2019 ජනවාරි 05 වන සෙනසුරාදා

රවුම් ප්ලග් මීට පස්සේ බෑ

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 168

රට පුරා සිදුවන විදුලි අනතුරු අවම කරගැනීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ප්‍රමිතීන්ට අනුව සම්මත විදුලි පේනුවක් හා කෙවනියක් රට පුරා භාවිත කිරීමේ ක්‍රමවේදය පසුගිය 01 වැනිදා සිට රට පුරා ආරම්භ විය.

මේ සඳහා තෝරාගෙන ඇත්තේ ඇම්පියර් 13 (13A) හතරැස් හැඩයේ විදුලි පේනුව හා කෙවනියයි. මේ අනුව ඉදිරියේදී මෙරට වෙළෙඳපොළ තුළ අලෙවි වන සියලු විද්‍යුත් උපකරණ මේ හැඩය ගනු ලබන අතර වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට හැකිවනු ඇත්තේද මේ හැඩයේ විදුලි කෙවනි පමණි.

මේ වනවිට ලෝකයේ බොහෝ දියුණු රටවල් මෙම උපාංග සඳහා මෙබඳු සම්මත කිරීම්වලට පෙළඹී තිබේ. මීට ප්‍රධාන හේතුව විදුලි උපාංග භාවිතයේ ඇති ආරක්ෂාකාරී බව ඉහළ නැංවීමයි. විවිධ වර්ගයේ වෙනස් පේනු හා කෙවනි භාවිත කිරීමේදී ඒවා නිසි ලෙස එකිනෙක සම්බන්ධ නොවීම හරහා විදුලිසැර වැදීම්, ගිනිගැනීම් වැනි අනතුරු සිදුවීමේ ඉහළ සම්භාවිතාවන් ඇතිබව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

මෙරට තුළ බහුලව භාවිත වූයේ 5A හා 15A රවුම්කූරු තුනක් සහිත විදුලි පේනු වූ අතර මෙමගින් විදුලිසැර වැදීමේ ප්‍රවණතාවය ඉතා ඉහළ අගයක්ද ගෙන තිබිණි. එක්සත් රාජධානිය, සිංගප්පූරුව, සෞදි අරාබිය, අයර්ලන්තය, මැලේසියාව සහ ස්කොට්ලන්තය වැනි රටවල්ද මේ වනවිට 13A සම්මත පේනු හා කෙවෙනි භාවිත කරනු ලබන අතර එවැනි රටවල විදුලි මගින් සිදුවන අනතුරු අවම අගයක් ගන්නා බවද සඳහන්ය.

මේ වනවිට වසරකට මෙරට විදුලි අනතුරු හේතුවෙන් ජීවිත 75ත් 100ත් අතර ප්‍රමාණයක් අහිමිවන බවත්, සිදුකළ සමීක්ෂණවලින් ඊට හේතුවන ප්‍රධාන සාධක 13ක් හඳුනාගෙන ඇති බවත්, ඒ අතරින් 80%ක්ම මරණ සිදුවීමට අදාළ හේතුන් බවත් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මෙම ඇම්පියර් 13 වර්ගයේ විදුලි පේනු සහ කෙවනි භාවිතය ජනතාව අතරට ගෙන යාම මෙම වැඩපිළිවෙළෙහි අරමුණ වී තිබේ.

ප්‍රමිතිය සකස් කිරීමට පෙර ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඒ සඳහා පුළුල් මහජන අදහස් විමසීමක් පවත්වන ලදී. විදුලි පාරිභෝගිකයන්, විදුලි පේනු සහ කෙවනි නිෂ්පාදකයන්, ආනයනකරුවන් හා බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයන් ඇතුළු සියලුම පාර්ශ්වකරුවන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන ජාතික එකඟතාවයක් ඇතිව මෙම ප්‍රමිතිය ක්‍රියාවට නැගීමට පියවර ගැනීම විශේෂත්වයකි.

පසුගිය පළමුවැනිදා සිට හඳුන්වා දුන් විදුලි පේනු හා කෙවනි සඳහා ප්‍රමිතිය ක්‍රියාවට නැංවූයේ පහත ආකාරයටය.

I 2016 අගෝස්තු 16 වැනි දින සිට විදුලි පේනු සහ කෙවනි සඳහා ජාතික ප්‍රමිතිය බලාත්මක විය.

I 2016 අගෝස්තු 16 දින ජී කාණ්ඩයට අයත් නොවන විදුලි පේනු සහ කෙවනි නිෂ්පාදනය, ආයනය සහ අලෙවිය සඳහා සහන කාලයක් ක්‍රියාත්මක විය.

I 2017 අගෝස්තු 16 දින සිට ජී කාණ්ඩයට අයත් නොවන හෙවත් ජාතික ප්‍රමිතියෙන් තොර විවිධ වර්ගයේ විදුලි පේනු සහ කෙවනි ආයතනය මගින් තහනම් කෙරුණි.

I 2019/01/01 වැනි දින සිට ජී වර්ගයේ (13A) නොවන විදුලි පේනු (ප්ලග් ටොප්) සහිත විදුලි උපකරණ අලෙවිය තහනම් කෙරෙන අතර ජී වර්ගයේ පේනුවල විලායකයක් (ෆියුස්) ද පවතින අතර එය ආරක්ෂාව තවදුරටත් තහවුරු කර ඇත. මේ නීතිය බලපාන්නේ අලුත් උපකරණවලටයි.

හසිත් අංජන