2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

ගම්පහ රොකට් සිසුවා

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 149

ලොව දියුණු රටවල ජනතාව සිය දියුණුව උදෙසා නව නිපැයුම් කරති. (අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී) යැයි කියන්නේ එබැවිනි. නව නිපැයුම් සංස්කෘතියක් හෝ අධ්‍යාපනයක් හරිහැටි නැති අපේ රටේ පාසල් දරුවෙක් රොකට්ටුවක් නිර්මාණය කිරීම විශ්මිතය. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණවේද අංශයේ ගිහාන් කාවින්ද හෙට්ටිආරච්චි සිසුවාගේ අපූර්වතම නිර්මාණයත් හපන්කමත් පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානයට යොමුව තිබුණේ පාසලේ පැවැති ප්‍රදර්ශනයකට සහභාගී වූ අවස්ථාවේදීය.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවස් සැමරුමට සමාගමීව සංවිධානය කළ උත්සව මාලාවකි. පාසල අලුත්වැඩියාවන්ගෙන් අනතුරුව පැවැත්වූ පිරිත් දේශනාවක් සහ සාංඝීක දානමය පුණ්‍යකර්මයකි. සියවස් අභිමන් පාගමනට පසුව පාසල් පරිශ්‍රයේ පැවැත්වූ සුවිසල් ප්‍රදර්ශනයකි. මෙයට සමගාමීව රූපවාහිනී නාලිකාවක්, ගුවන් විදුලි නාලිකාවක් මෙන්ම පුවත්පතක් පළකර තිබිණ. දින කිහිපයක් පුරා පැවැති ප්‍රදර්ශනයේ සමාරම්භය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරී තිබිණි.

ප්‍රදර්ශනය නැරඹූ ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමුව තිබුණේ පාසලේ ඉංජිනේරු තාක්ෂණවේද අංශයේ ඉදිරිපත් කර තිබූ රොකට්ටුවක් වෙතය. ඒ පිළිබඳ කරුණු විමසූ ජනාධිපතිවරයාට ගිහාන් හෙට්ටිආරච්චි සිසුවා ප්‍රකාශ කර සිටියේ එම රොකට්ටුව ගුවන්ගත කිරීමට හැකියාව ඇති බවය. එය කිලෝමීටර් 20ක් ඈත අහසට ගුවන්ගත කළ හැකි බවත් පැයට කිලෝමීටර් 750ක වේගයෙන් ගමන්කළ හැකි බවත් ප්‍රකාශ කර තිබේ. රොකට්ටුව ගුවන්ගත කිරීම සඳහා රුපියල් ලක්ෂ එකහමාරක පමණ ඉන්ධන වැයවන බවත් එම මුදල ඇත්නම් කල්පිටිය ප්‍රදේශයේදී රොකට්ටුව ගුවන්ගත කිරීමට පහසුකම් ඇතැයිද සිසුවා ජනපතිවරයා හමුවේ ප්‍රකාශ කර තිබුණි. මේ සම්බන්ධයෙන් සිය සතුට ප්‍රකාශ කළ ජනපතිවරයා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙන්නටත් රොකට්ටුව ගුවන්ගත කරන මොහොතට සහභාගි වීමට කැමති බවත් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේය.

තම පාසලේ සියවස් සැමරුමට සමගාමීව පැවැත්වූ ප්‍රදර්ශනයට රොකට්ටුව නිර්මාණය කළ සාඩම්බර හිමිකරුවා සොයා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට ගිය මොහොතේ විදුහල්පති යූ.ඩී. ඉරාන් චම්පික ද සිල්වා මහතා මෙසේ අදහස් දැක්වීය.

“අපේ පාසලේ නව නිපැයුම් සංස්කෘතියක් තිබෙනවා. ඒ පිළිබඳ සංගමයක් ක්‍රියාත්මක වෙනවා. මේ දරුවා ඉංජිනේරු තාක්ෂණවේද අංශයෙන් උසස් පෙළ හදාරනවා. ඔහු මීට පෙර ජාතික රූපවාහිනිය සංවිධානය කළ නව නිපැයුම් තරගාවලියකට සහභාගි වෙලා ලංකාවේ දෙවැනි ස්ථානය ලබාගත්තා. ඒ වගේ තවත් නිර්මාණ රාශියක් එළිදක්වපු දරුවෙක්. පාසලේ  ප්‍රදර්ශනයට ජනාධිපතිතුමා පැමිණි මොහොතේ දරුවා නෙත ගැටුණා. නිර්මාණය පිළිබඳව අවධානය යොමුකරලා ඉන්ධන වියදම පිළිබඳව ඇහුවා. රු.150,000ක් අවශ්‍ය බව දරුවා පැවසුවා. ඒ මුදල වගේම දරුවාගේ අවශ්‍යතාවයන්ට රුපියල් ලක්ෂ සීයක් ලබාදෙන බවට එතුමා පොරොන්දු වුණා. ඒ පරිත්‍යාගය මේ දරුවා වෙනුවෙන් පමණක් නොව සමස්ත රටේම දරුවන්ට කළ පරිත්‍යාගයක් විදිහට මම දකිනවා.”

මේ පිළිබඳ අදහස් දැක්වූ රොකට්ටුව නිර්මාණය කළ ගිහාන් කාවින්ද හෙට්ටිආරච්චි මෙසේ පැවසීය.

“මම ඉංජිනේරු තාක්ෂණවේද අංශයෙන් උසස්පෙළට පෙනී සිටියා මේ වසරේ. දැන් ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්නවා. පාසලේ සියවස් සැමරුමට ප්‍රදර්ශනයක් කරනවා කියලා මටත් නිර්මාණයක් කරන්න ධනුෂ්ක මිනුවන්දෙණිය සර් කීවා. මම කීවා දැනට රොකට් එකක් මම ගෙදර ඉඳලා හදාගෙන යනවා, ඒක ඉදිරිපත් කරන්නම් කියලා.

