2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

බල පෙරළියේ රහස් කතා

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 357

පසුගිය 26 වැනි සිකුරාදා උදෑසන අටට පමණ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා තමන් නිතිපතාම කතා කරන පුවත්පත් කතුවරයකු ඇමතීය. දේශපාලන අල්ලාප සල්ලාපයේ යෙදුණු ඔහු එකවරම කතුවරයාගෙන් විමසා සිටියේ  “ඔයගොල්ලොන්ගේ ඉරිදා පත්තරය ප්‍රින්ට් එකට යවන අන්තිම වෙලාව රෑ කීයද?” යන ප්‍රශ්නයයි. එයට කතුවරයා දුන් පිළිතුර වූයේ ඉරිදා පුවත්පත් කල්තබා මුද්‍රණය කරන නිසා හැන්දෑවේ හයහමාර හත පමණ වනවිට පුවත්පත සූදානම් කරන බවයි. එවිට මඳ සිනහවක් මුවට නගාගෙන කතා කළ මහින්ද රාජපක්ෂ මහතා පත්තරයේ මුල පිටුව රෑ අට අටහමාර වෙනකම් තියාගන්න බැරිදැයි කතුවරයාගෙන් ප්‍රශ්න කළේය.

එවිට කතුවරයා ප්‍රශ්න කළේ “ඇයි මොනවහරි විශේෂ දෙයක් සිද්ධවෙනවද?” කියාය. තරමක් ස්වරය පහත්කොට කතා කළ මහින්ද පැවසුවේ “ඔයා පිටුව තියාගන්නකෝ. මම ඔයාට වසරේ හෙඩ්ලයින් එක අද හවස දෙනවා” යනුවෙනි.
ඉන්පසු කතුවරයා, “මොකක්ද මේ හෙඩ්ලයින් එක” යැයි පෙරුත්ත කර කර විමසුවත් ඒ ගැන යමක් නොකී මහින්ද රාජපක්ෂ මහතා “පිටුව තියාගන්න. මිස් කරන්න එපා මම ඔයාට අටට කතා කරනවා.” කියා ඒ කතාව හමාර කළේය. 
කුතුහලයක් ඇතිවුවද කතුවරයා ඉන් එහා ඒ ගැන හාරා ඇවිස්සුවේ නැත. වටින් පිටින් මහින්දගේ සමීපතමයන්ගෙන් විමසූ කල ඔවුන් කීවේ දේශපාලනයේ අමුතු යමක් සිදුවෙමින් පවතින බවයි.

මේ සිද්ධිය සිදුවූයේ 26 වැනි සිකුරාදා උදෑසනයි. ඒ වනවිට ජනාධිපතිතුමාගේ පැජට් පාරේ නිවෙසේ මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ අමුත්තකු සමඟ සාකච්ඡා කරමින් සිටියේය. ඒ ප්‍රවීණ පරිපාලන නිලධාරියකු මෙන්ම හිටපු ජනාධිපති ලේකම්වරයාද වන ලලිත් වීරතුංග මහතා සමඟයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති, මූල්‍ය රෙගුලාසි, පරිපාලන රෙගුලාසි කටපාඩමින් දත් ලලිත් සමඟ මෛත්‍රීපාල ජනාධිපතිවරයා සාකච්ඡා කරමින් සිටියේ ව්‍යවස්ථාවෙන් ඔහුට පැවරී ඇති යම් යම් බලතල ක්‍රියාත්මක කරන ආකාරය ගැනයි.

පොලීසිය, ජනමාධ්‍ය සහ තවත් ජාතික වශයෙන් වැදගත් විෂයන් ගණනාවක් ජනපතිවරයා යටතට පවරාගැනීම, අග්‍රාමාත්‍යවරයා තනතුරින් ඉවත් කිරීම හා අභිනව අගමැතිවරයකු පත්කිරීම ආදී කරැණු ගැන ජනපතිවරයා ලලිත්ගේ ව්‍යවස්ථානුකූල මතය විමසීය. ඊට පෙර ඔහු ප්‍රවීණ නීති විශාරදයන් ගණනාවකගෙන්ද ඊට අදාළ උපදෙස් ලබාගෙන තිබුණි. දීර්ඝ වෙලාවක් පැවති ලලිත් - මෛත්‍රී සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිවරයා මෙම බල පෙරළියට අදාළ මූලික ලිපිලේඛන ස්වකීය ලේකම්වරුන්, සමීපතම නිලධරයන් ලවා සකස් කර ගත්තේය.

