2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

අක්මාව-වකුගඩු දන්දී තුන් දෙනකුගේ දිවි ගැලවූ රසික

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 291

ගම්පොල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ මොළය මිය ගිය වයස අවුරුදු හතළිස් එකේ වෘත්තියෙන් පෙදරේරුවකු වූ රසික වික්‍රමසිංහ මහතාගේ අක්මාව සහ වකුගඩු දෙක ගෙන වෙනත් රෝගීන් තිදෙනකුට බද්ධ කිරීමේ සාර්ථක සැත්කම් තුනක් පසුගියදා සිදුවුණි.

මොළය මිය ගිය පුද්ගලයෙකු රෝහලක ප්‍රතිකාර ලබන්නේනම් ඒ සම්බන්ධව එම රෝහල මගින් සම්බන්ධ කිරීමේ නිලධාරින්ට දැනුම්දීමක් සිදුකෙරේ. මේ සම්බන්ධව ප්‍රධාන සම්බන්ධකාරි නිලධරි ලෙසින් නුවර කටයුතු කරනු ලබන්නේ වෛද්‍ය අරුණ අබේසිංහ මහතාය.

ගම්පොල ගල්පාත ප්‍රදේශයේ ජීවත් වූ රසික අවිවාහක තැනැත්තෙකි. ස්වභාවික හේතුවක් මත මොළයේ අභ්‍යන්තරයේ සිදුවූ ලේ ගැලීමක් නිසා මොළයේ ස්නායු මිය ගොස් තිබූ අතර එය දෙවරක්ම සිදුකෙරුණු පරීක්ෂණවලින් සනාථ විය. මේ අනුව වෛද්‍ය අරුණ අබේසිංහ ඇතුළු සම්බන්ධකාරි කණ්ඩායම විසින් රසිකගේ ඥාතීන්ගේ අවසරය ඇතිව අක්මාව සහ වකුගඩු බද්ධ කිරීමක් සඳහා ලබාගැනීමට කටයුතු සැලැස් විය.

ඒ වනවිටත් මිය ගිය රසික ප්‍රතිකාර ලබමින් සිටියේ ගම්පොළ මූලික රෝහලේය. වෛද්‍ය අරුණ අබේසිංහගේ දැනුම්දීමකින් මහනුවර මහ රෝහල් විශේෂඥ වෛද්‍ය චරිත වීරසිංහ මහතා ඇතුළු කණ්ඩායම මෙම සැත්කම සඳහා යුහුසුළුව කටයුතු කළහ. 
මහනුවර මහ රෝහලේ සිට විශේෂඥ චරිත වීරසිංහ මහතා ඇතුළු හෙද, හෙදියන්, සහයක සෞඛ්‍ය කාර්යමණ්ඩලය ඇතුළු කණ්ඩායමක් ගිලන් රථයකින් වහාම ගම්පොල මූලික රෝහලට පිටත් විය. ඒ අනුව ගම්පොල රෝහලේ අධ්‍යක්ෂක ඇතුළු දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරැන් සියලුම නිලධාරින්ගේ සහයෝගයෙන් මෙම සැත්කම සාර්ථකව සිදුකෙරුණි.

මෙම රෝගියාගේ අක්මාව සහ වකුගඩු දෙක අපි හිටියත් මහනුවර රෝගියකුට බද්ධ කිරීමට හිතාගෙන ඒ වනවිටත් අක්මාවේ රුධිරයට ගැලපෙන අක්මා රෝගියකු මහනුවර රෝහලේ සිටියේ නැහැ. ඒ නිසා අපි වහාම මේ පිළිබඳව කොළඹ මහ රෝහලට දැනුම් දීමක් සිදුකළා. ඒ වෙලාවේදී තමයි දැනගන්නේ එහෙම රෝගියකු කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව. ඊට පස්සේ අපි කණ්ඩායම ගම්පොල රෝහලට ගොස් ඒ රෝහලේ කාර්යමණ්ඩලයේ සහයෝගය ඇතිව මෙම සැත්කම සාර්ථකව සිදුකළා... යැයි මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය චරිත වීරසිංහ මහතා දේශයට පැවසීය.

මෙම සැත්කම සිදුකරන ලද්දේ නොවැම්බර් 01 වැනිදාය. සැත්කම ආරම්භ කරද්දී රාත්‍රි අටත් නවයත් අතර විය. එය එතරම් ලේසි පහසු සැත්කමක් නොවේ. අක්මාව සහ වකුගඩු දෙන ඉතා පරිස්සමට සිදුකළ, සාර්ථක සැත්කම් තුන සිදුකර අවසාන වන්නේ පසුවදා පාන්දර එක පමණ වෙද්දීය. ඒ වනවිටත් කොළඹ මහ රෝහලේත් මෙම ඉවත්කරලූ රසිකගේ අක්මාව ගෙනයාමට ගිලන් රථයක් පැමිණ තිබුණි. විශේෂඥ වෛද්‍ය චරිත වීරසිංහ මහතා ඇතුළු කණ්ඩායම සීතල ජලයෙන් පිරිසිදු කළ අක්මාව ඉතා සුපරික්ෂාකාරීව අයිස්වල බහා ගිලන් රථයට බාර දුන්නේය. ඉවත් කරනු ලැබූ අක්මාව සීතකොට රුගෙන යාම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු අතර එසේ නොමැති වුවහොත් ඉතා ඉක්මනින් අක්මාවේ සෛල විනාශ වීමක් සිදුවේ.

