2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

අධිවේගයේ කප්පම් කාක්කෝ

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 51

ලංකාවේ වැඩියෙන්ම බැණුම් අසන්නේ කවුදැයි ඔබ සොයා බැලුවහොත් එලෙස දෝෂදර්ශනයට ලක්වන්නේ දෙපිරිසකි. එක් පිරිසක් දේශපාලනඥයන්ය. අනෙක් පිරිස පොලිස් නිලධාරීන්ය. මේ දෙපිරිස අඩු වැඩියෙන් කාලයෙන් කාලයට බැණුම් අසන්නේ ඔවුන් විසින් දිනෙන් දින කරළියට රැගෙන එන මාතෘකා නිසාය. කෙසේ වෙතත් මේ දිනවල වැඩියෙන් දේශපාලනඥයන් බැණුම් අසන නිසා මෙවර අප හෙළිකරන්නට යන්නේ පොලිස් නිලධාරීන් විසින් සිදු කරන තවත් ජාවාරමක් ගැනය.

මේ සාමාන්‍ය පොලීසියේ අය නොව අධිවේගී මාර්ගයේ සේවය කරන පොලිස් නිලධාරින් කිහිප දෙනෙකු විසින් සිදුකරන ජාවාරමකි. කතාවට ආරම්භයක් ලෙස අසාධාරණයට ලක්වූ අයකුගේ කතාවකින්ම මේ කතාව පටන් ගන්නට සිතුවෙමි.
මේ පුද්ගලයා එළවළු ලොරියක හිමිකරුවෙකි. ඔහුගේ ගමන් මාර්ගය එක් අධිවේගී මාර්ගයක් ඔස්සේ වැටී ඇත. සාමාන්‍යයෙන් ඔහු උදේ සවස කොළඹට පැමිණෙන අයෙකි. ඔහු මේ කතාව කීවේ කිසිවිටෙකත් තමන් ගැන හෙළිදරව් නොකරන ලෙස ඉල්ලමිනි.

මම උදේ හවස කොළඹ යන එන කෙනෙක්. අපිට හයිවේ එක නිසා හරිම ලේසියි කොළඹ යන්න එන්න. සාමාන්‍යයෙන් අපි යන්නේ එළවළු මුට්ට ගහගෙන. ලොරිය හයිවේ එකට දාගත්තට ඔය ගහලා තියෙන වේගයෙන් යන්න බෑ. සමහර වෙලාවට කොට කොට යනවා. අපි යන්නේ පාන්දර. පාන්දරට වාහන අඩු නිසා හිමිහිට යන්න ලේසියි. හැබැයි අපිව මඟදී පොලීසියෙන් අල්ලනවා. අල්ලලා කියනවා ගාණක් දෙන්න කියලා. ඉතින් සාමාන්‍යයෙන් එක ලොරියකින් රුපියල් 200 වගේ ගාණක් ගන්නවා. ලොරි පනහක් විතර යනවා. හිතන්නකෝ රැපියල් 200 ගාණේ දුන්නම කොච්චර ගාණක් ද කියලා ඔහු කීවේය.

මෙතරම් මුදලක් ගන්නේ ඇයිදැයි මම ඔහුගෙන් විමසා සිටියෙමි.

අපි එන්නෙ හිමිහිටනේ. හයිවේ එකේ හිමිහිට එන්න තහනම්. ඒක ශේප් කරගන්න තමයි මෙහෙම අපි කරන්නේ. ඒ මහත්වරු අපි යාළුවෝ. දැන් ඉතින් උදව්වක් හැටියට මේක දෙනවා යැයි ඔහු සිනාසෙමින් කීවේය.

මේ කතාව ඔහු කීවේ ඇඟට පතට නොදැනීවමය. එහෙත් මෙහි බැලූ බැල්මට ඇත්තේ පෙනි පෙනී කප්පම් ලබා ගැනීමකි. නමුත් මේ ගැන කාට කියන්නද? නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වෙන නිසාය. ඒ නිසා මේ කප්පම සාමාන්‍යකරණයට ලක්ව ඇත.

