2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

දරුවන්ගේ ඇස් පාදන ඇස් නොපෙනන ගුරුතුමා

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:31 90

අද ඔහුගේ දෑස් සම්පූර්ණයෙන්ම අන්ධය. දෑස නොපෙනුණත් අදද ඔහු දරුවන් රැසකගේ දෑස් පාදයි. මේ මංගල මුණසිංහ ගුරුතුමා අපට මුණගැසෙන්නේ කළුතර අධ්‍යාපන කොට්ඨාසයේ බෝම්බුවල ශ්‍රී ධර්මාලෝක මහ විදුහලේදීය. උසස් පෙළ දරුවන් පිරිසකට ව්‍යාපාර අධ්‍යයනය උගන්වන මංගල ගුරුතුමාගේ ගුරු මේසය උඩ ඇත්තේ ලැප්ටොප් පරිගණකයකි.

මංගල ගුරුතුමා උපන්නේ කළුතරය. නමුත් පියාගේ රැකියාවත් සමඟ ඔවුහු නුවරඑළියේ පදිංචියට ගියහ. මේ නිසාම මංගලගේ ළමා කාලය ගෙවුණේ සීතල නුවරඑළිය ප්‍රදේශයේය. ඔහු පාසල් අධ්‍යාපනය ලැබුවේ නුවරඑළිය ගාමිණී මහ විදුහලේය.

ළමා කාලයේදී ඔහුට යම් පෙනීමේ හැකියාවක් තිබුණි. ඔහු තනිවම ඇවිද්දේය. තමන්ගේ සියලුම කටයුතු කාගේවත් උදව්වකින් තොරව කරගැනීමේ හැකියාව තිබුණි. නමුත් පන්ති කාමරයේදී එකල පාසලේ ගුරුවරුන් කළු ලෑල්ලේ ලියූ පාඩම් කිසිවක්ම නොපෙනිණි. මේ නිසාම ඔහු වැඩි වශයෙන් අසුන් ගත්තේ කළු ලෑල්ල ආසන්නයේමය.

ඔහු කිසිදාක බේල් ක්‍රමයට ඉගෙන ගෙන නැත. සාමාන්‍ය දරුවකු සේ ඔහු අධ්‍යාපනය ලද්දේය. ඒ වෙනුවෙන් ඔහුගේ පාසල් සගයන්ගෙන් විශාල සහයෝගයක් ලැබුණි. උසස්පෙළ වසරේදී සගයන් පහළොස් දෙනකු එකතුව ‘ප්‍රාර්ථනා’ නමින් බිහිකළ සගයන් කණ්ඩායම මංගලගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් විය. සැමගේම ප්‍රාර්ථනාව වූයේ උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීමය.

‘ප්‍රාර්ථනා’ මිතුරු හවුල මංගලගේ ජීවිතයේ තිබූ ප්‍රාර්ථනාවන් ඉටුකර ගැනීමට විශාල සහයක් දුන්නේය. දෑස් දෙක නොමැතිව ජීවිතය ජයගන්නට වෙරදැරූ මංගලගේ ‘ප්‍රාර්ථනා’ මිතුරු සගයන්ගේ දෑස්වලින් ඔහු ඒ කඩඉමද ජයගත්තේය. ඔහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජ විෂය ධාරාවේ මහජන පරිපාලනය පිළිබඳ විද්‍යාවේදී උපාධිධරයෙක් විය. විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබද්දීද දෙඇස මංගලට බාධා කළේය. නමුත් ඒ කිසිදු බාධාවල් මංගලගේ ජීවිතය කඩා වැටීමට හේතුවක් කර නොගත්තේය. ඔහු විශ්වවිද්‍යාලයේ පාඩම් කරන ලද්දේ වොට් පන්සීයේ අධි බලැති බල්බයක ආධාරයෙනි. සෑම සටහනක්ම ඔහු ඉතා තද වර්ණ පෑනකින් ලියා ගත්තේය.

පාසල් ජීවිතය මෙන්ම සරසවි ජීවිතය සාර්ථක කර ගැනීමට ඉතා කුළුපගු මිතුරෙක් ඔහුට මුණගැසුණේය. ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජෙනරාල් චූලානන්ද පෙරේරාය. මංගල ගුරුතුමා පවසන පරිදි සරසවි සගයා වූ චූලානන්ද නොමැති වූවා නම් ඔහුට උපාධිය ලබාගැනීමට පවා නොහැකි වීමට ඉඩ තිබිණි.

