2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

කාටත් නොතේරෙන තෙල් සූත්තරේ

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 44

ඇති පදම් කතා කර ඇති තවමත් එපාවී නැති ඉන්ධන මිල සූත්තර කතාව නැවත කතා කිරීමට අපට නිමිත්තක් හමුවිය. පසුගිය කාලයේ තෙලේ බලේ රටට පෙන්වූ මිල සූත්තරේ රහස කිසිවෙක් දැන සිටියේ නැත. මුලදී මුදල් ඇමැතිවරයා පවා නොදැන සිටි මෙම සූත්‍රය අගමැතිවරයා දන්නා බව රටටම හෙළිවූයේ පසුගියදාකය. මුදල් අැමතිවරයාද එයින් පසුව මේ අභිරහස් ස්‍ුත්‍රය දැන රටට අනාවරණය කරන ලදී. අපි එය නිමිතිකොටගෙන ඉන්ධන මිල සූත්‍රය ගැන සංවාදයක් ගොඩනගමු.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 14 වැනිදා ඇහැටුවැව බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති උත්සවයකදී මිල සූත්‍රය පිළිබඳව මෙසේ පැහැදිලි කර තිබිණි. අපි පළමු ඊට අවධානය යොමුකරමු.

මේ සූත්‍රය කියන්නේ විශාල දෙයක් නෙවෙයි. ඛනිජ තෙල් ගොඩබෑමේ පිරිවැයට මුළු මෙහෙයුම් පිරිවැය එකතුවෙනවා. නළ මාර්ග ගාස්තු වගේම වාෂ්පීකරණය නිසා ඉවත්වෙන ඛනිජ තෙල් පිරිවැය, ප්‍රවාහන විකුණුම් හා තොග ගබඩාවල පිරිවැය සහ අලෙවි නියෝජිතයන්ගේ කොමිස් පිරිවැයත් මේ මෙහෙයුම් පිරිවැයට එකතුවෙනවා. ඊට අමතරව රේගුබදු තීරුබදු, ඒ සියල්ලමත් එකතුවෙනවා. ඕක අලුත් දෙයක් නෙවෙයි.

ඉන්ධන මිල සූත්‍රය පිළිබඳව මේතාක් හොඳම පැහැදිලි කිරීම මුදල් ඇමතිවරයා විසින් සිදුකරන ලදී. කලින් මිල සූත්තරේ නොදැන සිටි අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය බ්‍රහස්පතින්දා (18) දා මාධ්‍ය සාකච්ඡවක් කැඳවා තිබුණි. එහිදී ඉන්ධන මෙම මිල සූත්‍රය මාධ්‍යට අනාවරණය කිරීමට කටයුතු කරනු ලැබීය. එහෙත් ඒ පිළිබඳව පුළුල් අවබෝධයක් ආර්ථික විද්‍යාව උගතෙකුට මිස සාමාන්‍ය ජනයා ලබාගත නොහැකි බව අප කිවයුතු නැත. ඔබ එය විද්‍යුත් මාධ්‍යයෙන් දකින්නට ඇත. කෙසේ වෙතත් මුදල් ඇමතිවරයා කිවූ නොතේරෙන මිල සූත්‍රයට වඩා වැදගත් යමක් ජනතාව මෙහිදී අනාවරණය විය. ඒ ලබන දහවනදාට ඉන්ධන මිල අඩුවීමට හැකි බව දැක්වෙන කතාවයි.

හොඳ ප්‍රවණතාවක් දැක්කා. පොඩ්ඩක් ආයේමත් තෙල් අඩුවෙමින් තියෙනවා. ඒත් අපි සන්තෝස වෙන්න හොඳ නෑ. ඇමරිකාවේ ඉන්න ලොකු මහත්තයා කරන ඒවා අනුව තමයි සමහර වෙලාවට මේවා එහා මෙහා වෙන්නේ. අද වෙනකොට බැරලය ඩොලර් පහකින් විතර අඩුවෙලා තියෙන්නේ. ඒ හින්දා අපි ප්‍රාර්ථනා කරමු තමුන්නාන්සේලාට ඒ සහනය ලබාදීම සඳහා ඒ ප්‍රවණතාවය ඒ විදිහටම පවතීවා කියලා.

මෙය රටේ ආණ්ඩුව පාර්ශ්වයෙන් ඉන්ධන මිල සූත්‍රය පිළිබඳව යමක් විධිමත්ව පැහැදිලි කරනු ලැබූ අවස්ථා ද්ත්වය ෙමය විය. ඒ අනුව යම් අවබෝධයක් මහජනතාවට ලැබුණි. එහෙත් අගමැතිවරයා කියූ ලෙස ඉන්ධන සඳහා ඛනිජ තෙල් සංස්ථාව දරන සියලු වියදම් අගට රජයේ බදු එකතු වේ. ඇත්තෙන්ම ගැටලුව පැනනැගෙන්නේ එතැනිණි. ඉන්ධන සඳහා වන බදු පිළිබඳව රටට පැහැදිලිව දැක්වීම රජයේ වගකීමයි. එය සිදුවී නැත. සිදුවන්නේද නැත. එදා මෙන්ම අදත් මෙරට ආණ්ඩුව ඒ අනුවණකම ෙනාකරයි. එය කෙසේ වෙතත් ඉන්ධන බදු පිළිබඳව සාකච්ඡා පසුවට තබා සංස්ථාවේ වියදමත් එකතු වී හැදෙන සූත්‍රයේ කතාව අපි පහදා ගනිමු.