සර් ඒකට අවස්ථාව දුන්නා. මේ සඳහා රවීන්ද්‍ර දිවුල්වැව සර්ගෙන් සහ ප්‍රසාද් චතුරංග සර්ගෙන් උපදෙස් ගත්තා. මම අන්තර්ජාලයෙන් තොරතුරු ලබාගත්තා. මිතුරකුගේ තාත්තා මාර්ගයෙන් ඇලුමිනියම් පිළිබඳ අවශ්‍ය තොරතුරු සොයාගත්තා. මේක හදන්න මට මාස දෙකක් විතර ගියා. පැයට කිලෝමීටර් 750ක වේගයෙන් කිලෝමීටර් 20ක් අහසට යවන්න පුළුවන්. ඒ සඳහා කලින් ක්‍රියාත්මක කරලා බැලුවා. රු.50,000ක් විතර වියදම් වෙලා තියෙනවා. මේක ගුවන්ගත කරන්න ඉන්ධන සඳහා ලක්ෂ එකහමාරක් වැයවෙනවා. ඒ සඳහා ජනාධිපතිතුමා උදව් කරන්න පොරොන්දු වුණා. කල්පිටියේදී තමයි ගුවන්ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට ජනාධිපතිතුමත් එනවා කීවා.”

ගිහාන් හෙට්ටිආරච්චි සිය රොකට්ටුව පිළිබඳ අදහස් දක්වන්නේ සතුටෙනි. පෞද්ගලික වියදමින් රොකට්ටුව නිර්මාණය කළ ගිහාන් මීට පෙර කළ නිර්මාණ දෙකක් සඳහා පේටන්ට් බලපත්‍ර හිමිකරගෙන සිටී. ඔහුගේ බලාපොරොත්තුව ඇත්තේ ඉංජිනේරු තාක්ෂණවේදය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපනය ලබා තව තවත් නිපැයුම් බිහිකිරීමය.

බණ්ඩාරනායක විද්‍යාලයේ තාක්ෂණික අංශ ප්‍රධානී වශයෙන් ධනුෂ්ක මිනුවන්දෙණිය මහතා කටයුතු කරයි. ගිහාන් පිළිබඳ ඔහු දැක්වූයේ මෙවැනි අදහසකි.

“ගිහාන් දක්ෂ දරුවෙක්. ප්‍රදර්ශනයට යමක් කරන්න කීවාම එයාමයි කීවේ සර්... මම රොකට් එකක් හදනවා කියලා. ඒක උඩ යවන්න පුළුවන් බවත් කීවා. මොහු නව නිපැයුම් ප්‍රදර්ශන සඳහා විදේශ සංචාරවලට සහභාගී වෙලා තිබුණා. ඒවායෙන් රන් පදක්කම් දිනාගෙන තිබෙනවා. මේ දරැවා වගේම තවත් දක්ෂ දරුවෝ පාසලේ ඉන්නවා. කවිෂ්ක මාධව කියන්නෙත් ඒ වගේ නව නිපැයුම් සඳහා ජයග්‍රහණ වගේම පේටන්ට් බලපත්‍ර ගත්ත දරුවෙක්. එයා දොර ලොක් එකක් හදලා සම්මානයට පාත්‍ර වුණා.”

ලංකාවේ ප්‍රධාන පෙළේ නව නිපැයුම් ප්‍රදර්ශන දෙකකදී සහ ඉන්දුනීසියාවේ පැවැති නව නිපැයුම් තරගාවලිවලදී ජයග්‍රහණ හිමිකරගත් ගිහාන් පිළිබඳව නව නිපැයුම් සංගමය බාර ආචාර්ය ප්‍රසාද් චතුරංග මහතා මෙසේ පැවසීය.

“ගිහාන් මීට පෙර නව නිපැයුම් සඳහා ජයග්‍රහණය ලැබූ දරුවෙක්. ඔහු වගේම කනිෂ්ක මාධව මේ පාසලේ නව නිපැයුම් තුළින් පේටන්ට් බලපත්‍ර හිමිකරගෙන තියෙනවා. කවුරුත් නොකළ දෙයක් කරන්න උත්සාහ කළ ගිහාන්ගේ උත්සාහය සාර්ථකයි. ගිහාන්ගේ ඉදිරි කටයුතු සඳහා උදව් කරන්නත් පාසල ඉදිරියේදී කටයුතු කරනවා. පාසලේ නව නිපැයුම් සංගමය වසරකට පේටන්ට් 5ක් ගන්න අදහස් කරනවා. මේ වසරේ දැනට පේටන්ට් 3ක් අරගෙන තිබෙනවා. මේ දරුවාගේ නිර්මාණයට ජනාධිපතිතුමාගේ අවධානය යොමුවුණා. ඒක ගිහාන් වෙනුවෙන් පමණක් නොවෙයි සමස්ත රටේම දරුවන් වෙනුවෙන් ලැබුණු අවස්ථාවක් විදිහටයි අපි දකින්නේ.”

නව නිෂ්පාදන කෙරෙහි ලංකාවේ බලධාරීන්ගේ අවධානය අඩුය. මෙවැනි කුසලතා පූර්ණ දරුවන්ට ඉඩහසර ලබාදීම අවශ්‍ය මංපෙත් විවර කරදීම බලධාරීන්ගේ යුතුකමකි.

♦ කතාව/සේයාරූ - සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00