2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අපැහැදිලිකම මේ අර්බුදයට ලොකුම හේතුවයි

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 179

- ආචාර්ය ඔසන්ත එන්. තල්පාවිල

“රටේ දේශපාලන අවශ්‍යතා සහ පොදු මහජනතාවගේ අභිවෘද්ධිය තකා ව්‍යවස්ථාවක් සකස් වුණා නම් ඔය කියන දේශපාලන අර්බුද ගොඩනැගෙන්නේ ඉතාමත් අඩුවෙන්" 

කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන අංශයේ ආචාර්ය ඔසන්ත එන් තල්පාවිල මහතා සමඟ අප සංවාදයක යෙදුණේ අද පවතින දේශපාලන අර්බුදය පිළිබඳවයි. ඒ ඇසුරින් මෙම සටහන ඔබගේ දේශපාලන අවබෝධය වෙනුවෙන් අප මෙසේ සටහන්කර තබමු.

ලංකා දේශපාලන අර්බුදයට මාසයකට අධික කාලයක් ගතවී තිබේ. එය නිමාවන ලකුණුක් ද නැත. තවදුරත් මෙම අර්බුදය නොවිසඳී පැවතීමට හේතුව විමසා බලමු. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු ලැබෙන තුරු සියලු දෙනා බලා සිටිති. පාර්ශව ද්විත්වයම තමන්ගේ වාසියට අධිකරණ තීන්දු ලැබෙතැයි විශ්වාස කරති. එනිසාම දෙපාර්ශවයම තීරණය ලැබෙන තෙක් මෙම අර්බුදකාරී තත්ත්වය දිගින් දිගටම ඇදගෙන යාමක් දක්නට ලැබේ.

මේ අතර වර්තමාන අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ද පාර්ලිමේන්තු තුළ සම්මත කරනු ලැබ තිබේ. නමුත් එම ක්‍රියාවලිය පිළිබඳව අනෙක් පාර්ශවය තර්ක විතර්ක නගයි. මේ සිදුවන්නේ කුමක්ද? දැනට බලයට පත්වී සිටින රජය තමන් ව්‍යවස්ථානුකූලව බලය පත්වූ පිරිසක් බව සිතති. එසේ හෙයින් තමන්ට තවදුරත් බලයේ රැඳී සිටීමට අයිතියක් ඇතැයි ඔවුහු විශ්වාස කරති. දෙවැන්නනම් කතානායකවරයා විසින් සම්මත වූවායැයි පවසන විශ්වාසභංග යෝජනා නිසි ලෙස ව්‍යවස්ථානුකූලව ඉදිරිපත් නොවූවක් බව ඔවුන් සඳහන් කිරීමයි. මේ අනුව නැගෙන තර්කයක් නම් මීට පෙරත් බහුතරයක් නොමැති ආණ්ඩු බලයට පත්ව තිබෙන බවය. ඒ තත්ත්වයන් සැලකීමේදී බහුතරක් සිටීම ආණ්ඩුවක් පවත්වාගෙන යාමට කාරණාවක් නොවේ. මෙම තර්කය පදනම් කරගෙන ආණ්ඩුව පක්ෂ නියෝජනය කරන පිරිස තවදුරත් බලයේ රුඳී සිටිති. සාමාන්‍ය විශ්වාසභංගට යෝජනවක් ගෙන ඒමට වඩා මෙහිදී සිදුවූයේ බහුතරය පෙන්වීමකි. ඒ අනුව විපක්ෂය බහුතරයක් තිබෙන බව පෙන්වීම විනා පවතින ආණ්ඩුවට විරුද්ධව විධිමත් විශ්වාසභංගයක් ගෙන ඒම මෙහිදී සිදු නොවීය. 

මෙම අර්බුදයට මූලිකම හේතුව අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින යම් යම් නොපැහැදිලි තත්ත්වයන්ය. තමන්ගේ ස්ථාවරය නිවැරදි යැයි පාර්ශව දෙකම තර්ක කරමින් සිටී. එවැනි අදහස් තර්ක ඉදිරිපත් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින දුර්වලතා සහ රිංගාගෙන යාමට හැකි තැන් නිසාවෙනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට අගමැතිවරයා ඉවත් කළ හැක්කේ මෙවැනි කාරණා මත මේ ආදී අවස්ථාවලදීය යන්න පැහැදිලිව දක්වා තිබුණේ නම් අද තත්ත්වය වෙනස් වන්නට ඉඩ තිබිණි. එමෙන්ම ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරැවා හැරිය හැක්කේ මෙවන් අවස්ථාවලදීය යන්න දක්වා තිබුණේ නම් අද ප්‍රතිවිරැද්ධ තර්ක ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොමැත. එහෙත් ව්‍යවස්ථාවේ වර්තමාන තත්ත්වය හේතුවෙන් එය විවරණය කිරීමේ බල ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරී තිබේ. එනිසාම ජනතාවට ඇති අවසාන බලාපොරොත්තුව මෙන්ම අවසානයේ තීන්දුව වන්නේ ද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයයි.

