2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

ඉතාලියේ ඉඳන් පෝස්ට් දාන අැඩ්‍රස් නෑ

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 2318

අද බුකියේ කතාවෙන් මුහුණු පොතේ ඇඩ්‍රස් නෑ පිටුවේ වගතුග සොයා යමු. "ඇඩ්‍රස් නෑ" ඇඩ්‍රස් එක අපට සොයාදුන්නේ අපේ බුකී සගයකු වූ පැනියා. ඒ අනුව ඉතාලියෙන් මේ ඇඩ්‍රස් එක අපට හමුවිය. ඉතාලියේ වසර ගණනක් ජීවත්වන රනිල් සහ තුෂාර මේ පිටුවේ හිමිකරුන්ය. රනිල් මේ පිටුවේ ආරම්භයාය. අප සංවාදයට එළඹියේ ඔහු සමඟය.

රනිල් 2012 වසරේදී "වයඹ අපි" නමින් මුහුණු පොතේ පිටුවක් ආරම්භ කර තිබේ. එය පේජ් කලාව ආරම්භ වූ වකවානුවයි. එම පිටුවේ නම නිසාම ලයික් ලබා ගැනීම අපහසු විය. ඔහුගේ කතාව අනුව එම පිටුව වෙනුවෙන් එදා ලොකු කට්ටක් කෑමට සිදුවිය. අදද (වයඹ අපි) පිටුවේ ලයික් විසි පන්දහසක් පමණ වෙයි. ඒ අනුව ලංකාවේ පේජ් කලාවේ ආරම්භක සාමාජිකයෙක් ලෙස රනිල්ව අපට හැඳින්විය හැකිය. (වයඹ අපිට) ලයික් ලබා ගැනීම අපහසු වූයෙන් (ඇඩ්‍රස් නෑ) පිටුව ආරම්භ වන්නේ 2014 ජනවාරියේදීය. ඉතාලියේදීම මෙම පිටුව ආරම්භ වී තිබේ. (ඇඩ්‍රස් නෑ) නම මෙම පිටුවට ලැබීමට එකල තිරගත වූ (ඇඩ්‍රස් නෑ) චිත්‍රපටයද බලපා ඇත. ඇඩ්‍රස් නැති ගතියක් දැනුණු නිසාවෙන්ම මෙම නම දැමූ බව රනිල් අප කියයි.

රනිල් සහ තුෂාර දෙදෙනා වසර 15ක පමණ පටන් ජීවත්වන්නේ ඉතාලියේය. ඒ අනුව පිටුවේ සියලු කටයුතු සිදුවන්නේ ඉතාලියේ සිටමය. අප රනිල් සමඟ කතාබහ කළේ (වට්ස් අප්) හරහාය. මෙම මිතුරන් දෙනා පේජ් කලාවේ වැඩ්ඩන් මෙන්ම වැඩිහිටියෝ වෙති. රනිල් එක්දරු පියෙකි. තුෂාරට දරුවන් දෙදෙනෙක් සිටිති. විවාහ වී පවුල් ජීවිතය ගතකරමින් විදෙස්ගතව සිටිමින් පේජ් එකක් කරනවා යන්න ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.

"පේජ් කරන සෙට් එකෙන් වැඩිමල්ම දෙන්නා අපි තමයි. අපේ හම්ස්ලා, පැනියලා, අහවල්, ෆන්, අපේ කොල්ලො සෙට් එක බැඳලා නෑ. සෙට් එකේ ලොකු අයියලා තමා අපි දෙන්නා."

සිනහාමුසුව මේ සහෝදරයා පේජ්කරුවන් සිහිපත් කරයි. සැබෑවටම පේජ් කෙරුවාව යනු නූතන කලාවකි. ඉතා මෑත කාලයේ ආරම්භ වුවත් දැන් එය සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරයි. රනිල් ඇතුළු පිරිස මෙහි ආරම්භකයෝ වෙති. පැහැදිලිවම නිර්මාණශීලී හැකියාවන් ඔවුන් සතුය. මුල්කාලීනව පේජ් කිරීමේදී ආර්ථික වාසි නොවීය. ලයික් ලබා ගැනීම වෙනුවෙන් බුකියේ කට්ට කෑමට ඔවුන්ට සිදුව තිබේ. අද හය ලක්ෂ අනූ දහසක පමණ ලයික් ප්‍රමාණයක් (ඇඩ්‍රස් නෑ) සතුවෙයි. එය විසල් කැප කිරීමකින් උපයා ගත්තකි. එමෙන්ම (ඇඩ්‍රස් නෑ) බුකීයේ පේජ් අතර වෙනම හැඩයකින් අනන්‍යතාවයකින් නිර්මාණකරණයේ යෙදෙයි. බුකියේ සරිසරන අපිද එය අත්දකිමු. ඒ නිසාම ලංකාවේ වැඩියෙන්ම රීච් වන පිටුව (ඇඩ්‍රස් නෑ) වී තිබේ.

"අපි ශෙඩුල් එකකට පෝස්ට් ටික දාන්නේ. මං උදේ ලංකාවේ වෙලාවෙන් දහයාමාර එකොළහ වෙනකන් විතර ශෙඩුල් කරනවා. ඊට පස්සේ තුෂාර තමයි රෑ වෙනකම්ම දාගෙන යන්නේ පෝස්ට් ටික."

