2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

ලෙඩ දෙන හදවතට ක්ෂණික ප්‍රතිකාරයක්

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 107

මීට වසර කිහිපයකට ඉහතදී අප හිතවත් වැඩිහිටියෙකු හට ඔහුගේ ඥාතියෙකුගේ නිවෙසකදී හදිසියේ හෘදයාබාදයක් ඇතිවිය. මුලදී ඔහුගේ හෘදයාබාධය පිළිබඳව වැඩිපුර ගණන් නොගත් එම ඥාතීන් රෝගියා රෝහලක් වෙතට ගෙන යාමට කටයුතු කර ඇත්තේද අසාධ්‍ය තත්ත්වයේ සිටි රෝගියා වේදනාවෙන් කෑගසන්නට වීමත් සමඟය. කෙසේ වෙතත් රෝහලට ගෙන යන අතරතුරදී ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වුවද අපට අද පවා සිතෙන්නේ නියමිත කාලවේලාවක් ඇතුළත ඔහුට නිසි ප්‍රතිකාර ලබාදෙන්නට කටයුතු කළේ නම් ඔහු අදද ජීවතුන් අතර බවය.

මේ එක් සිදුවීමක් පමණි. මෙවන් සිදුවීම් රටේ තවත් ප්‍රදේශයන්හි අනන්තවත් සිදුවෙනවා ඇත. එසේම ඉදිරියේදී එවැනි සිදුවීම් සිදු නොවේ යැයි අපට සහතිකද දිය නොහැක. හදිසි හෘදයාබාධයක් හටගත් අවස්ථාවන්හිදී ඉක්මණින්ම ප්‍රතිකාර ලබාදීම අනිවාර්යයෙන්ම කළ යුත්තක් වන අතර, මේ වෙනුවෙන් යම් වැඩපිළිවෙළක් සකස් වන්නේ නම් එය රෝගීන්ට මහත් අස්වැසිල්ලක්ද වනු ඇත. පසුගියදා අපට අසන්නට ලැබුණේද එවන් කටයුත්තක් පිළිබඳවය.
හෘදයාබාධයක් ඇතිවූ අවස්ථාවකදී ක්ෂණිකව සුවය ලබාගත හැකි ඖෂධයක් මෙරටට ආනයනය කිරීම පිළිබඳව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සිය අවධානය යොමුකර ඇත්තේ මෙයට දින කිහිපයකට ඉහතදීය. හෘදයාබාධයක් හටගෙන පැය තුනක් වැනි කාලයක් ඇතුළත මෙම ඖෂධය ලබාදීමෙන් රෝගියාගේ ජීවිතය බේරාගැනීමේ හැකියාව පවතින බවට හෘද රෝග විශේෂඥ වෛද්‍යවරැන්ගේ දැනුම්වත් කිරීම මත මෙම ඖෂධ ගෙන්වීමට අදහස් කරන බවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගියදා ප්‍රකාශ කළේ හෘදරෝග විශේෂඥ සංගමය සමඟ පැවැති සාකච්ඡාවකදීය.

ඉදිරියේදී රජයේ රෝහල් හා ජංගම සායනවලින් මෙම ඖෂධය ලබාදීමේ හැකියාවක් පවතින බව පැවසූ ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ රුපියල් 1,20,000ක් මිලකින් යුත් මෙම ඖෂධය ඊට වඩා අඩු මුදලකට ලංකාවට ගෙන්වීම සඳහා මේ වනවිටත් සාකච්ඡා පවත්වන බවය.
මිනිසාගේ සිරුරේ ඇති ප්‍රබලතම ඉන්ද්‍රිය වන හදවත අප බෙහෙවින්ම පරිස්සම්කරගත යුත්තේ අපේ මුළු ජීවිතයම රඳා පවතින්නේ ඒ මත වන නිසාය. හදවත ලෙඩ වූ විට මුළු සිරුරම ලෙඩවන බවද අමුතුවෙන් කිවයුතු නැත. එසේම හදවත අක්‍රිය වූ විට අපට ජීවිතයෙන් පවා සමුගන්නට සිදුවේ. 

