2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

ෆෝන් එකෙන් තොවිල් නටන ඊෂි කෑෂ් පඬුරු ගන්න කපු මහත්තයා

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 208

ඔබේ හැරගිය පෙම්වතා පෙම්වතිය නැවත ඔබේ දෙපතුලට...

සොරා ගත් දෑ තිබෙන තැන සාක්ෂි සහිතව...

අංග ලක්ෂණවලින් අනාගතය....

ඔබත් අදම තැපැල්  මාර්ගයෙන් හෝ දුරකථනයෙන් අමතන්න. රස්තියාදුවකින් තොරව දේව ආශිර්වාදය...

මේ එක්තරා සතිඅන්ත පුවත්පතක පළවූ දැන්වීමකි. බැලු බැල්මට කාගෙත් නෙත් සිත් වසඟ කරන වචනයෙන් මෙන්ම හැඩයකින් ලියා තිබූ එම දැන්වීම කෙරෙහි ලියුම්කරුගේද හිත, ඇදීගිය නිසා ලියුම්කරු විසින් අදාළ අංකයට ඇමතුමක් ලබාගත්තේය.

හලෝ... මේ.... කපු මහත්තයද?

ආ... ඔව්.. ඔව්... ඔයා කොහෙන්ද? කපු මහතා ඇසුවේය

මම කොළඹින් කතා කරන්නේ. පොඩි වැඩක් කරගන්න ඕනේ කපු මහත්තයට කියලා.. මම කීවෙමි.

කියන්න මහත්තයා...

මෙහෙමයි මගේ නෝනා මාව දාලා ගිහින්... මට ඒ ගැන තියෙන්නේ පුදුම දුකක්. මට එයාව ඕනේ. ගෙන්න ගන්න විදිහක් කියන්න...

ගිහින් තියන්නේ කොහෙද?

වෙන කෙනෙක් එක්ක... මා කීවෙමි.

ආ..... හරි මහත්තයා. දැන් දවස් කීයක්ද ගිහින්...

සතියක්...

හරි මහත්තයට මම ගෙනත් දෙන්නම්. ඕක එච්චර ලොකූ දෙයක් නෙමෙයි. ඔයිට වැඩිය වෙන්න ලොකු ලොකු අම්මණ්ඩිලත් මම ගෙනත් දුන්නා. හැබැයි මහත්තයා මේකට ටිකක් මහන්සි වෙනවා. ලේසියට බෑ... යැයි ඔහු කීවේය.

හරි මොකක්ද.... කරන්න ඕනේ.... මම ඇසුවෙමි.

මහත්තයා මේකට කරන්න ලොකූ පූජාවක් තියෙනවා.

මා පුදුමයට පත්වෙමින් ඒ කියන්නේ මම එන්න ඕනෙද? යැයි ඔහුගෙන් ඇසුවෙමි.

ඔහු සිනාසෙමින් නෑ නෑ මහත්තයා එන්න ඕනේ නෑ මම මෙහේ ඉඳලා වැඩේ කරලා දෙන්නම්. මහත්තයා හෙට කතා කරන්නකෝ අටට..යැයි කියමින් කපු මහතා ඇමතුම විසන්ධි කළේය. 

පසුදා නැවත උදෑසන අටට පමණ මම කපු මහතාට ඇමතුමක් ලබා ගත්තෙමි.

කපු මහත්තයා ඊයේ කොළඹින් කතා කළේ...

ආ මහත්තයා කියන්න. මම නොම්බරේ දාගෙන තිබුණේ ඉතිං... ඔහු පටන් ගත්තේ එලෙසය. ඔහු තරමක් උගුර කට පාදා කතාව කරන්න ගත්තේය.

මහත්තයා... මේක සෙල්ලම් වැඩක් නෙමෙයි. මේක දවස් දෙක තුනක් යන වැඩක්. මේකට මම වනගත වෙන්න වෙනවා. ඒ නිසා මට අවශ්‍ය ද්‍රව්‍ය ගන්නයි පූජාවටයි මහත්තයගෙ පඬුරු ඕනේ ඔහු මහා අනුහසින් කීවේය.

මගේ පඬුරු..කීයක්ද?* මම ඇසුවෙමි.

ඔව් මහත්‍තයගේ පඬුරු.... රුපියල් 3200ක් ඉස්සෙල්ලා දාන්න. පස්සේ ඉතුරු ටික ගමු. තමන්ට වටිනා දේ ගන්නකොට මුදල් ගැන දෙවතාවක් හිතන්න එපා. අනික මේ වැඩේ වෙන්නේ නැතුව නෙමෙයිනේ. ආයි සීයට දාහක් ඔට්ටු තියලා කියන්න පුළුවන් වැඩේ වෙනවා කියලා. ඒ නිසා සර් බය නැතුව සල්ලි දාන්න... යැයි ඔහු කීවේය. 

