2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

සතේටම බහින රුපියල...

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 157

මේ  ලියන මොහොත වනවිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 182ට ආසන්න මට්ටම දක්වා පහළ බැස ඇත. මෙය ඉතිහාසයේ වාර්තාගත පහළම අගය විය.

මෙලෙස රුපියල දුර්වල වීම කොතනින් නවතීදැයි සිතන්නට බැරි තත්ත්වයට පත්ව තිබේ. ජනතාව බලාපොරොත්තු වූයේ අලුත් අගමැති සහ ඇමැති මණ්ඩලය පත්වූ වහාම රුපියල ක්ෂය වීම අඩුවනු ඇත යනුවෙනි. එහෙත් සිදුව ඇත්තේ එය තවත් වේගවත් වීමය. මේ වනවිට සිදුවෙමින් පවතින ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණ වීමට හේතු කිහිපයක් බලපාන බව කිව යුතුය.

රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය මෙයට ප්‍රධාන හේතුව වන අතර එය පදනම් කරගෙන තවත් අතුරු හේතු කාරණා කිහිපයක් උද්ගත වී ඇති බව පෙනෙන්නට තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වනවිට ගෙවන්නට තිබූ ඩොලර් බිලියන 1.85ක ණය වාරිකය ගෙවීම අත්හිටුවා ඇත. සාමාන්‍යයෙන් ණය වාරිකයක් අනුමත කිරීමට ප්‍රථම අන්තිමට මුදාහල ණය පාවිච්චි කළ අන්දමේ ප්‍රගතිය සොයා බැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් නියෝජිතයන් ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රගති සමාලෝචනයක යෙදීම සිදුවෙයි. එහෙත් මේ වනවිට එම නියෝජිතයන් ලංකාවට පැමිණ සොයා බැලීම් කර හෝ සාකච්ඡා පවත්වා නැත. ඒ නිසා මෙම ණය වාරිකය ඉදිරියේදී ලැබේද යන්න පිළිබඳ දැනට සැකයක් ඇතිව තිබේ. එම විදේශ විනිමය ප්‍රමාණය අපට ලැබුණානම් එය යම් පමණකට හෝ රුපියල ශක්තිමත් කිරීම සඳහා යොදවා ගැනීමට හැකියාව පැවතුණි.

දෙවැනි කාරණය වනුයේ රටේ පවතින දේශපාලන අවිනිශ්චිත බව නිසා උද්ගතව ඇති ආර්ථික අස්ථාවරභාවය හේතුකොට ගෙන මෙරට මුදල් යොදවා තිබූ විදේශ ආයෝජකයන් එම මුදල් ආපසු රැගෙන යාමේ ප්‍රවණතාව ඉහළ යාමය. අපේ රට වැනි අස්ථාවර තත්ත්වයක පවතින රටක ස්වකීය මුදල් ආයෝජනය කිරීම පිළිබඳ සැකයක් ඇති වී ඇති අතර ආයෝජකයන් අප රට මඟහැර අවදානම අඩු රටවලට යාම බලාපොරොත්තු විය යුත්තකි. තමා ආයෝජනය කරන මුදලට නිසි ප්‍රතිලාභයක් නොලැබේ නම් මෙරට මුදල් නොයොදවා වැඩි වාසි ලබන අවදානම අඩු රටකට යොමු වීමට ඔවුන් උනන්දු වීම සාධාරණය. අද ලොව බොහෝ රටවල් ආයෝජකයන් අද ගැනීමට විවිධ වරප්‍රසාද ලබා දෙමින් දිරිමත් කරන අතර අපට සිදුව ඇත්තේ ළංවන අයද දුරස් කර ගැනීමටය. අලුත් අයෝජකයන් පැමිණීම තබා සිටින ආයෝජකයන් පවා ඉවත් වී යාමට පටන් ගෙන ඇත.

මෙම අර්බුදය ඇති වූ ඔක්තෝබර් 26 දින සිට නොවැම්බර් මස 21 දා භාණ්ඩාගාර බැඳුම්කරවලින් රුපියල් බිලියන 29ක් ඉවත් කරගෙන ඇත. කොටස් වෙළෙඳපොළ දිනපතා පරිහානියට පත්වන අතර කොළඹ කොටස් වෙළෙඳපොළේ දළ අගය මේ වනවිට රුපියල් මිලියන 736.7 දක්වා පහළ වැටී ඇත. සාමාන්‍යයෙන් දිනපතා පිරිවැටුම මිලියන 835.3ක මට්ටමේ විය. මේ වසර තුළ මේ දක්වා කොළඹ කොටස් වෙළෙඳපොළෙන් විදේශ ආයෝජකයන් රුපියල් බිලියන 17.3ක් ඉවත් කරගෙන ඇති බව වාර්තා වී තිබේ.

