2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

රටේ අවදානම කියන මූඩිගේ වාර්තාව

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 60

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම කිසියම් බලපෑමක් ඇති කරන්නේ කෙසේද? නිදහස් නිවහල් ස්වෛරී රාජ්‍යයක ආර්ථිකයේ විවිධ පැති අරභයා ලෝකයේ මූල්‍ය අංශයේ ශ්‍රේණිගත කිරීමේ ආයතනයක ඉලක්කමක් එහා මෙහා කිරීම ඇතිකරන වාතාවරණය කෙබඳුද? ප්‍රධාන පෙළේ ආර්ථික හා මූල්‍ය පර්යේෂණ ආයතන ලෝකයේ වෙනස්වන ආර්ථික තත්ත්ව ගැන නොයෙක් දත්ත හා වාර්තා එළි දක්වයි. ඒවායෙන් සමහරක් මුදල් ගෙවා ලබාගත යුතු අතර තවත් කොටසක් නිදහසේ ලබා ගත හැකිය. අන්තර්ජාලය භාවිතය පුළුල් වීම සමඟ මෙම පර් යේෂකයන්ගේ තොරතුරුවලට විශාල ඉල්ලුමක් ලැබිණ. තොරතුරු තාක්ෂණයේ පහසුව හෙයින් යම් තත්ත්වයක් සම්බන්ධව පැන නැගී ඇති තත්ත්ව ක්ෂණයකින්
පර් යේෂණාත්මකව අධ්‍යයනය කරන්නට හැකියාව ලැබී ඇත. ලොව පුරා ආයෝජකයෝ එම අවස්ථාව භාවිත කරමින් සිටිති.

ජාත්‍යන්තරය තුළ ප්‍රමුඛ මූල්‍ය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනක් ගැන සඳහන් කරයි. එයින් එකක් වන්නේ මූඩි ආයෝජන සේවා ආයතනයයි. සමාගම් සහ ආණ්ඩු නිකුත් කරන බැඳුම්කර සම්බන්ධව පූර්ව විචාරයක නිරත වන අමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ආයතනයකි. ශ්‍රේණිගත කිරීමක් යනු කුමක් දැයි දැනගැනීමේ අවශ්‍යතාවයක් සාමාන්‍ය ජනතාවට නැත. නමුත් පාර්ලිමේන්තුවේ බලය සම්බන්ධ දේශපාලන අර්බුදය ආර්ථික අවදානම ප්‍රසාරණය කර තිබේ.  විසඳුම තව දුරටත් කල් යන්නට ඇති ඉඩකඩ ආයෝජන කෙරෙහි අවිශ්වාසය දියුණු කරයි. සැක මතු කරන අතර එය ධනය ඇති ආයතනන හා පුද්ගලයන්ට මුදල් යෙදවීම සීමා කරන සාධකයකි. විදේශ වත්කම් හිඟ සහ ගෙවුම් ශේෂය සම්බන්ධ පවතින පීඩනය හෙයින් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන මෙම අවස්ථාවේදී රට ගැන පළ කරන තක්සේරුව නොසලකා හැරිය නොහැකිය. මූඩි වැනි ශ්‍රේණිගත කිරීමේ ආයතන කලින් කල ඉදිරිපත් කරන විශ්ලේෂණාත්මක තොරතුරු ප්‍රධාන ආයතනවල අවධානයට ලක්වෙයි. ශ්‍රී ලංකාවේ සංවර්ධන බැඳුම්කරවල ආයෝජනය ජාත්‍යන්තර බැඳුම්කර හෝ සංවර්ධන ණය ආධාර සපයන අවස්ථාවේදී ඒවා ආපසු අය කර ගැනීමට ඇති පහසුව ගැන එයින් නිර්වචනයක් ලැබේ.

