2019 ජනවාරි 05 වන සෙනසුරාදා

උසස් පෙළින් රටම ජයගත්තෝ

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 14

2018 වසරේ පැවැත්වූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය දෙසැම්බර් 30 වැනිදා මධ්‍යම රාත්‍රියේදී නිකුත් වුණි. මෙවර අයදුම්කරුවන් 3, 21, 469ක් ඉදිරිපත්ව සිටි අතර එයින් 1,67,907 දෙනෙක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා සිටිති. විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් අතුරින් 119කගේ ප්‍රතිඵල අත්හිටුවා ඇත.

මෙහිදී භෞතික විද්‍යා විෂය ධාරාවෙන් ලංකාවෙන්ම ප්‍රථම ස්ථානයට ආවේ කොළඹ විශාකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ චතුනි හංසනී වසන්තා විජේගුණවර්ධනයි. කොළඹ විශාකා විද්‍යාලයේ සෑම අංශයෙන්ම දක්ෂතම ශිෂ්‍යාව ලෙසින් 2017 වසරේදී සම්මාන ලබාගත් චතුනි අධ්‍යාපනයට මෙන්ම පාසලේ බාහිර ක්‍රියාකාරකම්වලට දක්ෂතා දක්වන පවුලේ එකම දරුවාය. ධර්මකීර්ති විජේගුණවර්ධන චතුනිගේ පියා වන අතර ඔහු ඉංජිනේරුවෙකි. මේ වනවිට රුකියාවෙන් විශ්‍රාම ලබා ඇති ධර්මකීර්ති තම දියණියගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ නිතරම සොයා බලන ආදරණීය පියෙකි. බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරු කුමුදුනී විජේගුණවර්ධන චතුනිගේ මවයි. තම මවගේත්, පියාගේත් අඩි පාරේ යමින් අනාගතයේදී ඉංජිනේරුවරියක් වී රටට සේවය කිරීම චතුනිගේ අනාගත බලාපොරොත්තුවයි.

චතුනි මූලික අධ්‍යාපනය ලද්දේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙනි. පහ වසර ශිෂ්‍යත්වයෙන් ලකුණු එකසිය අසූ හතක් ලබමින් චතුනි කොළඹ විශාකා විද්‍යාලයට ඇතුළත් වූවාය.

මම පාසලේදී අධ්‍යාපන කටයුතු වගේම පාසලේ බාහිර ක්‍රියාකාරකම්වලටත් සහභාගි වුණා. වූෂු කණ්ඩායමේ හිටියා. ඒ වගේම පිහිනීම් කටයුතුවලටත් එක් වුණා. සංගීතයත් මම හැදෑරුවා. රූපවාහිනියට මට ගොඩක් නැඹුරු වුණේ නැහැ. හැබැයි රූපවාහිනියේ සමහර වැඩසටහන් බැලුවා. විභාගය කාලයේදී වුණත් මම පොතටම ඇලිලා හිටියේ නැහැ. මුල ඉඳන්ම මම ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිව්වා. ඒවා නැවතත් පරික්ෂා කරලා බැලුවා. විභාගය ළංවෙද්දී ලොකු බයක් හිතට ආවේ නැහැ. විභාගය වෙනුවෙන් පෙර සූදානමක් මුල ඉඳන්ම තිබුණු නිසා නිසි පරිදි විභාගයට මුහුණ දෙන්න මට හැකියාව ලැබුණා. යැයි චතුනි මාධ්‍යයට පැවසීය.

චතුනි හංසනී වසන්තා විජේගුණවර්ධන භෞතික විද්‍යා අංශයෙන් දිවයිනෙන් ප්‍රථමයා වෙද්දී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ චාමිඳු සුරාන් ලියනගේ දෙවැනි ස්ථානය දිනා ගත්තේය.

