2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

බජට් එක ගැන කොළඹ වෙළෙඳුන්ගේ බලාපොරොත්තු

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 51

ලබන (2019) වසර සඳහා වන අයවැය ලේඛනය නොවැම්බර් මස 08 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පසුගිය 06 වැනිදා පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. මෙවර අයවැය ලේඛනයට අදාළව තෙවැනි වර ඡන්ද විමසීම දෙසැම්බර් 08 වැනිදා සිදුකරන අතර විවාදය සඳහා සෙනසුරාදා දිනයන්ද ඇතුළුව දින 24ක කාලයක් වෙන්කර දී තිබේ.

2019 වසරේදී සමස්ත රාජ්‍ය වියදම රුපියල් මිලියන 4376ක් වන බවත් ඒ අනුව ලබන වසර සඳහා වන අයවැය පරතරය රැපියල් 644ක් වන බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

එසේම 2019 වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගියදා සභාගත කරන ලද අතර ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතියද හිමිවිය.

මෙවර අයවැය ගැන විශාල බලාපොරොත්තුවක් මහජනයා තුළ ඇති බව විවිධ සාක්ෂි හා තොරතුරැ ඔස්සේ අනාවරණය වී තිබේ. මහජනයාගේ අපේක්ෂා එක පැත්තකය. රටේ අනාගතය පිළිබඳ අපේක්ෂා තව පැත්තකය. ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම පිළිබඳ ජාත්‍යන්තරයේ අපේක්ෂා හා තීන්දු තීරණ තව පැත්තකය. ඕනෑම අයවැයක් මහජනයාට බලපාන්නේ එක ආකාරයකටය. දේශපාලකයන්ට එය බලපාන්නේ තවත් ආකාරයකටය. එය ව්‍යාපාරිකයන්ට බලපාන්නේ ඊටත් ඉදුරා වෙනස් ආකාරයකටය. අයවැය ඉදිරිපත් කිරීමට පෙර දේශයේ අප වෙළෙඳපොළෙහි වෙළෙඳුන් කිහිපදෙනකුගෙන් අදහස් විමසා සිටියේ මෙවර අයවැයෙන් ඔවුන්ට ලැබිය යුතු, ඔවුන් බලාපොරොත්තු වන සහන පිළිබඳවය.


ටැක්ස් එක අඩු කළොත් හුඟක් හොඳයි

- මුරලි

තවම මෙවර අයවැය ඉදිරිපත් කරලා නැහැ. නමුත් ජනතාවට සහනදායී අයවැයක් තුළින් සහන ලැබෙනවා නම් තමයි අපේ ව්‍යාපාර සාර්ථක වෙන්නෙ. ඒ වගේම තමයි සමහර ආහාර ද්‍රව්‍යවලට ගහන ටැක්ස් එක ටිකක් අඩුකළා නම් හොඳයි. එහෙම නැත්නම් ඒ වදින ටැක්ස් එකට බඩු ගෙනත් විකුණන්න අමාරුවෙනවා. කොහොමත් බඩු ගන්න එන අය වැඩි මිලක් කිව්වම ආයේ හැරිලා යන අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ නිසා මේ ටැක්ස් එක ටිකක් අඩුකරලා යම් සහනයක් ලබාදෙනවා නම් හොඳයි. එහෙම නැතිව මේ බිස්නස් එක කරගෙන යන්න අමාරැයි. දැන්වත් පොඩි සහනයක් මේ අයවැයෙන්වත් ලැබෙනවා නම් හොඳයි කියලා අපි හිතනවා.

බිස්නස් නම් හොඳටම වැටිලා

- ක්‍රිෂ්ණා

අයවැයද මොකක්ද කියන්න දන්නෙ නැහැ. හැබැයි බිස්නස් නම් හොඳටම වැටිලා තියෙන්නෙ. මිනිස්සු ඉස්සර වගේ බඩු ගෙනියන්න එන්නෙ නැහැ. ඒ වගේම තමයි පොඩි වෙළෙන්දොත් දැන් ඉස්සර වගේ බඩු ගන්නෙ නැහැ. සමහර බඩුවලට වදින ටැක්ස් එක ඉතාම වැඩියි. ඒ ගාණට බඩු ගෙනල්ලා මේ මාර්කට් එකේ දෙන්න අමාරැයි. එහෙම වුණාම මේ බිස්නස් කරන්න අමාරැයි. සමහර වෙළෙන්දෝ අපි දන්නවා රෝල් ගහලා ගෙනියන්නෙ. කොහොමහරි මේවට සහනයක් දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නෙ.

වෙළෙඳුන්ටත් දැන් තිත්ත වෙලා

- ෆයිසල්

මේ ආණ්ඩුවේ වැඩ ගැන නම් කතා කරන්න එපා. ඒ තරමට මිනිස්සුන්ට විතරක් නෙවෙයි වෙළෙන්දන්ටත් දැන් එපාවෙලා තියෙන්නෙ. ජනතාවට බදු ගහනවා. රටින් ගෙනෙන දේවල්වලට බදු ගහනවා. හැමදේටම බදු ගහනවා. මීට කලින් හොඳ බිස්නස් එකක් තිබුණා. ඒ වුණාට දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා තාම අවුරුදු 3 යි. ඒ ඔක්කොම බිඳවැටුණා. බිස්නස් කරන හැමෝටම දැන් කරගන්න දෙයක් නැහැ. සමහරු පාඩුපිට ගිහින් බිස්නස් කරන එක නවත්තලා තියෙන්නෙ. ජනතාවට, වෙළෙන්දන්ට මොනවහරි සහනයක් ලබාදෙන්න කියලා තමයි අපි පුලපුලා මේ ආණ්ඩුවට කියන්නෙ.

