2019 ජනවාරි 05 වන සෙනසුරාදා

රගර් පිටිය ජයගෙන ලිෆ්ට් එකට පැරදුණු මාකෝ

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 20

කොළඹ සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයේ පළමු පෙළ රගර් ක්‍රීඩකයකු වශයෙන් ක්‍රීඩා කළ කෝකිල සම්මන්දපෙරුම හිතමිතුරන් අතර ප්‍රසිද්ධව සිටියේ මාකෝ නමිනි. කාගේත් ආදරය දිනා සිටි මාකෝ අවසන්වරට නිවසින් පිටත්ව ගොස් තිබුණේ සිය මිත්‍රයින් පිරිසක් මුණ ගැසීමටය. සවස් යාමය මිතුරන් සමඟ ගත කරමින් සිටින අතරතුර ඔවුනොවුන්ම යෝජනා කරගෙන ඇත්තේ මධ්‍යම රාත්‍රිය ඉක්මවූ පසුව රාත්‍රී සමාජ ශාලාවක් වෙත යාමටය. 

තලංගම පිහිටි නිවසින් පිටත්ව ගිය කෝකිල කොළඹට නුදුරු ස්ථානයක මිතුරන් හා රැඳී සිටීමෙන් අනතුරැව කොළඹ නගර මධ්‍යයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක් වෙත යාමට පිටත් විය. කොළඹ 02 බේරේ වැව අසබඩ නවම් මාවත ආසන්නයේ පිහිටි ග්‍රීන් ලංකා ගොඩනැගිල්ලේ ඇති සමාජ ශාලාවක් වෙත යාම ඔවුන්ගේ අදහස වී තිබිණි. තට්ටු ගණනාවකින් සමන්විත ග්‍රීන් ලංකා ගොඩනැගිල්ලේ 9 වැනි මහලේ ඇමියුසියම් රාත්‍රී සමාජ ශාලාව විවෘතව තිබිණ. ගොඩනැගිල්ල පරිශ්‍රයේ රථගාලෙන් පිටතට ආ පිරිස 9 වැනි මහල බලා යාමට විදුලි සෝපානය අසලට පැමිණි අතර ඒ වනවිටත් ඔවුන් රුඳී සිට තිබුණේ බිම්මහලේය.

සෝපානයේ දොර විවෘත වූ සැණින් ඊට නැගුණු පිරිස උඩුමහල වෙත යාමට සූදානම් වූවා පමණය. කිසිවකුත් නොසිතූ අයුරෙන් බිම්මහලේ තිබූ සෝපානය භූගත මහලට කඩා වැටුණේ ක්ෂණයකිනි. තැතිගැන්මට ලක්වූ පිරිස අතර සෝපානයෙන් එළියට එන්නට උත්සාහ ගත් කීපදෙනෙක්ද වූහ. ඔවුන් අතරින් රගර් ක්‍රීඩක මාකෝ සිටියේ දොරටුව ආසන්නයේමය.

නොසිතූ මොහොතක අවාසනාවකට සිදුවූ අනතුර හේතුවෙන් මාකෝ යන ආදර නාමයෙන් හැඳින්වූ සම්මන්දපෙරුමගේ අත සහ පාදය සෝපානයට යට වී තිබුණි. එහි රුඳී සිටි තවත් තිදෙනෙක් තුවාල ලබා සිටියහ. නිරුපද්‍රිතව නමුත් කම්පනයට පත්වූ පිරිස් බේරාගනු ලැබුවේ එතැනට රැස්වූ පිරිස් විසිනි.

අනතුරත් සමඟ ක්‍රියාත්මක වූ පිරිස් සිදුවීම පිළිබඳව කොම්පඤ්ඤවීදිය පොලීසියට දන්වා තිබුණි. එසැණින් ක්‍රියාත්මක වූ නිලධාරීන් තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ නගර සභාවේ ගිනිනිවන ඒකකය දැනුම්වත් කර එහි නිලධාරීන් පිරිසක්ද සිද්ධිය වූ ස්ථානයට කැඳවා ගත්තේය. එතැනට රැස්වූ නිලධාරීන් විසින් මහත් පරිශ්‍රමයක් යොදා සිරවී සිටි රගර් ක්‍රීඩක සම්මන්දපෙරුම පිටතට ගත්තේ විදුලි සෝපානය වටකර තිබුණු වීදුරු ආවරණය හා යකඩ තහඩු කපා ඉවත් කිරීමෙන් පසුවය. සම්මන්දපෙරුම පිටතට ගත් වහාම සුවසැරිය ගිලන් රථයක් මගින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කෙරිණ. ඒ වනවිටත් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ රගර් ක්‍රීඩකයා රෝහල් ගතකරන විට මියගොස් සිට ඇතැයි රෝහල් ආරංචි මාර්ග අනාවරණය කළේය.

ඊට පෙර තුවාල ලබා සිටි තවත් පුද්ගලයන් දෙදෙනකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කෙරැණු අතර එක් අයෙක් ප්‍රතිකාර ලබා එදිනම පිටව ගොස් තිබූ අතර අනෙක් තැනැත්තා නේවාසිකව ප්‍රතිකාර ලබා පිටත්ව ගොස් තිබිණ.
අනතුර සිදුවන අවස්ථාවේ සෝපානය තුළ පුද්ගලයන් 12 දෙනකු සිට ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ. ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ පිරිස සමඟ සම්මන්දපෙරැම සෝපානයට ගොඩවූ මොහොතේම සෝපානය පහත මාලයට කඩාවැටුණු බවය. රගර් ක්‍රීඩකයා විදුලි සෝපානයට ගොඩවෙමින් සිටියදී සෝපානයේ දොර වැසී ඇති අතර එහි දොර පියන් දෙකට ක්‍රීඩකයා හිරවී ඇති බවත් ඒ මොහොතේම කඩාවැටීම සිදුවූ බවත් ඔවුන්ගේ ප්‍රකාශවල සඳහන්ව තිබුණි. මේ ආකාරයට පුද්ගලයන් දහදෙනකුට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගත් පොලීසිය සඳහන් කළේ කඩාවැටුණු සෝපානයට රගර් ක්‍රීඩකයා සිරවී සිටි බවකි.

පසුගිය 29 වැනිදා අලුයම 1.50ට පමණ වූ අනතුරින් මියගිය ක්‍රීඩකයා කොළඹ වෙස්ලි විද්‍යාලයේ ආදි සිසුවෙකි. එම විද්‍යාලයේ දක්ෂ රගර් ක්‍රීඩකයෙක් වූ ඔහු බත්තරමුල්ල, තලංගම උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි තරුණයෙකි.

අනතුරට හේතු වූ විදුලි සෝපානය සම්බන්ධව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් වාර්තාවක් කැඳවන බවත් ඒ අනුව නීතිමය පියවර ගන්නා බවත් කොම්පඤ්ඤවීදිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කළුතරආරච්චි මහතා සඳහන් කළේය. මේ අතර රගර් ක්‍රීඩකයාගේ මරණයට හේතුව වශයෙන් පපු කුහරය හිරවීම ශ්වසනය අවහිර වීම බව මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇතැයිද සඳහන් විය. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශනය ක්‍රියාත්මකය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30