මෙම සිදුවීම්වලට සමාන්තරව තිරය පිටුපස තවත් දේශපාලන ක්‍රියාදාමයක් වේගයෙන් ඉදිරියට යමින් තිබුණි. ඒ මහින්ද පාර්ශ්වය හා මෛත්‍රී පාර්ශ්වය අතර අවසන් එකඟතාව ඇතිකරගැනීමේ කටයුත්තයි. දෙපක්ෂය අතර සුහදතාව ඇතිකිරීමට මුල සිටම කැපවී ක්‍රියා කළේ එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා ආදී දහසය දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රී පිරිසය. එහෙත් පසුව මහින්ද මෛත්‍රී දෙදෙනා තීරණය කළේ දේශපාලන කපුවන් නොමැතිව ඍජු සාකච්ඡා මාලාවක් පැවැත්වීමටයි. මෙකී කපුවන් නොමැති දේශපාලන සාකච්ඡා සම්බන්ධව මුලින්ම අනාවරණය කළේද පසුගිය 21 වැනිදා දේශය පුවත්පත විසිනි. 

කපුවන් නොමැති සාකච්ඡාවට දෙපාර්ශ්වය වෙනුවෙන් සහභාගි වූයේ මෛත්‍රී පාර්ශ්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද පාර්ශ්වයෙන් බැසිල් රාජපක්ෂ මහතාය. මේ දෙදෙනා අතිශයින්ම රහසිගතව පෞද්ගලික මට්ටමෙන් කළ සාකච්ඡා මාලාවේ තොරතුරු රහස් ලෙසට රැකිණි. මහින්ද රාජපක්ෂ මහතා පවා ඊට අදාළ සම්පූර්ණ විස්තරය දැනගත්තේ ආණ්ඩු පෙරළියට දින දෙක තුනකට කලිනි. මෙම රහසිගත සාකච්ඡාව කොතරම් සියුම් ලෙස ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවෙසේ සිදුවූයේද කිවහොත් මුළු ආසියාවේම දේශපාලන රහස් ක්ෂණිකව දැනගන්නා ඉන්දියාවේ රෝ ඔත්තු සේවාවට පවා එය වාර්තා නොවුණි. මෛත්‍රී - බැසිල් සාකච්ඡාව රෝ ඔත්තුකරුවන්ට ඩැහැගන්නට නොහැකිවීම රෝ ඔත්තු සේවාව මෑත ඉතිහාසයේ ලද දරුණුම පරාජයකි.

මහින්ද රාජපක්ෂ දුන් හිස් චෙක්පතට අලුත් දේශපාලන වටිනාකමක් එකතු කිරීම සඳහා ඒ වනවිට බැසිල් සමත් වී තිබුණි. කලක් විරසකව සිටි මෛත්‍රී - බැසිල් දෙදෙනා ගජමිතුරන් වී සිටි අතර මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා, බැසිල් හා එකඟතාවකට පැමිනුණි. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට බලපෑවේ කලක පටන් දෙපක්ෂය අතර පැවති අළු යට ගිනි ආරවුලයි. ඊට බලපෑ ආසන්න හේතුව ජනපති ඝාතන කුමන්ත්‍රණ කතාවයි. එහි චෝදනා ලත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාදවීම මෙන්ම කුමන්ත්‍රණ කතාවට නම ඈඳීම නිසා ජනපතිවරයාගේ බලවත් අප්‍රසාදයට පත්ව සිටි පොලිස්පති පූජිත ජයසුන්දර සම්බන්ධයෙන් විනය පියවර ගැනීම පමාවීම ගැන ජනපතිවරයා උරණව සිටියේය. හිටපු අග්‍රාමාත්‍යවරයා මෙන්ම නීතිය හා සාමය අමාත්‍යවරයාද මේ හේතුව මත ජනාධිපතිවරයාගේ දෝෂදර්ශනයට ලක්ව සිටියේය. ඒ බව පසුව ජාතිය අමතා කළ ජනපතිවරයාගේ ප්‍රකාශයෙන්ද සනාථ කෙරිණි.

