2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

කතා කරන-නොකරන මන්ත්‍රීන්ට බලපාන මැතිසබයේ ස්ථාවර නියෝග

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 270

ශ්‍රීලංකා පාර්ලිමේන්තුව ක්‍රියාකාරීත්වයෙන් ලෝකයේ ආදර්ශමත් පාර්ලිමේන්තුවක් ලෙස අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය කලකට පෙර පිළිගෙන තිබුණද දැන් ඒ පිළිගැනීමට කුමක් වේදැයි ගැටලුවකි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ හක්කලං විටින් විට සිදුවුවද පසුගිය වසර තුනක කාලය තුළ එය උපරිම තලයට පැමිණියේය. එහි කූටප්‍රාප්තිය පසුගිය නොවැම්බර් 14 සහ 15 දෙදින තුළ අපට දැකගත හැකි විය. බොහෝ දෙනා ඒ දිනවල පැවති ශ්‍රී ලංකා එංගලන්ත ක්‍රිකට් තරග වෙනුවට පාර්ලිමේන්තු සජීවී විකාශයෙන් පාර්ලිමන්ට් ජෝක්ස් නැරඹූහ.

වර්ෂ 1947දී ආරම්භ වුණු ප්‍රථම පාර්ලිමේන්තුවේ සිට ඉතිහාසය විමසා බලන විට සිදුවූ දරුණුතම කළු පැල්ලම පසුගිය 14 – 15 දිනවල සිදු විය. 

14 වැනි දින කථානායකවරයාට පාර්ලිමේන්තුව හසුරැවා ගැනීමට නොහැකි වූ නිසා 15 දින ඔහු පැමිණියේ නිරායුධ පොලිස් හමුදාවකගේ රැකවරණය යටතේය. එහෙත් එදිනද බහුතරය විමසීමේ ඡන්ද විමසීමක් කිරීමට තබා කතානායක අසුනට පැමිණීමටවත් නොහැකිව කථානායකවරයා අතරමැද වෙනත් ස්ථානයක සිට මෙගාෆෝනයකින් කතා කරනු දක්නට ලැබුණි.

1947 එම පාර්ලිමේන්තුවේ සිටියේ මන්ත්‍රීවරැ 101 දෙනකි. ගෝල්ෆේස් පිටියේ තිබූ ඒ පාර්ලිමේන්තුවේ සිට ශ්‍රී ජයවර්ධනපුර වත්මන් පාර්ලිමේන්තුවට එන විට මන්ත්‍රීවරු සංඛ්‍යාව 225 දක්වා ඉහළ නැග තිබේ. ඒ අතරම මන්ත්‍රීවරුන්ගේ විනය පිරිහීම ද ඉහළ නැග තිබේ. එදා උගත් බුද්ධිමත් පිරිසක් නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී භූමිය අද බල්ලට ගොස් ඇත්තේ නූගත් බහුතරයකගේ ආගමනයත් සමඟය.

1994 සිට 2000 දක්වා කතානායක ධූරය දැරූ කේ.බී. රත්නායක ද පාර්ලිමේන්තු විනය පිරිහීම ගැන කිහිපවරක්ම අවධාරණය කර තිබුණි. විචාරකයන්, විද්වතුන් මෙන්ම ජාත්‍යන්තර දේශපාලන නිරීක්ෂකයන් ද මේ ගැන අදහස් දැක්වුවද මන්ත්‍රී විනය අන්තයටම පල්ලම් බැසීමක් මිස වර්ධනයක් දැකගත හැකි වූයේ නැත. අතිශය තීරණාත්මක අවස්ථාවලදී බහුතරය පෙන්වීමේ ඡන්දයක් විමසීමට අවස්ථාවක් නොමැති වීම විශාල ඛේදවාචකයකි. පසුගිය ජූලි 03දා රාජ්‍ය අමාත්‍යව සිටි විජයකලා මහේෂ්වරන් පැවසූ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය. එහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනකුගේ හැසිරීම කථානායකවරයාගේ අප්‍රසාදයට ලක් විය. එහිදී ප්‍රසන්න රණවීර සහ විමල් වීරවංශ යන මන්ත්‍රීවරු සභා ගර්භය තුළදී මූලාසනයට තර්ජනය කරමින් සෙංකෝලය උදුරා ගැනීමට උත්සාහ ගැනීම සහ අසභ්‍ය වචන භාවිතා කරමින් හැසිරීම ගැන පැමිණිල්ලක් ඉදිරිපත් වූ අතර පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව පරීක්ෂණයක් සිදු කළේය. එම පරීක්ෂණයට අනුව වරදකරුවන් වූ මන්ත්‍රීවරු දෙදෙනාට දඬුවම් නියම කෙරිණි. ප්‍රසන්න රණවීරට සති 4ක කාලයක් සහ විමල් වීරවංශට සති සති 2ක් පාර්ලිමේන්තු රුස්වීම් තහනම් කෙරැණේ මාස දෙකකට පෙරදීය. එම දඬුවම අවසාන වූ විගසම ඔවුන් යළිත් පිස්සු කෙළින්නට පටන්ගත් බව පසුගිය සිදුවීම්වලින් පෙනේ.

