2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

ලංකාෙවන් මුලින්ම ඔස්කාර් යන චිත්‍රපට දෙක

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 812

‘ඔස්කාර්’ කියන්නේ ලෝකයේ ප්‍රකට සහ විශිෂ්ට සිනමා උළෙලක්. එහි ප්‍රධාන ධාරාවේ තරගකාරී අංශය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් මෙතෙක් කිසිම චිත්‍රපටයක් සමත්වෙලා නැහැ. මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිංහල භාෂාවෙන් මම අධ්‍යක්ෂණය කළ ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයත් ඉංග්‍රීසි භාෂාවෙන් චන්ද්‍රන් රත්නම් අධ්‍යක්ෂණය කළ ‘According to Mathew’ චිත්‍රපටයත් තිරගත වීමට නියමිතයි.

“අපි ලංකාවටම සීමාවෙලා චිත්‍රපට කරලා ප්‍රමාණවත් නැහැ. ශ්‍රී ලාංකික සිනමාව ලෝකයට යා යුතුයි කියන තැනයි මම ඉන්නේ. ඒ සඳහා තිබෙන ඉඩකඩ අපි සොයාගත යුතුයි. ඔස්කාර් සම්මාන උළෙල ඒ සඳහා විශාල අවස්ථා සපයන තැනක්.” ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ අප සමඟ පැවසුවේය.

අනුරුද්ධ පවසන පරිදි අප රටේ සිනමාව ලෝකයට ගෙන යාම අත්‍යවශ්‍ය බව සැබෑවකි. කලාත්මක අංශයෙන් උසස් චිත්‍රපට අප රටේ පසුගිය කාලයේ නිෂ්පාදනය වුණද ඒවා ආදායම් ඉපයීම අතින් සාර්ථක වූයේ නැත. සතියෙන් දෙකෙන් සිනමාශාලාවලින් ගැලවී ගියේය. මේ නිසා කලාත්මක චිත්‍රපට ‘නොදුවන චිත්‍රපට’ යැයි මතවාදයක්ද පොදු ප්‍රේක්ෂකයන් තුළ ඇතිවිය. එවන් වාතාවරණයකදී එකම වසරක චිත්‍රපට දෙකක් ඔස්කාර් නියෝජනය කිරීම අතිශයින් වැදගත්ය.

ඔස්කාර් හෙවත් ඇකඩමි සම්මාන උළෙලේ මූලික කොන්දේසිය වන්නේ 2018 වර්ෂය තුළ අවම වශයෙන් අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නගරයේ එක් සිනමාශාලාවක් තුළ මුදල් ගෙවා නැරඹීමේ පදනම මත (වාණිජ මට්ටමින්) සතියක් අදාළ චිත්‍රපටය තිරගත කිරීමයි. එහිදී අවම වශයෙන් දර්ශන වාර තුනක් දිනකට (එක් දර්ශන වාරයක් ප.ව. 6.00 - ප.ව. 10.00 අතර අනිවාර්ය වේ.) පැවැත්විය යුතුය. එම කොන්දේසි සපුරාලමින් ‘ගින්නෙන් උපන් සීතල’ සිනමාපටය සැප්තැම්බර් මාසයේ තිරගත වූ අතර ඒ අවස්ථාවට අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ ද එක් විය. ‘According to Mathew’ චිත්‍රපටය දෙසැම්බර් මාසයේ අමෙරිකාවේ තිරගත කෙරිණි.
2019 වර්ෂයේ පවත්වන්නේ 91 වැනි ඔස්කාර් සම්මාන උළෙලයි. එහි ප්‍රධාන තරගකාරී අංශයට මුල්වරට ලාංකීය චිත්‍රපට තිරගත වන්නේ මෙවර වුවද 2004 වර්ෂයේ පැවති 76 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ ‘හොඳම විදෙස් භාෂිත චිත්‍රපටය’ කාණ්ඩය යටතේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘වෑකන්ද වලව්ව’ නියෝජනය කළේය. එහි මූලික වටය නියෝජනය කළද ‘වෑකන්ද වලව්ව’ට සම්මාන හෝ සම්මාන සඳහා නිර්දේශ ලැබීමක් සිදුවූයේ නැත. 2010 වර්ෂයේ පැවති 82 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදෙස් භාෂිත චිත්‍රපට කාණ්ඩය යටතේම චන්ද්‍රන් රත්නම් අධ්‍යක්ෂණය කළ ‘අලිමංකඩ (The Road from Elephant Pass)’ ද නියෝජනය කෙරිණි.