මහින්ද - මෛත්‍රී දෙපාර්ශ්වය අතර දේශපාලන එකඟතාවක් ඇතිවූ බවත් ඒ එකඟතාව අනුව මහින්ද පිලට ආණ්ඩු බලය ලැබෙන බවත් ඒ වනවිට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් පවා දැන සිටියේ නැත. ඔවුන් දැන සිටියේ දෙපක්ෂය අතර අදහස් හුවමාරුවක් සිදුවන බව පමණි. මේ සියලු පක්ෂ නායකයන්ට 26 වැනි සිකුරාදා දහවල් මහින්ද රාජපක්ෂගේ විජේරාම නිවෙසින් දුරකතන ඇමතුම් ලැබුණි. එයින් කියවුණේ කුමන වැඩ තිබුණත් එදින හැන්දෑවේ 6.00ට මහින්දගේ නිල නිවෙසේ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙසයි. ඒ අනුව පක්ෂ නායකයෝ සවස 6 වනවිට මහින්දගේ නිවෙසට පැමිණියහ. රැස්වීම ඇරඹිණි.

මහින්ද රාජපක්ෂ මහතා එම රැස්වීමේදී පක්ෂ නායකයන්ට කීවේ තව ස්වල්ප වේලාවකින් පක්ෂ නායකයන් සමඟ පැමිණ තමා හමුවන ලෙස මෛත්‍රී ජනාධිපතිවරයා දන්වා ඇති නිසා ඒ ගමන යමු කියාය. කිසිදු විස්තරයක් නොදැන මෛත්‍රී හමුවන්නේ ඇයිද යන්න කාටත් ප්‍රශ්නයක් විය. පක්ෂ නායකයන් ගණනාවක් සඳහන් කළේ “සර් මොකටද අපි මෛත්‍රී හමුවෙන්නේ. එයා හම්බවෙලා තියෙන වැඩේ මොකක්ද? විශ්වාසභංගෙදී වගේ අපිට ආපහු රැවටෙන්නයි වෙන්නේ. එහෙම වුණොත් පක්ෂයට ලොකු හානියක්” යනුවෙනි. මහින්ද ඔවුන්ට උත්තර දුන්නේ කල්පනාවෙනි.

“නෑ නෑ කලබල වෙන්න එපා. ජනාධිපති එන්න කීව නිසා අපි යමු”යැයි කී විට විමල් වීරවංශ මන්ත්‍රීවරයා නැවතත් ප්‍රශ්න කළේ “මොකටද යන්නේ” කියාය. ඊට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ මහතා “විමල්, අපි ගිහිල්ලා මොනවාහරි දුන්නොත් දෙන දෙයක් බාර අරගෙන එමු” කියා විමල්ගේ සැකය දුරුකළේය. එවිට උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා කීවේ “සර් අද ලස්සනට ඇඳලා ඉන්නවා. මම හිතන්නේ මොකක් හරි ලොකු දෙයක් ලැබෙන්න වගේ යන්නෙ” කියාය. ඊට කිසිවක් නොකී මහින්ද රාජපක්ෂ මහතා “හරි හරි බලමු බලමු. අපි දැන් යමු..” කියා පක්ෂ නායකයෝ සමඟ නිලරථවල නැඟී ජනාධිපති ලේකම් කාර්යාලය බලා පිටත් වූහ.

හිටපු ජනාධිපතිවරයා මේ සාකච්ඡාව හමාර කරද්දී උදෑසන ඔහු හෙඩ්ලයින් එකක් දෙනවායැයි කියා පොරොන්දු වූ පුවත්පත් කතුවරයා නැවත මහින්දගේ ජංගම දුරකතනට කතා කළේය.

“ඔබතුමා අපිට දෙනවායැයි කී හෙඩ්ලයින් එක අනිවාර්යයෙන් ලැබෙනවද? එහෙනම් ඒ කීයට විතරද? අපිට ටයිඩ් ෂෙඩුල් එකක් තියෙන නිසා පිටුව හදාගන්න කලින් පොඩි ඉඟියක් දෙන්න බැරිද?” යනුවෙන් විමසීය. එවිට මහ හඬින් සිනාසුණු මහින්ද සඳහන් කළේ “කිසිදෙයක් වෙනකම් ෂුවර් නෑ..” යනුවෙනි. 

එවිට කතුවරයා නැවතත් ප්‍රශ්න කළේ “ඔබතුමා අද හොර රහසේම රෑ අගමැති හැටියට දිවුරැම් දෙන්නද යන්නේ..” යන ප්‍රශ්නයයි.