හෘද රෝග හටගන්නේ හදවත නිසි පරිදි පරිස්සම් කර නොගැනීමේ අනිටු විපාකයන් වශයෙනි. පරම්පරාගතව මෙන්ම අනවශ්‍ය චර්යා රටා නිසාද හෘද රෝග හටගන්නා අතර මෙය වර්තමානයේ බහුලවම දක්නට ලැබෙන රෝගී අවස්ථාවකි. එසේම ලෝකයේ වැඩිම පිරිසක් මියයන රෝග අතරින්ද හෘද රෝග සඳහා හිමිවන්නේ මූලික ස්ථානයකි. මෙරටින්ද හෘද රෝගීන් විශාල පිරිසක් වාර්තාවන අතර රජයේ ප්‍රමුඛ පෙළේ රෝහල් හරහා බයිපාස් සැත්කම් කිරීමට නියමිත රෝගීන්ගේ ලේඛනය බැලීමෙන්ම එහි තදබදය මැනවින් වටහාගත හැකිය. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ආනයනය කරන්නට කටයුතු කරන ඖෂධය හෘද රෝගීන් සඳහා වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත.

Tenecteplase මෙලෙස රජය ගෙන්වන්නට කටයුතු කෙරෙන නව ඖෂධයයි. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
හෘදයාබාධයක් කියන්නේ කිරීටක ධමනිය තුළ රුධිර කැටියක් (ලේ කැටියක්) ඇතිවීමකි. අපි සාමාන්‍යයෙන් පැය හයක් ඇතුළත ඔය ලේ කැටිය දිය කළොත් හෘදයාබාදය කරණකොට ගෙන ඇති වන තුවාලය බොහෝදුරට අවම කරන්න පුළුවන්. ධමනිය අවහිරවුණ ගමන්ම හෘදවස්තුවේ පටකය මැරී යන්නේ නෑ. අවස්ථා කිහිපයකින් පසුව තමයි පටකටයේ මරණය සිදුවන්නේ. ඒ නිසා ලේ කැටිය දිය කිරීම ඉතාම වැදගත්. ඒ සඳහා අප භාවිත කරන ක්‍රම දෙකක් තියෙනවා.
ඉන් එකක් තමයි ඖෂධ ප්‍රතිකාර මගින් රුධිර කැටිය දියකිරීම. දෙවැන්න තමයි බැලූනයක් ඇතුළු කරලා එමගින් ලේ කැටිය කුඩු කරලා තෙරපා දැමීමක් සිදුකිරීම. මෙම ප්‍රතිකාර ක්‍රමය හඳුන්වන්නේ Angioplaty කියලා. කොහොමත් මෙම ප්‍රතිකාර ක්‍රම දෙකෙන් දැනට බහුලවම කරන්නේ ඖෂධ ප්‍රතිකාර මගින් රැධිර කැටිය දියකිරීමයි. මෙහිදී ලබාදෙන ඖෂධය මගින් සිදුකරන්නේ ෆයිබ්‍රින්වලින් සමන්විත ලේ කැටිය දිය කිරීමයි. ලංකාවේ 1981දී අපි තමයි මුලින්ම මේ සඳහා ඖෂධ ලබාදුන්නේ. මේ සඳහා අපි භාවිතා කළේ Streptokinase කියන ඖෂධයයි. Streptokinase ඖෂධය හුඟක් දුරට සාර්ථකයි. එම ඖෂධය මගින් රුධිර කැටිය දියවෙලා ධමනිය විවෘත වීම සිදුවන්නේ සියයට 38ක් වැනි ප්‍රමාණයකටයි. නමුත් මේ විවරවීම ප්‍රමාණවත් වෙන්නේ නෑ. අපි ඊට වැඩි ප්‍රමාණයකට යන්න ඕනෙ. Tenecteplase කියන්නේ Streptokinase වලට වඩා ප්‍රබල ඖෂධයක්. මේක අලුත් ඖෂධයක් නෙමෙයි. දැනට අවුරැදු 25ක විතර ඉඳලම ලෝකයේ මෙම ඖෂධ්‍ය භාවිතා කරනවා.

Tenecteplase ඖෂධ ලබාදුන්නම ලේ කැටිය දියවෙලා ධමනියේ විවෘතභාවයක් ඇතිවෙලා හෘදයාබාධයක් ඇතිවෙන එක වළක්වා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙම ඖෂධය පැය හයක් වැනි කාලයක් ඇතුළත ලබාදෙන්න පුළුවන්. නමුත් හැකි තරම් ඉක්මනින් ඒ කියන්නේ පැයක් වැනි කාලයක් ඇතුළත ලබාදිය හැකි නම් වඩාත් හොඳයි.

