2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

කුඩු ඝාතන වැලක පුරුකක්වූ වනාතේ රෝෂන්

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 400

පාතාලයන්ට මිතුරන් නැත. ඥාතීන් නැත. මනුස්සකම් නැත. කොටින්ම පාතාලයන්ට මොළයක්ද නැත. හිතන්නේ හෙට ගැන නොව අද ගැනය. ජීවිතය අද දවසේ රැකගැනීම පාතාලයන්ගේ සිහිනයක්ය. ඒ නිසා පාතාලයන් සිටින්නේ නිතර සැකයෙන්ය. සැකය නිසා අවසානයේ බොහෝදෙනාගේ ජීවිතවලට මරණ සහතික පැමිණ ඇත්තේ නොසිතූ අවස්ථාවලදීය.

මේ කියන්නට යන්නේ කොළඹ පාතාලය අරක්ගෙන සිටින පාතාල කෙරුමන් දෙදෙනකුගේ ගැටුම් නිසා ඇතිවූ අතුරු සිද්ධියක් ගැනය. මේ කතාව කියවූ පසු පාතාලයන් කෙතරම් සැකෙන් ජීවත් වන්නේද යන්න ඔබට වැටහෙනු ඇත.

කොළඹ පාතාලය තුළ කෙතරම් පාතාලයන් සිටියත් අද වනවිට රජ කරන්නේ කණ්ඩායම් දෙකකි. එක් කණ්ඩායමක් මරණීය දණ්ඩනය නියම වූ දෙමටගොඩ චමින්දගේ පාර්ශ්වය නියෝජනය කරන අතර, තවත් පාර්ශ්වයක් දැනට බන්ධනාගාරයේ සිටින බ්ලූමැන්ඩල් සංඛලාගේ පාර්ශ්වය නියෝජනය වෙයි. මේ දෙදෙනාගේ ජම්මාන්තර ගත වෛරය නිසා පරලොව ගිය අය බොහෝ වෙති. එම ගැටුම් නිසා 2012 වර්ෂයේදී දෙමටගොඩ ප්‍රදේශයේදී එක් පුද්ගලයකුත්, 2014 වර්ෂයේ මට්ටක්කුලිය සහ මෝදර ප්‍රදේශයේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකුත්, 2013 වර්ෂයේදී ග්‍රෑන්පාස් ප්‍රදේශයේදී තරුණයකුත්, 2012, 2014 කාලය තුළ බොරැල්ල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු සහ දෙමටගොඩ ප්‍රදේශයේ අයකුත්, එසේම 2015 වසරේ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පැවති මැතිවරණ රැලියකදී කාන්තාවක් සහ තරුණයකුත්, අවසාන වශයෙන් 2016 වසරේදී මට්ටක්කුලිය ප්‍රදේශයේ පුද්ගලයන් සිව්දෙනකුත් අමු අමුවේ ඝාතනය වූහ. එම ඝාතනවලට අමතරව තවත් නිල නොවන වශයෙන් ඝාතනත්, බියවැද්දීම සඳහා වෙඩි තැබීමුත් දෙපාර්ශ්වය විසින්ම සිදුවිය.

මේ නිසා ඇතැම් පිරිස රට හැරදා ගියහ. තවත් පිරිස් කොළඹින් පිට පළාත්වලට පැන ගියෝය. එහෙත් රැල්ල නැවතුණේ නැත.