එවිට එයට කිසිත් නොකී මහින්ද රාජපක්ෂ “බලමු බලමු.. මම ඔයාට අට වෙනකොට කතා කරනවා”යැයි කියමින් දුරකතනය විසන්ධි කළේය.

මහින්ද ඇතුළු පක්ෂ නායකයෝ ජනාධිපති ලේකම් කාර්යාලයට යනවිට එහි ඇතුළු කුටියක විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබුණි. එම සාකච්ඡාවට සහභාගි වෙමින් සිටියේ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සහ ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැතිඇමැති 23 දෙනාය. එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ශ්‍රීලනිප මන්ත්‍රීන්ට දන්වා තිබුණේ එ.ජ.නි.ස යහපාලන ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවය. ඊට අදාළ ජනාධිපතිවරයාගේ යෝජනාව මහින්ද අමරවීර මහ ලේකම්වරයා ස්ථිර කළෙන් එ.ජ.නි.ස ආණ්ඩුවෙන් ඉවත් වන බව පාර්ලිමේන්තුවේ කතානායකවරයාට නිලවශයෙන් දන්වා යැවීමට තීන්දු කෙරිණි. ඒ අනුව එ.ජ.නි.ස මහ ලේකම් මහින්ද අමරවීර සකස් කළ විශේෂ ලිපිය ඒ මොහොතේම කතානායකවරයාට යැවීමට පියවර ගැනිණි.

එ.ජා.ප - ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවෙන් ශ්‍රීලනිපය ඉවත්වීමත් සමඟ එ.ජාපයට මැතිසබයේ බහුතරය අහිමි විය. එයින් අග්‍රමාත්‍ය ධුරය වෙනස් කිරීම සඳහා අවශ්‍ය කරන නීතිමය වටපිටාව නිර්මාණය වෙමින් පැවති අතර නීති විශාරදයෝ ජනපතිවරයාට ඒ වනවිටත් උපදෙස් දී තිබුණි. ඊට අදාළ ව්‍යවස්ථානුකූල සටහන් ඇතුළත් විශේෂ ලිපියක් ජනාධිපතිවරයාගේ ලිපිගොනුවේ විය. සුසිල් ප්‍රේමජයන්ත, නිමල් සිරිපාල ඇතුළු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෝද බැසිල් රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨයෝද මෙහිදී ප්‍රායෝගික නෛතික ගැටලු නිරාකරණය කරගැනීමට ජනපතිට සහාය වූහ.

දැන් වේදිකාව සූදානම්ය. ඇත්තේ සැබෑ රංගනය පටන්ගැනීමටයි. න්‍යායපත්‍රයේ හැටියට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පක්ෂ නායකයෝ ජනපතිවරයා සිටි ශාලාවට කැඳවනු ලැබුණි. එහි දෙපක්ෂයේ මැතිඇමැතිවරන්ට අමතරව සිටියේ ජනාධිපති ලේකම් උදය සෙනවිරත්න මහතාය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ අසුන්ගත් අතර ජනාධිපතිවරයා පැමිණ සිටි සියල්ලන්ටම තත්ත්වය විස්තර කළේය. එ.ජ.නි.සය යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වීම නිසා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට මැතිසභා බහුතරය නොමැති බැවින් බහුතර මන්ත්‍රී පිරිසක් සංවිධානය කරගෙන ආණ්ඩුවක් පිහිටවිය හැකිදැයි මෛත්‍රී මහින්දගෙන් විමසීය. මහින්ද “ඔව් මම සූදානම්” කියා මහින්ද කෙටි පිළිතුරක් ලබාදුන්නේය. ඒ වනවිටත් එජාප මැතිඇමැති පිරිසක් සමඟ සුළු පක්ෂ මන්ත්‍රීවරු ගණනාවක් මහින්දට සහාය දීමට ප්‍රතිඥා දී සිටියහ.

මහින්දගේ ප්‍රකාශයත් සමඟ ජනපතිවරයා නැගීසිටින විට ලේකම් උදය සෙනවිරත්න මහතා ඔහු අතට ලිපිගොනුවක් පත් කළේය. කිසිවක් නොකී ජනාධිපතිවරයා “එහෙනම් ඔබතුමා දැන් අගමැති හැටියට දිවුරැම් දෙන්න”යැයි කියා මහින්ද අතට දිවුරුම් ප්‍රකාශය ලබාදුන්නේය. ඒ මොහොතේ කවුරුත් නොදැන සිටි රහස හෙළිදරව් විය. මහින්ද දිවුරුම් දුන්නේය. ඉදිරියේදී ඇමැති මණ්ඩලය පත්කරගැනීමට එකඟතාවක්ද ඇතිකර ගැනුණි. සියල්ලන්ගේ සුබපැතුම් මැද ජනපති කාර්යාලයෙන් මහින්ද පිටත් වූයේ කොළඹ ගංගාරාම විහාරස්ථානය වෙතයි. 

