2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

උපන් රටට පොලු තැබූ විද්වතුනි, ණය ගෙවන්න!

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 61

පසුගිය මාසයේ උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති විජයදාස රාජපක්ෂ පැවසුවේ පශ්චාත් උපාධි පාඨමාලා සඳහා මහජන මුදලින් විදෙස්ගතව යළි මෙරටට නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරු 485 දෙනාගේ නම් මහජනතාවගේ දැනගැනීම පිණිස ළඟදීම හෙළිකරන බවයි. ඔවුන්ගෙන් අය විය යුතු මුදල අයකර ගැනීමට මේ වනවිට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, උගත් පාඩම් ඇසුරෙන් ඉදිරියේදී මෙවැනි විදෙස් ගතවීම්වලදී විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ ඒකකයන් මගින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ රට යාම් නියාමනය කරන බවත් ඔහු පැවසුවේය.

පසුගිය 17 දා, කලින් ඇමැතිවරයා පැවසූ පරිදි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ලේඛනය ලංකාදීප පුවත්පතේ දැන්වීමක් මගින් ප්‍රසිද්ධ කර තිබුණි. මෙම සංඛ්‍යාව කෙතරම් විශාල ද යත් කුඩා අකුරින් පළකළද එය සම්පූර්ණ පුවත්පත් පිටු 6ක් දිග නාමාවලියක් විය. නාම ලේඛනය පළකර තිබුණේ අදාළ විශ්වවිද්‍යාලය, නම, තනතුර, 2017.12.31 දිනට රජයට ගෙවිය යුතු ණය මුදලේ ශේෂය සහ ඇපකරුවන්ගේ නම් ද සහිතවය. මේ නිසා දැන් ඇපකරුවන් මෙන්ම එහි සඳහන් ආචාර්ය මහාචාර්යවරුන්ගේ මෙරට සිටින ඥාතීහුද හෙල්ලුම් කා සිටිති. ශාස්ත්‍රීය මුහුණක් පෙන්වා ගෙන තම වැටුප් වැඩිකර ගැනීමට අරගල කරනා අතරම මහජන මුදල්වලට පොලු තැබූ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන මේ චරිතවල නිරුවත රටට හෙළිකිරීම ගැන සාමාන්‍ය ජනතාවට නම් සතුටුය.

