2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

දේශපාලන ලොක්කාගේ ගෙදර අවි ගබඩාව

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 103

ලංකාවේ දේශපාලඥයන්ට එක එක හීනය. රට හදන්න, ගම හදන්න, නගරය හදන්නට වඩා කෙසේ හෝ තමා හැදෙන එක බහුතරයකගේ හීනය වී ඇත. මේ නිසා ඇතැම් අය කොමිස් ගිලති. ඇතැම් අය අල්ලස් ගනිති. තවත් අය කප්පම් ඉල්ලති. තවත් අය හොරකම් කරති. එහෙමත් බැරි වුණොත් මිනී මරති. ඒ අපේ රටේ අපේ වාසනාවට ලැබුණු ඇතැම් දේශපාලඥයන්ගේ ප්‍රසිද්ධ ආදායම් මාර්ගය.

මෙවැනි බොහෝ දෙනෙක් ඉන්නේ ආරක්ෂකයන්, ගිනි අවි වටේ දමාගෙනය. පාරේ යන්නේ බැකප් පෝලිම් තියාගෙනය. පාරේ යන ජනතාව බල්ලන්ටත් වඩා අන්තයට මේ නිසා වැටී ඇත. ජාතික දේශපාලනයේ ඉන්න අය එසේ නටනවා නම් පොඩි උන් කොහොම නටනවා දැයි අමුතුවෙන් කිවයුතු නැත. මේ කියන්න යන්නේ එවැනි පොඩි හාදයකුගේ ලොකු නාඩගමක කතාවකි.

පසුගිය දිනෙක විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයට තොරතුරක් ලැබෙන්නේ පාතාලයට කුලියට ආයුධ ලබාදෙන ස්ථානයක් ගැනය. පසුව, බුද්ධි අංශ නිලධාරීහු එම ප්‍රදේශයේ සැරිසරමින් තොරතුරු රැස් කරන්නට වූහ. මෙසේ තොරතුරු රැස් කරනවිට දැනගන්නට ලැබුණේ එම ගිනි අවි කුලියට ලබාදෙන්නේ එම ප්‍රදේශයේ දේශපානලඥයකු විසින් යැයි සැකයක් පවතින බවය. ඒ වෙනින් කවුරුත් නොව සබරගමුව පළාත් සභාවේ හිටපු සභානායක සහ මාවනැල්ල ශ්‍රිලනිප සංවිධායක එම්.අයි.එස්. කාදර්ය. ඒ අනුව විශේෂ කාර්ය බළකාය පසුගිය බ්‍රහස්පතින්දා (18) එම නිවස වටලනු ලැබීය. 

එම නිවස වටලන විටත් කාදර් මහතා නිවසේ සිටි අතර සෙබළු නිවසේ සෑම අස්සක් මුල්ලක්ම සෝදිසි කරන්නට වූහ. එසේ සෝදිසි කරන විට ඇඳක් යට තිබී නවීන ගිනි අවියක් සොයා ගැනීමට හැකිවිය. එම ගිනි අවියෙන් විශේෂ කාර්ය බළකාය පුරුදු පුහුණු වුණත් එය දැනට භාවිත කරන්නේ කොමාන්ඩෝ රෙජිමේන්‍තුව විසින් බව පිරිස හඳුනා ගත්හ. ඒ ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදාගන්නා ජර්මනියේ නිෂ්පාදිත එම්.පී. 5 කේ. වර්ගයේ ගිනි අවියකි.

ඊට පසුව නිලධාරිහු නිවසේ වූ අල්මාරි කබඩ් පරීක්ෂා කළහ. එවිට අල්මාරියක තිබී ටී 56 අවියක් සහ ෂොට් ගන් එකක් සොයා ගැනීමට හැකිවිය. එපමණක් නොව එම අවිවලට භාවිතා කරන උණ්ඩ තොගයක්ද මෙහිදී සොයාගනු ලැබීය. ඊට අමතරව උල්පිහි දෙකක්ද තිබුණේය.

