2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

ආණ්ඩු වෙනසකට ටී.එන්.ඒ. ඉල්ලන දොළ පිදේනිය

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 45

ආණ්ඩුව පෙරළා බලය ඇල්ලීමට ඒකාබද්ධ විපක්ෂය සිටින්නේ විශාල සටනකය. එකී අරමුණ ඉෂ්ට කරගැනීම සඳහා මෛත්‍රී පාර්ශවයෙන් ද ඇත්තේ කොළ එළියකි. ශ්‍රීලනිපයෙන් ඉවත්ව වෙනම සටන් කළත් ඒකාබද්ධයේ බහුතරයකගේ මුදුන් මුල් ශ්‍රීලනිපයේ නිසා ඕනෑම වෙලාවක ඕනෑම කෙනකුට ශ්‍රීලනිපය සමඟ එක්වීමේ අවස්ථාව ඇත. එසේම ශ්‍රීලනිපයේ අයට ද මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධය සමඟ හාදවීමේ අවස්ථාව තිබේ.

කෙසේ වෙතත් මේ එකතුව තුළින් ආණ්ඩුව පෙරළීමේ හැකියාවක් ඇත්තේ නැත. මේ දෙපිරිසේම සියලු දෙනා ගත්තත් පිරිස ඉන්නේ 95 කි. එයින් ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාවක් නැත. එහෙත් ආරංචිය හැටියට මෛත්‍රී පාර්ශවයට එජාපයෙන් එකොළොස් දෙනෙක් කැන්දන් පැමිණීමේ හැකියාවක් ඇතැයි මෙකී ආණ්ඩු පෙරළීමේ සාකච්ඡාවකදී එළියට පැමිණි කතාවකි. එහෙත් ඒවා ස්ථිර කතා නොව වැනෙන කතාය. ඒ නිසා එය තවමත් කටවචනයේ පෙරළිලිය.

මේ සියලු පෙරළි පිළිබඳව පිරිස හීන මවන්නේ අයවැය කේන්ද්‍ර කොටගෙනය. අයවැය ඡන්ද විමසීමේදී එය පරාජය කොට බලය ඇල්ලීම මෙම ආණ්ඩු පෙරළන කතාවේ මූලික ඉලක්කය වී ඇත. එජාපයේ පිරිසකගේ සහයෙන් ආණ්ඩු පෙරළා බලය අල්ලාගෙන භාරකාර ආණ්ඩුවක් පත්කිරීම මේ සාකච්ඡාවේදී ගත් තීරණයක් වී ඇත. එකී භාරකාර ආණ්ඩුවේ අමාත්‍යධූර දොළහක් වන අතර එය කෙටි කාලයක් සඳහා පත්කරනු ලබන ආණ්ඩුවක් බව සඳහන් වේ. එම ආණ්ඩුව විසින් රටේ මූලික ප්‍රශ්න විසඳීමෙන් අනතුරුව ආණ්ඩුව විසුරුවා දමා ඡන්දයකට යාම අරමුණ වී ඇත. ඒ අනුව මේ වනවිට තීරණාත්මක තැනකට එජාපය පත්ව ඇත. දිනයිදෝ නැද්දෝ යන තැනකය.

කෙසේ වෙතත් මෙකී අවදානම් සහගත තත්ත්වයෙන් බේරාගත හැකි එකම සාධකය බවට පාර්ලිමේන්තුවේ පත්ව ඇත්තේ දෙමළ ජාතික සන්ධානයයි. ඔවුන් විරුද්ධ පක්ෂය වුවත් ආණ්ඩුවට උපරිම සහයක් අභ්‍යන්තරයෙන් ලබාදෙමින් සිටියි. ඒ බව එළියට එන්නේ අගමැතිවරයාට විරුද්ධව ගෙන ආ විස්වාසභංගයට එරෙහි කතාවේය. එහිදී දෙමළ ජාතික සන්ධානය සිය ඡන්දය විස්වාසභංගයට විරුද්ධව ලබා දුන්නේය. ටී.එන්.ඒ එක විරුද්ධ පක්ෂයේ වුණත් සැබෑවට ඉන්නේ කොයිපැත්තේ ද යන්න එකී අවස්ථාවෙන් තහවුරු විය.