මෙලෙස රජයේ විශ්වවිද්‍යාලවල ආචාර්ය, මහාචාර්යවරු ඇතුළු අනධ්‍යන සේවකයන් පවා විදේශ ශිෂ්‍යත්ව ලබාගැනීමට ගොස් ගිවිසුම් ප්‍රකාරව නොගෙවා ඇති ණය මුදල රු. කෝටි 81කට අධිකය. “රටේ ජනතාවගේ බදු මුදලින් නිදහස් අධ්‍යාපනය හදාරා පසුව නොමිලේම විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් නිම කර ගෙන තමයි උසස් අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව වෙනුවෙන් ණය ලබාගෙන තිබෙන්නේ. ඔවුන් ඒවා ගෙවීම පැහැර හැරලා. මෙම උගත් බුද්ධිමත් ආචාර්යවරුන්ට වසර ගණනාවක් තිස්සේ විවිධ දැනුම්දීම කළා. නමුත් ඔවුන් තවදුරටත් බැඳුම්කර කොන්දේසි උල්ලංඝනය කරමින් සිටිනවා.” විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය මොහාන්ද සිල්වා පැවසුවේය. දැන්වීමේ ප්‍රසිද්ධියට පත්කර තිබෙන්නේ 2017 වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වා ශිෂ්‍යත්ව ණය මුදල් ගෙවීම පැහැර හැර තිබෙන ආචාර්යවරු සහ නිලධාරීන් ගැන පමණි. ඊට පසුවද මෙම නාම ලේඛනයට ඇතුළත් විය යුතු නම් බොහෝ ගණනක් ඇති බව නිසැකය. “ණය මුදල් ලබාගෙන ගෙවීම පැහැර හැර සිටින්නේ දැනට විදේශ රටවල්වල හෝ ආයතනවල ඉහළම තනතුරු දරන උගතුන්. ඒනිසා තමයි ඔවුන් ගෙවිය යුතු ණය මුදල සහ වෙනත් විස්තර පුවත්පත් මගින් ප්‍රසිද්ධ කිරීමට තීරණය කළේ.” සභාපතිවරයා තවදුරටත් පැවසුවේය. 
ශ්‍රී ලංකාව නිදහස් අධ්‍යාපනය ලබාදෙන්නේ රටේ ජනතාවගේ බදු මුදලිනි. අධ්‍යාපනයට වැය කරන ප්‍රතිශතය තවත් ඉහළ දමන ලෙසද විශ්වවිද්‍යාල ආචාර්යවරු පසුගිය කාලයේ විරෝධතා දැක්වූහ. එලෙස විරෝධතා දක්වමින් සිටින අතරම ජනතා මුදලින් ශිෂ්‍යත්ව සඳහා ලබාගත් ණය මුදලින් තම වැඩේ කරගත් පසු ණය ආපසු නොගෙවා බැඳුම්කර කොන්දේසි කැඩීම නගින්නට දුන් ඉණිමඟට පයින් ගැසීම වැනි පහත් පෙළේ වැඩකි.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පළකර ඇති දැන්වීම ආරම්භ කරන්නේ මෙවැනි සංවේදී සටහනකිනි. මෙරට ජනතාව අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් මැද එදා වේල පිරිමසා ගැනීම පිණිස ඉතා වෙහෙසකර ලෙස උපයාගත් මුදලින් ගෙවන ලද බදු මුදල්වලින් පළමු වසරේ සිට උසස් පෙළ දක්වා ඔබට අධ්‍යාපනය ලබාදුනි. රජයේ විශ්වවිද්‍යාල‍යෙහි උපාධිය දක්වා ඔබට අධ්‍යාපනය ලබා දුන්නේද ඔවුන්ගේම මුදලිනි. ඔබ බොහෝ දෙනෙකුට මහපොළ ශිෂ්‍යාධාර ද ලබාදුන්නෙමු. ඔබට පශ්චාත් උපාධි සඳහා ණය ආධාරය ලබාදුන්නේ ද එම ජනතාව ලේ, කඳුළු, දහඩිය වගුරා උපයාගත් මුදලෙන්ය. ඔබ එලෙස ලබාගෙන බඳුම්කර කොන්දේසි උල්ලංඝනය කරමින් ගෙවීම් පැහැර හැර ඇති මුදල රු. මිලියන 813 ඉක්මවා ඇත.

එසේ ලද මුදල්වලින් ඔබ අද උගතකු වී වෙනත් රටවල හෝ ආයතනවල උසස් නිලතල හොබවමින් වැජඹෙන බව අපි දනිමු. අනාගත පරම්රාවට අධ්‍යාපනය ලබාදීමට ඔබ ජනතාවගෙන් ලබාගත් ණය මුදල් මේ මොහොතේ අවශ්‍යව ඇත. උපන් බිමට සහ මව්බිමේ ජනතාවට ද්‍රෝහියෙක් නොවනු ඇතැයි අපි විශ්වාස කරමු. ණයකරුවන්, ඇපකරුවන්, පහත සඳහන් මුදල් සහ ඒ මත පොලී මුදල් වහාම ගෙවා ණයෙන් නිදහස් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