“මේ අවස්ථාව හරහා අපේ චිත්‍රපට ලෝකයේ අනෙක් රටවලට විකුණාගැනීමට අවස්ථාව ලැබුණොත් ඒක ලොකු ජයග්‍රහණයක්. අපිට රටක් විදිහට සිනමා ඉතිහාසයේ මුල්වරට හිමිවුණු මේ අවස්ථාව ගැන සතුටු විය යුතුයි. මෙම චිත්‍රපට තිරගත වනවිට ඒවා නරඹා ඡන්දය ප්‍රකාශ කරන පිරිසක් ඉන්නවා. ඔවුන් හොලිවුඩ් චිත්‍රපට ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රවීණයන් පිරිසක්. ඔවුන් තමයි තීරණය කරන්නේ චිත්‍රපටය ඉදිරියට අරන් යෑම ගැන. චිත්‍රපටයේ ශබ්ද පරිපාලනය, රංගනය, අධ්‍යක්ෂණය, තාක්ෂණික භාවිතය වගේ අංශ ගැන සලකලා තමයි ඔවුන් ඡන්දය ලබාදෙන්නේ. අපට චිත්‍රපට උළෙලේ හැම අංශයකටම තරග කිරීමට මේ නිසා අවස්ථාව ලැබෙනවා. අධ්‍යක්ෂණය, කැමරාකරණය, ශබ්ද පරිපාලනය, සංගීතය වගේ හැම අංශයකටම අපි ඇතුළත් වෙනවා.” යැයි අධ්‍යක්ෂ අනුරුද්ධ වැඩිදුරටත් කීවේය.

‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයට පාදක වන්නේ ඝාතනය කෙරුණු ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර කතා පුවතයි. කමල් අද්දරආරච්චි එහි ප්‍රධාන චරිතය නිරූපණය කරයි. 1980 හා 1990 දශකවල සමාජ නිරූපණය කිරීමේදී අවශ්‍ය දර්ශන තල තෝරාගැනීම විශාල අභියෝගයක් වූ බව අධ්‍යක්ෂ අනුරුද්ධ පැවසුවේය. චිත්‍රපටය සඳහා ප්‍රචාරණ වියදම් රහිතව වැය වූ මුදල රුපියල් ලක්ෂ 700 කි. මෙම චිත්‍රපටය ලබන ජනවාරි මාසයේ සිට අප රටේ තිරගත කිරීමට නියමිතය.

‘According to Mathew’ චිත්‍රපටය මේ දිනවල සාර්ථක ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද අප රටේ තිරගත වන අතර එයට පාදක වූයේ 1980 දශකයේ ද්විත්ව ඝාතනයක් කළ දේවගැති මැතිව් පීරිස් කතා පුවතයි. තම සිත්ගත් අනියම් බිරිය වන ඩැල්රින් ඉංග්‍රම් සමඟ ජීවත්වීමට ඇති බාධක වන ඩැල්රින්ගේ සැමියා රසල් හා තමාගේ බිරිය ඉයුනිස් යන දෙදෙනාම ශරීරයේ සීනි මට්ටම අවම කිරීමේ ඖෂධ ලබාදීමෙන් ඝාතනය කිරීමට මැතිව් පීරිස් පෙළඹේ. මැතිව් චිත්‍රපටය ඉංග්‍රීසියෙන් මුලින්ම නිෂ්පාදනය කළ අතර එයට දෙබස් කවා සිංහල පිටපතක්ද ප්‍රදර්ශනය කෙරේ. ඇල්ස්ටන් කොච් සහ ජැකලින් ෆර්ඩිනැන්ඩස් එහි ප්‍රධාන චරිත නිරූපණය කරති.