පාර්ලිමේන්තුව යනු ඉහළම ව්‍යවස්ථාදායකයයි. එහි හැසිරීම ද ස්ථාවර නියෝගවලට යටත් වේ. එහෙත් අට පාස්වත් නැති සමහර මන්ත්‍රීවරුන්ට ස්ථාවර නියෝග කියවා ගන්නට හැකියාවක් ඇද්ද යන්නද ගැටලුවකි. එයට අමතරව වෙනම චර්යාධර්ම සංග්‍රහයක් ද මන්ත්‍රීවරු වෙනුවෙන්ම සකස් කර තිබුණ ද එය ද බහුතරයක් භාවිතයට ගන්නා බවක් නොපෙනේ.

පාර්ලිමේන්තුව තුළ කතා කිරීමේදී මන්ත්‍රීවරයකු පිළිපැදිය යුතු රීති (ස්ථාවර නියෝග අනුව) මේවා දැඩි ලෙස පිළිපැදිය යුතු බව සඳහන්ය.

 කථානායකවරයා අමතමින් සිය අදහස් පළ කළ යුතුය. කථානායකවරයාගේ අවසරය නැතිව ආසනයෙන් නැගී සිට  කතා නොකළ යුතුය.
 රීති ප්‍රශ්නයක් මත හෝ කතා කරන මන්ත්‍රීවරයා විසින් මැදිහත්වීමට අවසර දෙනු ලැබුවහොත් මිස මන්ත්‍රීවරයාට බාධා කළ නොහැක.
 අදහස් පළ කිරීමෙන් පසු මන්ත්‍රීවරයා අසුන්ගත යුතුය.
 මන්ත්‍රීවරැ දෙදෙනකු එකවර නැගී සිටියහොත් කථානායකවරයා පළමුවෙන් දකින මන්ත්‍රීවරයාට අවස්ථාව ලැබිය යුතුය.
 කතාව පැවැත්වීම සාකච්ඡා කෙරෙන විෂයයට අදාළ විය යුතුය.
 අධිකරණයේදී විභාගයට භාජනය වන කරැණු ගැන කතා කළ නොහැකිය. එවැනි කරැණක් ගැන කතා කළහොත් මන්ත්‍රීවරයාට අසුන් ගන්නා ලෙස නියෝග කළ හැකිය.
 කතා කිරීමේදී යම් අපහාසාත්මක පරැෂ වචන භාවිත කළහොත් කථානායකවරයා විසින් ඒ මන්ත්‍රීවරයාට නියෝග කළ හැකි අතර ඒ කොටස් හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස නියෝග කෙරේ.
 පාර්ලිමේන්තුවේ කැමැත්ත මත මන්ත්‍රීවරයකුට තමා සම්බන්ධව පෞද්ගලික කරැණු පැහැදිලි කළ හැකිය. නමුත් ඒවා විවාදයට භාජනය කළ නොහැකිය.
 පනත් කෙටුම්පතක්, නියෝගයක්, යෝජනාවක් ඉදිරිපත් කරන මන්ත්‍රීවරයකුට විවාදය අවසානයේ පිළිතුරැ ලබාදීමට අයිතිය පවතී.
 රීතිවලින් බැහැරවන මන්ත්‍රීවරැන්ට සභාවේ රීතිවලට හිස නැමිය යැතු බවට කථානායකවරයා නියම කරනු ලැබිය හැකිය.
 මන්ත්‍රීවරයන් විසින් සභා ගර්භයට ඇතුළු වන සහ පිටව යන විට මූලාසනයට ගෞරව කළ යුතුය.
 රුස්වීම අවසානයේ කථානායකවරයා පිටව යනවිට මන්ත්‍රීවරු ආසනවලින් නැගී සිටිය යුතු අතර සභා ගර්භයෙන් පිටතට යනතුරැ එලෙස සිටිය යුතුය.
 කථානායකවරයා විසින් සාධාරණ ලෙසට මන්ත්‍රීවරැ අතර කාලය වෙන් කිරීමට වගකිව යුතුය.

