2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

ආණ්ඩුව දුන් පොරොන්දු ආපහු හරවන්න බෑ (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර)

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 68

ජනාධිපති මෛත්‍රීපාල මහතා පොදු අපේක්ෂකයා ලෙස 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේදී විශාල වැඩකටයුත්තක් සිදුකළේ සිවිල් සංවිධානයි. ඒ සංවිධාන අතරින් පුරවැසි බලය සුවිශේෂයි. එම සංවිධානය තුළ ක්‍රියාකාරී සාමාජිකයකු වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා තත්කාලීන දේශපාලනය ගැන දේශය සමඟ සංවාදයක යෙදුණි.

 

ජනවාරි අට ආණ්ඩු පෙරළිය තුළ ඔබ ලොකු වැඩක් කළ චරිතයක්. කොහොමද ඔබේ අද භූමිකාව?
මම මේ වෙනකොට සක්‍රීය ලෙස වැඩකරන්නේ පුරවැසි බලය සංවිධානයේ. නමුත් අනෙක් සිවිල් කණ්ඩායම් සමඟත් ගනුදෙනු කරනවා. මේ අවස්ථාවේදී වැඩිපුර සක්‍රීය ලෙස අපි වැඩකරන්නේ පෙනී සිටින්නේ මේ ව්‍යවස්ථාව පිළිබඳ ගැටුම නිරාකරණය කරගන්න. ඒක තමයි අද වෙනකොට ඉහළට ඇවිත් තිබෙන ප්‍රශ්නය. මොකද 2015 ජනවාරි 08 වෙනස කරනකොට බලාපොරොත්තු වුණු ලොකුම දේ ව්‍යවස්ථාමය වෙනසක්. ඒ සටනයි දැන් මූලික වශයෙන් කෙරෙන්නෙ. මේක ජාතික ප්‍රශ්නයක්. ඒ නිසා ඒ ජාතික ප්‍රශ්නය විසඳිය යුතුයි කියන තැන අපි ඉන්නේ. ඒ ගැටලු සාකච්ඡා කරමින් විසඳමින් ඉදිරියට යන්නේ.

පක්ෂයක් රකින ජනපති කෙනෙක් අපි බලාපොරොත්තු වුණේ නෑ

ඔබ ඇතුළු පිරිස පෙනී සිටියේ ව්‍යවස්ථාමය වෙනසකට විතරක්ම නෙවෙයි. තව තවත් වෙනස්කම් රැසක් වෙනුවෙනුත් පෙනී සිටියා. ඒ දේවල්වල ප්‍රතිඵල ලැබිලද?
හැමදෙයක්ම නොලැබුණා නොවෙයි. ඇතැම් දේවල් බලාපොරොත්තු වුණු ආකාරයෙන් සිද්ධ වුණේ නෑ. පළවෙනි කාරණය එතෙක් තිබුණු භීෂණ යුගයෙන් රට බේරාගැනීමට හැකිවීම. විශේෂයෙන් මාධ්‍යවේදීන්ට තිබූ නිදහසත් සිවිල් සංවිධානවලට රැස්වීමේ නිදහසත් අහුරලා තිබ්බේ. යුද්ධයේ බිහිසුණු බව මඟහැරිලා ඇවිල්ලත් මිනිස්සුන්ට කතා කිරීමේ අයිතියක් තිබුණේ නෑ. ඒ නිසා අදහස් පළකිරීමේ නිදහස රැස්වීමේ නිදහස අපි සම්පූර්ණයෙන් දිනාගත්තා. මහින්ද රාජපක්ෂ සමයේ තිබුණු නිදහසත් එක්ක බලද්දි අපි මේ වෙනකොට සියයට සියයක් නිදහස භුක්ති විඳිනවා.
හැබැයි නීතියේ විය යුතු වෙනස්කම් තවම සාකච්ඡා මට්ටමින් තිබුණත් ඒ දේවල් තවම වෙනස්වෙලා නැ. ඒකට හේතුවුණේ අගෝස්තු මාසයේ පාර්ලිමේන්තු මැතිවරණය තුළ බහුතරයක් දිනාගැනීමට නොහැකි වීම. ඒ නිසා සම්මුතිවාදී රජය යම් ආකාරයක මන්දගාමී බවක් ඇති වුණා. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය ලෙහෙසි නෑ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අධිපතිවාදයක් නොවෙයි. ඒ නිසා සමහර කාරණා දිහා බලද්දි අපිට තේරෙනවා ඒවා කල්යන එක සාධාරණයි කියලා.

