2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

අම්මයි තාත්තයි මරා කුණුගොඩට දැමූ නරුම පුතා

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:31 64

චන්ද්‍රපාල - මල්ලිකා යුවළ පදිංචිව සිටියේ විජයානන්ද මාවතේය. ඒ ගාල්ලට නුදුරු ආනන්ගොඩ ගමේය. දරුවන් තිදෙනකුගෙන් යුත් මේ පවුලේ දියණියක හා පුතුන් දෙදෙනකු වෙති. සැඳෑ සමය ගත කරන මව්පියන් දෙදෙනා සිය ලෙයින් ජාතක කළ පුත්‍රයකුගේ අමානුෂික ප්‍රහාරයකට ලක්ව පරලොව යනු ඇතැයි කෙදිනකවත් නොසිතන්නට ඇත.

“එපා පුතේ.. ගහන්න එපා පුතේ.. අනේ මගෙ බුදු පුතේ.. අපිව බේරාගන්න කවුරුත් නැද්දෝ..”

විජයානන්ද මාවත ප්‍රදේශය දෙවනත් කරමින් මේ මරලතෝනිය ඇසුණේ පසුගිය 18 වැනිදාය. වෙලාව පස්වරු 7ට පමණය. තරමක ගහකොළ පිරි පරිසරයේ ඒ වනවිටත් අන්ධකාරය පිරී තිබුණි. විජයානන්ද මාවත ප්‍රදේශය භීතියට පත් කරමින් නැඟුණු මරලතෝනිය අවසන් වනවාත් සමඟ එකී නිවෙසේ විදුලිය විසන්ධි වූ බව දැක තිබුණේ අසල්වැසි නිවසක කාන්තාවකි. අඳුර මැද නිවෙසේ කලබලයෙන් ඒ මේ අත දුවන කෙනකුගේ ඡායාවක් පෙනුණේ යාන්තමටය. කුමක් හෝ බරපතළ යමක් සිදුවන්නට ඇතැයි තේරුම්ගත් අසල්වැසි කාන්තාව පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ දුරකතන අංක 119 අමතා තොරතුර දැන්වූවාය.

මේ අතර ක්‍රියාත්මක වූ අසල්වැසි ඥාතියකු සිදුවූ කලබලය පිළිබඳව එම නිවෙසේ සිට විවාහ වී වෙනත් ගමක පදිංචිව සිටින දියණියට සහ පුතාට දුරකතන මගින් තොරතුරු දන්වා තිබිණ. එසැණින් ඔවුන් දෙදෙනාද එතැනට පැමිණි නමුත් කිසිවෙක් නිවෙසට ළඟා වූයේ නැත.

“වෙනදත් මල්ලිට අසනීප වුණාම අම්මාටයි තාත්තාටයි මල්ලි ගහන්න යනවා. එහෙම කරදර කරන වෙලාවට දෙන්නා ගිහින් හැංගිලා ඉන්නවා. මල්ලිගේ ලෙඩේ අඩුවුණාම තමයි ආයෙත් ගෙදර එන්නේ. අදත් එහෙම වෙන්න ඇති. කොහේ හරි හැංගිලා ඉඳලා පස්සෙ ගෙදර එයි.”

අසල්වැසියන්ට මේ බව පවසා තිබුණේ නිවසේ වැඩිමහල් දියණිය විසිනි. මේ අවස්ථාව වනවිට පොලීසියේ නිලධාරීන් කිහිපදෙනකු ද පැමිණ සිටි නමුත් නිවැසියන්ගේ ඥාතීන්ගෙන් තොරතුරු විමසා ඔවුන් පිටව යන මොහොතේ පොලිස් නිලධාරීන්ද එතැනින් පිටව ගොස් තිබුණි. 

පොලිස් නිලධාරීන් පිටව ගියද ඔවුන් ගොස් තිබු‍ණේ යළිත් එහි පැමිණිය යුතු බව මතකයේ තබා ගනිමිනි. පසුදින පෙරවරුවේ නිලධාරීන් පැමිණියේ ඒ අනුවය. අසල්වැසියන්ගෙන් වෙනත් හෝඩුවාවක් ලැබුණේද නැත. මරලතෝනිය නැගුණු නිවෙස තවමත් දොර අගුලු දැමූ ලෙසමය. කිසිවෙක් එහි පෙනෙන්නට ද නොවුණි. එබැවින් යළිත් වරක් අසල්වැසි ගමක පදිංචි වී සිටි දියණිය හා පුත්‍රයා එහි කැඳවාගෙන තිබුණි. පිරිස එක්ව මව, පියා හා අසනීපයෙන් පෙළුණු සොහොයුරා සෙවීම ඇරඹූයේ ඒ අනුවය.