කතා නොකරන මන්ත්‍රීවරු පිළිපැදිය යුතු රීති

පාර්ලිමේන්තු විවාදයක් හෝ පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවක් අතරතුරදී මන්ත්‍රීවරැ හැසිරිය යුතු ආකාරය මෙසේය.

 සන්සුන් ලෙස පාර්ලිමේන්තුවට හෝ කාරක සභාවට පිවිසිය යුතුය. 
 පාර්ලිමේන්තු සභා ගර්භය හරහා ගමන් නොකළ යුතුය.
 පුවත්වත් නොකියවිය යුතුය.
 දුම්පානය කළ නොහැකිය.
 වෙනත් මන්ත්‍රීවරයකු කතා කරන විට නිශ්ශබ්දව සිටිය යුතුය.
 දුරකථන වැනි උපකරණ භාවිතයෙන් සංවාදයේ නොයෙදිය යුතුය.
 සභා ගර්භය මැදට පිවිසීම නොකළ යුතුය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ අතරින් කවුරුත් පැහැදිළිව ඇති ස්ථාවර නියෝග පිළිපදිනවාද යන්න පුවත්පත් කියවන රෑපවාහිනී ප්‍රවෘත්ති නරඹන ඔබ හොඳින් දන්නවා ඇත. සමාජීය මනෝවිද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ලොව බොහෝ දේශපාලනඥයන් තුළ සාවද්‍ය ස්වයං තක්සේරුවක් පවතින නිසා ස්වයං පාලනය අඩු වී ස්වයං විනය බිඳී යා හැකි බවය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ද බොහෝ විට විනයක් නැතිව හැසිරෙන්නේ අඩු අධ්‍යාපන මට්ටමක් සහිත වෘත්තීයභාවයක් නැති මන්ත්‍රීවරැ බව පැහැදිළිව පෙනේ. ඔවුහු ජනතාව ඉදිරියේ ලකුණු දා ගැනීමට මෙම අප්‍රසන්න හැසිරීම්වල නිරත වෙති. එක්තරා සීමාවකට වඩා ස්වයං විනය අඩු වූ විට ඔවුන්ගේ හැසිරීම ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් කරාද යොමුවීමට  ඉඩ ඇත. පරාජිත මානසිකත්වයක් යටතේ අඩු අධ්‍යාපනයක් සහිත දේශපාලනඥයන් වෙතින් මෙවැනි හැසිරීම් සුලබව මතු වන බව මනෝ විශ්ලේශකයන්ගේ මතයයි. එය අපේ රටෙන් ද ලෝකයටම පෙන්වා දුන් සත්‍යයකි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ හැසිරිය යුත්තේ මෙහෙමයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය VII වැනි කොටස.

 මන්ත්‍රීවරයෙක් ආචාරශීලීව කටයුතු කළ යුතු අතර, පාර්ලිමේන්තු විවාදවලදී උචිත භාෂාවක් භාවිත කළ යුතුය.
 කිසිම මන්ත්‍රීවරයකු යම් තැනැත්තකුට පහරදීම, හිරිහැර කිරීම හෝ තර්ජනය කිරීම නොකළ යුතුය.
 සෑම මන්ත්‍රීවරයකුම සිය සාමාජික මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද මහජනතාව ද සම්බන්ධයෙන් ගෞරවාන්විතව ආචාරශීලීව සහ පාර්ලිමේන්තුවේ ගරුත්වයට හානි නොවන ආකාරයෙන් කටයුතු කළ යුතුය.

l කුසුම්සිරි විජයවර්ධන