විධායක ජනපති ක්‍රමය වෙනස් කළ යුතුමයි

විශේෂයෙන් දූෂණ මර්දනය ගැන කතා කරද්දී ඒ කාරණය මන්දගාමී වෙන්න පුළුවන්ද?
ඇත්ත. ඇතැම් පරීක්ෂණවල ආරම්භය ඉතා පැහැදිලිව පෙනුණාට ප්‍රගතියක් පේන්න නෑ. විශේෂයෙන් හිටපු ආණ්ඩුවේ අයගේ. ඒ වගේම හිටපු ජනාධිපතිවරයාගේ ඥාතීන්ගේ දූෂණ වංචා හොයද්දී පසුබෑමක් තියෙනවා. ඇතැම් පරීක්ෂණවල වේගවත් බව ආරම්භයේදී තිබ්බත් පසුව මන්දගාමී වෙලා. ඒ නිසා ඇතැම් කාරණා ගැන සතුටක් තිබුණත් සම්පූර්ණයෙන් තෘප්තිමත් වෙන්න හැකියාවක් නෑ. ඒ නිසයි පාක්ෂික දේශපාලනයක් නොකරන පිරිසක් හැටියට මේවට බලපෑම් කරන්න අපට හැකියාවක් තිබෙන්නේ.

ඔබ ඇතුළු සියලු දෙනා කතා කරන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණ වංචා ගැන. ඒත් මේ ආණ්ඩුවේ මැති ඇමැතිවරු ඒ පිටින් තියලා සිදුකරන දූෂණ වංචා කාටවත් පේන්නේ නැත්තේ ඇයි?
මට හිතෙනවා ඒකට ලොකුම හේතුව කියලා මේ ක්‍රමය තුළ තිබෙන හිඩැස්. විශේෂයෙන් ව්‍යවස්ථාමය වෙනස නොකර ගත්ත නිසා හොරු සමඟ හෙළුවෙන් අපිට ඉන්නවෙලා තියෙන්නේ. පැහැදිලිව පේන කාරණයක් තමයි අපි ඇඟිල්ල දිගුකරපු නිල්, කොළ පක්ෂවල සිටින සමහරැ මේ ආණ්ඩුව තුළත් නිදහසේ හැසිරෙනවා. හැබැයි පෙබරවාරි 03 වැනිදා ඉඳලා පුරවැසියා ප්‍රබල වන පනතක් ක්‍රියාත්මක වෙනවා. ඒ තොරතුරු දැනගැනීමේ පනත. ඒ හරහා පුරවැසියාටත් ඇත්ත දැනගන්න පුළුවන්. බලපෑම් කරන්නත් පුළුවන්. ඒත් රජයක් ක්‍රියාත්මක වන හැටියට හැසිරෙන හැටියට පේනවා දූෂිතයන් රැකෙන තැනක ඉන්නේ කියලා.

අනිවාර්යයෙන් බලය බෙදන්න ඕනෑ

ඒ කියන්නේ ඔබ පිළිගන්නවා මේ රජය දූෂිතයෝ ආරක්ෂා කරන තැනක ඉන්නේ කියලා?
දූෂිතයන් ආරක්ෂා කරගන්නවා කියලා කියන තැනකට වඩා අපි ඉන්නේ මේ ක්‍රමය වෙනස් කරගත යුතුයි කියලා හිතන තැනක. දූෂිතයන් ආරක්ෂා කරන්න අවස්ථාව හම්බවෙලා තියෙන්නේ මේ ක්‍රමයේ වෙනසක් නැති නිසා.