ගිය අවුරුද්දෙත් මොනවද ලැබුණේ?

- සලාම්

ගිය අවුරුද්දෙ අයවැය ආවා. අපිට මොනවද ලැබුණේ. මොනවත් ලැබුණේ නැහැ. හැබැයි බිස්නස් ටිකක් තිබුණා. ඒ වුණාට දැන් මේ ආණ්ඩුව ටැක්ස් ගහන ගැහිල්ලට තව කල් නොගිහින් ඒකත් නැතිවෙයි කියලා තමයි අපි හිතන්නෙ. ඒ නිසා මෙවර අයවැයෙන් හරි වෙළෙන්දන්ටත් පොඩිහරි සහනයක් ලබාදෙනවා නම් හොඳයි. මේ ටැක්ස් එක ටිකක් අඩුකළා නම් අපිට පුළුවන් සුපුරැදු විදියට බිස්නස් කරගන්න. එහෙම නැතුව අපිට මේ නැතිවුණු බිස්නස් එක හදාගන්න අමාරැයි. අපෙන් බඩු ගන්න එන අපේ කස්ටමර්ස්ලා අඩුවෙනවා කියන්නෙ කොහොමත් අපේ බිස්නස් වැටෙනවා කියන එක. ඒ නිසා මෙයට මෙවර අයවැයෙන් හරි සහනයක් දෙනවා නම් හොඳයි.

සමහරු කියන විදියට බිස්නස් කඩාවැටිලා නැහැ

- රොෂාන්

එහෙම බිස්නස්වල අඩුවක් පේන්නෙ නැහැ. අපිට නම් ඒකට මේ අයවැයම බලපානවා කියලා කියන්නත් බැහැ. කොහොමත් බදු ගහන්නෙ නැතුව රටක් ඉස්සරහට යන්න විදියක් නැහැනෙ. ඒ නිසා පොඩි පොඩි සහන ලැබෙන එක හොඳයි. අයවැයෙන් බිස්නස් කඩාවැටෙන්න තරම් මේ වෙළෙඳපොළ කඩාවැටිලා නැහැ. සමහරු තමයි මේ වෙළෙඳපොළ කඩාවට්ටන්න උත්සාහ ගන්නෙ. ඒ නිසා මේ අයවැයෙන් ජනතාවට සහන ලැබෙයි කියලා හිතනවා. කොහොමත් රජය වුණත් කියලා තියෙනවනෙ මෙවර අයවැයෙන් සහන දෙනවා. මේක ජනතාවාදී අයවැයක් කියලා. ඒ නිසා සහන ලැබෙයි. වෙළෙඳපොළේ කඩාවැටීමක් නැහැ.

පොඩි අඩුවක් තමයි තියෙන්නෙ

- උදය කුමාර

බිස්නස්වල පොඩි අඩුවීමක් දකින්න තියෙනවා. නමුත් ඔය හැමෝම කියන තරම් බිස්නස් වැටිලා නැහැ. ජනතාවගේ පැත්තෙන් යම් යම් අමාරුකම් ඇති. හැබැයි මෙවර අයවැයෙන් ඒ බදු ප්‍රතිශතය අඩුකළොත් ජනතාවටත් එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. ටැක්ස් එක ටිකක් වැඩි නිසා තමයි මේ විදියට භාණ්ඩවල මිල ඉහළ යන්නෙ. කොහොම වුණත් මෙවර අයවැයෙන් පස්සෙ ඔය කියන බදුවල වෙනසක් වෙයි කියලා අපි හිතනවා.

ගේන බඩුත් විකුණගන්න බැහැ

- කුමාර

අපිට ගෙනාපු බඩුත් විකුණගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නෙ. මේ දැන් මාස දෙක තුනක කාලයක ඉඳලා ජනතාවට බදු ගැහුවම ඒක ජනතාවට විතරක් නෙවෙයි වෙළෙදාමේ යෙදෙන අපිටත් හොඳාකාරව දැනෙනවා. ඒ නිසා මෙවර අයවැයෙන් එයට සහනයක් ලැබෙයි කියලා අපිට හිතන්න බැහැ. එහෙම සහන දෙනවා නම් මීට කලින් එවැනි සහන ලබාදෙන්න තිබුණා. මේ ටැක්ස් එක වෙළෙන්දන්ට දරාගන්න අමාරැයි. ඒ නිසා මෙවර අයවැයෙන් පිටරටින් ගෙන්වන අත්‍යවශ්‍ය ආහාරවල ටැක්ස් එක වගේම අනිත් බඩුවල ටැක්ස් එකත් අඩුකළා නම් අපිට පුළුවන් තව ටික කාලයක් හරි ඉදිරියට මේ බිස්නස් එක කරගෙන යන්න. එහෙම නැතිවුණොත් අමාරැයි ඉතින්.

 හසිත් අංජන