එසේම විදේශවලින් රටට ලැබෙන මුදල් නොලැබීමේ සහ ලැබීමේ ප්‍රමාදයක් අද නොව සෑහෙන කාලයක සිට උද්ගතව තිබේ. ශ්‍රී ලංකා රුපියල තව දුරටත් අවප්‍රමාණ වූ විට එය තමන්ට වාසි සහගත යැයි සිතන විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ තම ආදායම ඒ රටවලම රඳවා තබා ගැනීමට නැඹුරුව සිටිති. එසේම පසුගිය සමයේ විදේශ ප්‍රේෂණවලට බදු අයකිරීමේ සූදානමක් ද තිබුණු අතර ඒ හේතුවෙන් ද විදේශ නිපැයුම් මෙරටට එවීම පිළිබඳ ප්‍රමාද වීම්ද සිදුව තිබේ.

රුපියල අවප්‍රමාණ වීමට තවත් හේතුවක් වන්නේ විශාල වශයෙන් විදේශ ණය ගෙවීමට සිදුව තිබීමය. මෙහිදී සිදුවන්නේ අපේ විදේශ විනිමය ණය ගෙවීමේ මුවාවෙන් පිටරටවලට ඇදී යාමය. ණය ලබා ගැනීම පිළිබඳ නොයෙක් පැත්තට පන්දුව ‘පාස්’ කළද කවුරුන් කුමන හේතුවක් සඳහා ගත් ණය වුවද එය පවතින ආණ්ඩුවට ගෙවීමට සිදුව තිබේ.

2018 වසරේ සැප්තැම්බර් අවසන් වනවිට අපට ගෙවන්නට තිබූ මුළු විදේශ ණයවල ප්‍රමාණය රුපියල් බිලියන 11274.4කි. 2017 වසරේදී ගෙවන්නට තිබූ රුපියල් බිලියන 10313.0ද මෙය අඩංගුය. 2017ට සාපේක්ෂව 2018 වසරේදී ගෙවීමට ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 750.5කින් ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකු සංඛ්‍යා ලේඛන අනාවරණය කරයි. 2019 ජනවාරි 14 දින අමෙරිකානු ඩොලර් මිලියන 1000ක් ගෙවීමට ඇති අතර අප්‍රේල් වනවිට තවත් අමෙරිකානු ඩොලර් මිලියන 500ක් ගෙවීමට තිබේ. 2019 වසර සම්පූර්ණ වනවිට ගෙවීමට ඇති මුළු විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 5.8 බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කරයි. මෙම ණය මුදල් නිසි පරිදි නොගෙවතොත් ශ්‍රී ලංකාව අසාදු ලේඛනයට ඇතුළත් විය හැකි බවට අනතුරු හඟවා ඇති අතර එසේ වුවහොත් කිසිම රටකින් ඉදිරියේදී ණය ලබා ගැනීමට ගැටලු පැන නගිනවාත් හැර ණය පොලී ඉහළ යාමේ ප්‍රවණතාවයක් ද ඇතිවන බව පැවසේ.

රුපියල අවප්‍රමාණය වීම නිසා අපට ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය ද වේගයෙන් වැඩිවන බව පෙනෙන්නට ඇත. විදේශ ණය ඩොලර්වලින් ගෙව්වත්, රුපියල්වලින් ගෙව්වත් ණයවල අගය වැඩි වීම වැළැක්විය නොහැකිය.

