2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

කලකට පසු ලග්න රැසකට සුබ වසරක්

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 963

මේෂ :- මාලවී යෝගයෙන්ද, හය හා අට පරිවර්තනය වී විපරීත පරිවර්තන යෝගයකින්ද, ලග්නාධිපතියා මෝක්ෂ ස්ථානගත වීමකින්ද වර්ෂය උදාවෙයි.

සෞඛ්‍ය :- ආමාශගත පීඩාවන්ට ගොදුරුවීමේ අවදානම ඇත. ආහාර ජීර්ණ මාර්ග පද්ධතියට ඇතිවන ආබාධද, අර්ශස් රෝගය නිසාද සෞඛ්‍ය අපහසුතා මතුවිය හැක.
ආර්ථිකය :- තම වියදමට සරිලන ආදායමක් උපයාගත හැක. නමුත් සීට්ටු දැමීම් ආදියට මැදිවියහොත් මූල්‍ය හානි මතු කරයි. රැකියා ස්ථානයේදී සතුරන්ගෙන් කරදර පැමිණේ.
ගෘහජීවිතය :- විවාහකයකු නම් අනියම් ඇසුරකට ඉඩ ඇත. වයසින් වැඩි විරුද්ධ ලිංගිකයකුගෙන් ලාභ ප්‍රායෝජන, ධනය හා දේපල ලැබේ. අවිවාහකයන්ටද විවාහ කම්සැප ලැබිය හැකි වසරකි.

වෘෂභ :- කර්ම ත්‍රිකෝණයේ එකොළහ සහ හත්වැන්න පාදක කරගෙන පරිවර්තන යෝගයකින් වසර උදාවෙයි. ලග්නාධිපතියා රැකියා සහ ධනය යන ස්ථානවලට දෘෂ්ටි දීම යහපති. ඔබට නඩුවක් පැටලී ඇතිනම් වාසිදායක තීන්දුවක් ලැබේ.

සෞඛ්‍ය :- සිත සතුටින් ගතකරන වසරකි. ආහාරපාන, ඇඳුම් පැළඳුම්, සුවඳ විලවුන් ආදිය බලාපොරොත්තු රහිත ලෙස ලැබේ. අධික කම්සැප විඳී. ශරීරය රෑමත්, පෘෂ්ටිමත් වෙයි. යහපත් සෞඛ්‍ය තත්ත්වයකි.
ආර්ථිකය :- රැකියා වෙළෙඳ ව්‍යාපාර ආදියට ඉතා යහපත් වසරකි. නායකයන්ගෙන් ප්‍රධානීන්ගෙන් ප්‍රසාදයට පත්වෙයි. දේශපාලනයට යාමටත් සුදුසුයි. වැඩි මහන්සියක් නැතිව මුදල් ලැබේ.
ගෘහජීවිතය:- අවිවාහක අයට මංගල යෝග උදාවෙයි. විවාහක අය අමුතු ආදරයක වෙළේ. ප්‍රීතිමත් සම්බන්ධතා පවත්වයි. විනෝද චාරිකා සහ ප්‍රීතිය නිසා කාලය, ධනය වැයවෙන නිසා කල්පනාකාරී වීම යහපත්ය.

මිථුන :- හයවැන්න සහ දහවැන්න පාදක කරගත් පරිවර්තන යෝගයකින්ද, යෝගකාරක සිකුරාගෙන් මතුවන මාලවී යෝගයෙන්ද වසර උදාවීම යහපති. හස්ත කර්මාන්තයකට අතගසා ලාභ ලබන වසරකි.

සෞඛ්‍ය :- අධික ලෙස මහන්සි වීමට සිදුවීමෙන් ශරීරයට තෙහෙට්ටුව ඇතිවීම නිසා මතුවන රෝග ආදිය ඇතිවෙයි. වාත රෝග මතුකළ හැක. පානීය ජලය නිසා ඇතිවන සෞඛ්‍ය අපහසුතාවලට ඉඩ ඇත.
ආර්ථිකය :- රැකීරක්ෂා ආදායම් මාර්ග ආදියට ඊර්ෂ්‍යාකාරකම් මතුවෙයි. රැකියාවේ උසස්වීම් ලබාගැනීමට යාමේදී එය වැළැක්වීමට කටයුතු කරන අය නිසා කලකිරීම් ඇතිවේ. නමුත් උසස්වීම් ලැබීමේ භාග්‍ය ඇත.
ගෘහජීවිතය :- පෞද්ගලික සතුටට කාලය යෙදීම සීමාවිය හැක. වෙනත් ඥාතීන්ගේ ඕනෑ එපාකම් ඉටුකරන්නට මුල්තැන දීම නිසා ළඟම ප්‍රියයන්ට අසාධාරණයක් වෙයි. බොරැ චෝදනා නිසා අසමගිකම්වලට ගොදුරු වෙයි.