විශ්වවිද්‍යාල සහ විශ්වවිද්‍යාල අනුබද්ධ ආයතන 19ක ආචාර්යවරු සහ නිලධාරීහු මෙලෙස ණය ගෙවීම පැහැර හැර සිටිති. එකදු විශ්වවිද්‍යාලයක්වත් මේ අපකීර්තියෙන් බේරී නැත. රටට වැඩිම ණයකරුවන් වී සිටින්නේ අප රටේ ප්‍රථම විශ්වවිද්‍යාලය වන පේරාදෙණියේය. ඒ සංඛ්‍යාව කථිකාචාර්යවරු 125කි. දෙවැනි ස්ථානය පත්වන නැගෙනහිර විශ්වවිද්‍යාලයේ (මඩකලපුව) ණයකරැවන් සංඛ්‍යාව 74කි. යාපනය විශ්වවිද්‍යාලයේ 72ක් ද, විවෘත විශ්වවිද්‍යාලයේ 42ක් ද, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 37ක් ද, කොළඹ විශ්වවිද්‍යාලයේ 31ක් ද, ණය ගෙවීමට සිටින ලැයිස්තුවේ සිටිති. එයට අමතරව මොරටුව විශ්වවිද්‍යාලේ 33ක් ද, ශ්‍රී පාලි මණ්ඩපයේ 2ක් ද, කැලණිය විශ්වවිද්‍යාලයේ 18ක් ද, සබරගමුව විශ්වවිද්‍යාලයේ 14ක් ද, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ 2ක් ද, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ 3ක් ද, වයඹ විශ්වවිද්‍යාලයේ 3ක් ද, රුහුණු විශ්වවිද්‍යාලයේ 11ක් ද, අග්නිදිග විශ්වවිද්‍යාලයේ 7ක් ද, රජරට විශ්වවිද්‍යාලයේ 2ක්ද ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ 3ක් ද, මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතනයේ 1ක් ද, කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනයේ 3ක් ද ණය ගෙවීමට සිටිති.

මෙලෙස ණය ලබාගත් අය අතරින් සමහරු එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය, තායිලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, චීනය, ජපානය වැනි රටවල සුපිරි ජීවිත ගතකරන බව ඔවුන්ගේ ලිපින පරීක්ෂා කරන විට පෙනේ. එහෙත් තමන් පශ්චාත් උපාධි ලබාගෙන ඉහළ සුදුසුකම් ලබාගත්තේ මව්බිමේ දුප්පත් ජනතාවගේ බදු මුදලින් බව දැන් ඔවුන්ට අමතක වී ඇති සෙයකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවාර්ජිත මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස මේ පිළිබඳව අප සමඟ අදහස් දැක්වූයේ මේ අයුරිනි.

“මේ වැඩේට මම නම් කැමති නැහැ. මේක සමහර අය කරන වැරැද්දක්. අපි නිදහස් අධ්‍යාපනය ලබපු අය. ඉතින් අපේ රටින් ලබාගත් මුදලක් තිබෙනවා නම් එය ගෙවිය යුතුයි. ඒක පැහැර හැරීම වැරදි දෙයක්. මමත් ශිෂ්‍යත්ව අරගෙන බැඳුම්කර කොන්දේසිවලට යටත්ව පිටරට ගිහින් වැඩිදුර අධ්‍යාපනයක් ලැබුවා. හැබැයි අපි ගෙවිය යුතු මුදල් සියල්ලම නිසි ලෙස ගෙව්වා. මගේ දරුවෝ දෙන්නාමත් අපේ රටේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්තේ. ආචාර්ය උපාධි ගත්තේ පිටරට ගිහින්. එයාලත් බැඳුම්කරවලට අත්සන් කරලා රට ගියේ. දැන් ඇවිත් මේ රටේ සේවය කරනවා. මට නිර්භයව කියන්න පුළුවන් අපි නම් යුතුකම ඉෂ්ට කර තිබෙනවා. රට ජාතියට කරන වැරදි වැඩක් මේක.