මංගලගේ දෑස්වල ආබාධය දැනගත් දා පටන් ඔහුගේ මව්පියෝ මේ වෙනුවෙන් නොයෙකුත් වෙදකම් කළහ. බටහිර පමණක් නොව දේශීය වෙදකම් පවා සිදු කෙරිණි. නමුත් ඒ කිසිවකින් සුවයක් නොලැබිණි. අවුරුදු දාහතේදී වෛද්‍යවරු මංගලගේ රෝගය සොයා ගත්හ. අවසන් තීන්දුව ලබාදුන් දොස්තරගේ කටහඬින් මංගලගේ මව්පියන්ගේ හදවත රිදුම් දුන්නද අවුරුදු දාහතක පාසල් දරුවකු වූ මංගලගේ ජීවිතය දිනවන පාර කැපුවේය. වෛද්‍යවරයකුගෙන් අපේක්ෂා නොවන පිළිතුරක් එදා මංගලට ලැබුණි.

“අධ්‍යාපනය දැන් නවත්වන්න. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. පුළුවන් දෑතේ රැකියාවක් කරන්න බලන්න” වෛද්‍යවරයාගේ අවවාදය විය.

එදින මංගල එක රැයක් එළිවෙනතුරු හැඬුවේය. ගෙදරම මළගෙයක් බඳු විය. අම්මා තාත්තා සිටියේ හැඬූ කඳුළිනි. නමුත් මොකක්දෝ පෙර පිනකට මංගලට අපූරු ශක්තියක් ලැබුණි. රැයක් පුරා හැඬූ මංගල පසුවදා එළිය වැටෙද්දීම අලුත් මිනිසෙක් විය. ඉර නැගෙනහිරෙන් නැග එද්දී මංගලගේ ජීවිතයට අපූරු ශක්තියක් ගෙන ආවේය. ඔහු ‘සදහටම නොපෙනෙන තුරු අධ්‍යාපනය අතහරින්නේ නැත’ යැයි අධිෂ්ඨාන කරගත්තේය. එතැන් සිට අම්මාටත් තාත්තාටත් එකම ශක්තිය වූයේ ටිකින් ටික දෑස අන්ධ වෙමින් යන දවසින් දවස ජීවිතේ ජයගන්නට වෙර දරණා මේ ධෛර්යමත් පුතණුවන්ය.

ඉගෙන ගනිද්දී ඔහුට ඕනෑතරම් බාධා මුණගැසුණි. සාමාන්‍ය දරුවන් මෙන් මංගලට වේගයෙන් පොත පත කියවාගෙන යාමට නොහැක. ඔහු කිසිදාක උසස් පෙළ විභාගයේදීවත් අධ්‍යාපන නිලධාරියකුගේ උදව් නොගත්තේය. ඔහුට හැමවිටම අවශ්‍ය වූයේ සාමාන්‍ය විභාග අපේක්ෂකයකු ලෙසින් විභාගවලට මුහුණදීමය. ඔහුට අඳුරු තැනක විභාගයට අසුනක් හිමි වුවහොත් පමණක් ඔහු ඒ වෙනුවෙන් එළිය වැඩි තැනක අසුනක් ලබාගැනීමට ඉල්ලා සිටියේය.

සාමාන්‍ය දරුවන් සේ ඉතා ඉක්මණින් ගණන් සෑදීමේ හැකියාවක් මංගලට නොතිබුණේය. නමුත් යම් ගණනක් ඉතා නිවැරදිව සෑදීමේ අපූරු හැකියාවක් මංගලට තිබුණි. මේ නිසා ඔහුගේ ඉලක්කය වූයේ හැම ගණනාවක්ම සෑදීම නොව සාදන ගණන ඉතා නිවැරදිව සෑදීම පමණි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් වූවායින් පසුව මංගලගේ මුල්ම රැකියාව වූයේ සර්වෝදය දිස්ත්‍රික් අධිකාරිවරයකු ලෙස සේවය කිරීමය. නමුත් එකදිගට ගිණුම් කටයුතු කිරීමේ අපහසුතාවය හේතුවෙන් මංගල ඒ රැකියාවට ආයුබෝවන් කීවේය. ඉන්පසුව ඔහුගේ ඉලක්කය වූයේ ගුරු වෘත්තියයි. ඒ සඳහා තරග විභාගයට ඔහු පෙනී සිටියේය. ඔහු විභාග කොමසාරිස්ගෙන් ඉල්ලීමක් කොට ප්‍රශ්න පත්‍රය කියවීම සඳහා නිලධරයකු යොදවා ගත්තේය. ඒ වනවිටත් මංගලගේ දෑස පෙරටත් වඩා අඳ වෙමින් පැවතුණි. එම තරගයෙන් ඔහු බස්නාහිර පළාතෙන් හත්වෙනියා ලෙසින් ලකුණු ලබා ගත්තේය.