කටක :- විද්‍යා ස්ථාන දෙක පාදක කරගත් මහා පරිවර්තන යෝගයකින්ද, මාලවී යෝගයෙන්ද වසර උදාවෙයි. අඩක් නතරකර තිබූ ගොඩනැගිලිවල නැවත ඉදිකිරීම් ඇරඹිය හැක. සතුරු බල මැඩිය හැකි වසරකි.

සෞඛ්‍ය :- සෞඛ්‍ය ඉතාමත්ම යහපත්ය. ශරීරයද ශක්තිමත් වෙයි. දුටුවන් වශීකෘත වෙයි. විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයට ලක්වෙයි. සම පැහැපත් වෙයි. සැප ලැබෙන වසරකි.
ආර්ථිකය :- රැකියාවටද, වෙළෙඳ ව්‍යාපාර ආදියටද යහපති. රේස් ඔට්ටු, සූදු ක්‍රීඩා ආදියෙන්ද මුදල් ලැබේ. අලුතින් අරඹන ව්‍යාපාරවලින් ලාභ ලැබේ. පිරිස් බලය මෙන්ම ආධාරකරුවන් ලැබීම නිසා ආර්ථිකය ඉහළ යයි.
ගෘහජීවිතය :- හොඳ අඹුසැමි සම්බන්ධතා ගොඩනගා ගනී. අවිවාහකයෝ යහපත් විවාහ ජීවිතවලට යොමුවී සතුට ලබති. අනියම් සම්බන්ධතාවලටද යොමුවිය හැකි අතර කීර්තිනාමයට හානියක් ගෙන දේ.

සිංහ :- ලග්නාධිපතියා විද්‍යා ස්ථානගතව වසර උදාවෙයි. සිව්වැනි සහ අටවැන්න පාදක කරගත් පරිවර්තනයක් සමඟ ඇරඹෙන වසරකි. නොතේරැම්කම් මතුවී ස්ථාන මාරුවකට තුඩුදිය හැක. පදිංචි ස්ථානයෙන් බටහිරට හෝ නැගෙනහිරට යොමුවීමේ හදිසි තීරණයක් ගනී.

සෞඛ්‍ය :- රුධිර දෝෂයක් ඇතිවේ. කල්තියා රුධිර පරීක්ෂණයකට යොමුවීම සුදුසුයි. පිත් ධාතුව කුපිත වෙයි. එයින් ශාරීරික අවහිරතා මතුවෙයි. විලුම්, තොල් ආදී ස්ථාන පැලීමට ලක්වේ.
ආර්ථිකය :- ස්ථිර රැකියාවකට බාහිරව අමතර වැඩවලින් ආදායමක් ලැබේ. දේපල හා සම්බන්ධ ගැටලුවක් නිසා ආර්ථික අහේනිකම්වලට ඉඩකඩ මතුවෙයි. අතරමඟදී රැකියාවෙන් විශ්‍රාම ගැනීමක් සිදුවිය හැක.
ගෘහජීවිතය :- නව විවාහ බන්ධනවලට ඇතුළත් වීමට ගැටලු මතු කරයි. කම්සැප ලැබීමට බාධා ගෙන දෙයි. සිහිකල්පනාව අඩුවන මත්පැන් ආදිය භාවිතය නිසා මංමුලාවීම් හෝ කාලත්‍රයාගෙන් සැප ලැබීම් ආදියට බාධා ගෙන දෙයි.

කන්‍යා :- කාම ත්‍රිකෝණයේ තුන්වැන්නත් හත්වැන්නත් අතර පරිවර්තන යෝගයකින් වසර උදාවෙයි. තමාගේ පෞරුෂත්වයට බාධා ගෙන දෙයි. තමන්ගෙන් උදව් උපකාර ලැබූ අය සතුරැකම් කරයි. නෑනලා මස්සිනාලාගෙන් පරිස්සම් විය යුතුය.

සෞඛ්‍ය :- ශරීරයේ සැඟවී තිබූ අසනීපයක් ඉස්මතු වෙයි. ශාරීරික පීඩා ගෙන දෙයි. දඬුවමකට ලක්වීම නිසා මානසික පීඩාවක් මත සෞඛ්‍ය පිරිහෙයි. මහන්සිය, තෙහෙට්ටුව ඉතිරිවන ගමන් බිමන් ඇතිවේ.
ආර්ථිකය :- තැන්පත් ධනය අනවශ්‍ය දෙයට වැයවෙයි. ආයෝජනවලින් අපේක්ෂිත ලාභ නොලැබේ.
ගෘහජීවිතය :- අත්‍යවශ්‍ය දේ සඳහා මුදල් හිඟවීම නිසා ගැටලු ඇතිවේ. පෞද්ගලික ජීවිතයට බලපාන බොරු චෝදනා ඉදිරිපත් වේ. විවාහ ජීවිතයේ ගැටලු මතුවීමෙන් යම් තීරණ ගනී.