මූඩි ශ්‍රේණිගත කිරීමේ ආයතනය පිහිටුවන්නේ 1909 තරම් ඈත කාලයේදීය. කොටස් වෙළෙඳපොළ සහ බැඳුම්කර සම්බන්ධව නිව්යෝක් නගරය ආශ්‍රිතව පර්යේෂණාත්මක දත්ත නිකුත් කරන ආයතනයක් වශයෙන් ස්ථාවරත්වයක් ගොඩ නගා ගත් මූඩි ශ්‍රේණිගත කිරීමේ ආයතනය පසුව ලෝක ව්‍යාප්ත වන අතර එයට ඉවහල් වන්නේ අමෙරිකාවේ විනිමය සහ සුරැකුම් කොමිසමෙන් ලත් අනුමැතියයි. 2000 වසරේදී ස්වාධීන සමාගමක් බවට පත් වූ මූඩි ආයතනය ලෝකයේ රටවල් අතර සිදුවන බැඳුම්කර සහ ආර්ථික ක්‍රමයට වැදගත් වන මූල්‍ය තොරතුරු ඔවුන්ගේ සේවය සඳහා ලියාපදිංචි වූ ආයතන වෙත සපයයි. නිවැරදිව සහ උපදේශාත්මක ලෙස නිකුත් කරන හෙයින් ඒ සම්බන්ධව ඇත්තේ ඉහළ ප්‍රමිතියකි. මෙවැනි තවත් ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන්නේ ෆිට්ච් රේටිං සමාගමයි. 1914 දී පිහිටුවන ලද එම ආයතනය මූල්‍ය සේවා ක්ෂේත්‍රයෙහි ප්‍රමුඛ නමක් දිනාගෙන තිබේ. ජෝන් කිනොව්ලස් ෆිට්ච් ආරම්භ කරන ලද ආයතනය අද වන විට දෙදහසකට වැඩි කාර්ය මණ්ඩලයකින් සමත්විත අතර වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 800 ඉක්මවන බව දක්වයි. 1975 වසරේ දී අමෙරිකානු විනිමය සහ සුරැකුම් කොමිසම එරට ජාතික සහ අන්තර්ජාතික වැදගත්කමක් ඇති මූල්‍ය සේවා ආයතන තුනක් අතරින් එකක් වශයෙන් තෝරා ගන්නේ ෆිට්ච් ආයතනයයි. ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් යන ආයතනය අනෙක් ආයතනය වශයෙන් සලකා බලා ඇති අතර බලවත් මූල්‍ය ශේණිගත කිරීමේ ව්‍යාපාර වශයෙන් මෙම ආයතනවලට අන්තර් ජාතික පිළිගැනීමක් තිබේ.

මූඩි ආයතනය ශ්‍රී ලංකාව ගැන මෑතකදී කරන සඳහන පුළුල් අවධානයට ගැනීම සුදුසුය. ශ්‍රේණිගත කිරීම පහළ දැමීම අඟවන්නේ වෙනත් ආකාරයකටය. එය යම් අවදානමක් ඇති  බව පෙන්වයි. ණය නිකුත් කිරීමේදී ආයෝජනයේදී කිසියම් අවිනිශ්විතභාවයක් තිබේ. ශ‍්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදය හෙයින් නිෂ්පාදනය අඩාල වී ඇති අතර එය පදනම් කරගෙන රට තුළ ණය අවශ්‍යතා ඉහළ යා හැකිය. අලුත් ආයෝජන ප්‍රමාද වීමට ඉඩ තිබේ. එය විදේශීය සහ දේශීය ණය සංසරණයේදී අවදානමක් ඇති විය හැකි බව අඟවයි. එයින් අඟවන්නේ රටට දෙන ණය ඒවා ලබාදෙන්නන් වෙත ආපසු නොලැබෙන්නට ඇති විශේෂ අවදානමක් නොවේ. නමුත් යම් සැක සහිත අවස්ථාවක් විය හැකිය. එයින් යම් පීඩනයක් නිරායාසයෙන්ම ඇති විය හැකි බව සඳහන් කිරීම අවශ්‍යය. මෙවැනි ශ්‍රේණිගත කිරීමක් පවතින විට රටට අවශ්‍ය ණය ආධාර වෙනුවෙන් ඉහළ පොලී අනුපාත අය කරන්නට ප්‍රධාන ආයතන පෙළඹෙයි. අවදානම වැඩි හෙයින් වැඩි පොලියක් ගෙවන්නට සිදුවන විට එය රටට පමණක් නොව රට වැසියන්ට ද අවාසියකි. ශ්‍රී ලංකාව සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් බැඳුම්කර සහ විදේශ ණය ලබා ගැනීමේදී ඉහළ පොලිය ජනතාව මත පැටවෙන බරක් විය හැකිය.