විපක්ෂයේ සිටියදී එකල රුපියල අවප්‍රමාණ විමට විසඳුම් ඉදිරිපත් කළ ඇතැම් දේශපාලනඥයෝ දැන් තමන්ට බලය ලැබුණු පසු එය කළ නොහැකි වීම පිළිබඳ විවිධ තර්ක ඉදිරිපත් කරමින් සිටිති. මේ වනවිට ගැටලුව සඳහා කියන තරමට විසඳුම් නොමැති බව ඔවුන් අවබෝධ කරගෙන ඇති සැටියකි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගියදා ප්‍රකාශ කළේ රුපියලේ විදේශ අගය පහළ බැසීමේ අර්බුදයට අගමැති මහින්දගේ රජය වගකිව යුතු බවට කරන චෝදනා වැරදි බවය. ආර්ථිකය කඩා වැටී ඇති මොහොතක රට බාර ගැනීම සීඝ්‍රගාමී දුම්රියකට ගෙල තැබීමක් බවද ඔහු කීය. ඔහු අවධාරණය කරන්නේ මේ අර්බුදය නතර කිරීමට නම් රටින් පිටතට ගලා යන විදේශ විනිමය ප්‍රමාණය නතර කළ යුතු බවයි. ඒ සඳහා පැහැදිලි වැඩ පිළිවෙළක් සකස් කර ඇති බව පවසන හේ රජයේ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමේ පළමු අවස්ථාවේදීම රුපියල් අගය 160ට බැස්සවීම සිදුකළ යුතු බව කියයි. දෙවැනි වටයේදී රුපියල් 140ට පහළ දැමීමේ ජාතික වැඩ පිළිවෙළක් ඇතිකර තිබේ. ඒ සඳහා “ආයෝජන ප්‍රවර්ධන බදු විමුක්ති පැකේජය” යනුවෙන් පැකේජයක් සකස් කර ක්‍රියාවට නංවන බව ඔහු කියයි.

එසේ වුවද මෙම පැකේජය නිසා දැනට දුර්වල වෙමින් පවතින රුපියල වහා ශක්තිමත් කිරීම කොතෙක් දුරට සාර්ථකව ඉටුකර ගත හැකි දැයි ගැටලුවකි. ඒ සඳහා තමා විශ්වකර්මයෙක් නොවන බවද ඔහු කියයි. කෙසේ වුවද රුපියලට මේ වනවිට පළමුව අවශ්‍යව ඇත්තේ කෙටි කාලීනව යම් පියවරක් ගැනීම බව බොහෝ දෙනාගේ අදහසයි.

මේ පිළිබඳව අදහස් දක්වන ආර්ථික විද්‍යා මහාචාරිණි ප්‍රේමා පොඩිමැණිකේ පවසන්නේ කුමන ආකාරයකින් හෝ රුපියලේ විදේශ අගය පහළ යාම නවත්වා නොගතහොත් මේ වර්ෂය අවසන් වනවිට රටේ ආර්ථික අර්බුදය වඩාත් ව්‍යාකූල වන බවයි. ඇය මෙසේද කියයි.

“අද අපේ හැම ප්‍රශ්නයක්ම වගේ රුපියල අවප්‍රමාණය වීම දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වෙලා. එය ආණ්ඩුවලට පහර ගැහීමට යොදාගන්නා බව පෙනෙනවා. එහෙත් මෙය එක ආණ්ඩුවක වරදක් මත සිදුවූ දෙයක් නෙවෙයි. ආර්ථික තීන්දු තීරණ ගන්නා හැම පැත්තේම අය වගකිව යුතුයි. දේශපාලන ඕනෑ එපාකම් සඳහා ආර්ථික තීරණ පාවිච්චි කිරීම කොතරම් අහිතකරද? ඒ නිසයි අපි අද මේ තත්ත්වයට පත්වී ඇත්තේ. ඒ ඒ අය මත වැරදි පැටවීම හෝ ඒ ඒ ආණ්ඩුවලින් අර්බුදය උග්‍ර කළා යැයි පවසා ඇඟ බේරා ගැනීම නෙවෙයි කළයුතු වන්නේ. ජාතික ගැටලුවක් ලෙස සලකා සියල්ලන්ම එකතු වී විසඳුමක් සෙවීමයි වැදගත්.

රුපියල අවප්‍රමාණ වීම නිසා විදේශ වෙළෙඳාමෙන් අපට ලැබෙන ආදායම  වැඩිවෙන බව පැවසුවාට රුපියල අවප්‍රමාණ වීමට සාපේක්ෂව විදේශ ආදායම වර්ධනය කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. මෙය අපට අපනයන සංවර්ධනය කිරීමට හොඳ අවස්ථාවක් වුණත් ඒ පිළිබඳ කිසිදු උනන්දුවක් දක්වා නොමැති වීම කනගාටුදායකයි. එහෙම යම් වර්ධනයක් තිබුණානම් එක අතකට මෙයින් සිදුවන හානිය අවම කරගන්න පුළුවන්කම තිබුණා.

රුපියලේ විදේශ අගය යම් පමණකට ස්ථාවර කිරීම සඳහා හොර රහසේ මෙන් විදේශ සංචිත පාවිච්චි කළත් එයින් සිදුවූයේ සංචිත දියවෙලා යාම සහ රුපියල දිගටම කඩා වැටීමයි. එයින් අහිතකර ප්‍රතිඵල දෙකක් ඇතිවුණා.