තුලා :- කේන්ද්‍රයේ තුන්වැන්න සහ දෙවැන්න පාදක කරගත් පරිවර්තන යෝගයකින් වසර උදාවෙයි. ප්‍රබල ආගමික ශුද්ධභූමි ස්ථාන ස්පර්ශ කරන්නට ලැබෙන කාලයකි. තනතුරු තානාන්තර, ධනලාභ ලැබෙන කාලයකි.

සෞඛ්‍ය :- ආහාරපාන රසමසවුල් උපරිම ලෙස ලැබේ. ශරීරයද දැකුම්කළුභාවයට පත්වෙයි. ශාරීරික පෘෂ්ටිමත් ස්වභාවයද, ශරීර සනීපයද ලැබේ. ආගන්තුක ලෙස ශරීරයට පීඩාවක්ද, චිත්ත පීඩාවකටද හේතු ඇත.
ආර්ථිකය :- කරන කියන රුකියා කටයුතු, වෙළහෙළඳාම් ආදිය උසස් වෙයි. සතුරන් පරාජය වී යහපත් ආර්ථික පසුබිමක් ගොඩනැගෙයි. ඥාතීන්, හිතමිතුරන් තමා සොයාගෙන එයි. වාසි ලැබේ. 
ගෘහජීවිතය :- අවිවාහක නම් විවාහයට පසුබිම සැලසේ. විවාහක අයට උපරිම විවාහ සතුට භුක්ති විඳිය හැක. දරුසම්පත් පතනවා නම් යහපත් දරුවන් ලැබේ. වසරේ අප්‍රේල් 16 සිට මැයි 10 දක්වා සෑම අතින්ම වාසනාව උරගා බලන්නට අමතක නොකරන්න.

වෘශ්චික :- පස්වැන්න සහ ලග්නය අතර ප්‍රබල පරිවර්තන යෝග බලයකින් වර්ෂය උදාවෙයි. ඊර්ෂ්‍යාකාර සතුරන් බොරු චෝදනා ඉදිරිපත් කරයි. තමාට ජය ලැබෙන පසුබිමක්ද මතුවෙයි. වර්ෂය අවසානයට ළඟාවන විට යහපත්ය.

සෞඛ්‍ය :- රුධිර දෝෂ නිසා ශරීරයට පීඩා ඇති කරයි. ආහාරපානවල විටමින් කොටස් ශරීරයට උරාගැනීම අඩපණ කරයි.
ආර්ථිකය :- රැකියා, වෙළෙඳ ව්‍යාපාරවලට කරදර බාධා ගෙන දේ. එහෙත් ආර්ථිකය සාමාන්‍ය පරිදි ගෙන යාමට හැකිය. තම කටයුතුවලට නෑදෑ හිතමිතුරන්ගෙන් සහාය ලැබේ.
ගෘහජීවිතය :- පවුලේ අය හා හිතවතුන් සමඟ අමනාපකම් ඇතිවේ. සුළු ප්‍රශ්න දුරදිග ගොස් අවුල් ගොඩනගයි. සමාජ කටයුතු ගැනද විවිධ චෝදනා, අපවාද එල්ල වේ. දෙවරක් සිතා තීරණ ගන්න.

ධනු :- ලග්නාධිපතියා වැය ස්ථානගතවී සිටියදී හත්වැන්න අධිපතියාද මෝක්ෂ ස්ථානගතවී සිටී. පස්වැන්න සහ එකොළොස්වැන්න පාදක කරගත් මහා පරිවර්තන යෝගයක්ද මතුවී ඇත.

සෞඛ්‍ය :- සිත්තැවුල් ඇතිවන වාතාවරණයක් වෙයි. වෙහෙසකර ගමන් බිමන් හා ක්‍රියාකාරකම් නිසා සෞඛ්‍ය පිරිහේ.
ආර්ථිකය :- සත්ත්ව වෙළෙඳාම් යෙදෙන අයට යහපත් නැත. එකී ව්‍යාපාර කඩා වැටේ. ආර්ථික අහේනියකට හේතුය. ආරක්ෂක යන්ත්‍ර මන්ත්‍ර, ගුරැකම්වලට යොමුවන බව පෙනේ.
ගෘහජීවිතය :- යම් යම් රහසිගත සම්බන්ධතා නිසා කීර්තිනාමයට හානි සිදුවේ. සතුට විනෝදයට කටයුතු කිරීමම මුල්තැනට ගෙන ක්‍රියා කිරීම නිසා ගෘහජීවිතයද පිරිහෙයි. රහසිගත දෙයට යොමුවීමෙන් වළකින්න.