ඇයි ආණ්ඩුවට ඒ ක්‍රමය වෙනස් කරන්න බැරිවෙලා තියෙන්නේ?
ආණ්ඩුවට ඒක වෙනස් කරගැනීමට නොහැකි ඇති කියලා හොයලා ඒකට බලපෑම් කරන්නයි අපි මේ උත්සාහ කරන්නේ. විශේෂයෙන් ව්‍යවස්ථා වෙනසකට ලාල් විජේනායක කමිටුව මගින් මහජනයාගේ මත විමසලා ගත්ත උත්සාහය අපිට පේන විදිහට හොඳ දෙයක්. නමුත් ඒ ආරම්භයේ තිබුණු වේගවත් බව දැන් අඩුවෙලා. ආණ්ඩුව නියෝජනය කරන ජනාධිපතිවරයාගේ පක්ෂයේ පිරිස් විසින්ද ඒ වෙනස ප්‍රතික්ෂේප කරන තැනකට ඇවිත් තිබෙනවා. ඔවුන් කියනවා ව්‍යවස්ථාමය වෙනසක් අවශ්‍ය නෑ කියලා.

ඔබ කියන ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලිවම කියලා තිබෙනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතුයි කියලා. දැන් ඔබලාට  හිතෙන්නේ නැද්ද රුවටුණා කියලා?
නෑ මම හිතන්නේ නෑ රැවටුණා කියලා. රවට්ටනවා නම් තවත් අවුරුදු තුනක් තියෙනවා අපිව රවට්ටන්න. හැබැයි එතෙක් ඔවුන් අපට වගකිව යුතුයි. ඔවුන් ඇති තරම් කාලයක් අරගෙන තිබෙනවා දේශපාලනිකව මේ දේවල් ක්‍රියාත්මක කරන්න. ඒ නිසා රජයක් හැටියට ව්‍යවස්ථාමය වෙනසක් ඒ වගේම නීතිමය වෙනසක් ගැන අවධානයෙන් ඉන්න ඕන. ඒ පොරොන්දු ඔවුන්ට ආපසු හරවන්න බෑ. ඒ වගේම ඊට අවසරය අප දිය යුතුත් නෑ. හැබැයි ජනාධිපතිවරයා ඉන්නවා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුයි කියන තැන. ඒ නිසා ජනතාවට ඒ පොරොන්දුව ඉටුකළ යුතුයි. එහෙම නැති වුණොත් ඊළඟ මැතිවරණයේදී ඔවුන්ට විරැද්ධව මහජනතාව තම මතය ප්‍රකාශ කරයි. ඔවුන් පත්කරගන්න මැදිහත් වුණු අයත් විරුද්ධව නැගී සිටියි.

ඔබ කිව්ව දෙයක් නැවත මම විමසනවා. ඔබලා පෙනී සිටියේ විධායකය අහෝසි කරන්නද? වෙනස් කරන්නද?
විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීම අවශ්‍යයි. ඒක තමයි අපි ඉන්න මතය. ඒකට පැලැස්තර, අලුත් ක්‍රම අවශ්‍ය නෑ. ඒත් ජනාධිපතිධුරය නාමිකද නැත්තන් තවත් කෙනකුට විධායක බලතල දීලා සිදුකරගෙන යනවාද නැද්ද කියන එක වෙනම සාකච්ඡා කළයුතු කරැණක්. නමුත් අපි කියන්නේ ජනාධිපති ක්‍රමය සුදුසු නෑ අපට. දිගින් දිගටම එක් අයකු වෙත බලය ඒකරාශි වීම ^78 සිට 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දක්වා අපි අත්වින්දා. ඒ නිසයි අපි කියන්නේ ජනතාවගේ නාමයෙන් ඒ අභිලාෂයන් විනාශ වෙන්න දෙන්න එපා කියලා.

