2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

කිලෝග්‍රෑමය අලුත්වෙයි

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 69

කිලෝග්‍රෑමය අර්ථ දැක්වීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට විද්‍යාඥයෝ දැන් සූදානම් වෙති. මේ වනවිට කිලෝග්‍රෑමය අර්ථ දක්වනුයේ, ප්‍රංශයේ පැරිස් නුවර සේප්පුවක තබා ඇති "Le Grand K" නමැති ප්ලැටිනම් උපකරණයක් භාවිත කරමිනි. එම ක්‍රමය අත්හැර කිලෝග්‍රෑමය විද්‍යුත් තරංග භාවිතයෙන් අර්ථ දැක්වීමේ ක්‍රමවේදයකට අවතීර්ණ වීම සඳහා ඡන්ද විමසීමකට පර්යේෂකයින් පිරිසක් බලාපොරොත්තුවෙන් සිටිති.

මෙම තීන්දුව ගත යුත්තේ, ප්‍රංශයේ පැවැත්වෙන බර සහ මිනුම් සම්බන්ධ මහා සම්මේලනයේදීය. කෙසේ වෙතත්, පර්ඩේ විලියම්ස් ඇතුළු විද්‍යාඥයින් කිහිප දෙනෙකු මෙම වෙනස් කිරීම සම්බන්ධයෙන් මිශ්‍ර අදහස් පළකර තිබේ. පර්ඩේ විලියම්ස් පැවසුවේ, "මේ ව්‍යාපෘතියෙ මම වැඩි කාලයක් වැඩ කළේ නැහැ. ඒත් මට හිතෙන්නේ මේක කිලෝග්‍රෑම් එකට කරන විකාර වෙනසක් කියලා" යනුවෙනි.

"මොනවා වුණත් මේක ලොකු වැඩක්. මේ වෙනස ගැන මට ටිකක් දුකයි. ඒත් ඒක වැදගත් පියවරක් එය ක්‍රියාවට නැගීම හොඳ දෙයක් විය හැකියි. මම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නෙ ඒක සිද්ධ වෙනකම්."

Le Grand K උපකරණය බර මැනීම සඳහා වන ජාත්‍යන්තර ක්‍රමවේදය ලෙස භාවිතයට ගැනුණේ, 1889 වසරේ සිටය. එහෙත්, කිලෝග්‍රෑමය නිර්ණය කරන ප්‍රධාන උපකරණය මේ වනවිට පැරැණි වී තිබේ. වසර ගණනක් තිස්සේ පරිහානියට පත්වීමෙන් එහි බර වෙනස් වී තිබේ. කිලෝග්‍රෑමය කිසිදා වෙනස් විය නොහැකිය. එහෙයින්, එය නිර්ණය කිරීම ක්‍රමානුකූලව වෙනස් විය යුතුය.

දියුණු ඖෂධ නිෂ්පාදනය, නැනෝ තාක්ෂණය සහ නිරවද්‍ය ඉන්ජිනේරු ක්‍රම වර්ධනය වෙමින් පවතින වත්මන් ලෝකයේ වඩා නිවැරදි මිනුම් ක්‍රම අවශ්‍ය වී ඇති හෙයින් Le Grand K වැනි ක්‍රම වෙනස් විය යුතුව තිබේ. අලුත් හඳුන්වාදීම ඒ අනුව ඉදිරිපත් වූවකි.

La Grand K කොපමණ වැරදිද?

මෙම ක්‍රමවේදයේ වරද බිලියනයකට කොටස් 50ක් එනම් ඇස් පිල්ලම් ගැසීමකට වඩා අඩුය. එහෙත්, එය කුඩා අගයක් වුවද එය නිවැරදි කිරීම ඉතා වැදගත් බව විද්‍යාඥයින්ගේ අදහසය.

"පැරිස් නුවර තබා ඇති කිලෝග්‍රෑමය සහ ලෝකය පුරා තියෙන කිලෝග්‍රෑමයේ පිටපත් (තරාදි පඩි) සන්සන්දනය කළා ම ඒවා අතර විෂමතා තියෙන බව අපි දන්නවා." ආචාර්ය ස්ටුවර්ට් ඩේවිඩ්සන් පවසයි.

"විද්‍යාත්මකව ගත්තොත් ඒ තත්ත්වය අපට පිළිගන්න බැහැ. Le Grand K ක්‍රමය දැනට සුදුසු වුණත් තව අවුරුදු 100ක් වගේ ගත වෙනකොට ඒක කොහොමටවත් සුදුසු වෙන්නෙ නැහැ"

නව ක්‍රමය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

විද්‍යුත් චුම්භක තුළින් බලයක් උපදී. විදුලිය සහ බර අතර ඍජු සබඳතාවක් පවතී. ඒ අනුව, යම් බලයකට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය විදුලි ප්‍රමාණය ආශ්‍රයෙන් කිලෝග්‍රෑමය හෝ ඕනෑම බරක් අර්ථ දැක්වීමට විද්‍යාඥයින්ට හැකියාව පවතී.

නව ක්‍රමවේදයෙහි වාසි මොනවාද?

සෑම දශක කිහිපයකට වරක් ම ලෝකයේ කිලෝග්‍රෑම් මිනුම් පිටපත් Le Grand K භාවිත කර නිරවද්‍යතාව තහවුරු කරගත යුතුව තිබේ. එහෙත්, "කිබල් සමබරතාව" (Kibble balance) නමැති නව ක්‍රමය යටතේ කිලෝග්‍රෑමය මනින දෘඪ ඒකකවල නිරවද්‍යතාව ඕනෑම අයෙකුට ඕනෑම ස්ථානයක සිට එය තහවුරු කරගත හැකි වනු ඇත.

"මේක ඉතාම හොඳ ඒ වගේම නිවැරදි තීරණයක් බව හිතෙනවා. මෙය ක්‍රියාත්මක කළාම එය අනාගතයේ ස්ථාවරව පවතීවි" ආචාර්ය ඉයන් රොබින්සන් පවසයි.

මෙම නව ක්‍රමය හඳුන්වා දී ඇත්තේ, ආචාර්ය බ්‍රයන් කිබල් නමැති විද්‍යාඥයාය. එහෙයින් එය කිබල් බැලන්ස් ලෙස නම් කර තිබේ.

- බී.බී.සී. නිවුස්වලින් උපුටා ගන්නා ලදී

ශ්‍රී ලංකා මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳව පවත්වනු ලබන සමුළුවකට මේ වනවිටත් සහභාගි වී ඇති බැවින් ඒ පිළිබඳව නවතම වැඩිදුර තොරතුරු සහිත ලිපියක් ඉදිරි කලාපයෙන් ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00