මකර :- සිව්වැන්න එකොළොස්වැන්න පාදක කරගෙන මහා පරිවර්තන යෝගයකින්ද, සිකුරුගේ මාලවී යෝගයෙන්ද උදාවන මෙම වර්ෂය කලකට පසු ඔබට ස්වර්ණමය යුගයක් උදා කරයි. දේව භක්තිය වර්ධනය වී ඔබ ඉහළටම ගනු ඇත.

සෞඛ්‍ය :- කල්ගිය පැරණි රෝගාබාධයක් පැවතියේ නම් ඉක්මන් සුවය ගෙන දෙනු ඇත. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඉස්මතු වෙයි.
ආර්ථිකය :- දෛනික දියුණුව ඇතිකරගැනීම සඳහා ඇවැසි පසුබිම ගොඩනගා ගනී. ඇවැසි මිල මුදල්, ධනය, දේපල ආදී ආර්ථික ශක්තිය වැඩිදියුණු වෙයි. අමතර ව්‍යාපාරික කටයුතුවලින් යහපත සැලසේ.
ගෘහජීවිතය :- පවුලේ සාමය සමගිය වර්ධනය වෙයි. විවාහක අයට විවාහ කටයුතු දියුණු වේ. අවිවාහක අයට මංගල යෝග උදා කෙරේ. මෙතෙක් පැවැති බාධක දුරැවී සැප සම්පත් ගෙන දේ.

කුම්භ :- වික්‍රමස්ථානය සහ කර්මස්ථානය සම්බන්ධ කරගත් පරිවර්තන යෝගයෙන්ද, මාලවී යෝගයෙන්ද වසර ඇරඹේ. හැමවිටම දූරදර්ශීව කටයුතු කිරීමට උනන්දු විය යුතුය.

සෞඛ්‍ය :- සෞඛ්‍ය තත්ත්වය රැකගැනීමට උනන්දු විය යුතුය. දිවා රෑ දෙකේ වෙහෙස වෙමින් මුදල් පසුපස හඹායාම සුදුසු නැත. කල්ගිය අසනීප මතුවීමට ඉඩ වැඩිය.
ආර්ථිකය :- වෙළහෙළඳාම්වලට ශුභ නැත. රුකියා කරදර මතු කරයි. හොඳම දේ ණය තුරුස්වලට නොයාමය. මඳ දෙයින් සතුටු වන්න. විශාල බලාපොරොත්තු හඹා නොයන්න.
ගෘහජීවිතය :- කාලත්‍රයාගේද අකාරුණිකත්වයට ගොදුරුවනු ඇත. සාමය නැතිවී ගෘහජීවිතය අවුල් වී යන තැනට හේතුවන ක්‍රියාකාරකම්වල නොයෙදිය යුතුය.

මීන :- දෙවැන්න හා නවවැන්න පාදක කරගත් පරිවර්තන යෝගය ඔබට ස්වර්ණමය යුගය බිහිකරයි. සයුරෙන් එතෙර යන්නට පවා ඔබට අවස්ථාව යෙදේ. විභාගවලින් ජය ලැබේ.

සෞඛ්‍ය :- සිත සතුටින් පිරේ. ශාරීරික, මානසික සෞඛ්‍ය ඉහළ මට්ටමක පවත්වාගත හැක. වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව කටයුතු කර සෞඛ්‍ය පිරිහීම වළක්වාගත හැකිය.
ආර්ථිකය :- ඉතා යහපත් ආර්ථිකයක් ගොඩනැගේ. අමතර ආදායම් මාර්ග පෑදේ. පිට පළාත්වලට ගොස් සිදුකරන වෙළහෙළඳාම්වලින් ධනය වැඩිපුර ලැබේ.
ගෘහජීවිතය :- මංගල යෝග උදා කෙරේ. විරුද්ධ ලිංගිකයන්ගේ ආදරයට පාත්‍රවෙයි. ප්‍රේම සම්බන්ධතා කිහිපයක් මතුවන බැවින් පරිස්සම් වන්න. ආගමික පැවිදි උතුමන්ගේ උපදෙස්වලට ගරු කරන්න.

 දේශබන්ධු, ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
     ගාල්ලේ අක්මීමන තලගහ
     සුරා ශ්‍රී ගුණවර්ධන

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00