යම් පිළිවෙළක් සහිතව (ඇඩ්‍රස් නෑ) පෝස්ට් දමයි. උදෙන්ම (පොසිටිව් ටෝක් එකක්) සහිත පෝස්ට් එක්ක දමා ඔවුහු වැඩ අරඹති. ඊට අමතරව කවුරුන් හෝ සිදුකරන ලද යහපත් ක්‍රියාවක් ඔවුන්ගේ ඇගයුමට ලක්වෙයි. හැම පැයකට වරක්ම පෝස්ට් එකක් වැටෙන පරිදි ඔවුන් සැලසුම් සකසා ඇත. රනිල් පවසන පරිදි ඔහුගේ ආදරණීය බිරිඳද පේජ් එකේ පෝස්ට් දැමීමට උපකාර කරන අවස්ථා තිබේ.

(ඇඩ්‍රස් නෑ) හුදු ආර්ථික වාසි පමණට සීමා වූ පිටුව නොවේ. ඔවුහු සමාජ සත්කාරවලද නියුතු වෙති. යම් උදව්වක් කාට හෝ සිදුකිරීමේ අරමුණින් පෝස්ට් එකක් රාත්‍රියේදී (ඇඩ්‍රස් නෑ) පිටුවේ පළවෙන්නේ එබැවිනි. තවද ගංවතුර වැනි ආපදා අවස්ථාවලදී උපකාර කිරීම සඳහාද ඔවුන් ඉදිරිපත් වී තිබේ.

"ගිය ඉරිදත් පෝස්ට් එක්ක දැම්ම. කළුතර බීච් එකේ ප්‍රශ්නයක්. අපිට බැනර් එකක් ඉඳන් ගහලා තිබ්බා ස්තූතියි. මේ කරපු වැඩේට කියලා. තව නාරම්මල පාසල් උපකරණ සම්බන්ධව ගිය සතියේ එකක් දැම්ම. ඒකටත් හොඳ කියලා විඩියෝ ක්ලිප් එකක් එවලා තිබ්බා."

පරිනත පේජ්කරුවන් වන රනිල් සහ තුෂාර සිය සමාජ වගකීම හඳුනාගෙන තිබේ. ඔවුන්ගෙන් උදව් ඉල්ලා එන පිරිස අධික වුවත් හැමවිටම හැකි පමණ මිනිසුන් වෙනුවෙන් මනුෂ්‍යත්වය පෙරදැරිව උපකාර කිරීමට ඔවුහු ඉදිරිපත් වෙති. රනිල් පවසන පරිදි පේජ් කෙරුවාවෙන් මිල මුදල් ඉපැයිය හැකි නමුත් ඔවුන්ගේ ප්‍රමුඛත්වය එය නොවේ. ඒ නිසාම (ඇඩ්‍රස් නෑ) සෑම පෝස්ට් එකකටම ලයික් කමෙන්ට් දමන පිරිසක් නිර්මාණය වී තිබේ. ඔවුන්ගේ කුඩා සමූහයක්ද ඇත. උදව් ඉල්ලූ විට එය ඉටු කිරීමට කිසිවිටෙක ඔවුන් මැලි නොවේ. (ඇඩ්‍රස් නෑ) බුකියේ සහෝදරයත්වයක් නිර්මාණය කර තිබේ. සැබැවින් ඔවුන් අලුතින් බුකියේ පේජ් කලාවට අතගසන නවකයන් හොඳ ආදර්ශයකි.

"උදව් ඉල්ලලා පේජ් එකට දාන මැසේජ්වලට අපේ උපරිමය  කරලා දෙනවා. ගොඩක් පේජ්වල එහෙම නෑනේ...."
කලක පටන් මුහුණු පේජ් කලාවේ මුලසුනක් දරණ (ඇඩ්‍රස් නෑ) වෙත විවේචන තර්ජන ආදියද පැමිණ තිබේ. එයට පදනම වී ඇත්තේ දේශපාලන සම්බන්ධ පෝස්ට්ය. එහෙත් රනිල් අපට පවසන පරිදි ඔවුහු එක පාර්ශ්වයක් වෙනුවෙන් කිසිවිටෙක පෙනී නොසිටිති. එහෙත් ලංකාවේ බොහෝ දෙනා දේශපාලන මත ඇලී සිටීම නිසා තමන් නියෝජනය කරන පක්ෂ කණ්ඩායම්වල අඩුපාඩු නොදකී. එවිට තර්ජන ගර්ජන විවේචන එල්ල වෙයි. එවිට (ඇඩ්‍රස් නෑ) කරන්නේ තමන් අනෙක් පාර්ශ්වයේ අඩුපාඩු පෙන්වා දැමූ පෝස්ට් ඔවුන්ට පෙන්වීමයි.

(ඇඩ්‍රස් නෑ) රනිල්-තුෂාර සුසංයෝගය දීර්ඝ ගමනක් පැමිණ තිබේ. සමාජ මාධ්‍ය අඩුපාඩු මෙන්න යහපත් දෑ ඔවුන් අත්දැක ඇත. අවසානයේ ඔවුන් සැමගෙන් ඉල්ලා සිටින්නේ යහපත් අරමුණින් හා අවබෝධයෙන් යුතුව සමාජ මාධ්‍ය පරිහරණය කරන ලෙසයි.

 චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00