රසිකගෙන් ලබාගත් අක්මාව ගිලන් රථයකින් මහනුවර මහ රෝහලට රුගෙන එද්දී මියගිය රෝගියාගේ වකුගඩු දෙක රුගෙන තවත් ගිලන් රථයකින් විශේෂඥ වෛද්‍ය චරිත මහතා මහනුවර මහ රෝහලට පැමිණියේය. ඒ වනවිටත් පාන්දර දෙක පසුවී තිබුණි. පැය ගණනාවක මහන්සියත්, තෙහෙට්ටුවත් පැවතියද විශේෂඥ වෛද්‍ය චරිත වහාම රැගෙන ආ වකුගඩු දෙකෙන් එක් වකුගඩුවක් මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු විසිතුනක තරුණියකට බද්ධ කරනු ලැබීය. ඒ වෙනුවෙන් වෛද්‍ය චරිත මහතාට මහනුවර රෝහලේ කාර්යමණ්ඩලය සහයෝගය දැක්වූවේය.

වකුගඩුව බද්ධ කරනු ලැබූ විසිතුන් හැවිරිදි තරුණියට එදින සුවිශේෂීම දිනයක් විය. ඒ ඇයගේ උපන් දිනය ද යෙදී තිබුණේ එදිනමය. මහනුවර මහ රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්යමණ්ඩලය ඇයට අමතක නොවන තෑග්ගක් ලබාදුන්හ. එහි නියම අයිතිකරුවා වන්නේ මිය ගිය රසික වික්‍රමසිංහය. ගම්පොල මහ රෝහලෙන් ගෙන ආ ඉතිරි වකුගඩුව පසුවදා උදෑසනම විශේෂඥ වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා විසින් කුලියාපිටිය පදිංචි හතළිස් හැවිරිදි තරුණයකුට බද්ධ කළේය.

මේ වනවිටත් එම රෝගීන් දෙදෙනා ප්‍රතිකාර ගෙන නි‍ෙවස්වලට ගොස් සිටිනා අතර ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා යහපත්ය. 

වකුගඩුව ලබාගැනීමත් සමඟම ඉතා ඉක්මනින් බද්ධ කිරීමෙන් සාර්ථක ප්‍රතිකාර ලබාගත හැකි අතර එයින් රෝගියා ඉතා ඉක්මනින් සුවයද ලබයි. මෙම සැත්කම් සඳහා මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය රත්නායක මහතා, විශේෂඥ වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා ඇතුළු වෛද්‍යවරැන් සහ රෝහල් කාර්යමණ්ඩලයේ ද සහයෝගය ලැබුණි.

ගම්පොල මූලික රෝහලෙන් ගනුලැබූ අක්මාව ගිලන් රථයක් ආධාරයෙන් කොළඹ මහ රෝහලට රැගෙන එද්දීත් කොළඹ මහ රෝහලේ අවයව බද්ධ කිරීමේ විශේෂඥ වෛද්‍ය ජොයෙල් අරුඩ්චෙල්වම් මහතා මහාචාර්ය මන්දික විජේරත්න මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම සහ හෙදි කණ්ඩායම සැත්කම සඳහා සියල්ලම සූදානම් කර තිබුණි. ඒ සඳහා කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලැබූ වයස පනස් හතක් වයසැති රෝගියකු සූදානම් කර තිබුණි. මෙම සැත්කම සඳහා පැය හතරාහමාරක පමණ කාලයක් ගතවුණි.

අවයවයක් එක් රෝහලක සිට තවත් රෝහලකට රුගෙන එද්දී පැය දොළහක් ඇතුළතදී රැගෙන ආ යුතුය. වෙලාව ගතවීමත් සමඟ අවයවයක සෛල මැරීමක් සිදුවේ. මේ නිසා ගම්පොල මූලික රෝහලේ සිට කොළඹ මහ රෝහල දක්වා ඉතා ඉක්මනින් රැගෙන ඒමට ගත් උත්සහාය ඉතා සාර්ථක විය. රෝගියාගේ රෝගී වූ අක්මාව ඉවත් කර අලුත් අක්මාව එතැනට බද්ධ කළ යුතුවේ. මේ නිසා ගම්පොල රෝහලෙන් අක්මාව ගෙන එද්දී මහ රෝහලේ රෝගියාගේ නරක් වූ අක්මාව ඉවත් කරලීමේ සැත්කම සූදානම් විය. අක්මාව ගෙන ආ සැටියෙන්ම වෛද්‍ය කණ්ඩායම යුහුසුළුව මෙම සැත්කම සිදුකිරීම ආරම්භ කළේය. අවසානයේදී ඒ සැත්කම ද ඉතා සාර්ථක විය. අක්මාව බද්ධ කළ රෝගියා පමණක් නොව රෝගීන් තිදෙනා ද අද වනවිට ඉතා සුවෙන් පසු වෙති.

රසික මිය ගියේය. නමුත් මිය ගිය රසික අද ජීවිත තුනකට අලුත් ජීවිතයක් ලබා දී ඇත. ජීවිතේ මැරි මැරී ජීවත් වූ රෝගීන් තුන්දෙනෙක් රසික නම් දානපතියාගේ අවයව හේතුවෙන් අද අනාගතයේ බලාපොරොත්තු පොදි බැඳ ජීවිතයට මුහුණ දෙති.

මනුෂ්‍යත්වයේ සොඳුරු බව උදෙස අරැත් සපයන වෙස්සන්තර කුලකයේ පරිත්‍යාගයන් ගැන කලාතුරකින් වූළුද ඇසෙන මේ කතා හදවතට දනවන වටිනාතම වචනවලට ගොනුකරන්නට අසීරුය.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00