ඒ අනුව එම ආයුධ තොගයත් එහි භාරකරු වූ කාදර්වත් විශේෂ කාර්ය බළකාය විසින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්නට විය. එවිට කාදර් පවසා සිටියේ එම්.පී.5 කේ. ගිනි අවිය ඩුබායි සිට මෙරටට ගෙනා ආ බවය. තමන්ට හිතවත් මිතුරකු හරහා ලක්ෂ හයක මුදලක් ලබාදී ගෙන්වාගෙන ඇති බවත් එය ගෙන්වා ඇත්තේ රෑපවාහිනී යන්ත්‍රයක් තුළ සඟවා බවත් හෙළිවිය.

එසේම ටී 56 ගිනි අවිය කොහෙන්දැයි ඇසූ විට සැකකරැ පවසා ඇත්තේ තමන් රුපියල් 65,000කට මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ රියැදුරුගෙන් මිලදී ගත් බවය. එසේම ෂොට් ගන් එක තම පියාගෙන් උරුම වූ එකක් බවද මන්ත්‍රීවරයා කීය.
සැකකරුගේ නිවස වැටලීමට ප්‍රධාන හේතුව වූයේ අවි ආයුධ කුලියට ලබාදෙන බවට ලැබුණු තොරතුරක් මත වුවත් සැකකරැ කීවේ තමන් එවැනි අවි ජාවාරමක් සිදුනොකරන බවය. කෙසේ වෙතත් තමන් විනෝදාංශයට පමණක් මේ ආයුධ මිලදී ගත් බවත් මේවා යොදාගෙන පුරැදු පුහුණු වු බවත් සැකකරු පවසා තිබේ.

කෙසේ වෙතත් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එය විශ්වාස කරන්නේ මොහු නියත වශයෙන්ම මේ ආයුධ කුලියට ලබාදෙන බවයි. මෙවැනිම ආයුධයක් මාතර රත්තරන් අලෙවිසල කොල්ල කෑමට පැමිණි අවස්ථාවේ පාතාලයන් සන්තකයේ තිබී සොයාගත් බව විශේෂ කාර්ය බළකා නිලධාරීහු කියති. එනිසා මෙම ආයුධ මෙරට තුළ සංසරණය වීම ගැන සොයා බැලිය යුතු බව කිවයුතු නැත.

කෙසේ වෙතත් මේ නීති විරෝධී ගිනි අවි නිසා මෑත කාලයේ දේශපාලනඥයන් රුසක් අමාරැවේ වැටුණෝය. භාරත ලක්ෂමන් මිය ගියේය. දුමින්ද සිල්වා හිරේ ගියේය. හිටපු පළාත් සභා මන්ත්‍රී තුෂාර, කොතලහිඹුටු ව්‍යාපාරිකයෙක් ඝාතනය කර නඩුවක පැටලුණේය. තංගල්ලේ සභාපති සුද්දෙක් ඝාතනය කර ඇතුළේය. රත්ගම සභාපති වෙඩිකා මිය ගියේය. රත්නපුර ප්‍රේමලාල් ජයසේකර නඩුවකය. පෑලියගොඩ නාගරික මන්ත්‍රී ශ්‍යාමෙල් මැරැම් කෑවේය. කැලණියේ ප්‍රාදේශය සභා මන්ත්‍රී මරනු ලැබීය. මේ සියල්ල නීති විරෝධී අවි ආයුධ නිසාය.

කෙසේ වෙතත් ජනතා සේවයට කැපවී සිටින දේශපාලඥයන්ට නීති විරෝධීව හෝ නීතියෙන් පවා ආයුධයක් ලබාදෙන්නේ අහවල් කෙන්ගෙඩියකටදැයි අපට ගැටලුවක් ඇත. ජනතාව වෙනුවෙන් ඉදිරිපත්ව ජනතාව විසින් පත්කළ දේශපාලනඥයන්ට ජනතාවගෙන් ඇති තර්ජනය කුමක්ද? තර්ජන ගර්ජන එනවා නම් එන්නේම හරි වැඩ කරන අයට නොවේ. වැරදි වැඩ කරන අයටය. කෙසේ වෙතත් මොවුන් ආසන සංවිධායකවරැද නැතහොත් පාතාල සංවිධායකවරැද යන්න හැමෝටම ගැටලුවකි.

 ගයාන් ගාල්ලගේ