ඔස්කාර් යන අපේ චිත්‍රපට දෙකම සැබෑ කතා පුවත් පාදක කරගෙන නිෂ්පාදනය වුණු ඒවා වීමද විශේෂිතය. සත්‍ය කතා පාදක කර නිපදවුණු චිත්‍රපට රාශියකට පසුගිය කාලයේ ඔස්කාර් සම්මාන හිමිව තිබේ. ඒ අතරින් 1997දී හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වුණු ‘ටයිටැනික්’ විශේෂිතය. එයට හොඳම චිත්‍රපට සම්මානයට අමතරව තවත් සම්මාන 10ක් හිමිවිය. ඩොලර් මිලියන ගණනින් වැයකර නිපදවන හොලිවුඩ් චිත්‍රපට සමඟ කරටකර තරග වැදෙන අපේ පුංචි රටේ චිත්‍රපට දෙක ගැන අපට ද ආඩම්බරය.

ඔස්කාර් සම්මාන උළෙලට පදනම වැටුණේ 1927දීය. අමෙරිකාවේ එම්.ජී.එම්. චිත්‍රාගාරයේ අධිපති ලුවිස් බී චෙයර් ඇතුළු පිරිසකට චිත්‍රපට කර්මාන්තය දිරිමත් කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විය. ‘අමෙරිකන් ඇකඩමි ඔෆ් මෝෂන් පික්චර්ස් ඇන්ඩ් සයන්සස්’ නම් සංවිධානය බිහිවන්නේ ඒ අනුවය. මෙම ඇකඩමියේ වර්තමාන සාමාජික සංඛ්‍යාව 6000ක් පමණ වේ. ඔවුහු තම තමන් නියෝජනය කරන ක්ෂේත්‍රවල සිනමාපට නරඹා සම්මාන සඳහා සුදුස්සෝ නිර්දේශ කරති. එම නිර්දේශ සඳහා දෙවැනි වටයක්ද පවතී. එම වටයේදී නිර්දේශිත නාම සඳහා ඡන්දය භාවිත කෙරේ.

සම්මාන 22ක් සඳහා නම් 22ක් තෝරාගනු ලබන අතර, එම නම් විශේෂ ලියුම් කවරවල බහා සුරක්ෂිතව තබා සම්මාන උළෙලේදී විවෘත කෙරේ. නිර්දේශිත නාම ලේඛනගත කොට තවත් කවර 22ක බහා සුරක්ෂිතව තැබේ.

ජගත් සිනමා ක්ෂේත්‍රයේ ප්‍රචලිත අදහස වන්නේ ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබීම දිවි ඇති තෙක් සැපසම්පත් සහ කීර්තිය ළඟා කරවන ‘ජාත්‍යන්තර තෑගි සාප්පුවක්’ ලැබීම හා සමාන බවය.

අප රටේ චිත්‍රපට දෙකද ඇතුළුව ලොව පුරා තිරගත කළ Black Panther, Avengers Infinity War, Jurassic World: Fallen Kingdom, Veman, The Nan වැනි චිත්‍රපට සමඟ සිනමාපට 347ක් 2019 ඔස්කාර් තරගකාරී අංශය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබේ. මෝෂන් පික්චර් ඇන්ඩ් සයන්සස් ඇකඩමියේ සාමාජිකයන් ජනවාරි 7 සිට 14 දක්වා කාලය තුළ සිනමාපට නරඹා ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය. නිර්දේශිත නාම ප්‍රකාශයට පත්කරන්නේ ජනවාරි 22දාය. එම නිර්දේශිත නාම අතරින් සම්මාන සඳහා ඇකඩමි සාමාජිකයන්ගේ ඡන්දය විමසන්නේ 2019 පෙබරවාරි 12 සිට 19 දක්වා කාලය තුළදීය. ඡන්ද විමසීම අනුව වැඩිම මනාපය ලබන චිත්‍රපට සහ ශිල්පීන්ට ඇකඩමි සම්මාන පිරිනැමීම පෙබරවාරි 24 දින 91 වැනි ඔස්කාර් රාත්‍රියේදී සිදුකෙරේ.

කුසුම්සිරි විජයවර්ධන 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00