ඒ යන අතර මහින්ද අර පුවත්පත් කතුවරයාට ලබාදුන් පොරොන්දුව ඉටුකළේය. ඒ අනුව ඔහු අමතා ප්‍රකාශ කළේ “ඔන්න මම අගමැති හැටියට දිවුරුම් දුන්නා. රනිල් ඉවත් කළා. හෙඩ්ලයින් එක හරිනේ. මම ගංගාරාමයට යනවා” කියාය. 
අනතුරැව ගංගාරාමයටත් නාරාහේන්පිට අභයාරාමයටත් මහින්ද ගියේ ආගමික වතාවත් උදෙසාය. එදින ෂැංග්‍රිල්ලා හෝටලයේ පැවැත්වූ නවලෝක අධිපති ජයන්ත ධර්මදාස මහතාගේ පවුලේ ඥාතිවරයකුගේ මංගල උත්සවයකට සහභාගි වන බවට කල්තබා ඇරියුමක් පිළිගෙන තිබූ බැවින් සුළු වෙලාවකට හෝ එතැනට ගොස් පැමිණීමට නව අගමැතිවරයාට සිදුවිය.

එදින රාත්‍රිය වනවිට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තනතුරින් ඉවත් කිරීමට අදාළ ලිපිය ඔහු වෙත යොමුකර තිබුණි. තානාපති අංශ, ජාත්‍යන්තර මාධ්‍ය බෙහෙවින් කැළඹී ගියේ නොසිතූ මොහොතක සිදුවූ මේ දේශපාලන පෙරළිය නිසාය.
එලෙස සිදුවූ ආණ්ඩු බල පෙරළිය පසුගිය සතියේම දේශපාලන පුවත් මැවීය. ඊළඟට කළයුතු වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව බහුතර බලය ලබාගෙන කැබිනට් මණ්ඩලය ස්ථාපිත කිරීමේ කටයුත්තයි. සිව්දෙසින්ම පක්ෂ මාරු කතා පැතිරෙන්නට විය. එජාපයේ සිටින ඇතැම් මැති ඇමැතිවරුන් මහින්ද සරණ යන්නට සූදානම්ව සිටින බවට කතා ප්‍රචාරය විය. එහි ප්‍රථම වෙඩිමුරය නිකුත් කළේ මහනුවර දිස්ත්‍රික් එ.ජා.ප. මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතාය. ඔහු මහින්ද පිල වෙත කැඳවාගෙන ආවේ සිය ඥාති සහෝදර මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාය. ඉන්පසු විදේශයක සිට මහින්ද රාජපක්ෂ මහතා සහ මාධ්‍යයද ඇමතූ වසන්ත සේනානායක එජාප රාජ්‍ය ඇමැතිවරයා තමන් රාජපක්ෂ පාලනයට සහාය දෙන බව කීය. හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන විජයදාස රාජපක්ෂ මහතා ඒ වනවිටත් සිය ජංගම දුරකථනය නිවා දමා නිවසට වී සිටියේ නව රජයේ දිවුරුම් දීමට කැඳවීමක් ලැබෙන තෙක්ය. 