තරමක ඉඩකඩ සහිත ඉඩමකි. ඉඩමේ පසෙක තිබුණේ පැරණි නිවසකි. චන්ද්‍රපාල - මල්ලිකා යුවළ පදිංචිව සිටියේ එතැනය. වත්තේ කෙළවරටම වන්නට මෑතකදී ඉදිකළ නිවසකි. දෙමහල් නිවසක් ලෙස නිමවන්නට ඇරඹූ එහි බිම්මහලේ සැකසූ එක් කාමරයකි. චන්ද්‍රපාල - මල්ලිකා යුවළගේ දෙවැනි පුත්‍රයා තනිවම පදිංචිව සිටියේ එහිය. ඔහු අමල් ප්‍රියන්ත (30) නැමැත්තෙකි. පාසල් අධ්‍යාපනයෙන් පසුව නාවික හමුදාවට බැඳුණු ඔහු එහි සේවය කර තිබුණේ වසර පහකි. සේවයෙන් ඉවත් වූ දා පටන් පෞද්ගලික ආයතන කිහිපයක රැකියාවල නිරතව තිබුණි. ඒ අතරතුර ආශ්‍රය කළ මිතුරන් පිරිස විවිධාකාරය. ඔවුන් අතර බහුතරය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූහ. මේ නිසා අමල් ප්‍රියන්ත මත්ද්‍රව්‍ය භාවිතයට හුරුව තිබුණේ නොදැනුවත්වමය. ඒ තත්ත්වය වැඩි දිනක් නොයා අමල් මානසික විකෘතිතාවකට පත් කරන්නට සමත්ව තිබුණි.

අමල් ප්‍රියන්තගෙන් අසල්වැසි නිවැසියන්ට වූ කරදර බාධා අපමණය. අසල්වැසි නිවෙස්වලට ගල්මුල් ප්‍රහාර එල්ලකිරීම ඇතුළු චෝදනා රැසක් එල්ල වූයේ ප්‍රියන්තටය. තත්ත්වය කෙසේ වුවත් එය ඔහුට විනෝදාස්වාදයක වී තිබිණි. තත්ත්වය උත්සන්න වීම නිසා සිදුවීම් පිළිබඳ අක්මීමන පොලීසියට ලැබුණු පැමිණිලි ගණනාවකි. පොලීසිය සිදුකළ විමර්ශන අනුව සැකකරු මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කෙරිණ. වෛද්‍ය උපදෙස් මත ඔහු අංගොඩ මානසික රෝහලේ නේවාසික ප්‍රතිකාර සඳහා යොමුකර සිටියේය. කලකට පසුව ඉන් මුදාහැරි ඔහු කරාපිටිය රෝහලේ මානසික සෞඛ්‍ය පිළිබඳ ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබමින් සිටි අයෙකි.

මරලතෝනිය ඇසුණු දිනට පසු දිනය ඉකුත් 19 වැනිදාය. ඥාතීන් සමඟ එක්වූ පොලීසිය චන්ද්‍රපාල - මල්ලිකා සොයන්නට වූවෝය. මානසික රෝගයෙන් පෙළෙන අමල් ප්‍රියන්ත පෙනෙන මානයක සිටියේ නැත. මේ අතර යුවළ පදිංචි නිවෙස පසුපස මිදුලේ දකින්නට ලැබුණේ ලේ පැල්ලම් කිහිපයකි. නිවෙසේ දොර ඇතුළතින් අගුලු දමා තිබුණත් එක් දොරක් විවෘත කර ගැනීමට හැකිවී තිබිණ. මුළුතැන්ගෙයි ඇතුළත බිත්තියේ තැනින් තැන ලේ පැල්ලම් කිහිපයකි. ගෙබිම සෝදා දමා ඇති බවද පැහැදිලිය. මේ අතර මිදුලේ පසෙක තිබී හමුවූ ලේ තැවරුණු මන්නා පිහියකි. යමක් සිදුව ඇතිබවට සාධක රාශියක් වූයෙන් අමල් ප්‍රියන්ත පදිංචි වී සිටි නිවස සෝදිසි කළේය. එහිදී ලේ තැවරුණු කමිසයක් හා යටඇඳුමක් හමුවී තිබුණේ වහළයට විසිකර දමා තිබියදීය.

වැඩිදුරටත් සිදුකළ ‍සොයා බැලීමේදී නිවසේ පසුපස කුණුරොඩු අතුගා දමන ස්ථානය අවුස්සා බැලුවේ නිකමට මෙන්ය. කෙළවරකින් දකින්නට ලැබුණේ හිස කොටසකි. තවදුරටත් රොඩු ඉවත් කර බැලීමේදී ඝාතනය කළ සිරුරු දෙකක් රෙදිවලින් ඔතා හිස්දෙක දෙපසට වන ලෙස තබා ඒ මත කුණුරොඩු දමා වසා තිබුණි. මේ ආකාරයට සිදුකළ විමර්ශන අතරතුර සැකකාර අමල් ප්‍රියන්ත අත්අඩංගුවට ගැනුණේ හිනිදුම්ගොඩ ප්‍රදේශයේදීය. ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඝාතන සිදුවීමේ තොරතුරු සියල්ල හෙළිකර තිබිණ.

ඝාතනයට ලක්වූ චන්ද්‍රපාල නැමැත්තා (61) හැවිරිදිය. මල්ලිකා මහත්මිය (51) හැවිරිදිය. පියා වඩු කාර්මිකයකු ලෙස රැකියාව කළ අතර මව සාත්තු සේවිකාවක වශයෙන් කටයුතු කළ තැනැත්තියකි. ඝාතනයට සම්බන්ධ සැකකාර පුත්‍රයා ලබන 27 තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට නියෝග කෙරුණු අතර මනෝ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගන්නා ලෙසද නියෝග කෙරිණ.

ගාල්ල පොලිස් අධිකාරී අනුරුද්ධ හක්මන බණ්ඩාර මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී ගාල්ල-3 ඩුල්ෂාන් නාගහවත්ත, අක්මීමන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිරෝෂ් ධර්මරත්න, අපරාධ අංශ හා නඩු මෙහෙයුම් අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රණවීර අතුකෝරළ මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරති.

සමන්ත විල්තෙර