දෙමටගොඩ චමින්දගේ පාර්ශ්වයට සම්බන්ධ පුද්ගලයන් වැඩි දෙනෙක් ජීවත් වුණේ දෙමටගොඩ සහ බොරැල්ල ප්‍රදේශවලය. ඒ අතරින් උඩින්ම නම කියවන දෙදෙනෙක් වූහ. ඒ වනාතේ සුද්දා සහ කුඩු රෝෂන්ය. මොවුන් දෙදෙනා චමින්දගේ පාර්ශ්වයේ වුවත් කුඩු වෙළෙඳාමට බැස්සේ චමින්ද පාසල් යන වයසේදී බව සඳහන් වේ. 1997 දී පටන් මොවුන් හෙරොයින් වෙළෙඳාම් සිදුකර ඇති අතර, එවකට ඔවුන්ගේ ලොක්කා වූයේ නයිට් රයිඩර් රෝහිතය. රෝහිත හෙරොයින්වලින් කප් ගැසූ අයෙක් විය. රෝහිතව නයිට් රයිඩර් යන අන්වර්ථ නමින් හැඳින්වූයේ ඔහු හෙරොයින්වලින් උපයාගත් ධනයෙන් මිලදී ගත් මෝටර් රථයක් නිසාය. මෙම මෝටර් රථය 90 දශකයේ ජනප්‍රිය වූ රෑපවාහිනී ඉංග්‍රීසි නාට්‍යයක වූ මෝටර් රථයට සමාන විය. ඒ නිසා රෝහිතට එම නම පටබැඳුණේය.

කෙසේ වෙතත් රෝහිතට වැඩි කලක් රජකරන්නට වුණේ නැත. හිටි හැටියේ අතුරුදන් වූ රෝහිත දින කිහිපයකට පසුව හමුවූයේ බෝක්කුවක් යට මළසිරුරක් හැටියටය. එතැනින් පසු රෝහිතගේ හෙරොයින් ජාවාරමේ කතාව නිමාවන අතර ඔහු වෙනුවෙන් කුඩු ජාවාරමට ඉදිරිපත් වූයේ මාළු මංජු නැමැති අයෙකි. මාළු මංජු සමඟ බිස්නස් කිරීමට කිසිදු පැකිලීමකින් තොරව සුද්දා සහ රෝෂන් එක්වූ නිසා ඉන්පසුව වනාතේ කුඩු රජා වන්නේ මංජුය. එහෙත් මේ ඇයි හොඳයිය වැඩි කලක් තිබුණේ නැත. රෝෂන් සහ සුද්දා සමඟ ඇතිකරගත් ආරවුලක් නිසා දෙපිරිස දෙපැත්තට වන්නේ එකිනෙකාට මරණයේ වරෙන්තුව ලබාදෙමිනි. අවසානයේ මංජුද අබිරහස් ලෙස ඝාතනය විය. එම ඝාතනයට සුද්දාව සහ රෝෂන්ව සැක කළත් ඊට අවශ්‍ය සාක්ෂි පොලීසියට සොයාගැනීමට හැකිවූයේ නැත.

එතැනින් පසුව රෝෂනුත්, සුද්දාත් එක්වූයේ මැගසින් පාරේ කුඩුනිලූ සමඟය. නිලූ යනු ඒ වනවිටත් ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ තැනැත්තියකි. ඇයට ඍජුව හෙරොයින් පාකිස්ථානයේ සිට ලැබුණු අතර එලෙස හෙරොයින් ගෙනවිත් දුන්නේ පාකිස්ථානයේ සුල්තානා නැමැති කාන්තාවක් විසිනි. එම කාන්තාව මෙරටටම හෙරොයින් රැගෙනවිත් නිලූට ලබාදුන්නාය.

පාකිස්ථානයේ සිට සිදුකළ මෙම ජාවාරම වැඩි කලක් කරගෙන යාමට නිලූට හැකිවූයේ නැත. දිනක් නිලූත්, සුද්දාත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට කොටුවූයේ ග්‍රෑම් සියයකට වැඩි හෙරොයින්ද සමඟය. මේ නිසා දෙදෙනාටම හිරබත් කන්නට සිදුවූයේ 2004 වර්ෂයේදීය. එහෙත් කෙටි කාලයකටය.

එම නඩුවෙන් ඇප ලබා පැමිණෙන සුද්දාත් නිලූත් නැවතත් රෝෂන් සමඟ සිය ජාවාරම කරගෙන ගියේ සුපුරුදු පාකිස්ථානු ජාතික කාන්තාවගේ ආශිර්වාදය මතය. එහෙත් එය වැඩිකල් සිදුවූයේ නැත. දිනක් පාකිස්ථානු ජාතික සුල්තානා හෙරොයින් තොගයක් රැගෙන පැමිණෙන විට පොලීසියට කොටු විය. මේ නිසා ඇය බන්ධනාගාර ගත විය.