ජනතා අභිලාෂයන් විනාශ නොවෙන තැනකට ආණ්ඩුව තල්ලු කරන්න පුළුවන් හොඳම ක්‍රමය මොකක්ද?
විශේෂයෙන් මේ මැතිවරණ ක්‍රමයේ වෙනසක් වෙන්න ඕන. ඒක විය යුතුයි. අපිට තමයි දූෂිතම මැතිවරණ ක්‍රමය තියෙන්නේ. ඒ මැතිවරණ ක්‍රමයෙන්ම එන අය ගැන ඇමතිවරු මන්ත්‍රීවරුන්ට විවේචන තියෙනවා. මේ ක්‍රමය නිසා තමයි හොරුන්ට තවදුරටත් රැකිලා ඉන්න පුළුවන් තත්ත්වයක් ඇවිත් තියෙන්නෙ. විශේෂයෙන් ජාතික ලැයිස්තුවෙන් ඇතුළට පත්කළ ඇතැම් අය ගැන අපි දැඩි සටනකට හිටියා. ජනාධිපතිවරයා වැරදි කරපු අයට සමාව දීලා ගත්තේ ඇයි කියලා බලපුවම පේනවා ඒ ඔහුගේ පක්ෂයේ බලය රැකගන්න කියන එක. ඒ දේ අපි නම් දැඩි ලෙස විවේචනය කරනවා. මොකද අපි බලාපොරොත්තු වුණේ නෑ පක්ෂයක් ආරක්ෂා කරන ජනාධිපති කෙනෙක්. අපිට අවශ්‍ය වුණේ නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක්. කොහොම වුණත් පක්ෂ දෙකටම අමතක වෙලා තියෙනවා මේ දේවල්. ඒ නිසයි අපි කියන්නේ මේ ව්‍යවස්ථාමය වෙනස සිදුකළ යුතුයි කියලා.

ඔය කියන ව්‍යවස්ථාමය වෙනස තුළ ඔබලා බලය බෙදීමක් අපේක්ෂා කරනවද?
අනිවාර්යයෙන් බලය බෙදිය යුතුයි. ඒක උතුරට වගේම දකුණටත් සිදුවිය යුතුයි. මේ ව්‍යවස්ථාව සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරලා නෑ. උතුරට වගේම දකුණට, නැගෙනහිරට ඕක ක්‍රියාත්මක වෙලා නෑ. තවම මධ්‍යගත ක්‍රමවේදයකට තමයි රට ගමන් කරන්නේ. දැනටමත් අපි සිදුකරන දේවල් තුළ තිබෙනවා බලය බෙදීම කියන කාරණය.

ඔබ හිතනවද බලය බෙදීම තුළ මේ දැනට තිබෙන ප්‍රශ්න නිමවෙයි කියලා?
අනිවාර්යයෙන්ම. ඒ හරහා පුළුවන් මේ ප්‍රශ්න ගොඩක් අඩුකරගන්න. හැබැයි මොන දේ කරන්නත් මේ මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුයි. ඒ හරහා මේ දේහ වෙළඳාම නැවැත්විය යුතුයි. ඒ වගේම ව්‍යවස්ථාමය වෙනසේදී තීරණය කළ යුතුයි බලය බෙදීම හරහා අනාගතයේදී මේ ප්‍රශ්න විසඳගන්නා ආකාරය ගැනත්. අපි මේ ක්‍රමය ගැන කතා කරන්න ගත්තේ 1995 චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුව කාලයේ. නමුත් ෆෙඩරල් කියලා භීතියක් හදාගෙන ඒ බල බෙදීම යටපත් කරගෙන ඉන්නවා.