වඩිවේල් සුරේෂ් ඒ සමඟ පිම්මකට සූදානම් විය. වඩිවේල් හා වසන්ත පක්ෂ මාරුවකට සැරසෙන බව දැනගත් චම්පික රණවක, සජිත් ප්‍රේමදාස වැනි ආණ්ඩුවේ ප්‍රබලයෝ ඔවුහු රනිල් වික්‍රමසිංහ මහතා වෙත නැවත කැඳවාගෙන ගියහ. ඒ යන්නට පෙර ඔවුන් දැනුම්වත් කළ අතර මහින්ද උපදෙස් දුන්නේ රනිල් හමුවුණාට කමක් නෑ හවස 6.30ට දිවුරුම් දෙන්නට සූදානම් වන ලෙසයි. ඒ අනුව වඩිවේල් මෙන්ම වසන්තද රනිල් හමුවී එ.ජා.ප.ය හැර නොයන බවට ප්‍රවෘත්ති සාකච්ඡා තබා පිටව ගොස් හැන්දෑවේ මහින්ද රජයේ ඇමැතිවරැ ලෙස දිවුරුම් දුන්හ. ඒ සමඟ විජයදාස ද එක්විය. මේ අතර වතුකර ප්‍රබලයන් වන එස්. රාධක්‍රිෂ්ණන්, අරවින්ද කුමාර්, වේලුකුමාර් යන මන්ත්‍රීවරු සමඟ මහින්ද පිල සාකච්ඡා ඇරඹීය. ඔවුන් රජයට සහය දෙන බවට ප්‍රතිඥා දුන්නද පක්ෂ අභ්‍යන්තරයෙන් එල්ල වූ බලපෑම් නිසා පැනිල්ල කල් ගියේය. 

ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුයුදීන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් රජයට එක්වීම සඳහා විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් සාකච්ඡා කරන අතර ඔවුන් දෙදෙනාගේ පක්ෂවල මන්ත්‍රීන් හය දෙනෙකු පමණ පක්ෂය කඩාගෙන ආණ්ඩුවට එකතු වීම සඳහා හොර රහසේ සාකච්ඡා අරඹා තිබේ. නමුත් මහින්ද මෙහිදී බැසිල් රාජපක්ෂට උපදෙස් දී තිබුණේ එම පක්ෂ නායකයන්ගේ සහාය ලබාගෙන මෙම කටයුත්ත සිදුකළොත් වඩා හොඳ බවය. ඒ අතර බැසිල් රාජපක්ෂගේ දේශපාලන බිලී කොක්ක එ.ජා.ප.යේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් වෙත යොමු වූ බව දැනගන්නට ලැබුණි. රවීන්ද්‍ර සමරවීර, රංගෙ බණ්ඩාර, පී. හැරිසන්, එස්.බී. නාවින්න, ලකී ජයවර්ධන, වසන්ත අළුවිහාරේ ආදීන්ගේ නම් පනින ලැයිස්තුවට ඇතුළත් වී තිබූ බවට ආරංචි පැතිර ගියේය. 

මනෝ ගනේෂන්ට සරුසාර බජට්ටුවක් සහිත වෙළෙඳ හා වාණිජ අමාත්‍යංශය දෙන්නේ නම් රජයට එක්වන බව කියා තිබුණි. එම ඉල්ලීම මහින්දලා තරයේ ප්‍රතික්ෂේප කළහ. පක්ෂ මාරුවේ ඊළඟට නම් සඳහන් වූ ප්‍රබල එජාප චරිතය වූයේ හිටපු මුදල් ඇමැති රවී කරුණානායකය. ඔහු ජනාධිපතිවරයා මුණගැසී මුදල් අමාත්‍යංශය ලබාදෙන්නැයි ඉල්ලා තිබුණි. එය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවන බව ජනපති පැවසූ විට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය ලබාදෙන්නැයි කී බව සඳහන් විය. තමන් සමඟ තවත් එජාප මන්ත්‍රීන් තුන් හතර දෙනෙක් සිටින බවද රවී කියා තිබුණි. කෙසේ හෝ බැසිල්ගේ උපදෙස වී තිබුණේ රවීගේ ඉල්ලීම අන්තිමට තබා ගැනීම හොඳ බවය. 

මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීන් අතර අසහනකාරී තත්ත්වයක් මෝරා යමින් තිබුණි. එය ශ්‍රීලනිප හිටපු මහලේකම් දුමින්ද දිසානායක, පියසේන ගමගේ, මනූෂ නානායක්කාර, ලසන්ත අලගියවන්න වැනි මන්ත්‍රීවරුන් එජාපය සමඟ එක්වීමට සැරසෙන බවට වූ ආරංචිය නිසාය. මේ ආරංචිය වඩාත් බරපතළ වූයේ එජාපයෙන් එන මන්ත්‍රීන් දිවුරුම් ‍දෙන්නේ දුමින්දගේ පැමිණීමෙන් පසුව බව බැසිල්ට කලින්ම කියා තිබූ හෙයිනි. කෙසේ හෝ ඒ අතර රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද රාජ්‍ය ඇමැති ධුරයකට දිවුරුම් දුන්නේ කිසිවකුත් අපේක්ෂා නොකළ මොහොතකය. ඔහු සමඟ සාකච්ඡා කළේද බැසිල්ය. දුමින්ද දිසානායකලාගේ ආරවුල හටගැනීම සමඟ ඊට මැදිහත් වන ලෙස මහින්ද හා බැසිල් හිටපු මන්ත්‍රී පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට දැන්වූහ. ඒ සමඟ උන්වහන්සේ කොළඹ ස්කෙල්ටන් පාරේ පිහිටි දුමින්දගේ නිවසට වැඩම කර පැය ගණනක් දුමින්ද සමඟ සාකච්ඡා කොට ප්‍රශ්නය නිරාකරණය කරනතුරු තමන් මෙම නිවසින් පිටව නොයන බව කියමින් දුමින්දගේ නිවසේ වැඩසිටියහ. මේ මොහොතේ පැවති තත්ත්වය දැනගත් බැසිල් රාජපක්ෂ මහතා වහාම දුමින්දගේ නිවසට ගියේය. ගිය බදාදා නිවසේ ඇතුළු කුටියකට වැදී පැය දෙකහමාරක පමණ කාලයක් දුමින්ද බැසිල් සාකච්ඡා කළේ පවතින ගැටලු නිරාකරණය කර ගැනීමටයි. අනතුරුව ලක්ෂමන් යාපා, නිමල් ලාන්සා ද එක්විය. මෙහිදී පසුගිය රජය යටතේ දුමින්දලාගේ පවුලට බැසිල්ගෙන් සිදුවූ අසාධාරණකම් ගැන පවසමින් දුමින්ද බැසිල්ට දැඩි ලෙස දොස් පවරා ඇත. එහෙත් දුමින්දගේ දෝෂාරෝපණ හමුවේ සිනාමුසු මුහුණින් සිටි බැසිල් අලුත් ගමනක් අරඹන්නට ඉවසිලිවන්ත ප්‍රයත්නයක නිරත විය. කතාබහ අවසානයේ දුමින්ද, මහින්ද රාජපක්ෂ මහතාට කතාකළ යුතු බව පැවසීය. එවිට බැසිල් සිය ජංගම දුරකථනයෙන් මහින්ද රාජපක්ෂ මහතා අමතා දුමින්ද - මහින්ද සම්බන්ධය ඇති කළේය. මහින්දටත් සිය දුක් ගැනවිලි කී දුමින්ද ඔබතුමා කෙරෙහි උපරිම විශ්වාසය තබමින් රජයට එක්වීමට කැමැත්ත පලකරන බව සඳහන් කළේය. අනතුරැව ජනාධිපති මෛත්‍රීපාල මහතා සමඟ දුමින්ද සාකච්ඡා කළ බව කියති. එදින සවස අනුරාධපුරයේ මන්ත්‍රීන් සිය නිවසට කැඳවූ හෙතෙම සිය තීරණය දැනුම් දුන්නේය. 

දුමින්ගේ ප්‍රශ්නය නිරාකරණය වෙද්දී කොළඹ දේශපාලන ක්ෂේත්‍රයේ කතා පැතිර ගියේ ප්‍රධාන පක්ෂ දෙකම තම තමන්ගේ මන්ත්‍රීන් ගොඩ වැඩිකර ගැනීම සඳහා විශාල මුදල් ලංසු තබමින් සිටින බවයි. රැපියල් මිලියන 50-100 සිට 500 දක්වා විවිධ පරාසවල ගනුදෙනු කතා කළ බවද දැනගන්නට ලැබුණි. එජාපයේ එක්තරා ජ්‍යෙෂ්ඨයකු බැසිල්ට පවසා තිබුණේ තමා ඉල්ලන අමාත්‍යංශයත්, ඊළඟ ආණ්ඩුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකුත් ලැබෙන්නේ නම් රජයට එක්වීමට සූදානම් බවය. ඔහු එජාපයේ ජ්‍යෙෂ්ඨතම චරිතයකි. එහෙත් ඔහුගේ ඉල්ලීමද ඉටු නොවුණි.