ජීව විද්‍යා විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඩබ්ලිව්. ආර්. ඒ. කළණි සමුද්‍රා රාජපක්ෂ සිසුවියට හිමි විය. කළණි මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ ගම්පහ යසෝදරා බාලිකාවෙනි. ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු එකසිය හැත්තෑ දෙකක් ලැබූ ඇය ගම්පහ රත්නාවලී බාලිකාවට ඇතුළත් වූවාය.

කළණිගේ මව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියක් ලෙසින් සේවය කරයි. ඇය නමින් චම්පා හපුගොඩය. රවීන්ද්‍ර රාජපක්ෂ වූ කළණිගේ පියා ද වෛද්‍යවරයකු වන අතර ඔහු ගම්පහ මහ රෝහලේ සේවය කරයි.

මම උසස් පෙළින් ඉහළින් සමත් වෙන්නට අදිටන් කරගෙන හිටියත් මේක මට හිතාගන්නවත් බැරි සතුටක්. ඇත්තටම මම ජීව විද්‍යාවෙන් පළමු තැනට තේරිලා කියලා දැනගනිද්දි මට ඇතිවුණ සතුට අදටත් වචනවලින් කියන්න තේරෙන්නේ නැහැ. මේ සතුට මට ගෙනත් දෙන්න බොහෝ දෙනෙක් උදවු කළා. මගේ දෙමව්පියෝ වගේම වගේ පාසල් දෙකේම ගුරුවරියන් වගේම මේ විෂයන් මට ඉගැන්වූ හැම ගුරැ මඩුල්ලකටම මම ස්තූති කරන්න ඕනේ. මම හැමදාම උදෙන්ම ඉස්කෝලෙ ගියා. එදිනෙදා ගුරැවරැ කියලා දෙන දේ සාවධානව ඇහුම්කන් දීලා ඒ ඇගයීම් කළා. මගේ අම්මයි තාත්තායි දෙන්නම වෛද්‍ය වෘත්තියේ යෙදෙන දෙන්නෙක්. මම ඒ වෘත්තියට ආදරෙයි. ඉතින් මගෙත් බලාපොරොත්තුව කවදහරි මේ රටට සේවය කරන හොඳ වෛද්‍යවරියක් වීමයි

ඒ කළණිගේ පැතුමයි. ජීව විද්‍යා විෂය ධාරාවෙන් ලංකාවෙන්ම දෙවැනි ස්ථානය කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ඉගෙනුම ලැබූ රවිඳු ශෂික ඉලන්ගම්ගේ ශිෂ්‍යයාට හිමිව තිබේ.

එල්. එච්. එම්. කසුන් වික්‍රමරත්න කුරුණෑගල මලියදේව පිරිමි විදුහලෙන් අධ්‍යාපනය හදාරා උසස් පෙළට මුහුණ දුන් සිසුවෙකි. ඔහු මෙවර උසස් පෙළ විභාගයෙන් වාණිජ විෂය ධාරාවෙන් ප්‍රථමයා විය. තම ගමේ පාසල වූ පාදෙණිය ශ්‍රී සුනන්ද විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ කසුන් පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව කුරුණෑගල මලියදේව පිරිමි විදුහලට ඇතුළත් විය.

නිමල් වික්‍රමරත්න සහ එම්. එම්. බී. කුසුමාවතී දෙපලගේ දරුවන් දෙදෙනාගෙන් දෙවැන්නා ලෙසින් පවුලට එකතු වූ කසුන්ගේ වැඩිමහල් සොහොයුරා ද හොඳ පාසල් අධ්‍යාපනයක් ලැබ මේ වනවිට රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබයි. ගොවිතැනින් ජීවිතය දිනන්නට වෙර දරන නිමල්ගෙත්, කුසුමාවතීගේත් එකම හීනය වුණේ දරැවන් දෙදෙනාටම හොඳ අධ්‍යාපනයක් ලබා දීමය. අද ඒ බලාපොරොත්තුව සැබෑ වී අවසන්ය.