එහෙත් නිලූ, සුද්දා සහ රෝෂන්ගේ ජාවාරම එයින් නැවතුණේ නැත. ඒ වෙනුවට ඔවුන් බන්ධනාගාරයේ සිටින සුල්තානා හරහා පාකිස්ථානයේ සිටින පුද්ගලයකු මගින් නැවතත් මෙරටට හෙරොයින් රැගෙන එන්නට පටන් ගත්තේය. ඒ 2009 වර්ෂයේ සිටය. එහෙත් 2009 වර්ෂයේදීම සුද්දා තවත් හෙරොයින් ග්‍රෑම් 150ක් සමඟ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට කොටු විය. මේ නිසා නිලූත් රෝෂනුත් තනිවූ අතර ඒ අතරතුර කාලයේදී දෙමටගොඩ චමින්ද මොවුන් දෙදෙනාට සමීපවූයේ රංග නැමැති වනාතේ අයකු හරහාය. එතැන් පටන් චමින්දත්, රෝෂනුත්, නිලූත් බොරැල්ල වනාතේ කුඩු ජාවාරම මෙහෙයවනු ලැබූයේ දේශපාලන බලයද සමඟිනි.

කෙසේ වෙතත් මේ පිරිසගේ යාළු මිත්‍රකම්වලට වැඩි ආයුෂ තිබුණේ නැත. 2010 වර්ෂයේදී නිලූට මරණ දඬුවම හිමිවූයේ මේ කාලය තුළදීය. වැලිකඩ යන නිලූට ඇයගේ කාමරයේදී සුපුරුදු තැනැත්තියක්ද හමුවිය. ඈ පාකිස්ථානු ජාතික සුල්තානාය. මේ නිසා නිලූ සිය ජාවාරම අත්නොහළ අතර ඒ වෙනුවට සුල්තානා හරහා තව තවත් සබඳතා ගොඩනගාගනිමින් පාකිස්ථානයේ සිට හෙරොයින් මෙරටට ගෙන්වීම සිදුකළේය.

මේ අතරතුර 2012 වර්ෂයේ එක්තරා රාත්‍රියක බ්ලූමැන්ඩල් සංඛත්, සුජීවත්, බිම්සරත්, මාකිලංගමුවේ සංජීවත් ඇතුළු පිරිසක් ටී56 ගිනි අවි දෙකක් රැගෙන පැමිණියේ සුපුරුදු ඉලක්කය වන දෙමටගොඩ චමින්ද සොයාගෙනය. එහෙත් පිරිසට නොසිතූ මොහොතක සිය වාහනය නවත්තන්නට වූයේ ඒ වනවිටත් ඔවුන් පසුපස පන්නාගෙන පැමිණි මෝටර් රථයකුත් ජිප් රථයකුත් නිසාය. අවසානයේදී මෝටර් රථය බේස්ලයින් දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ නවත්වන අතර එහිදී වෙඩි වරුසාවක් ජිප් රථයෙන් එල්ල විය. වෙඩි වරුසාව හමුවේ පසුබසින සංඛ ඇතුළු පිරිස පැනගන්නේ වනාතමුල්ලටය. වෙඩි තැබීම නිසා මෙහිදී සංඛ පැමිණි මෝටර් රථය පැදවූ සුජිත් මියගියේය. 

මෙහි හොඳම සිද්ධිය වූයේ වෙඩි තැබීම ගැන ඔත්තුව දෙමටගොඩ පොලීසියට ලබාදුන්නේ ජිප් රථයේ පැමිණි දෙමටගොඩ රුවන් විසින්ම වීමය. දෙමටගොඩ රුවන් යනු චමින්දගේ සහෝදරයාද විය. කෙසේ වෙතත් මෙම සිද්ධිය වනවිට චමින්දද භාරත ලක්ෂ්මන් ඝාතන සිද්ධියට ඇප ලබා පැමිණ සිටියේය.