කතානායක කරු ජයසූරිය මහතා ජනාධිපතිවරයා මුණගැසී වහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස බදාදා සවස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. පැය එකහමාරක් පැවති මේ සාකච්ඡාවේදී ජාත්‍යන්තර මතයද කරු ජනපතිවරයාට දැන්වීය. එවිට ජනපති ප්‍රකාශ කර සිටියේ තමන් හැකි ඉක්මණින් මැතිසබය කැඳවන වගය. එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නද ජනපතිවරයා හමුවූ බව කියැවිණි. රාජිත පුළුල් ජාතික මෙහෙවරක් යෝජනා කළ අතර සජිත් සමඟ පවතින දේශපාලන තත්ත්වය ගැන මෛත්‍රී ජනාධිපතිවරයා අදහස් හුවමාරු කරගෙන තිබුණි. 

මේ සියල්ල මධ්‍යයේ එජාය කොළඹට ජනතාව කැඳවා ආණ්ඩු පෙරළියේ තමන්ට සිදුවූවායැයි කියන අසාධාරණයට එරෙහිව කොල්ලුපිටියේදී උද්ඝෝෂණයක් පැවැත්වීය. නමුත් දැන් ආණ්ඩුවේ වක්කඩ කැඩී තිබේ. එජාපයේ තවත් මන්ත්‍රීන් පිරිසක් රජයට එක්වූයේ ඉන්පසුවය. ඒ සමඟ බල පෙරළියේ නිමාව සටහන් වෙද්දී කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ අගමැති අසුන මහින්ද රාජපක්ෂ මහතාට වෙන්කර තබන ලෙස පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු මහලේකම්ට උපදෙස් දුන්නේය. එය කතානායකවරයා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අනියමින් පිළිගැනීමකි. 

ගිය බ්‍රහස්පතින්දා උදෑසන හදිසියේ ගෝඨාභය රාජපක්ෂ ඇමතූ මහින්ද රාජපක්ෂ හා බැසිල් ගෝඨාට කීවේ අරලියගහ මැඳුරේ ඒ වනවිටත් රැඳී සිටි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවන ලෙසයි. ඔහු මුණගැසී අරලියගහ මැඳුරෙන් ඉවත්වීම පිළිබඳව සාකච්ඡා කරන ලෙසද මහින්දලා ඉල්ලූහ. ඒ සමඟ දුරකතනයෙන් ජනාධිපති මෛත්‍රී ඇමතූ ගෝඨාභය රාජපක්ෂ තමන් මෙබඳු ගමනක් යන බවත් ඒ ගැන මෛත්‍රී ජනාධිපතිවරයාට ප්‍රශ්නයක් තිබේද කියාත් විමසීය. එවැන්නක් නැතැයි මෛත්‍රී කී පසු ගෝඨා ඉතාමත් රහසිගතව අරලියගහ මැඳුරට ගොස් රනිල් සමඟ සාකච්ඡා කළේය.

ගෝඨාට මුලින්ම රනිල් කීවේ තමන් අරලියගහ මැඳුරෙන් ඉවත් වන්නට සූදානම් බවය. හිටපු අගමැතිවරයාගේ ආරක්ෂාව පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් ඇතිකර නොගන්නා ලෙස පැවසූ ගෝඨා අවශ්‍ය ආරක්ෂක රැකවරණ ගැනද විමසීය. අනතුරුව ආණ්ඩු පක්ෂයේ ශක්තිය අනුව රජය පවත්වාගෙන යන වග ගෝඨා කී විට තමන්ටද විපක්ෂයේ පක්ෂ ගණනාවක සහාය හිමිවන නිසා ආණ්ඩුව පවත්වාගෙන යා හැකි බව රනිල් ගෝඨාට කීය. නමුත් වඩාත් සුදුසු මහ මැතිවරණයකින් ප්‍රශ්නය නිරාකරණය කරගැනීමයැයි රනිල් තවදුරටත් කීය. මේ ආකාරයට සුහද ලෙස කතාබහ හමාර විය.

එදින රාත්‍රියේ ශ්‍රී.ල.නි.ප මැති ඇමැති පිරිසක් අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්හ. ඒ අය අතර පක්ෂ මාරු කරනවා යැයි කී දුමින්ද දිසානායක ද විය. ඉන් පසුවද දිවුරුම් දීම් කිහිපයක් සිදුවන බව වාර්තා වූ අතර සිකුරාදා එ.ජා.ප, දෙමළ සන්ධාන හා ජ.වි.පෙ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී කතානායක හමුවී පවත්නා තත්ත්වය ගැන සාකච්ඡාවක නිරත වූහ.

 සංජීවිකා සමරතුංග
සේයාරූ - සුදත් සිල්වා / අන්තර්ජාලයෙන්