Tenecteplase ශිරාගත කරන ඖෂධයක්. ලෝකයේ දියුණු රටවල මෙම ඖෂධය ලබාදෙන්නේ රෝගියා නිවසේ සිට රෝහලට රුගෙන එන අතරවාරයේ ගිලන් රථයේ සිටයි. සැබවින්ම එය සිදුකරන්නේ වෛද්‍ය අනුමැතියෙන් යුක්තවයි. මේ සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් ගිලන් රථය තුළම තියෙනවා. උදාහරණයක් විදිහට ඇම්බියුලන්ස් එක තුළදීම රෝගියාගේ ECG පරීක්ෂණයක් සිදුකරනවා. පසුව එම ECG වාර්තාව තාක්ෂණික ක්‍රම උපයෝගී කරගෙන විශේෂඥ වෛද්‍යවරයාට යොමුකරනවා. මෙහිදී වෛද්‍යවරයා රෝගියාට මෙම ඖෂධය ලබාදිය යුතු බවට අනුමත කළොත් හෙදියට හැකියාව තියෙනවා එම ඖෂධය ගිලන්රථය තුළදීම ලබාදෙන්නට මෙම ඖෂධය මගින් යම් කාලයක් තුළදී රෝගියාට සහනය සැලසෙනවා.

මෙම ඖෂධය මමත් හෘද රෝගීන්ට ලබාදීලා තියෙනවා. නමුත් අපිට ඒ කාලේ ඒක ව්‍යාප්ත කරන්න බැරිවුණේ ඖෂධයේ මිල අධික වීම නිසයි. Streptokinase සඳහා වැය වන මුදල රුපියල් 6000යි. Tenecteplase ඖෂධය සඳහා රුපියල් 1,20,000ක් වැය වෙනවා. මේ සම්බන්ධයෙන් කරන ලද සාකච්ඡාවලින් අපිට හැකියාව ලැබුණා මීට වසර දෙකකට පමණ පෙර එහි වටිනාකම රුපියල් 60,000-80,000 අතර ප්‍රමාණයකට අඩුකර ගන්නට. දැන් මම දන්නේ නෑ එහි මිල කීයද කියලා. නමුත් පෞද්ගලික අංශයේ නම් අපි මෙම ඖෂධය භාවිතා කරනවා. ඒ සඳහා රුපියල් 80,000ක් පමණ වැය වෙනවා. Streptokinase ඖෂධයේ සාර්ථකත්වය 33 කියලා මම මුලින්ම කිව්වනෙ. Tenecteplase ඖෂධයේ සාර්ථකත්වය 60 -70 ත් අතර වෙනවා. එම නිසා මෙම ඖෂධයෙන් විශාල වාසියක් රෝගියාට අත්වෙනවා. එම නිසා මෙම ඖෂධය ගෙන්වීම හෘද රෝගින්ට විශාල වාසියක්. 

හෘද ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කරන නිරීක්ෂණ යන්ත්‍ර තිබෙන ඕනෑම රෝහලක මෙම ඖෂධය ලබාදිය හැකි වීමත් විශාල වාසියක්. ඒ වගේම මෙම ඖෂධය ලබාදිය යුතු වන්නේ ඒ වෙනුවෙන් පුරුදු පුහුණු කරපු සෞඛ්‍ය සේවා සම්පාදකයන්. Tenecteplase ඖෂධය ලබානොදිය යුතු අවස්ථා කිහිපයකුත් තියෙනවා. අංශභාගය, වකුගඩු රෝග, අක්මා රෝග මොළේට රුධිර ගැනීම වැනි අවස්ථාවකදී මෙම ඖෂධය ලබාදන්නේ නෑ.
මේ සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයෙන් අප කළ විමසීමකදී එහි ඖෂධ පිළිබඳ සහකාර අධ්‍යක්ෂකවරයා අබ සමඟ ප්‍රකාශකර සිටියේ හොඳම තත්ත්වයෙන් යුත් ඖෂධ ලබා ගැනීමට කටයුතු කරන බවය. එමෙන්ම මේ දිනවල එහි වැඩකටයුතු සිදුවෙන අතර කඩිනමින් ඖෂධ ආනයන කිරීමටද බලාපොරොත්තු වන බවය.

 හේමමාලා කුමාරි රාජකරුණා