රුපියල දුර්වලවීම නිසා අද අපේ සෑම අංශයකම ආනයන ව්‍යාකූල බවට පත්වෙලා. අත්‍යවශ්‍ය ආහාර පවා ගෙන්වීම ගැටලුවක් වෙලා ඇත්තේ අණවුම් කළාට වඩා වැඩි මිලක් ගෙන්වන අවස්ථාවේ ගෙවිය යුතු වීමයි. මේ නිසා ව්‍යාපාරිකයන් අමාරුවේ වැටිලා. කෘෂි ආනයන, ඖෂධ ආදිය ද ගෙන්වීම ගැටලු සහගතයි. වාහන ආනයන ද කඩා වැටිලා. ආනයන කඩා වැටුණු විට ඒ ආශ්‍රිත බොහෝ දෙනකුගේ රැකියාවලට හානි සිදුවනවා. ප්‍රවාහන කර්මාන්තය ද, සෘජු සහ වක්‍ර රැකියා ද අනතුරට පත්වෙලා. ඒ අයගේ පවුල්වලින් යැපෙන බොහෝ දෙනාට දුෂ්කරතා ඇති වී තිබෙනවා. අද වෙළෙඳපොළ හැකිලිලා. වෙළෙඳුන් සෑම දෙනාම අමාරු වේ.

එසේම ආනයන අඩුවීම සහ ආනයනවල මිල ඉහළ යාම නිසා රට තුළ භාණ්ඩ මිළ ඉහළ යනවා. ආනයන මිල වැඩි වූ විට එයට සමාන්තරව දේශීය භාණ්ඩවල මිලද ඉහළ යනවා. එයට හේතුව ඉල්ලුම පහළ බැසීමයි. ජනතාවගේ ජීවන වියදම ඉහළ යාම රටේ ආර්ථිකයට සෘජුවම හානිකරයි. අද ඉල්ලුම සැපයුම විකෘති වෙලා. මේ තත්ත්වය මත දීර්ඝ කාලීනව යන්නට බැහැ. ජාත්‍යන්තර වශයෙන් අපේ රට තනිවීම නිසා මෙහි නරක විපාක තවත් වැඩිවෙලා. අප වාගේ කුඩා රටක ආර්ථික සංවර්ධනයට මෙන්ම එදිනෙදා අවශ්‍යතාව පිරිමසා ගැනීමට වුවද ලොව දියුණු රටවල්වල ආධාර අවශ්‍යයි. එහෙත් අද අප ලෝක ආර්ථිකය තුළ තනිව ඇති බවයි පෙනෙන්නේ. එය සමනය කර නොගෙන තිබෙන්නට හැරියහොත් අනාගතය භයානක වේවි.

අද පවතින අවාසනාවන්ත තත්ත්වය යම් පමණකට හෝ සමනය කිරීම සඳහා මේ වනවිට ක්ෂය වෙමින් පවතින රුපියලේ අගය කුමන ක්‍රමයකින් හෝ ටික කලකටවත් ඔසවා තැබිමට උපක්‍රම යෙදිය යුතුයි. එය කුමක්ද යන්න ස්ථිරවම පැවසිය නොහැකි වුවත් යම් හදිසි තීරණයක් ගෙන එය ක්‍රියාත්මක කිරීම වැදගත්. වර්තමානයේ ආණ්ඩුව පවසන විදිහේ දීර්ඝ කාලීන වැඩ පිළිවෙළකට යාමට පෙර අපට දැන් අවශ්‍යව ඇත්තේ මේ දැවෙන ප්‍රශ්නයට ක්ෂණිකව යමක් කිරීමයි. දීර්ඝ කාලීනව විසඳුම් සෙවීම පුළුල් ලෙස සාකච්ඡා කර කළ යුතුයි. එය ජාතික ආර්ථික වැඩපිළිවෙළකට අවතීර්ණ වීමක් නම් වඩා සුදුසුයි.

එහෙත් දැන් සිදුව ඇත්තේ වගකිව යුත්තන්ට රටේ ආර්ථික ප්‍රශ්න විසඳනවා වෙනුවට තමන්ගේ බලය රැක ගැනීමේ වෑයමක නිරත වීමයි. එය ඉතාම ශෝචනීය තත්ත්වයක්.

යසවර්ධන රුද්රිගු