මම හරි යැයි පවසා දුරකථනය තැබුවෙමි. මඳකට පසු ඔහු නැවතත් ඇමතුමක් මා හට ගත්තේය. සර් වැඩේට සල්ලි අතේ දැනට නැත්තන් රුපියල් 1500ක් ඊෂි කෑෂ් කරන්න. කරකියා ගත නොහැකි මම හරි හරි පස්සේ ගන්නම් යැයි කියා දුරකථනය විසන්ධි කළෙමි. මඳ වෙලාවක් ගතවිය. වෙනත් නොම්බරයකින් ඇමතුමක් ආවේය.

සර් මම අර කපු මහත්තයා කතා කරන්නේ...

ආ... ඔව්... කපු මහත්තයා ඉතින්.... මා ඇසුවෙමි.

සර් අර වැඩේ කරන්න නියම වෙලාවක් ඇවිත් හෙට. මොකෝ කියන්නේ කරමුද?

මම වැඩේට අකමැතියි. මම කොහොමද විශ්වාස කරන්නේ? මම කීවෙමි.

ඒ ක්ෂණයකින් දේශපාලනඥයන්, නළු නිළියන් හැටහුටාමාරක නම් ගම් ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් ඔහු කීවේ ඔවුන්ගේ වැඩද තමන් දුරකථනය හා සිදුකළ බවය. එසේම තමන්ගේ අරමුණ ඉෂ්ට නොවුණහොත් මුදල් ආපසු ලබාදෙන බවද ඔහු කීය. එවිට මම සිනාසෙමින් හැරගිය ඇයව අවශ්‍ය නොවන බවත්, ඒ වෙනුවට වෙනත් අයකු හමුවූ බවත් කීවෙමි. එම වචනය කීපය කියා වැඩිවෙලා ගතවූයේ නැත. යකා වැහුණු කපුවා දෙස් දෙවොල් තබමින් මාගේ හත්මුතු පරම්පරාවම මතක් කළේය.
දෙවියන් සමඟ විහිළු කළ මා හට හෙණ ගසන බවත්, ඔළුව හරි හතරකට පැලෙන බවත්, සතියක් තුළ මේ ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න සිදුවන බවත් ඔහු කීය. මා හට සිනාගිය අතර ඔහුට තව තවත් යකා නැග දුරකථනය විසන්ධි කළේය.
කෙසේ වෙතත් මේ සිද්ධිය පිළිබඳ සොයා බැලීමේදී ඔහු කපුවෙකු නොවන බව වටහා ගැනීමට හැකිවිය. ඔහුට දේවාලයක්ද නැත. ජීවත් වීමට මුදල් අවැසි හෙයින් මෙය සම්පූර්ණයෙන් ව්‍යාජ ලෙස පවත්වාගෙන යන වැඩක් බව පසුව අනාවරණය විය. මෙය එක් අයකු විසින් නොව කණ්ඩායමක් විසින් පවත්වාගෙන යන වැඩක් වන අතර මේ සඳහා කාන්තාවන් කිහිප දෙනෙකුද සිටිනා බව සඳහන් වේ. ඔවුන් සති තුනකට වතාවක් පුවත්පත් දැන්වීම පළකරන බව සඳහන් වේ. එසේ මාරැ කර විවිධ පුද්ගලයන් යොදවා දුරකතනය ඔස්සේ කතාබහ කරන බව සඳහන් වේ.

මේ දිනවල එළඹෙන සාමාන්‍ය පෙළ විභාගය මූලික කරගනිමින් ඔවුන් විශේෂ ආරක්ෂක නූලක් සහ තඹ තහඩුවක් නිවසට තැපෑලෙන් ගෙන්වා ගැනීමේ තවත් ජාවාරමක් සිදුකරමින් පවතී. දරැවාගේ නම විභාග අංකය ඇතුළු තොරතුරු දුරකථනය ඔස්සේ ලබාදීමෙන් පසුව තැපෑලෙන් අදාළ ද්‍රව්‍ය ලබාදෙන බව සඳහන් කර ඇත. කෙසේ වෙතත් මෙය වංචාවක් වන අතර එහෙත් මේ මොහොතේදී දෙමව්පියන් වැඩිහිටියන් මේ ජාවාරමට ගෙඩිය පිටින් හසුවෙමින් තිබෙන්නේ තමන්ගේ දරැවන්ගේ ජයග්‍රහණය අපේක්ෂාවෙනි. රුපියල් 1000 ලබාගනිමින් කරන්නා වූ මෙම ජාවාරම නිසා ඔවුන් හොඳින් කා බී ජීවත් වෙති. එහෙත් අප ව්‍යාජ දෙයකට රුවටී ඉන් ආරක්ෂාව අපේක්ෂා කරමින් සිටිති. ඒ නිසා මෙවැනි වංචාකරැවන්ගෙන් ඔබගේ මුදලත් ඔබත් ආරක්ෂා වීම හැර වෙන කරන්න දෙයක් නෑත. යම් දැන්වීමක් දුටු පමණින් ඒ පසුපස යාම වෙනුවට ඒ ගැන සොයාබලා එහි වරදක් ඇත්නම් සමාජයට එය නිරාවරණය කිරීම ඔබේත් මගේත් වගකීමකි. එසේ කිරීමෙන් මුදල් පමණක් නොව ජීවිත පවා රුකෙනු ඇත.

 අසංක කළුබෝවිල