ඔය ණය ගෙවන එක මහ ලොකු වැඩක් නොවෙයි. පිටරට ලොකු පඩි ලබන අයට මේක සුළු වැඩක්. කොටස් වශයෙන් ගෙවල් දාන්න පුළුවන්. නමුත් සදාචාරයක් නැති එකයි වැඩේ. අපේ කාලෙ නම් ඔය වගේ දේවල් වුණේ කලාතුරකින්. මේ රටේ තත්ත්වය අනුව පිටරටවල පදිංචිය සුබදායකයි කියලා ඔවුන් හිතනවා ඇති. නමුත් අපේ පරම්පරාවල තිබුණු සාරධර්ම දැන් නැහැනේ.”

මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස පැවසුවාක් පරිදිම වර්තමාන වේගවත් වාණිජ සමාජයට මව්බිමට කළයුතු යුතුකම් තබා දෙමාපියන්ට සැලකීම ගැනවත් නිනව්වක් නැත. හිතාමතාම ණය නොගෙවන්නේ ඒ නිසාය. වැඩිම ණය මුදලක් ගෙවීමට ඇත්තේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ඒ මුදල දෙකෝටි හැටහතර ලක්ෂ අනුහතරදහස් නවසිය පනස් අටකි. සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් ගෙවිය යුතු මුදල දෙකෝටිහතළිස් අට ලක්ෂ හැටපන්දහස් විසිහතකි. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ගෙවීමට තිබෙන මුදල දෙකෝටි තිස්පන්ලක්ෂ හැටනව දහස් තුන්සිය දෙකකි. රුපියල් කෝටියකට වඩා ගෙවිය යුතු කථිකාචාර්යවරු සිව්දෙනෙක්ද සිටිති. ඔවුහු නැගෙනහිර විශ්වවිද්‍යාලය, විවෘත විශ්වවිද්‍යාලය සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය යන ආයතනවල සේවය කළ අය වෙති. ගෙවීමට ඇති අඩුම මුදල රු. 1127කි. ඒ යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියකි.

“විශ්වවිද්‍යාල ආචාර්ය ධුරය කියන්නේ ගෞරවනීය සහ වගකිව යුතු වෘත්තියක්. ඒ නිසා ඔවුන් සඳහා වැයකරන මුදල් පාරදෘෂයභාවයකින් යුතුව ප්‍රශ්න කිරීමට රජයට මෙන්ම මහජනතාවටද ඇති අයිතිය ගැන කිසිදු ගැටලුවක් නැහැ. නමුත් මෙම ලැයිස්තුවේ දැනට පශ්චාත් උපාධි නිමකර ලංකාවට පැමිණි අයගේ නම්ද සඳහන් වීම ගැටලුවක්. මෙහිදී මම හිතන්නේ රජයට විශ්වවිද්‍යාල ආචාර්යවරු සම්බන්ධ වගකීම මෙන්ම විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට රජයේ ඇති වගකීමද මෙහිදී නොසලකා හරින්නට බැහැ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් රට යන්නේ ඉතා සීමිත පිරිසක්. ඒ අතර බොහෝ ආණ්ඩු විශ්වවිද්‍යාල ආචාර්යවරු තම දේශපාලන කටයුතුවලට භාවිත කරනවා. ළමුන්ට උගන්වන්න ඉන්නේ සුළු ආචාර්යවරු සංඛ්‍යාවක්. මේ නිසා මේ ලැයිස්තුව පළකිරීමෙන් ඔබ්බට යමින් මේ පාර්ශව ගැන සාකච්ඡාවක් පැවැත්වීමටත් ආණ්ඩුව කටයුතු කළ යුතුයි.” අපට එලෙස තම අදහස් දැක්වූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය චින්තක රණසිංහයි. 
දැන් විශ්වවිද්‍යාල ණයකරුවන් රටට හෙළිවී අවසානය. දැන් තිබෙන්නේ ඔවුන් ලබාගත් ණය මුදල ගෙවා මව්බිමට ඇති බරෙන් නිදහස් වීමටය. එලෙස කිරිමටත් ඔවුන්ගේ ඇස් ඇරෙන්නේ නැතිනම් කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කළ යුතුවේ.

කුසුම්සිරි විජයවර්ධන