එකී දෙමළ ජාතික සන්ධානයට මෙවර අයවැය ඡන්ද විමසීමේදී ලැබෙන්නේ විශාල ඉල්ලුමකි. හේතුව එජාපය අමාරු අඩියක සිරව සිටින විට එය ගොඩගත හැක්කේ දෙමළ ජාතික සන්ධානයට බව එකී පක්ෂයේ සියලු දෙනා මෙන්ම ආණ්ඩුව පවා දන්නා දෙයක් වීමය. මේ නිසාම පසුගියදා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් උතුරු පළාත් මහ ඇමතිවරයා එජාපය තම පක්ෂය වෙත හැරීමට ප්‍රථම සිය අදහස එළියට දැම්මේය. ඔහු තම අදහස ලෙස හුවා දක්වමින් කීවේ දෙමළ ජාතික සන්ධානය අයවැයට සහය ලබාදෙනවා නම් දෙමළ ජනතාවගේ අවශ්‍යතා ඉටුකර දියයුතු බවය.

විග්නේෂ්වරන් පවසන ආකාරයට අයවැයට සහය දක්වන්න නම් දැනට වසර විසිපහක් තිස්සේ සිරකර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් (හිටපු එල්.ටී.ටී.ඊ සමාජිකයන්) නිදහස් කළ යුතු බවට රජය එකඟ විය යුතු බවය. ඔවුන් වසර 25ක සිට නඩු නොඅසා සිරගතකර සිටින බවත් එකී දේශපාලන සිරකරුවන් මුදාහරින ලෙසට දැන්විය යුතු බව විග්නේෂ්වරන් සිය පක්ෂයට කීය.

එය දෙමළ ජාතික සන්ධානයේ නිල ප්‍රකාශයේ නොවීම නිසාත්, එසේම එම පක්ෂයෙන් ගැලවී විග්නේෂ්වරන් වෙනම ගමනක් යන අයකු නිසාත් එම ප්‍රකාශය කිසිවකු මායිම් කළේ නැත. එහෙත් එය අවසානයේ දෙමළ ජාතික සන්ධානයේ නිල ප්‍රකාශය බවට පත් විය.

එනම් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් පවසා සිටියේ ආණ්ඩුවට සහය ලබාදෙන්න නම් කිසිදු සාධාරණයක් ඉටු නොවී සිරවී සිටින දේශපාලන සිරකරුවන් මුදාහල යුතු බවය. එපමණක් නොව ඔවුන් පවසා සිටියේ ඔවුන් මුදා හැර සමාජගත නොකර එම ත්‍රස්ත සමාජිකයන් නිසි පුනරැත්ථාපන වැඩසටහනකට යොමු කළ යුතු බවය.

විශේෂයෙන් මේ ආණ්ඩුව පැමිණීමෙන් පසුව දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබේ යැයි පැවසුවත් ඒවා කිසිවක් ඉටු නොවූ බවත් මේ නිසා දෙමළ ජනතාව ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නොමැති බවත් සුමන්තිරන් මාධ්‍ය හමුවේ පවසා තිබිණි. මේ නිසාම දෙමළ ජාතික සන්ධානයේ බහුතර දෙනෙක් පවසා ඇත්තේ අයවැය ඡන්දයේදී ආණ්ඩුවට එරෙහිව ඡන්දය භාවිත කළ යුතු බවය.

මේ නිසා දෙමළ ජාතික සන්ධානය සිටින්නේ වැට උඩය. කෙසේ වෙතත් මේ ගැන තීරණය ගන්නේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව බවත් ඔවුන් සඳහන් කර ඇත. ඒ අනුව තීරණාත්මක සාකච්ඡාව යෙදී ඇත්තේ ජනාධිපතිවරයා සමඟය.

