකීමේ සංවිධානයේ ලේකම් අතුල කරුණාරත්න මෙසේ කියයි.

මේ වෙනකම් මේ බුහාරි හෝටල් ආයතනය මගින් සියලුම දේවල් අපිට ලබාදෙනවා. ඒ අතරට යුනිෆෝම්, සපත්තු, සබන් ආදිය සියල්ලම ලබාදෙනවා. ආහාර දීමනා වගේම බෝනස් පවා ලබාදෙනවා. ඒ නිසා මේ වනතෙක්ම සේවකයන් සහ පාලන අධිකාරිය අතර ගැටුමක් ඇතිවෙලත් නැහැ. නමුත් දැන් මාසයකට විතර කලින් අකිල විරාජ් කාරියවසම් මහතා බුහාරි හෝටලයේ සභාපතිවරයා විදියට පත්වුණා. එතුමා අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී යෝජනාවක් ගෙනත් තියනවා. බුහාරි හෝටලය පෞද්ගලික අයකුට බදුදෙනවා කියලා. ඇත්තටම මෙතන සේවක අර්බුදයක් තිබුණේ නැහැ. මෙතන දැන් සේවක අර්බුදයක් ඇතිකරන්න හදන්නේ මේ පාලන අධිකාරියයි. මෙතනදී අපි සියලුදෙනා දැනුවත් කරලා තියනවා. ගෙවන්න තියන සැම බද්දක්ම ගෙවලා සේවක පඩිනඩිත් ගෙවලා කටයුතු කරනවා. අනිත් කාරණය තමයි මේක ජාතික සේවක සංගමය යටතේ තියන ආයතනයක්. නමුත් ඔවුන් මේ වනතුරැ තවමත් මේ පිළිබඳ සාකච්ඡා කිරීමටවත් අපිට කතා කරලා නැහැ. දැන් අවුරුදු 26ක් තිස්සේ මේ සේවකයන් සහ පාලන අධිකාරිය අතර ගැටුමක් තිබුණේ නැහැ. මේ ගැටුම නිර්මාණය වුණේ මේක බදුදෙන්න යෑමත් සමඟය.

කෙසේ වෙතත් පවතින පාලනය යටතේ බුහාරි හෝටල් ආයතනයේ වාර්ෂික මහසභා රුස්වීම් පවත්වා නැති බවද සමාගමේ මූල්‍ය කටයුතු විගණනයට ලක්කර නොමැති බවට ද වාර්තා වී තිබේ. වර්තමාන සභාපතිවරයාගේ මූලිකත්වයෙන් සමාගමේ මූල්‍ය කටයුතු විගණනය පිළිබඳ වාර්තාවක් සැකසීමට විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශ්‍රාම ලත් ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට බාරදී තිබිණි. එම වාර්තාවේ බුහාරි ආයතනය පාලනය කිරීමේදී අක්‍රමිකතා ගණනාවක් වාර්තා වී තිබූ බවට ද හෙළිවී තිබේ.
මේ සම්බන්ධයෙන් ජාතික සේවක සංගමයෙන් දේශයේ අප කළ විමසීමේදී එහි ප්‍රකාශකයෙක් මෙසේ කීය.

“බුහාරි හෝටලය ගැන සොයාබලන්න අපි විගණකාධිපති දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට බාරදුන්නා. එහිදී ඊට පස්සේ අපට පැහැදිලි ප්‍රශ්න ගණනාවක් පෙනුණා. මොකද මාසික ලාභය පෙන්වා තිබුණේ ලක්ෂ 13යි. නමුත් මාසික ආදායම ලක්ෂ දෙසිය ගණනක් වශයෙන් සඳහන් වෙනවා. ඒ කියන්නේ දවසකට ලක්ෂ 8ක් විතර ආදායමක් ලැබෙනවා.

බුහාරි ආයතනය ජාතික සේවක සංගමය යටතේ තිබුණට පෞද්ගලික සමාගමක් විදිහට තමයි තියෙන්නේ. ඒ නිසා මෙහි සේවකයන් පවසන පරිදි මේක නැවත පෞද්ගලීකරණය කරන්න දෙයක් නැහැ. කොහොමත් පෞද්ගලික එකක් තමයි බුහාරි ආයතනය. මේ ආයතනය මාසකට ලක්ෂ 40ක් 50ක් පමණ ඉහළ බද්දකට වෙනත් සමාගම් ඉල්ලනවා. ඇත්තටම එහෙම වෙනත් අය ඒ තරම් ගෙවන්න ඉල්ලීම් කරන්නේ ලාභයක් තිබෙන නිසා. මොකද දැනට ලක්ෂ 15යි මොවුන් ලාභය පෙන්වන්නේ. ඕක තමයි මෙතෙන ඇතිවෙලා තියන ගැලුව වෙන කිසිම ගැටලුවක් නැහැ.

කෙසේ වුවද බුහාරි ආයතනයේ පාලක මණ්ඩලයේ ඇතැමුන් බෝනස් සහ මාසික දීමනා වශයෙන් විශාල මුදලක් ලබාගන්නා බවත් ඒවා කිසිම තැනක විගණනය නොවන බවත් පසුගිය සතියේ ද සන්ඩේ ටයිම්ස් පුවත්පත් වාර්තාවක සඳහන් විය. විශ්‍රාමික නිලධාරියා ලබාදී ඇති විගණන වාර්තාවේ. සඳහන් 2017 වසරේ ගිණුම්වලට අනුව මාසයකදී ආයතනයට බිත්තර 60,000ක් සහ කුකුළු මස් කිලෝ 1600ක් මිලදී ගන්නා අතර ඒ සඳහා කිසිදු මිල ගණන් කැඳවීමක් නැත. ආයතනයේ ආදායමෙන් කොටසක් ඊට සම්බන්ධකම් නොමැති පුද්ගලයන් අතට පත්වන බවද කියති. දිනකට රුපියල් දෙලක්ෂ තිස්දහසක් පමණ කෙටි වියදම් වශයෙන් නිකුත් කරන නමුත් ඒ මුදලට සිදුවන්නේ කුමක්දැයි හෝ මිල ගණන් කැඳවීමක් හෝ සිදුවී නැත.
ජා.සේ.ස. ප්‍රධාන ලේකම් සිරිනාල් ද මැල් මහතා ප්‍රකාශ කර තිබුණේ ඕනෑ කෙනෙකුට විගණනය කළ හැකි බවයි. ඉහළ බද්දකට ආයතනය දෙන්න පුළුවන් නම් හොඳයි. නමුත් අපේ සාමාජික සේවකයන්ට වෙලාවට පඩිනඩි ගෙවීම්, බෝනස් ගෙවීම්, ඊ.පී.එෆ්., ඊ.ටී.එෆ් ගෙවීම් නොලැබී ගොස් ඔවුන්ට දුක් විදීමට සිදුවේවී. යැයි ද ඔහු කියයි. එහෙත් බුහාරි හෝටලය බාරදෙන ආයතනයක් ගැන හෝ සඳහන් වී නැති අවස්ථාවක එවැනි තත්ත්වයක් උදාවනු ඇතැයි පවසන්නේ කුමන පදනමකින් දැයි කළ විමසුමට මැල් මහතා පිළිතුරු දී නොතිබිණි.

 හසිත් අංජන

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00