ඕනෑම භාණ්ඩයක මිලක් නියම වන ක්‍රමවේදයක් තිබේ. එය සූත්‍රයක් යැයි කීවද වරදක් නැත. ඉන්ධන සඳහා සංස්ථාවේ මිල නියම වන්නේ කෙලෙසද? ඊටද ක්‍රමයක් ඇත. එය සරලව දක්වතොත් මෙසේය.  

මෙරට බොරතෙල් ලබාගැනීමේ සිට පිරිපහදු කර පිරවුම්හළට යන තෙක් වියදම මෙහිදී ප්‍රධානය. මෙහිදී බොරතෙල් ලබාගත් මිල, නැව් ගාස්තු, රක්ෂණය, ගොඩබෑමේ ගාස්තු, වරාය ගාස්තු ආදිය වෙයි. තවද  පිරිපහදු වියදම්, පිරිපහදුවෙන් පසු කොළොන්නාවේ ගබඩා පර්යන්තයට එවූ පසු ලීටරයකට ඇති ගබඩා කිරීම් හා බෙදාහැරීමේ කොමිස් මුදල ආදී තවත් ගාස්තු මෙන්ම පිරවුම්හල් හිමියාගේ කොමිස් මුදල, ක්ෂය වන ප්‍රමාණය ඇතුළු සියලු දේ මීට අදාළ වෙයි. මේ සියල්ලට තෙල් සංස්ථාවේ නඩත්තුව ඇතුළු කටයුතු සඳහා වන වියදම්ද එක්වී ඉන්ධන සඳහා මිල නියම වෙයි. 

එලෙස මෙම නියම වූ මිලට අවසානයේ අග්‍රාමාත්‍යවරයා  සඳහන් කළ ලෙස බදු එකතුවෙයි. බද්දේ හා ඉන්ධන මිලේ තීරකයා ඛනිජ තෙල් සංස්ථාව නොවේ. අපි තෙල් සූත්‍රය කතාවට සංස්ථාවේ අදාළත්වය දැනගැනීමට සංස්ථා බලධාරියකුගෙන් විමසුවෙමු.

ඔහුට අනුව සෑම මසකම නව වැනිදා වනවිට මුදල් අමාත්‍යාංශයෙන් මිල ගණන් වෙනස්වීම සම්බන්ධ ලිපිය සංස්ථාවට ලැබෙයි. ඒ අනුව ඔවුහු අදාළ අංශ වෙත මිල ගණන් දැනුම් දෙනු ලබති. ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධ ඛනිජ තෙල් වෘත්තීය සමිති කිහිපයක් සමඟ අපි සාකච්ඡා කළෙමු. ඒ අනුව හෙළිවුණු කරැණු කිහිපයක්  මීළඟට මතු කරමු.  

ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත මහතා දීර්ඝව අප සමඟ අදහස් බෙදාගත් අතර ඔහු මතුකරන්නේ මෙවන් කරුණකි. මිල සූත්‍රයක් තිබිය යුතුය. ඛනිජ තෙල් වෘත්තීය සමිති සංස්ථාවේ කඩාවැටීම වළක්වාගැනීමට කලක පටන් මිල සූත්‍රයක අවශ්‍යතාව අවධාරණය කර ඇත. සංස්ථාවේ තෙල් මිල සැකසෙන ක්‍රමවේදයක් ඇත. එහිදී බදු එකතුවීමේ ගැටලුව පැන නැගී තිබේ. සූත්‍රය හරහා විය යුත්තේ සංස්ථාවේ පාඩු සිදුවීම වළක්වාගැනීමය. ඛනිජ තෙල් නිදහස් සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතාද මේ සම්බන්ධ අප සමඟ අදහස් දැක්වීය. ඉන්ධන මිල සූත්‍රය නිසි විනිවිදභාවයකින් ක්‍රියාත්මක කරනවා නම් පාරිභෝගිකයන්ට මෙන්ම සංස්ථාවටත් යහපතක් සිදුවෙයි. රජයේ ආර්ථික කළමනාකරණය දුර්වලතාව මත රැපියල් අවප්‍රමාණය වීමෙන් සිදුවූ බලපෑම ඉන්ධන මිල දිගින් දිගටම ඉහළ යාමට හේතුවී තිබේ.

ඉන්ධන මිල සූත්‍රය හා බදු ගැන කතාවද යම් පමණකට අප සංවාදයට බදුන් කළ යුතුය. වැඩිපුර භාවිත වන පාරිභෝගික භාණ්ඩ සඳහා අධික බදු ගසා ආදායම් ලැබීම ආණ්ඩුවල සිරිත වෙයි. තෙල් අරඹයා මෙතරම් විසල් බද්දක් පැනවෙන්නේ එබැවිනි. බද්ද වැඩි නිසාවෙන් මිල වැඩිවන විට වