2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

අවුරුදු තිස්පහක් තිස්සේ පත්තර බෙදන ආනන්ද

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 160

ටිලිං ටිලිං බයිසිකලේ බෙල්එක දෙවරක් නාදවෙයි. කාටත් කලියෙන් මම මහගෙදර ආලින්දයට දිව එමි. වැටට උඩින් ගුවනේ පාවී එන ඉරිදා පත්තර දොරකඩ ළඟට වැටෙයි. මා බාලවියේදී දුටු පත්තර මාමා ඔහුය. සුදුපාට හුරු කමිසයකින් හා සරමකින් සැරසී පාපැදියේ එන කළු හීන්දෑරී මේ අපූරු මිනිසා බාලවියේ මා තුළ ඇති කළේ විශ්මයකි. අදද අපේ නිවසට පත්තරේ රැගෙන එන්නේ ඔහුමය. මෑතකදී මහවැසි ඇදහැලුණු දිනයක රැකියාව අතරමග ඔහු අපේ නිවසට ගොඩවිය. වැස්ස තුරල් වනතුරු හෝරාවක් පමණ කෝපි කොප්පයක් බොමින් අපි කතා කළෙමු. ඔබට ලියන්නට තරම් රසවත් කතාවල් ඔහු සතුවග මා එදා වටහා ගතිමි. පසුගිය සතියේ මා ඔහුගේ නිවසට ගොඩවන්නේ මේ මතක කරපින්නා ගෙනය.

නමින් ඔහු ආනන්දය. දිවි ගමනේ  අඩසියවසකුත් දෑ අවුරුද්දකුත් පසුකර ඇති ඔහු අද පැසුණු මිනිසෙකි. ආනන්ද මහතා පත්තර බෙදන රැකියාවට අතගසා ඇත්තේ වයස අවුරුදු දහහතේදී තරම් තුරුණු වියේදීය. ඒ අනුව පාපැදියෙන් පත්තර බෙදන රාජකාරිය දශක තුනකට අධික කාලයක් හෙතෙම සිදුකර තිබේ. මේ රැකියාවේ ස්වභාවය සැබෑවටම වෙනස්ය. හිමිදිරි පාන්දර කුකුලා හඬලන්නටත් පෙරාතුව ඔහු අවදි විය යුතුව තිබේ.

“දොළහාමාරේ එකේ ඉඳලා නැගිටලා ඉන්නේ. පාන්දර තුනහමාරේ කෝච්චියේ යනකොට නිදාගත්තා, නැතා කියලා නෑ ඇහැරෙනවා. ඊට පස්සේ හතර වෙනකොට ලෑස්තිවෙලා යනවා. පත්තර බාන්නේ කඩේ වෙනම කෑල්ලකට. මිටි කඩලා අපිට ඕනා ප්‍රමාණය අපි ගන්නවා. ඒකට ලිමිට් එකක් තියනවා. ඊටපස්සේ මුලින්ම ඩිලිවරි යන්නේ මොරගල්ලේ හෝටල් වලට.”

හිමිදිරියේම ගමන පාපැදියෙනි. ඉදිරිපස පත්තර කූඩුව පිරී ඇත. ඇතැම්දාට ලැගේජයේද පත්තර මිටියක් ගැටගසා තිබේ. ඔහුට පාපැදිය සමබරය. හිමින් ගමනක්ද නැත. ගාලුපාරේ සහ අතුරු මාවත්වල කිලෝමීටර දහසයක පමණ දුරක් ආනන්දගේ ගමන දෙපයේ සවියෙනි. සතියේ දිනවල රාජකාරි දහවල් දොළහා පමණ වනවිට නිමාවෙයි. සති අන්තය නම් කාර්යබහුලය. රාජකාරි නිමාකරන්නට සවස තුන හතර පමණ වෙයි.

දිනකට කිලෝමීටර් දහසයක් සතියේ සෑම දිනකම පාපැදිය පැදීම කොතරම් වෙහෙසකර ඇද්ද. මේ මොහොතේ මට සිතිනි. මම ඔහුගෙන් මෙසේ විමසුවෙමි. කකුල්වලට අමාරුවක් අපහසුවක් එහෙම නැද්ද? පිළිතුරු අපූරුය.

“ඒක නම් දැන් ගාණක් නෑ පුරුදුවෙලා.  බයිසිකල් නොපැද ඉන්නත් බෑ දැන් මට. අවුරුද්දට අපි දවස් පහක් නිවාඩු. ඒත් සමහර දවස්වලට පාන්දර බයිසිකලේ අරන් ටිකක් පදිනවා. එහෙම පැද්දේ නැත්නම් ඇඟපත කකුල් තුනටිය එහෙම රිදෙනවා.”

දැන් පාපැදිය නොපැද ඉඳීමට ඔහුට නොහැක. වසර තිහකට අධික කාලයක් මේ රාජකාරි වෙනුවෙන් ඔහු ගතින් සිතින් පදම් වී සිටී. පාපැදිය ඔහුගේ ශරීරාංගයක් මෙනි. සිංහල අවුරුද්දට හිමිවන දින පහක නිවාඩුවේත් බයිසිකල් පදින මේ අපූරු මිනිසා නිවාඩු ගැන තවත් අපූරු කතාවක් අපට කියයි.

“නිවාඩු නම් මම ගන්නේ නෑ. අප්‍රේල් නිවාඩුවේ හැර. ගිය අවුරුද්දේ දවස් තුන්සිය හැටේම මම වැඩකරලා තියනවා. මේ අවුරුදේ ඒ වාර්තා කැඩුණා. ගිය සුමානේ අසනීප වෙලා දවස් හතරක් ඉස්පිරිතාලේ හිටියා. නැත්නම් හැම අවුරුද්දෙම මං නිවාඩු ගන්නේ නැති තරම්. කොච්චර වැස්සත් කොච්චර අමාරැවුණත් රස්සාව කරනවා.”

සැබවින්ම ඔහු අපූරු මිනිසෙකි. කැපවීම ධෛර්යය මෙන්න මහා ජවයක්ද මේ හීන්දෑරි මිනිසා තුළ වෙයි. පාපැදිය පැදීම යනු මහා විසල් වීරක් ක්‍රියාවක් ලෙස මා සිතා සිටි බාලවියේ පත්තර මාමා මට වීරයෙක් විය. එනමුත් අද ඔහු තුළ සැබෑ වීරයෙක් සිටින බව මට හැඟේ. ඔහු එය තහවුරු කරන තවත් කතාවක් අපට කියයි.

“ඉස්සර අපි හිටියේ කුලියට. මේ ගෙදරත් අපි හිටියේ කුලියට. පස්සේ අපි මේ ගේ ගත්තා. ඒ ඔක්කොම කරේ මේ රස්සාවෙන් තමා. විවාහ වුණා දැන් දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ඒගොල්ලොත් බලාගෙන තාමත් ජීවත් වෙන්නේ මේ රස්සාවෙන් තමයි.”

දිරියෙන් ජීවිතය දිනූ ඔහුගෙන් තවත් පැනයක් අසමි. මේ රස්සාවෙන් ලැබුණු ලොකුම දේ මොකද? ඔහු ඊට ලබාදුන් පිළිතුර සොඳුරුය.

“රස්සාවෙන් ලැබිච්ච ලොකුම දේ තමා මගේ බිරිඳව හම්බවෙච්ච එක. පත්තර දෙන්න ගිහිල්ලා තමයි දැකලා යාළුවෙලා කතාබහ කරේ ඉතින්. එයාගේ අයියා කෙනෙකුත් හිටියා මාත් එක්ක වැඩකරපු. ඉතින් ඒ මාර්ගෙන් තමා විවාහ ජීවිතේ පටන් ගත්තේ.”

ඔහු ජීවිතයේ ලැබූ වටිනාම දෙය මේ සොඳුරු පවුල නිවහන සියල්ල උරුමකර දී ඇත්තේ මේ රැකියාවයි. වසර ගණනක් පත්තර බෙදන ආනන්ද මහතාව අප ගම්මානවල නොදන්නා කෙනෙක් නැත. ලොකු ලොක්කන් මෙන්න පොඩි මිනිස්සුද ඔහුව එකසේ දැන හඳුනති. මම ජීවිතය දැනුම් තේරුම් ඇති කාලයේ පටන් මේ පත්තර මිනිසා දෙස බලා සිටියෙමි. එහෙත් ඔහු තුළ පත්තරයක වඩා දීර්ඝව කියවා ගතයුතු ජීවිත අන්දරයක් ඇතිවග කිසිදා නොසිතුවෙමි. අදද මා මේ කතාව ලියන්නේ සැකෙවිනි. මේ ඔහුගේ තවත් මතකයකි.

අසූව දශකයේ භීෂණ සමයේද ඔහු පත්තර බෙදා ඇත. එය ජනතා විමුක්ති පෙරමුණ  ලේක්හවුස් පත්තර තහනම් කළ කාලය විය. භීෂණය රටපුරා පැතිර ගිය එම වකවානුවේ බේරුවල සුපර් මාර්කට් ගොඩනැගිල්ලේ මුරකරු භාරයේ පත්තර බෙදාහැරීම සිදුකර තිබේ. මේ කාලයේද හිමිදිරියේම ආනන්ද මහතා පත්තර ලබාගැනීමට බේරුවලට පාපැදියෙන් යයි. දිනක් පත්තර රැගෙන එන පාන්දරක තවත් පාපැදියකින් පැමිණි ජවිපේ සාමාජිකයන් දෙදෙනෙකු ඔහුට හමුවී ඇත. එදා ඔවුන් ආනන්ද මහතාට ලේක්හවුස් පත්තර නොබෙදන ලෙස අවවාද කර මුදාහැර තිබේ. ඒ එම දෙදෙනා අතරින් එක් අයෙකු ආනන්ද මහතාගේ පාසල් මිතුරෙකුගේ සහෝදරයකු වීම නිසාය. කෙසේ නමුත් එදා පටන් කලබල අවසන් වනතුරු ලේක්හවුස් පත්තර නොබෙදූ බවද ඔහු අපට පවසයි. එය ආනන්ද මහතාගේ මතකයන් අතර නොමැකෙන මතකයකි.

මිනිසුන්ගේ කියවීමේ අඩු වැඩිය පිළිබඳවත් රැකියාවේ මේ දිනවල ආදායම් අඩුවීම පිළිබඳවත් යමක් ඔහු අප සමග කීවේය. 

“ඒ දවස්වල් මම දිනපතා පත්තරේ විකිණුවා එකසීය අසූවක් එකසිය අනූවක්. දැන් එකසිය විසිපහ වෙනකල් බැහැලා තියෙන්නේ. ජේවීපී කලබලවලින් පස්සෙයි යුද්දෙ කාලෙයි මහින්ද මහත්තයාගේ කාලෙයි කියවීම ටිකක් වැඩිවෙලා තිබ්බා. දැන් ආයේ අඩුවෙලා.”

පත්තර වෙළඳාමෙන් ලැබෙන්නේ කමිෂන් එකක් බව ආනන්ද මහතා පවසයි. එය රැකියාව අරඹන කාලයේ එය 5% වූ අතර දැන් 10% ක්ව තිබේ. ඉරිදා ලංකාදීප අලෙවියෙන් වඩා වාසි අත්වන බවත් වැඩියෙන් අලෙවි වන්නේ ලංකාදීපය බවත් තවදුරටත් ඔහු පවසයි. 

පත්තර පිළිබඳව කියවීමට ලැදි වූ අපූරු මිනිසුන් පිළිබඳව කතාද රැකියාව අතරතුර සිදුවූ රිය අනතුරු පිළිබඳවද බොහෝ කතාද ඉතිරිව තිබේ. එහෙත් අප දැන් ඔහුගේ නිවසෙන් නිකම යා යුතුය. කාලය බොහෝ ගෙවී ඇත. පත්තරේ අකුරු කරන කරන අප පන්හිඳේ පටන් ආනන්ද මහතාගේ පාපැදිය දක්වා කතාව බොහෝ දිගය. ඔබ මේ ලිපිය කියවා අවසන් කරන විට අප මෙසේ ලියා තබමු. ඔබ කියවන අකුරු වචන ජේද පරිජේද අතර දහසකුත් මෙවන් මිනිසුන්ගේ දහදිය කදුළු කතා ඇත. එහෙත් එම කතා මේ පත්තර පිටු අතර නැත.

 චමිඳු නිසල් ද සිල්වා

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30