උසස් පෙළ විභාගයට මහන්සි වුණා. හොඳින් පාඩම් කළා. ප්‍රශ්න පත්‍රවලට පිළිතුරැ ලිව්වා. හැබැයි මේ වගේ ඉහළ ජයග්‍රහණයක් බලාපොරොත්තු වුණේ නැහැ. මගේ අයියත් අධ්‍යාපන කටයුතු හොඳට කළා. ඒ නිසා මගේ අම්මයි, තාත්තයි හැම වෙලේම කිව්වේ මගේ අයියා වගේ හොඳට ඉගෙනගන්න කියලා. මගේ අයියත් හැමවෙලේම මාව දිරිමත් කළා. ඒ වගේම මම ඉගෙනගත්ත පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරැ මණ්ඩලයත් මම ආදරෙන් මතක් කරන්න ඕනේ. ඒ හැමෝම මට මේ ජයග්‍රහණය ගන්නට ගොඩක් උදව් කළා. කසුන් ඉඳුරංග වික්‍රමරත්න පැවසීය. කසුන් වාණිජ විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය ගනිද්දී ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ උවිනි අයත්මා රණවීර දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටින්නීය.

කොළඹ ආනන්ද විදුහල ද මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් කප් ගැසූ ඉංජිනේරු ශිෂ්‍යයන් බිහිකළ පාසල විය. මෙවර ඉංජිනේරු තාක්ෂණවේදී විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම සහ දෙවැනි ස්ථාන දෙකම හිමිකර ගැනීමට කොළඹ ආනන්ද විදුහලට හැකියාව ලැබුණි. එහිදී ප්‍රථම ස්ථානය එම්. ප්‍රමුදිත යසස් පතිරත්න ශිෂ්‍යයාට ද දෙවැනි ස්ථානය තරිඳු හේෂාන් සිසුවාට ද හිමිවිය.

ගුවන් හමුදා නිලධාරියකු වන ධම්මික සමන් පතිරත්න සහ වසන්ති අබේගුණවර්ධන පමුදිතගේ මව්පියෝ වෙති. හලුගම ධර්මපාල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ පමුදිත ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව කොළඹ නාලන්ද විදුහලට ඇතුළත් විය. පමුදිත තාක්ෂණවේදය විෂයට දැක්වූ ඇල්ම නිසාම පසුව කොළඹ ආනන්ද විදුහලට ඇතුළත් විය. එතැන් සිට ඔහු උසස් පෙළ විභාගයෙන් ඉහළින් සමත් වන්නට මහන්සි ගත්තේය.

මට අද මම ලබාගත් ජයග්‍රහණය ගැන ගොඩක් සතුටුයි. ඒ වෙනුවෙන් මගේ මව්පියන්ට වගේම මා ඉගෙනගත් පාසල්වලට වගේම මට මේ විෂයන් ඉගැන්වූ ආනන්ද විදුහලේ ගුරු මණ්ඩලයේ සැමටම ස්තූති කරන්න ඕනේ. අධ්‍යාපන කටයුතුවලට විතරක් නෙවේ පාසලේ බාහිර ක්‍රියාකාරකම්වලටත් මම සහභාගී වුණා. පාසල් ශිෂ්‍ය භට කණ්ඩායමේත් මම හිටියා. ඒ හැම දේකින්ම ලැබුණු අත්දැකීම් මගේ ජීවිතයට ගොඩක් උදව් වුණා. මගේ බලාපොරොත්තුව ඉංජිනේරැ අංශයෙන් ගුවන් හමුදාවට බැඳෙන්නයි. මම ඒ නිල ඇඳුමට හරි ආදරෙයි. මට ඕනේ කවදාහරි දවසක මේ රටට සේවය කිරීමයි.

ඒ පමුදිතගේ පැතුමයි.

එක් විෂය ධාරාවකින් ජාත්‍යන්තර පාසැලකින් ප්‍රථමයා දිනාගත් පළමු අවස්ථාව ලෙස මෙවර උසස් පෙළ විභාගය හැඳින්විය හැක. කලා විෂය ධාරාවෙන් පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලැබූ ටී. ඩී. සෙනාදි දම්යා ද අල්විස් සිසුවිය මේ ජයග්‍රහණය ලැබුවාය.