2019 වසරේ පළමු මාස හතර තුළ අමෙරිකානු ඩොලර් මිලියන 1500 ක මුදලක් කලින් ගත් ණය ආපසු ගෙවීම සඳහා අවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර තිබේ. එම මුදල ජාත්‍යන්තර සංවර්ධන ණයවලින් ගැනීම හැර විකල්පයක් නැත. මූඩි ශ්‍රේණිගත කිරීම අලුතින් ගන්නා ණයවලට අය කරන පොලිය දරුණු එකක් කිරීම වැළැක්විය නොහැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටට සපයන ලද තාවකාලික ණය සංචිතයේ හයවැනි වාරිකය ප්‍රතිපත්ති කරුණු හෙයින් ප්‍රමාද කර තිබේ. එය තවත් අභාග්‍යයකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසියම් රටකට මැදිහත්වන විට එම මැදිහත්වීම පදනම් කරගනිමින් රට තුළ යම් ප්‍රතිසංස්කරණයක් සිදුවන බව සැලකේ. ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන ණය හෝ ආධාර පිරිනමන්නේ කිසියම් නිශ්චිත වැඩසටහනකට අනුව ඉලක්කයක් සාක්ෂාත් කරගැනීමටය. ඒ උදෙසා ගන්නා ක්‍රියාමාර්ග ණය සපයන ආයතනවල අධීක්ෂණයට යටත්ය. ශ්‍රී ලංකාවට මාස තිස් හයක කාලයක් වෙනුවෙන් හිමි වූ අමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක තාවකාලික ණය සංචිතය සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක ප්‍රජාවට මෙරට ආර්ථිකය නිසි මඟට එන බවට පණිවුඩයක් නිකුත් කර තිබුණි. එය විශ්වාසය වර්ධනය කර ගැනීමට හේතුවකි. නමුත් අවසාන වාරිකය තාවකාලිකව අත්හිටුවීම මූඩි අවදානම තවත් අර්බුදයකට පත් කිරීමක් විය හැකිය.

මූඩි ශ්‍රේණිගත කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික සැලැස්ම සහ ජාත්‍යන්තර ආයෝජකයන්ගේ අවධානය පදනම් කරගෙන අලුත් ව්‍යූහයකට ඇතුළු වීමට අවශ්‍යය. රට තුළ ව්‍යවසායකත්වය වැඩි දියුණු කළ යුතු අතර නිෂ්පාදනය නැංවීමට වග බලා ගැනීම වැදගත්ය. මූඩි ශ්‍රේණිගත කිරීම අඟවන්නේ රට තුළ ආයෝජනයට වාතාවරණය අවිනිශ්චිත බවය. එයට උත්තර සුදුසු පරිදි නිකුත් කිරීම මෙරට ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමකි. රජයේ කාර්ය භාරය වඩා දියුණු සහ ඉක්මන් තීරණ ගැනීමේ හැකියාවක් දක්වා පරිවර්තනය කරන්නට අවශ්‍යය. ජගත් ආකර්ශනය කැඳවා ගැනීමට කිසියම් නිශ්චිත පියවර ගැනීම ඉතාම වැදගත්ය.

►ගාමිණී සරත් ගොඩකන්ද