ඔහුගේ ප්‍රථම පත්වීම වූයේ රක්වාන විද්‍යාලයකටය. කලකට පසුව මංගල ගුරුතුමාට බෝම්බුවල ශ්‍රී ධර්මාලෝක විදුහලේ ගුරුවරයෙක් ලෙස මාරුවක් ලැබිණි.

ධර්මාලෝක පාසලේ මේ ගෙවන්නේ මංගල සර්ගේ ගුරු ජීවිතයේ විස් එක්වැනි වසරයි. ධර්මාලෝකයට පා තැබූ මුල්ම කාලයේදී ඔහුට යම් ඡායාවක් පෙනුණි. නමුත් අද වෙද්දී ඒ කිසිවක්ම ඔහුට නොපෙනේ.

වර්තමානයේදී ඔහු පාසලේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දරුවන්ගේ ව්‍යාපාර අධ්‍යයනය ගුරුතුමාය. පාසලේ විභාග ප්‍රතිඵල ගත්විට ඔහුගේ විෂයට පාසලේ ප්‍රතිශතය සියයට සීයක් හෝ සියයට අනූවක් තරම් ඉහළය. ඉතා හොඳින් ඔහු දරුවන්ට මේ විෂය උගන්වයි. ඔහු දරැවන්ට අකුරු කියාදෙන ආකාරයද හරි අපූරුය. මංගල සර්ගේ ගුරු මේසයේ ඔහුගේ ලැප්ටොප් පරිගණකය ඇත. ඔහු සෑම පාඩමකදීම පරිගණකය මඟින් ප්‍රශ්න පත්‍ර සකසයි. අදාළ පාඩම් අවසානයේදී දරුවන් ලවා ඒ අදාළ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලියා ගනී. පාඩම් පෙළ අවසානයේදී ඔවුන් සතුව ඉතා වටිනා කෙටි ප්‍රශ්න උත්තර කට්ටලයක්ම ඇත. මේ සෑම ප්‍රශ්නයක්ම අකුරුවලට මුහු කරන්නේ මංගල සර්මය.

තමන් උගන්වන විෂය අනුව ධර්මාලෝක දරු දැරියන්ගේ බාහිර ක්‍රියාකාරකම් රාශියකගේ ප්‍රධාන පුරෝගාමියා වන්නේ මංගල ගුරුතුමාය. ඒ වෙනුවෙන් හිටපු විදුහල්පතිවරුන් මෙන්ම වත්මන් විදුහල්පති සරත් එගොඩඋයන මහතාගෙන්ද විශාල සහයෝගයක් මංගල ගුරුතුමාට හිමිවේ. එමෙන්ම පාසලේ ගුරු මණ්ඩලය සහ දරුවන්ගේ දෙමව්පියන්ගෙන්ද දරුවන්ගෙන්ද සහයෝගය ලැබේ. මේ වෙද්දී මංගල සර්ගේ දෙඇස සම්පූර්ණයෙන්ම අන්ධය. නමුත් අදටත් ඔහු සුදු සැරයටියක ආධාරය නොපතයි. සැම උදෑසනකම නිවසේ සිට පාසලටත් ගෙන ඒම සහ ගෙනයාම පාසලේ හිතවත් ගුරුතුමෙක් ඉතා කැමැත්තෙන් සිදුකරයි. පාසල් භූමිය මංගලට හොඳට හුරු පුරුදුය. දෑස පෙනෙන කෙනෙකුට වඩා වසර විසි එකක අත්දැකීම් එක්ක තනියම වුවත් එහා මෙහා යාමට ඔහුට හැකියාව තිබේ. නමුත් ඒ කිසිම මෙහොතක පාසලේ ආදරණීය දරුවෝ මේ දයාබර ගුරුතුමාව තනි නොකරති. ඕනෑම මොහොතක දරුවන්ගේ අත්වාරුව මංගල ගුරුතුමාට හිමිවේ.

1997 වසරේදී ධර්මාලෝක විදුහලේ උත්සවයක් පැවැතුණි. නමුත් ඒ උත්සවයේදී ආරාධිත අමුත්තන් පිළිගැනීම සදහා පාසල් තූර්යවාදක කණ්ඩායමක් නොතිබුණි. එය මංගල සර්ට විශාල අඩුවක් සේ දැනුණි. පාසල් ජීවිතයේදී ඔහු තූර්යවාදක කණ්ඩායමේ සාමාජිකයෙකි. ඉතා කැමැත්තෙන් කළ විෂයයක් නිසා ඒ අත්දැකීම් ධර්මාලෝක දරුවන්ටත් ලබාදීමේ දැඩි පිපාසයක් මංගල සර්ට ඇතිවුණි. ඔහු එවකට විදුහල්පතිතුමාගෙන් එක් ඉල්ලීමක් කළේය. ඒ අනුව අහළ පහළ පාසල්වලින් පරිහරණය නොකරන තූර්යවාදන භාණ්ඩ කිහිපයක් යොදා ඔහු එම උත්සවය සඳහා අපූරු තූර්යවාදක කණ්ඩායමක් සකසා ගත්තේය. එදින බොහෝ දෙනා තූර්යවාදන කණ්ඩායම පැසසුමට ලක් කළහ.