රටක උත්තරීතරම නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙවන් අර්බුදයක මූලික සාධකය වූයේ කෙසේද අප විමසා බැලිය යුතුය. සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැරුණු කොට මෙරට සැකසුණු අනෙකුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් සැකසුණේ තම තමන්ගේ පෞද්ගලික අරමුණු  මුදුන්පත් කරගැනීමේ පෞද්ගලික න්‍යාය පත්‍රයන් මතය. උදාහරණයක් ලෙස 1978 ව්‍යවස්ථාව සැකසෙන්නේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ අවශ්‍යතාව මතය. ඔහුගේ මූලික මතවාදයන් හා අවශ්‍යතාවන් ඉටු කරගැනීමට එහිදී උත්සාහ දරයි. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටක අවශතාව සහ දේශපාලන තත්ත්වය මත පදනම්ව සකස් විය යුතුය.

මෙරට දී එය එසේ නොවීමේ ප්‍රතිඵල අද දේශපාලන අර්බුදයන් හරහා විද්‍යාමාන වෙයි. තවදුරටත් මෙය පැහැදිලි කරන්නේ නම් 1978 ව්‍යවස්ථාවෙන් සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දීම පිටුපස දේශපාලන අරමුණක් විය. එම වකවානුවේ මැතිවරණවල ප්‍රමාණාත්මකව ඡන්ද බහුතරය ලබාගෙන තිබුණේ එක්සත් ජාතික පක්ෂයයි. නමුත් ඔවුනට නිරත ආණ්ඩුව බල හිමිනොවීම නිසාවෙන් රටේ සමස්ත ජන්ද බහුතරය ඇති පක්ෂයට ආණ්ඩු බලය ලබා ගැනීමේ අරමුණින් සමානුපාතික ක්‍රමය හඳුන්වා දෙනු ලැබීය. ජනාධිපති ධූරයට අධික බලතල ලබා දීම ද එසේ සිදුවූවකි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයන්ගේ අරමුණ ප්‍රජාතන්ත්‍රවාදය රටේ අභිවෘද්ධිය තහවුරු කරනවාට වඩා දිගින් දිගටම පාලන බලය රැක ගැනීම වූ බව පැහැදිලි වෙයි. මේ සියලු කරැණු ඔස්සේ තවදුරත් අවධාරණය වන්නේ රටේ අවශ්‍යතාව සංවර්ධන මහජන අභිවෘද්ධිය ඉලක්ක ගතකරමින් සැකසුණු ව්‍යවස්ථාවක් අපට වී නම් මෙවන් දේශපාලන අර්බුද ගොඩනැගීම ඉතා අඩුවන්නට තිබුණු බවය.

පවතින අර්බුදය හේතු කොටගෙන ජනතාව අතරින් බොහෝ දෙනා කලකිරී සිටින බව පෙනෙන්නට තිබේ. ප්‍රජාතන්ත්‍රවායට යම් ආකාරයකට තර්ජනයක් සිදුවන සෑම අවස්ථාවක්ම අනාගතයේ යම් බියකරැ තත්ත්වයක් ඇතිවීමේ පදනම විය හැකිය. එයට ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය සාක්ෂි දරයි. ඉතිහාසයේ දකුණේ සහ උතුරේ සාමය කඩවූ අවස්ථාවන් ජනමත හා ප්‍රජාතන්ත්‍රවාදය  ප්‍රතික්ෂේප කිරීම තුළින් සිදුවූ බව මධ්‍යස්ථව ඒ දෙස බලන්නෙකුට පෙනී යයි. අද සිදුවන සිදුවීම් දිගින් දිගටම දිගටම සිදුවුවහොත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විශ්වාසය බිඳවැටීමක් සිදුවිය හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් විට සමහර කොටස් විකල්ප ක්‍රම සෙවීමට පෙළඹීමේ හැකියාවක් තිබේ.