එම සිද්ධියෙන් පසුව බ්ලූමැන්ඩල් සංඛ, අවි සම්පත් සහ මාකිලංගමුව සංජීව යන අය ඩුබායි රාජ්‍යයට පැනගන්නේ ජීවිත ආරක්ෂාව පතාය. එසේ පැනගත් ඔවුන් නැවතත් චමින්දව ඉලක්ක කරගත්තේ සිය ගෝලයන් යොදවාගෙනය.
කෙසේ වෙතත් මෙම සිද්ධියේදී බ්ලූමැන්ඩල් සංඛලාට ආරක්ෂාවත්, තොරතුරත් ලබාදී ඇත්තේ වනාතේ තරුණයකු විසින් බව දෙමටගොඩ චමින්දට මේ අතරතුරේදී දැනගන්නට ලැබුණි. ඒ ගැන රෝෂන්ටත්, සුද්දාටත් දැනුම් දෙන චමින්ද ඔවුන් හරහා තරුණයාට තර්ජනය කළේය. තර්ජනය සිදුකර වැඩි කලක් යන්නට මත්තෙන් එම තරුණයා නාඳුනන තුවක්කුකරුවකු අතින් සැලුන් එකක් තුළ ඝාතනය විය. එය නාඳුනන තුවක්කුකරුවකුගේ වැඩක් වූවත් චෝදනාව එල්ල වූයේ චමින්ද වෙතය.

එලෙස ඝාතනය වූ තරුණයා සංඛගේ පාර්ශ්වයේ අයකු වූ නිසා එම සිදුවීම සංඛට සිදුවූ විශාල පහරදීමක් ලෙස ඔවුහු සිතූහ. මේ නිසා ඊට පිළිතුරක් ඉක්මණින් ලබාදීමට සංඛගේ පාර්ශ්වය නියෝජනය කළ හෙරොයින් ජාවාරමට සම්බන්ධ මහත්තයා ඇතුළු කණ්ඩායමක් සූදානම් වී සිටියහ.

ඒ අනුව 2014 වර්ෂය් එක්තරා දිනෙක සම්පත් සඳරුවන් නොහොත් සුද්දා නඩු විභාගයකට යාම සඳහා සිය ඇඳුම මැදගැනීමට පාරට යමින් සිටියේය. එවිට එකවරම පැමිණි කණ්ඩායමක් සුද්දාට පහරදී ගෙල කපා ඝාතනය කළේ නොසිතූ මොහොතකදීය. එම ඝාතනයෙන් කැළඹීමට පත් සුද්දාගේ වැඩිමහල් සහෝදරයා වන රෝෂන් සෑමතැනම ප්‍රකාශ කර සිටියේ මෙම ඝාතනයට මහත්තයා වගකිවයුතු නිසා කොයියම් මොහොතක හෝ වාඩුව ගන්නා බව කියාය. 

එම ඝාතනයෙන් පසුව සම්පූර්ණ මත්ද්‍රව්‍ය ජාවාරම රෝෂන් වෙත පැවරුණි. ඒ සඳහා බන්ධනාගාරයේ සිටි නිලූ උපරිමයෙන් සහායද ලබාදුන්නාය. මේ අතරතුර දිනක් නිලූගේ ඇනවුමක් මත පකිස්තානයේ සිට රැගෙන ආ කුඩු කිලෝවක් සමඟ පකිස්තානු ජාතිකයකු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත්තේය. ඔහුව අත්අඩංගුවට ගත් පසු නිලූ ගැන වැමෑරූ අතර එහිදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මේ ගැන පරීක්ෂණයක්ද ආරම්භ කරන ලදි.
එම පරීක්ෂණයේදී මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය බන්ධනාගාරයට ගොස් නිලූගෙන්ද ප්‍රකාශයක් ලබා ගත්තේය. මෙම පරීක්ෂණයේදී තවත් අපූරු කාරණා රැසක් හෙළිවුණු අතර රෝෂාන් මෙම ජාවාරම පසුපස සිටින පුද්ගලයා බව ඇතැම් ප්‍රකාශ මත හෙළිවිය.

