2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

2018 දෙස ආපසු හැරෙමු!

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 143

2018 වසර පුරාවට ශ්‍රී ලංකාවේ විවිධ සුවිශේෂී සිදුවීම් රාශියක් විය. ඒ අතරේ සිදුවුණු විශේෂ සිදුවීම් කිහිපයක් මෙසේ සටහන් කරමු.


ජනවාරි 07
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහ සම්මේලනයක් කොළඹ කැම්බල් පිටියේදී පැවැත් වුණි.


08 
කුඹුරු අක්කර තුන්ලක්ෂයක් ඇතුළු වගා බිම්වලට දියවර සැපයෙන මොරගහකන්ද ජලාශය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වුණි.


21
‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයෙන් ඇරඹුණු සිංහල සිනමාව වසර 71ක් සැපිරීය.


22
සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුන්ග් තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේය.


පෙබරවාරි 03
බෙල්ලන්විල රජමහ විහාරයේ විහාරාධිපතිව වැඩ විසූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති වූ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමියෝ අපවත් වූහ.


10
පළාත් පාලන ආයතන 340කට නියෝජිතයන් 8325ක් තෝරාගැනීමේ ඡන්ද විමසීම ඡන්ද මධ්‍යස්ථාන 13374කදී පවත්වනු ලැබීය.

 

11
පළාත් පාලන ආයතන තුන්සිය හතළිහෙන් ආයතන දෙසීය තිස් නවයක බලය දිනාගනිමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයක් හිමිකර ගත්තේය.


15
ග්‍රෑන්ඩ්පාස් බබාපුල්ලේ මාවතේ තේ කොළ, කුළුබඩු අපනයන සමාගමක ගොඩනැගිල්ලක් කඩාවැටී හත්දෙනෙක් මරණයට පත්වූහ.


16
ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා ලෝකයේ වැඩියෙන්ම වටිනාකමක් ඇති දුර්ලභ බෙන්ට්ලි මුල්සාන් හෝල්මාන්ස් වර්ගයේ මෝටර් රථයක් මිලදී එය ගුවනින් මෙරටට ගෙන්වන ලදී.


මාර්තු 01
කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් සංවිධානය කළ “ඉන්වෙස්ට් ශ්‍රී ලංකා* සමුළුව සඳහා සහභාගි වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුව බලාපිටත් විය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඔලිම්පික් පදක්කම්ලාභී ඩන්කන් වයිට් මහතාගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් විශේෂ මුල්දින කවරයක් නිකුත් කිරීම ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.


08
අපවත්වී වදාළ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපතිව වැඩ විසූ දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වුණි.


11
ජාත්‍යන්තර සූර්ය බලශක්ති සංවිධානය මගින් ඉන්දියාවේ නව දිල්ලි නුවර රාෂ්ට්‍ර පතිභවන්හිදී පැවැති සමාරම්භක උළෙල ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.


12

  • ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාරිසරික වැඩසටහන් ප්‍රධානි එරික් සෝල්හයිම් මහතා හමුවිය.
  • ජපන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත විය.


අප්‍රේල් 05
මහ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 99 වැනි ජන්ම දිනය සමරනු ලැබීය.


08
පොදු රාජ්‍ය මණ්ඩලයේ 21 වැනි ක්‍රීඩා උළෙලේදී කිලෝග්‍රෑම් 56 බර පන්තිය යටතේ බර ඉසිලීමේ පිරිමි ඉසව්වෙන් කිලෝ ග්‍රෑම් 248 බරක් ඔසවමින් තරග වැදුනු 4 වැනි කමාන්ඩෝ රෙජිමේන්තුවේ ක්‍රෝප්‍රල් ජේ.ඒ.සී. ලක්මාල් ලෝකඩ පදක්කම දිනා ගත්තේය.


19
පොදු රාජ්‍ය මණ්ඩලය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රාජ්‍ය නායකයන්ට එළිසබෙත් මහ රැජින විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් බකිංහැම් මාලිගාවේ පවත්වන ලදී.


29
ශ්‍රී ලාංකීය සිනමාවේ ස්වර්ණමය යුගයක් සනිටුවහන් කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අභාවය සිදුවිය.


මැයි 13
ඉන්දියානු යුද හමුදා මණ්ඩලික ප්‍රධානි ජෙනරාල් බිෆින් රාවට් දින හතරක නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය.


ජුනි 05
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු මෙන්ම රූපවාහිනී නිවේදකයෙකු වූ හේම නලින් කරුණාරත්න මහතා අභාවප්ප්‍රාත විය.


11
අධිකරණයේදී බැණ තර්ජනය කිරීමේ චෝදනාවට වරදකරු වූ බොදුබල සේනා සංවිධානය මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිර දඬුවම් නියම කෙරිණි.


18
ප්‍රංශ නාවික හමුදාවට අයත් සර්කෝෆ් සහ ඩික්ස්මූඩ් යන නෞකාව සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.


19
ප්‍රවීණ ගායන ශිල්පී, සංගීතවේදී අයිවෝ ඩෙනිස් මහතා අභාවප්‍රාප්ත විය.