කෙසේ වෙතත් ආණ්ඩු වෙනසක් සඳහා රහසිගත සාකච්ඡා සඳහා සහභාගි වී සිටින ජනාධිපතිවරයා සමඟ දෙමළ ජාතික සන්ධානය සාකච්ඡා කිරීමෙන් ඵලක් වේද යන්න හැමෝටම ගැටලුවකි. ජනාධිපතිවරයා හමුවී තමන්ගේ දේශපාලන සිරකරැවන් නිදහස් කරන්නේ නම් පමණක් ඡන්දය භාවිතා කරන්නේ යැයි කිවහොත් ජනාධිපතිවරයා ආණ්ඩුව රුකගැනීමට දේශපාලන සිරකරුවන් නිදහස් කරාවිද යන්න බැලූ බැල්මට පෙනෙන ප්‍රශ්නයකි. ඒත් පුදුමය නම් දෙමළ ජාතික සන්ධානය හමුවෙන්නේ ද ජනාධිපතිවරයා වීමය. යම් හෙයකින් ආණ්ඩු වෙනසකට ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානයේ සහාය ඉල්ලා සිටියොත්, මේ කතාව මීට වඩා වෙනස්වනු ඇත. එකී සහයට ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානයේ යෝජනා සම්මත කර දුනහොත් එදාට එජාපය බරපතළ ගැටලුවකට මුහුණ දෙනු ඇත. ඒ නිසා මෙය තීරණාත්මක සාකච්ඡාවක් වනු ඇත.

කෙසේ වෙතත් තීරණාත්මක අවස්ථාකට පැමිණ තිබෙන ආණ්ඩුවේ ආයුකාලය ගැන බොහෝ දෙනා ඉන්නේ විවිධ මතවලය. ආණ්ඩුව වෙනස් කිරීමට කෙතරම් පිඹුරුපත් ඒකාබද්ධය සැකසුවත් පිරිසක් සිටින්නේ විරුද්ධ අදහසකය. ඔවුන් පවසන්නේ කිසිම මැතිවරණයකට නොගිහින් බලය ලබා නොගත යුතු තැනකය. ඒත් තවත් පිරිසක් කෙසේ හෝ ආණ්ඩුව පෙරළීමට හීන මවති.

දෙමළ ජාතික සන්ධානය සිදුකරන ඉල්ලීම එකපැත්තකින් සාධාරණය. එහෙත් එය ඉටුකර ගැනීමට උත්සාහ ගන්නා අවස්ථාව ගැන ගැටලුවක් ඇත. එනම් දේශපාලන සිරකරුවන් ලෙස සිටිනා පුද්ගලයන්ට විරුද්ධ නඩු ඇසීම සිදුකළ යුතු වුවත් තවමත් කිසිදු නඩු ඇසීමකින් තොරව ඔවුන් සිර භාරයේ රඳවා සිටීමය. එනිසා රජය මැදිහත්ව ඔවුන්ට විරුද්ධව නඩු ඇසීම ඉක්මන් කළ යුතුය. එසේම ඔවුන් පුනරැත්ථාපනය කළ යුතුව ඇත. එහෙත් එකී යෝජනාව ආර්ථික වශයෙන් නන්නත්තාර වූ අවස්ථාවක ප්‍රශ්න සහගත අයවැයක් සම්මත කරදීම තෙක් යන සටනක් නම් ඒ ගැන ගැටලුවක් ඇත. ඒ නිසා දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන මාර්ගයට සැමදා මෙන්ම මෙවර ද බාධා වීමට ඉඩ තිබේ.

කෙසේ වෙතත් අයවැය පරාජය කීරීමේ හැකියාව ඉතාම සීමිත ඉඩකඩක ඇතත් එය ඉදිරි දේශපාලන සැලසුම් හමුවේ පුළුල් වනු ඇත. ඇතැම් විට ශ්‍රීලනිපය පොරොන්දු වූ පරිදි එජාපයේ පිරිසක් ද එකී පරාජයට සහය දක්වනු ඇත. ඒ නිසා මේ අයවැය තීරණාත්මකය. එයට හේතුව නම් මෙකී පක්ෂ දෙකේ ප්‍රධානීන්ගේ බෙදීම සඳහා ආණ්ඩුවේ දෙදරා යාමය. මේ නිසා ආණ්ඩු පෙරළන්නට විපක්ෂයේ ක්‍රමෝපායට වඩා ආණ්ඩුව ඇතුළේ වචනය වැදගත් වනු අත. මේ නිසා අයවැයෙහි කාසිය වාසිය සමහර විට දෙමළ ජාතික සන්ධානයට වාසි වනු ඇත. එය ඇතැම් විට ආණ්ඩුවට වාසි වනු ඇත.

ගයාන් ගාල්ලගේ