එසේම ඔහු මේ කතාවේ තවත් අතුරැ කතාවක් කීවේය.

එනම් අධිවේගයේ බස් ධාවනය සඳහා බලපත්‍රයක් අවශ්‍යය. එය මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් ලබාදෙයි. එහෙත් ඇතැම් බස් රථ හිමියෝ ඉතාම සූක්ෂම ලෙස ඔවුන්ට අයත් වෙනත් බස් රථ රහසිගතව අධිවේගයේ ධාවනය කරති. එසේ ධාවනය කරනු ලබන්නේ නීති විරෝධීවය. මේ නිසා එක් ධාවන වාරයකට එවැනි බස් රථයකින් රුපියල් 500ක් පමණ මේ කියන නිලධාරීන් ලබාගන්නා බව ඔහු සඳහන් කළේය. මෙම බස් කිහිපයක් අධිවේගයේ ධාවනය කළත් නීතියෙන් කිසිදු බලපෑමක් ඔවුන්ට නැත. ඒ පොලිසිය විසින්ම එම බස් රථ ආරක්ෂා කිරීම නිසාය.

ඊට අමතරව පොලිස් නිලධාරින් එළවළු මාළු, මස් පවා අල්ලස් ලෙස ලබා ගැනීමට පුරැදුව සිටින බවටද චෝදනා එල්ල වෙයි. මේ නිසා අධිවේගයේ බොහෝ නිලධාරීන්ගේ ජීවනෝපාය එහි එහා මෙහා යන වාහන බවට පත්ව ඇත. ඔවුන් කෙසේ හෝ එදාවේල සරිකර ගැනීම සඳහා අමාරැවෙන් සොච්චම් මුදලක් හොයා ගන්නා අහිංසකයන්ගෙන් කප්පම් ගැනීම තෙක් දුරදිග ගොස් ඇත. එහෙත් මේවාට නීතිය ක්‍රියාත්මක කිරීමට තැනක් නැත. ඒ නීතිය ක්‍රියාත්මක කළ යුතු ආයතන මෙහි වරදේ පැටලී ඇති නිසාය.

කෙසේ  වෙතත් මේ කතාව අධිවේගයේ සේවය කරන මේ ජාවාරමට හවුල් නැති පොලිස් නිලධාරින් පවා මේ වනවිට සනාථ කර තිබේ. එපමණක් නොව මේ සිද්ධිය ගැන බුද්ධි අංශ පවා දැනුම්වත්ව ඇති අතර ඉහළට මේ පිළිබඳව දැනුම්වත් කර ඇත. ඉදිරියේදී මේ කප්පම් ජාවාරමට තිත වැටීමට ඉඩ තිබේ.

දැනට මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විවිධ අංශවලින් පරීක්ෂණ ආරම්භ කර ඇත. ඒ සඳහා උපාය දූතයන්ද යොදවා ඇත. මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශව ඔස්සේ ලැබුණු තොරතුරැ හේතුවෙන් මේ වනවිට සියලු ආරක්ෂක ඇස මේ කෙරෙහි යොමු වී ඇත.

දැනට ලැබී ඇති තොරතුරැ අනුව ඇතැම් නිලධාරින් බීමත්ව රියදුරන්ට තර්ජනය කළ අවස්ථා පිළිබඳවද තොරතුරු ලැබී ඇත. මේ නිසා ඇතැම් රියැදුරන් අධිවේගය වෙනුවට ප්‍රධාන මාර්ගයෙන් කොළඹ පැමිණෙන බව දැනගන්නට ඇත. එවැනි තත්ත්වයක් මත මෙලෙස තවදුරටත් කප්පම් කාක්කන්ට ඉන්න හිටින්න අවස්ථාව දෙනවාද කියා ප්‍රශ්නයක් ඇත. ඒ ප්‍රශ්නයට පිළිතුර සෙවීම පොලීසිය සතුය.

 අසංක කළුබෝවිල