ඔබලා බලය බෙදීම හරහා විසඳුම් තියෙනවා කියලා කියනවා. ඒත් විපක්ෂය නියෝජනය කරන මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම කියනවා මේ බලය බෙදීම තුළ විශාල ප්‍රශ්න රුසක් මතුවෙනවා කියලා. මොකක්ද ඇත්ත?
මට අහන්න තියෙන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු ඒ කණ්ඩායම මැරිල ඉපදිලද කියලා. එකපාරටම යුද්ධය අවසාන අදියර වෙනකොට වැඩිපුරම කියන්න ගත්තේ මහින්ද මහත්තයා තර්ටින් ප්ලස් කියලා. ඊට පස්සේ එතුමගේ සහෝදරයා කිව්වා තර්ටින් ෆ්ලෂ් කියලා. ඒ ඔහුගේ තිබුණු මිලිටරි මතවාදත් සමඟ. ඒ තමයි ජාත්‍යන්තරයටත් පීඩාවට පත්වුණු මෙරට පුද්ගලයන්ටත් ඔහු පොරොන්දු වුණ දේ. ඒ නිසා මේ බලය බෙදීමට විරුද්ධ වන අය එක්කෝ ළදරු වයසේ ඉන්නේ, නැත්නම් ඒ අය එදා කරලා තියෙන්නේ වංචනික ප්‍රකාශයක්. කොහොම වුණත් ලෝකයේ රටවල් විශාල ප්‍රමාණය බලය බෙදීම කියන තැනට ගිහින් තිබෙනවා. කුඩා රටවල් වගේම විශාල රටවලුත්. ඒ රටවල් ඔය කියන ආකාරයේ කඩා වැටීමක් හරි විනාශ වීමක් හරි සිද්ධ වෙලා නෑ. ඒ නිසා ඒ දේවල්වලින් අපි පාඩම් ඉගෙන ගන්නේ නැත්තන් අපිට නැවත යුද්ධයක් කරන්න බෑ. සිවිල් පුරවැසියනුත් ඒකට කැමැත්තක් නෑ. විශේෂයෙන් සම්බන්ධන් වගේ කෙනෙක් රටේ විපක්ෂ නායකවරයා විදිහට පත්වෙලා සිටියදීත් ඔහුත් කියන්නේ ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදීම කියන කාරණය ගැන. ඒක වටිනවා. ඔහු කියන්නේ නෑ ෆෙඩරල් ක්‍රමයක් ගැන.

එතකොට ඔබ කියන විදිහට බලය බෙදුවොත් ප්‍රශ්නයක් ඇති වෙන්නෙම නැද්ද?
යම් යම් ප්‍රශ්න ඇතිවෙනවා. විශේෂයෙන් පළාත් මට්ටමින් ගත්තම යම් පළාත් තියෙනවා ආර්ථික වශයෙන් දියුණු ප්‍රදේශ. තවත් පළාත් තියෙනවා ආර්ථික වශයෙන් දිළිඳු ප්‍රදේශ. ඒ නිසා ආදායම් හරියට බෙදිලා නොයන්න පුළුවන්. ඒ නිසා ඒ ආර්ථික මට්ටම කොහොමද අනෙකුත් පළාත්වලට බෙදිලා යන්නේ කියලා කල්පනා කරන්න වෙනවා. ඒ වගේම විසඳුම් සොයන්නත් වෙනවා. හැබැයි ඒ වගේ දේවල්වලට බයවෙන්න නරකයි. කොහොම වුණත් නැවත ලේ වැගිරීමක් නොවන්න බලය බෙදාහැරීමක් සිදුවෙන්නම ඕන.

19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා බිහිකළ ස්වාධීන ආයතන අද වෙනකොට විගණකාධිපතිවරයා ඇතුළු ස්වාධීනව සේවය කරන නිලධාරීන් දේශපාලකයන්ගේ ගොදුරු බවට පත්වෙලා. ඇයි මේක ඔබලට පේන්නේ නැත්තේ?
මම කියන්නේ ස්වාධීනත්වය වෙනුවෙන් ඒ ආයතනවලට ගත්ත අය මොන බලපෑම් ආවත් ඒ වැඩේ කළ යුතුයි. කොහොම වෙතත් දේශපාලන ඇඟිලි ගැසීම් සහිත ඉතිහාසයකට උරුමකම් කියන අතීතයක් අපට තියෙනවා.