මෙම අර්බුදයේ අද තත්ත්වය බලන විට තමන් බලයේ සිටිමින් මැතිවරණයක් පැවැත්වීමට දෙපාර්ශවයම කැමැත්තක් දක්වන බව පෙනෙන්නට තිබේ. ඊට හේතුව බොහෝදුරට බලයේ සිටින රජය යටතේ මැතිවරණයක් පැවත්වීම හරහා තමන්ට වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරවාගත හැකියැයි ඔවුන් කල්පනා කිරීමයි. එය සදාචාර සම්පන්න නොවිය හැකි නමුත් අප දේශපාලන සංස්කෘතික තුළ එය දක්නට ලැබේ. උදාහරණයක් ලෙස රජයේ අනුග්‍රහය ලබන මාධ්‍යන්ගෙන් මැතිවරණ කාල සීමාවලදී මධ්‍යස්ථ හැසිරීමක් දක්නට නොලැබේ.  ඊට අමතරව ද රාජ්‍ය බලය ඇතිවිට යම් යම් වාසි සහගත තත්ත්වයන් නිර්මාණය කරගැනීමට අවකාශ උදාවේ. එනිසාවෙන් මෙම පාර්ශවය දෙකම තමන්ගේ රජයක් යටතේ මැතිවරණයකට යෑම වාසිදායක යැයි විශ්වාස කරනවා විය යුතුය.

භාරකාර ආණ්ඩුවක් පිළිබඳව සංවාදයක් ද මේ දිනවල කරළියේ පවතී. නිර්පාක්ෂික තාවකාලික අගමැතිවරයෙක් පිළිබඳව ද සංවාදයක් ගොඩනැගෙමින් ඇත. එහෙත් එවන් තත්ත්වයක් ශ්‍රී ලංකා දේශපාලන  ඉතිහාසයේ දක්නට නොමැත. කෙසේ නමුත් මෙහි අපේක්ෂාව සාධාරණත්වය අපක්ෂපාතී බව පැහැදිලිය. උදාහරණයක් ලෙස ලෝකයේ ඇතැම් රටවල මෙවන් අර්බුදය නිර්මාණය වූ විට තෙවැනි පාර්ශවයක් මැදිහත් වී සාධාරණ මැතිවරණ පවත්වා ජය ගන්නා සිවිල් දේශපාලනඥයන්ට බලය ලබා දී ඇත. ෆීජි වැනි රටවල් ඊට නිදසුන්ය. අප රට සඳහා එවන් මැදිහත් වීමක් සුදුසු ඇයි අප යෝජනා නොකරමු. කෙසේ නමුත් භාරකාර ආණ්ඩුවක් පිළිබඳව මෙවන් යෝජනාවලින් පැහැදිලි වන්නේ අපක්ෂපාතීත්වය තුළින් සාධාරණය මැතිවරණයක් පවත්වා නිවැරදිව රජයක් බලයට පත්කර ගැනීමට හැකියැයි බලාපොරොත්තු වීමයි. 

දේශපාලනය යනු ඕනෑම රටක කේන්ද්‍රීය සාධකයයි. ආර්ථික, ආරක්ෂා, රටේ පැවත්ම ජන ජීවිතය යන සියල්ලේ මූලස්ථානය බවට පත්වන්නේ දේශපාලනයයි. රටක මෙම සියලු අංශවලට අදාළව තීන්දු තීරණය ගනු ලබන්නේ ද ප්‍රතිපත්තිය තීරණය වන්නේ ද දේශපාලන හරහාය. රට තුළ යම් අරාජික තත්ත්වයක් ගැටුම්කාරී තත්ත්වක් නිර්මාණය වූ විට රටේ නොයෙකුත් අංශවලත් එහි බලපෑම එල්ල විය හැකිය. රටේ අර්ථිකය කෙරෙහි මෙහි බලපෑම එල්ල වී ඇති බවට අදවන විට වාර්තා පළවෙයි. සංචාරක කර්මාන්ත, අයෝජන කෙරෙහි මෙසේ බලපෑම් එල්ල වන්නේ මෙරට ඇති අස්ථාවරබව හේතුවෙනි. එනිසා වෙන්ම මෙරට සියලු අංශවලට බලපාන මෙම අර්බුදය නිමාකර රට තුළ ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය වේ.

 සංවාද සටහන - චමිඳු නිසල් ද සිල්වා