එතැන් සිට විවිධ බාධා හමුවේ තූර්ය භාණ්ඩ මිලදී ගෙන බෝම්බුවල ශ්‍රී ධර්මාලෝක විදුහලේ තූර්යවාදක කණ්ඩායමක් බිහි කළේය. ශිෂ්‍ය භට කණ්ඩායමක්ද බිහි විය. ඒ සෑම ක්‍රියාකාරකමකදීම පුරෝගාමියා වූයේ මංගල ගුරුතුමාය. 1999 වසරේ කළුතර කලාපයේ තූර්යවාදක සංදර්ශනයේදී සමස්ත ශූරතාව මෙම පාසල දිනා ගත්තේය. එමෙන්ම මෙම වසරේ ස්වාධීන රූපවාහිනිය මගින් පවත්වන Band the Band රියැලිටි වැඩසටහනට සහභාගි වෙමින් දෙවැනි වටයටද ගොස් සිටී. ඒ දක්ෂතාවයන් මෙම මස විසි පස්වෙනිදා එම වැඩසටහන ඔස්සේ දැකබලා ගැනීමේ හැකියාව පවතී. මේ සෑම දේ පිටුපසම යෝධ සෙවණැල්ල සේ සිටිනුයේ නෙත් අඳ, නමුත් ලෝකය අපූරුවට දකින, දරුවන්ගේ සිත් අපූරුවට හඳුනන මංගල ගුරුතුමාය.

පෙරදිග සංගීතය පමණක් උගන්වන පාසලකට බටහිර සංගීත භාණ්ඩවලින් සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යාමද අසීරුය. නමුත් මංගල සර් සහ විදුහල්පතිවරයා ඒ සියල්ල ජයගෙන සිටිති.

මංගල ගුරුතුමා දෙදරු පියෙකි. ඔහුගේ වැඩිමහල් පුතු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබා පෞද්ගලික ආයතනයක කළමනාකරුවෙක් ලෙස සේවය කරයි. දෙවැනි පුතණුවන්ද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබයි. පාසල් දරුවන්ට කරන තරමටම තමන්ගේ දරුවන්ට පිහිටක් වනු ඇතැයි යන ආත්ම විශ්වාසය මංගල සර්ගේ සිතේ තදින්ම කා වැදී තිබුණි. ඒ විශ්වාසය ඔහු ජය ගත්තේය. තම දරුවන් දෙදෙනාට මහන්සි වූවාටත් වඩා පාසල් දරුවන්ගේ යහපතට ඔහු අසීමිතව මහන්සි විය. එය ඔහුගේ දරුවන් දෛදනා උපේක්ෂාවෙන් දරා ගත්හ. තම දරුවන්ගේ විශේෂ අවස්ථාවන් දැකබලා ගන්නට නොගිහින් මංගල සර් පාසල් දරුවන්ට තම කාලය මිඩංගු කළේය.

මංගල සර් සැබැවින්ම ජීවිතය දිනූ ගුරු පියාණන් කෙනෙකි. පැය ගණනකට රාජකාරි කරනා ඇස් පෙනෙනා ගුරුවරුන් ඉන්නා සමාජයේ ලෝකය දකින්නට දරු පරපුර කැන්දාගෙන යන මංගල සර්ට ඇත්තටම ඇස් නොපෙනෙනවා යැයි සිතා ගැනීමටත් නුපුළුවන. ඒ තරමටම ඔහු කඩිසරය. ඔහු සමස්ත ගුරු පරපුරටම ආදර්ශයකි. බෝම්බුවල ශ්‍රී ධර්මාලෝක විදුහලේ දරු පැටවුන්ගේ දෑස පාදන්නට හැකියාව ඇත්නම් ඊටත් වඩා තවත් බලාපොරොත්තුවක් ඔහු තුළ නැති වග සහතිකය.

විශේෂ ස්තූතිය - විදුහල්පති සරත් එගොඩඋයන මහතා ඇතුළු ගුරු මණ්ඩලයට
දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - ‍සුමුදු හේවාපතිරණ