එහෙම කියන්න බෑනේ. ඒ ක්‍රමය නැති කරන්නනේ මේ ආණ්ඩුව බිහිකළේ ඔබලා?
ඔව්... ඔව්.... ඒක පිළිගන්නවා. නමුත් ඒක කරන යාන්ත්‍රණයක් තියෙනවා. දැන් හිතන්න මේ පරණ ලේ ඉවත් කරලා අලුත් ලේ ආපු අවස්ථාවක් නෙමෙයි මේක. තවම පරණ නිලධාරීන් බලධාරීන් ඉන්නවා. ඒ අයගේ ගැටුම් සහ අලුත් වෙනසක් කරන්න ඕන කියන අයගේ ගැටුම් වගේ දේවල් නිසා තමයි සමහර අවස්ථාවල ප්‍රශ්නවලට ගිහින් තියෙන්නේ. කොහොම වුණත් විගණකාධිපතිවරයා හෝ අනෙක් ඕනෑම නිලධාරියෙක් පනත් වලින් පැවරිලා තියෙන නිදහස බුක්ති විඳිය යුතුමයි. ඒ නිදහසට යම් ආකාරයක රජය මැදිහත්වීමක් වෙනවා නම් ඒකට වගකියන්න වෙන්නේ කවදාහරි රජයටමයි. ඒ දෙස මැතිවරණයකදී රජයට බලපානවා. විගණකාධිපතිවරයා විතරක් නෙමෙයි අල්ලස් කොමිසමේ නිලධාරීන්ටත් එයට මුහුණ දෙන්න සිදුවුණා පසුගිය කාලයේ. ඒ නිසා තවම ඒ හිඩැස් තියෙනවා. ඒ දේවල් හැකි ඉක්මණින් වෙනස් විය යුතුයි.

රාජපක්ෂ ආණ්ඩුව තුළ ඔබලා විශාල පෙරළියක් සිදුකළා අධ්‍යාපනයට සියයට 6ක් ලබාදෙන්න කියලා. මේ ආණ්ඩුවෙන් ඒක ලැබුණද?
මෙහෙමයි. සියයට හයේ ගාණ එක එක ඉලක්කම්වලින් පෙන්වමින් හිටියත් තවම ලැබිලා නෑ. ඒ වගේම ඒක වෙන් කිරීමට කලින් විසඳගත යුතු තව ප්‍රශ්න වගයක් තියෙනවා. ඒ දේවල්වලටත් තාම විසඳුම් ලැබිලා නෑ.

ඒ කියන්නේ මේ රජයටත් අධ්‍යාපනය ගැන කැක්කුමක් නැද්ද?
කැක්කුමක් තියෙනවා කියලා පේනවා යම් යම් කාරණා එක්ක. උදාහරණයක් හැටියට මම කැමතියි ළමයින්ට මානසික පීඩනයක්ව තිබ්බ සාමාන්‍ය පෙළ විභාග ක්‍රමය වෙනස් කරන්න යන එකට. ඒ නිසා අධ්‍යාපනයේ විශාල වෙනස්කම් රුසක් සිදුකළ යුතුයි. එහෙම වෙනස් නොකර මොනතරම් මුදල් කන්දරාවක් යෙදුවත් අධ්‍යාපනය අගාධයට යන එකයි වෙන්නේ. ඒ නිසා මේ ව්‍යුහයන් ප්‍රථමයෙන්ම වෙනස් කරන්න ඕන.

අවසාන වශයෙන් අහන්නේ ඔබලා මෙෙත්‍රිපාල  මහත්තයා 2020 ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුණොත් උදව් කරනවාද?
2020 ඉල්ලනවා නම් ජනාධිපතිවරණයක් තියෙනවද කියන ප්‍රශ්නේ මතුවෙනවා. ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරණය වෙනස් කරනවා නම් මැතිවරණයක් ඉදිරියේ තියන්න විදිහක් නෑ.

තියන්නම සිදුවුණොත්?
තිබ්බත් උදව් කරන්න හේතුවක් නෑ.

 ගයාන් ගාල්ලගේ
සේයාරුව | සමන්ත ප්‍රදීප් විල්තෙර