2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

බෙල්ජියමෙන් අැවිත් ලංකාවේ අතහැර ගිය එයාර් බස් එක

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 63

රටකට ජාතික ගුවන් සේවයක් පැවැතීම ජාතික අවශ්‍යතාවයකි. ඇතැම් රටවල ඒ අනුව එවැනි ජාතික මෙහෙවර ඉටුකරන ප්‍රධාන ගුවන් සේවා ආයතනයට අමතරව, තවත් ගුවන් සේවා ආයතන කීපයක්ම තිබේ. එහෙත් ශ්‍රී ලංකාවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබඳව හැමවිටම අපට අසන්නට ලැබෙන්නේ අප රටේ ජාතික ධනය කාබාසිනියා කරන, දිගින් දිගටම පාඩු ලබන රාජ්‍ය ආයතනයක් ලෙසටය.

මෙවන් පසුබිමක් තිබියදී ඉකුත් 10/05 දින අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත, ධාවනයෙන් ඉවත් කළ යුතු මට්ටමේ පවතින පැරණි ගුවන් යානයක් බෙල්ජියමේ සිට රැගෙන විත් දමා යන්නේ මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවයත්, පොදුවේ රටත් අපහසුතාවට පත් කරලමිනි.

මෙම ගුවන් යානය 2009 වසරේ දී ප්‍රංශයේ එයා බස් ගුවන් යානා නිෂ්පාදන සමාගම විසින් නිපදවා ඇති අතර, එය 2016 වසර තෙක් යුරෝපයේ ගුවන් සමාගම් 05ක ලීසිං පදනම මත සේවයේ යොදවා තිබේ.

පසුගිය රජය A-350 ගුවන් යානා ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙනුවෙන් ලීසිං පදනම මත, ප්‍රංශයේ එයා බස් ගුවන් යානා නිෂ්පාදන සමාගමෙන් ලබාගැනීමට සැලසුම් කර තිබූ අතර, වර්තමාන රජය එය අවලංගු කිරීම නිසා ප්‍රංශ එයා බස් සමාගම සමඟ ඇතිකරගත් එකඟතාවයක් සහ කොන්දේසියක් මත මෙම ගුවන් යානය 2016 වසරේ දී ශ්‍රී ලන්කන් සමාගම ලබාගෙන තිබේ.

එහෙත් රජයේ නිර්දේශ මත මෙම ගුවන් යානය එම වසරේදීම බෙල්ජියමේ ගුවන් සමාගමක් වෙත ලීසිං පදනම මත ලබා දී තිබේ. එම ගිවිසුම්ගත කාලය නිමාවත්ම, බෙල්ජියම් ගුවන් සමාගම මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොල ශ්‍රී ලන්කන් ගුවන් යානා හැංගරය වෙත මෙම යානය දමා, එම යානය රැගෙන ආ ගුවන් නියමුවන් ආපසු ගොස් තිබේ.

මේ වනවිට ශ්‍රී ලන්කන් ඉංජිනේරුවරුන් පිරිසක් මෙම ගුවන් යානය පරීක්ෂා කර බලා, එම යානය අලුත්වැඩියා කටයුතු වැයවන මුදල් තක්සේරු කර වාර්තාවක් සකස් කරමින් සිටිති. අන්තර්ජාතික ලීසිං කොන්දේසි යටතේ එවැනි යානයක් ලීසිං පදනම මත ලබාගෙන ආපසු බාරදීමේදී, එම යානය බාරගත් තත්ත්වයෙන්ම බාරදිය යුතු බවට කොන්දේසියක් තිබේ.

ඒ අනුව මෙම යානය අලුත්වැඩියා කිරීම සඳහා වැයවන මුදල් ගෙවන ලෙස බෙල්ජියම් ගුවන් සමාගම දැනුවත් කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවා බලධාරීන් බලාපොරොත්තු වේ. කෙසේ වෙතත් මෙම ගුවන් යානය ශ්‍රී ලන්කන් සමාගම යළි භාවිත කිරීමට හෝ යළිත් ප්‍රංශයේ එයා බස් සමාගම වෙත බාරදීමට අනිවාර්යයෙන්ම මෙම ගුවන් යානය විශාල මුදලක් යොදවා අලුත්වැඩියා කළ යුතුම වේ.  
 
♦ කටුනායක ටී.කේ.ජී. කපිල

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00