ජූලි 23
කොළඹ සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති ජාතික පැරා මළල ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමෙන් ශ්‍රී ලංකා යුද හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුවේ ආබාධිත සැරයන් එච්.ඒ.සී.එස්. හෙට්ටිආරච්චි නව ලෝක වාර්තාවක් පිහිටු විය.

 

අගෝස්තු 08
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනා හතරටම වරදකරු වීමෙන් උන්වහන්සේට වසර හයක සිරදඬුවමක් නියම විය.


18
ලාංකීය චිත්‍රකතා ඉතිහාසයේ නොමැකෙන සළකුණක් තැබූ බලංගොඩ සරත්මධු අභාවප්‍රාප්ත විය.


21
ජපාන ආරක්ෂක අමාත්‍ය ඉම්සුනොරි ඔනොඩේරා මහතා දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියේය.


සැප්තැම්බර් 09
ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේදී ශුරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමත් විය.


22
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 73 වැනි සැසිවාරය ඇමතීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමෙරිකාව බලා පිටත් විය.


ඔක්තෝබර් 8
සීෂෙල්ස් රාජ්‍යයේ දෙදින නිල සංචාරයක යෙදුණු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරට ජනපති ඩැනී ෆෝ මහතා මුණගැසුණේය.


11
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමට වරදකරු වූ දුමින්ද සිල්වාට ත්‍රිපුද්ගල මහධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මරණ දඬුවම නියම කරන ලදී.


20
ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදී අතර හමුවක් නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී සිදුවිය.


24

  • ත්‍රස්ත විමර්ශන කොට්ඨාස භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති කෞෂාල් නාලක ද සිල්වා සහ දූෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන දෙදෙනාගේ දුරකතන සංවාද ඇතුළත් කැසට් පට 124න් පට 123ක්ම සැසඳෙන බව අධිකරණය දැනුම් දෙනු ලැබීය.
  • උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් දෙමළ ජාතික සංධානයෙන් ඉවත් වී තමිල් මක්කල් කුට්ටිනි (T.M.K.) නම් දේශපාලන පක්ෂයක් ආරම්භ කළේය.


26
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් පහකොට නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත්තේය.


29
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව කැඳවීමේ බලය කතානායකවරයා සතුව පවතින බව රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් මාධ්‍යවේදීන් සමඟ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළේය.


30
එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන ජන රැළියක් කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී පැවැත්වුණි.


නොවැම්බර් 01
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් සහ ආර්ථික කටයුතු ඇමති ලෙස මුදල් අමාත්‍යාංශයේදී වැඩ බාරගත්තේය.


05
පාර්ලිමේන්තු වටරවුම අසල ජනාධිපති සහ අගමැති ප්‍රධානත්වයෙන් ජනරුළියක් පැවැත්වුණි.


09
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අති විශේෂ ගැසට් පත්‍රයකට ජනපති අත්සන් කළේය.


10
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව එක්සත් ජාතික පෙරමුණ ඇතුළු කණ්ඩායම අධිකරණය හමුවට යාමට තීරණය කෙරිණි.


12

  • පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කළ නියෝගය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් ඉදිරිපත් විය.
  • එම පෙත්සම් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලනු ලැබූ අතර පෙත්නම් විභාගයට දින නියම කොට එතෙක් පාර්ලිමේන්තුව විසුරවා හැරීමේ ගැසට්ටුව අත්හිටවනු ලැබීය.


15
පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරු පිරිසක් කලහාකාරී ලෙස හැසිරිණි. එහිදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුමට පිහියක් රැගෙන පැමිණි බවට චෝදනා එල්ල විය.


16
පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කරමින් ආණ්ඩු පක්ෂය ක්‍රියාකරද්දී දැඩි පොලිස් රැකවල් මැද කතානායකවරයා සභාවට පැමිණියේය.


23
2018 රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උළෙලේදී හොඳම රූපවාහිනී නළුවා ලෙසින් මහේන්ද්‍ර පෙරේරා සහ හොඳම නිළිය ලෙසින් නදී කම්මැල්ලවීර සම්මාන දිනාගත්හ.


22
පොලිස් වෙසින් පැමිණි පුද්ගලයෙකු රුපියල් කෝටි හත්සීයක් අධික වටිනාකමින් යුත් කැරට් 750ක දකුණු අප්‍රිකානු දියමන්තියක් සහ මැණික් ගල් තොගයක් කොල්ලකෑමේ සිද්ධිය වාර්තා විය.


23
පාර්ලිමේන්තු තේරුම් කාරක සභාවට කතානායක කරු ජයසූරිය මහතා විසින් ඉදිරිපත් කළ නියෝජිත ලැයිස්තුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් 121කගේ ඡන්දයෙන් ඒකමතිකව සභා සම්මත කරනු ලැබීය.


දෙසැම්බර් 13
පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් බල රහිත කරනු ලැබීය.


16
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා 14 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනපති ඉදිරියේ දිව්රුම් දුන්නේය.

►දිශානි ජයමාලි කරුණාරත්න