මත්ද්‍රව්‍ය නාශක කාර්යයංශය සිදුකළ විමර්ශනයේදී රෝෂන් නිලූ එක්ව සිදුකරන ව්‍යාපාරයෙන් කතරගම ප්‍රදේශයේ කාමර කීපයක හෝටල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටද තීරණය කර තිබී ඇත. එසේම කොළඹ ස්ථාන කිහිපයකින් ඉඩම් මිලදී ගැනීමටද ඔවුන් සූදානමින් සිට ඇත. කෙසේ වෙතත් රෝෂන් ලබාගත් මුදලින් විශාල කොටසක් සිය පවුල් නඩත්තුව සඳහාද යොදවා ඇත. කාන්තාවන් තිදෙනකු විවාහ කරගෙන සිට ඇති අතර රෝෂන්ට දරුවන් 08 දෙනෙකු සිට ඇත. ඔවුන් සඳහා සියලු නඩත්තු වියදම් ලබාදී ඇත්තේ රෝෂන්ය.

රෝෂන් එලෙස දේපළ රැස්කරගෙන සිටියත් පසුගිය කාලය පුරාම සඟවා සිටියේ කොළඹින් බැහැරවය. එයට හේතු වූයේ පොලීසිය ඔහු පසුපස පැන්නූ නිසාය. එහෙත් ඔහු දැනට මාස දෙක තුනකට පෙර සිට නැවතත් වනාතේ සැරිසරන්නට පටන් ගෙන තිබිණි. ඒ අනුව පසුගිය 05 වැනිදා උදෑසන රෝෂන් යන්නේ සුපුරුදු ක්‍රීඩාව කිරීම සඳහාය. ඒ පාපන්දු ක්‍රීඩිවේ නිරත වීමටය. එහෙත් එලෙස යන අතරතුර පිටපසින් පැමිණි දෙදෙනකු රෝෂන්ට පහරදී මන්නයකින් කොටා පිහියකින් ඇන ඝාතනය කළේ දෙනෝ දාහක එහා මෙහා යන උදෑසනකදීය.

මෙම ඝාතනය සිදුකළේ යන්න කවුද කියා පොලීසියට මුලදී අබිරහසක් වූවත් රෝෂන්ගේ අතීතය සොයා බලද්දී සැකය මතුවූයේ සුද්දා ඝාතනය කළ මහත්වරු වෙතටය. පොලීසිය ඒ නිසාම මහත්වරු සොයාගෙන ගියත් ඒ වනවිට මහත්වරු ප්‍රදේශයේ පළාගොස් සිටියේය. අවසානයේ ඝාතනය ගැන සියලු තොරතුරු ලැබුණු අතර මෙය මහත්වරු විසින් දෙදෙනකු යොදවා සිදුකළ දෙයක් බව හෙළි වේ. ඝාතනයට පැමිණි සැකසහිත පුද්ගලයන්ගේ නිවෙස්වලට ගියත් එම ස්ථානවලින්ද ඔවුහු පළාගොස් සිටියහ.

අවසානයේ පසුගිය 08 වැනිදා පොලීසිය සොයන මහත්වරු ඇතුළු තිදෙනා අධිකරණ පැමිණ බාරවූයේ කාටත් හොරාය. එසේ බාරවන පිරිස ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන අතර එදිනට හඳුනාගැනීමේ පෙරට්ටුවකට පෙනීමටද නියමිතව ඇත. සැකකරුවන් පවසන පරිදි මෙම ඝාතනය සිදුකර ඇත්තේ රෝෂන් විසින් ඔවුන්ගේ ජීවිතයට හානියක් කරතැයි හිතේ තිබූ සැකය නිසාය. මේ නිසා ඉන් බේරීමට මෙය සිදුකළ බව පවසා ඇත.

කෙසේ වෙතත් අවසානයේ චමින්දගේ සහ සංඛගේ ගැටුම නිසා රෝෂන්ටත් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. එහෙත් රෝෂන් යනු මෙම ගැටුමේ තවත් එක් චරිතයක් පමණකි. මෙය අවසානයක් නොමැති ඉදිරියේදී තවත් රෝෂන්ලාට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවනු ඇත. ඒ අළුයට ගිනි අදටත් එලෙසම පවතින බැවිනි.

♦ ගයාන් ගාල්ලගේ

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00