මම පවුලේ එකම දරුවා. මගේ තාත්තා වජිර ද අල්විස්. තාත්තා විදෙස් රටක සේවය කරනවා. මගේ අම්මා ප්‍රියානි කළුවර්ධන. මගේ අම්මා තමයි මගේ හොඳම යාළුවා. පාසලේදී කියාදෙන දේ මම ගෙදර ඇවිත් එදිනෙදාම නැවත නැවතත් බැලුවා. පාඩම් කළා. මම අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙනුත් ඒ නවයක් ගත්තා. ඒ නිසා උසස් පෙළටත් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතුවා. හැබැයි හැමදාම නිදිමරාගෙන මම පාඩම් කළේ නැහැ. විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් හොඳින් හදාරලා කථිකාචාර්යවරියක් වෙන්න මගේ ආසාවක් තියෙනවා. මගේ තාත්තා විදෙස්ගතව සේවය කළත් හැමවෙලේම මගේ අධ්‍යාපනය ගැන හොයලා බලනවා. මේ ජයග්‍රහණය වෙනුවෙන් මට බොහෝ දෙනා උදවු කළා. මගේ මව්පියන් මගේ පාසල, මගේ ගුරැවරැන් හැමෝම මට මේ ජයග්‍රහණය ලබාගන්න ආශිර්වාද කළා. යැයි සෙනාදි දම්යා පැවසීය.

මෙවර කලා විෂය ධාරාවෙන් දෙවැනි ස්ථානය ලැබුවේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ සිත්මි නිමාෂි එදිරිසිංහයි. මෙලෙස දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් බිහිවෙද්දී ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන් ප්‍රථමයා බිහිවූයේ කඹුරුපිටිය ප්‍රදේශයෙන්ය. කඹුරැපිටිය නාරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ සඳුනි ප්‍රියමාෂා කොඩිප්පිලි එම ජයග්‍රහණය හිමිකර ගත්තාය.

සඳුනි මූලික අධ්‍යාපනය ලැබුවේ මාවරල මහ විද්‍යාලයෙනි. ශිෂ්‍යත්ව විභාගයෙන් ඇයට ලබාගත හැකිවූයේ ලකුණු එකසිය විසි නවයකි. නමුත් ඇය එයින් අධෛර්යමත් නොවුණි. සාමාන්‍ය පෙළ විභාගයටත්, උසස් පෙළ විභාගයටත් ඇය හොඳ ප්‍රතිඵල ලබාගැනීමට අදිටන් කරගත්තාය. ඇගේ පැතුම ඉටු වූවාය.

මම පාසලේදී අධ්‍යාපන කටයුතු වගේම බාහිර ක්‍රියාකාරකම්වලත් යොමු වුණා. පාසල් උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාව විදිහටත් කටයුතු කළා. පාසලේ සමස්ත ලංකා නැටුම් තරගවලට සහභාගී වෙලා ජයග්‍රහණ ලබා ගත්තා. මේ හැම බාහිර ක්‍රියාකාරකමක්ම කරන අතරතුරේදී තමයි මම අධ්‍යාපන කටයුතුත් කරගෙන ගියේ යැයි සඳුනි ප්‍රියමාෂා තම අදහස් දැක්වූවාය.

සඳුනිගේ පියා සරත් කොඩිප්පිලි වූ අතර මව පියසීලි විජේසිංහය. ඇය පරිපාලන පවුල් සෞඛ්‍ය නිලධාරිනියක් ලෙස සේවය කරයි. ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ දෙවැනි ස්ථානය දිනාගනු ලැබුවේ සමන්තුරේ මුස්ලිම් මධ්‍ය මහ විද්‍යාලයේ එම්. ඩී. රිෂා මොහොමඩ්ය.

සරසවිය වෙත පියනගන්නට මඟ හදාගත් දරුවන්ට දේශය අපේ හෘදයාංගම සුබපැතුම්!

 දිශානි ජයමාලි කරුණාරත්න

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30