2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

එන්ජිම නැතිව හැල්මේ දුවන ඉන්දියාවේ යකඩ යකා

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 77

ඉන්දියාව තුළ දක්නට ඇත්තේ විවිධ වූ විචිත්‍ර වූ සංස්කෘතියකි. මේ විවිධත්වය එහි දුම්රිය සේවයේ ද දක්නට හැකිය. අඟුරු කකා දුම් දමමින් දිල්ලි දුවන යකඩ යකුන් වැනි ඉහින් කනින් සෙනඟ පොදි පිටින් පටවාගත් දිරාපත් ලදරං බඳු කෝච්චි මෙන්ම සුපිරි හෝටල කාමර බඳු මැදිරි සහිත මහරාජා එක්ස්ප්‍රස් වැනි විශීෂ්ට සේවාවන් ද එය සතුය. මේ විවිධත්වය තවත් පුළුල් කරමින් ප්‍රථම වරට ඉන්දියාවේ මුළුමනින්ම නිපැයූ දුම්රියක් දැන් වැඩ අරඹා තිබේ. එය මාස 18ක් තුළදී නිපදවූ අංක 18 දුම්රියයි.

මේ දුම්රියට එන්ජිමක් නොමැති වීම එහි ඇති විශේෂත්වයයි. එසේම එය දැනට ඉන්දියාවේ දක්නට ඇති වේගවත්ම දුම්රියයි. ඒ අනුව වසර 30කට වැඩි කලක් දිල්ලිය සහ මුම්බායි අතර ධාවනය කළ, කොට කොටා යන ශතාබ්දි එක්ස්ප්‍රස් පැරැණි කෝච්චිය වෙනුවට ගුවන් යානයක ගමන් ගන්නාක් වැනි සුව පහසුවක් දනවන නවතම අංක 18 දරන එන්ජින් නැති දුම්රියේ හැල්මේ යාමේ අවස්ථාව දැන් උදාවී තිබේ.

වසර 165ක අතීතයකට හිමිකම් කියන ඉන්දියානු රේල්ලු ඉතිහාසයේ ජේත්තුකාර අන්දමට කාටකාටත් හැල්මේ ගමනක් යන්නට ඉඩකඩ සැලසෙන මුල්ම අවස්ථාවයි මේ. අමෙරිකානු ඩොලර් මිලියන 14ක් වැය කර ඉන්දියාවේම තැනූ මෙම දුම්රියට පිටරටින් ගෙන්වා සවිකර ඇත්තේ ආසන, දොරවල්, තිරිංග පද්ධතිය සහ ජෙනරේටර් යන්ත්‍ර පමණි. ඉන්දියාව තුළ මෙය තැනීම නිසා යුරෝපයෙන් මෙබඳු දුම්රියක් ගෙන්වීමට යන මුදලෙන් සියයට 40ක මුදලක් රටට ඉතිරි වෙයි. බැලූ බැල්මට ලෝකයේ වේගවත්ම බුලට් දුම්රියක හැඩ හුරුව බාහිරව දරන මෙය තුළ මගීන් 1128කට සුව පහසුව සලසා තිබේ. දුම්රිය ගමනට අවශ්‍ය ජවය ලබා දෙන්නේ මෙට්රෝ දුම්රිය මෙන් විදුලිය සබඳතා මඟින් ක්‍රියාත්මක විශේෂයෙන් සැකසූ ස්වයංක්‍රිය ප්‍රවාලන මොඩියුලයක් මඟිනි. මෙය මඟින් එන්ජින් සවි කිරීමකින් තොරව ඒ නිසාම කාලය ද ඉතිරි කරමින් දෙපැත්තටම ක්ෂණිකව දුම්රිය ධාවනය කළ හැකිවෙයි.

මෙහි මැදිරි 16කි. එයින් 14ක්ම සාමාන්‍ය පන්තියටය. එම මැදිරියක ආසන 78කි. මැදට වන්නට ඇති මැදිරි දෙකක් පලමු පන්තියේ මගීන් සඳහාය. එහි මැදිරියක ආසන 52කි. මුළු දුම්රියම වායුසමීකරණයට ලක්කර තිබේ. බාහිර පරිසරයේ සීත උණුසුම අනුව එහි ඇතුළත උණුසුම ස්වයංක්‍රීයව වෙනසට ලක්වේ. දොර ජනේල ඇරීම වැසිම ද ස්වයංක්‍රීයය. දුම්රියෙන් බැසීමට ඇති හිණිපෙත් සියල්ල වේදිකාවේ උස් පහත් බව අනුව ස්වයං ලෙස සැකැසේ. සුවපහසු අසුන දුම්රිය ගමන් ගන්නා දිසාව දෙසට සම්පූර්ණ අංශක 360ක වටයක් කැරකීමට හැකිය. දුම්රිය දොරවල් ඇරෙන්නේ මීටරය “0” ට පැමිණි විටය. දොර පියන්  මුළුමනින් වැසුණු විට පමණක් ස්වයං ප්‍රවාලන මොඩියුලය මගින් ගමන් ගැනීමට තල්ලුවක් ලබා දෙයි.

මගීන් ඇතුළු සෑම මැදිරියක්ම ආරක්ෂක CCTV කැමරා මඟින් ආවරණය කර තිබේ. සෑම මගියකු හටම දුම්රිය සේවා කාර්ය මණ්ඩලය ඇමතීමේ විද්‍යුත් පහසුකම් අසුනේම  සලසා ඇත. වයිෆයි පහසුව සහ ජී.පී.එස් තාක්ෂණය ද සෑම මැදිරියකටම පොදුය. අවශ්‍යතා අනුව ස්වයං ලෙස එළිය අඩු වැඩිවන එල්.ඊ.ඩී. ආලෝකය, ආබාධිතයන්ට ද භාවිත කිරීමට හැකි සේ තනා ඇති ජෛවරික්ත සේදුම් පහසුකම සහිත නවීන වැසිකිළි, ඇතුළු සුඛෝපභෝගී පහසුකම් රැසක් මෙහි දක්නට හැකිය. 

නවදිල්ලිය සහ බෝපාල් අතර මුලින් ගමන් අරඹන මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර 160කි. කලින් ශතාබ්දි එක්ස්ප්‍රස් දුම්රිය මේ මගේම ගමන් කළේ පැයට කිලෝමීටර 30ක වේගයෙනි. නව සෑම මැදිරියක්ම විදුලි මෝටර බලයෙන් ජව ගැන්වී තිබේ. මේ නිසා විදුලි අරපිරිමැස්ම සියයට 30කි. දුම්රිය අංක 18, පසුගිය නොවැම්බර් 15 දා ආසන්නතම අත්හදා බැලීම් ධාවනයේ යෙදුණේ පැයට කිලෝමීටර 150ක වේගයකිනි. එලැඹෙන දෙසැම්බර් 15 හා.. හා පුරා කියා ගමන් අරඹන්නට නියමිත අංක 18 දුම්රිය නිදන මැදිරිත් ඈඳා ගනිමින් ලබන පෙබරවාරියේ සිට සේවය පුළුල් කරන්නට නියමිතය. 2019 වසර තුළ තවත් එන්ජින් රහිත දුම්රියක් තැනීමට කටයුතු යොදා ඇත. 2020 වනවිට අමතර මෙබඳු අලුත් දුම්රිය 4ක් එක් කරන්නට ඉන්දියානු දුම්රිය සේවය සැරසී සිටියි.  

  සුගත් පී. කුලතුංග ආරච්චි

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00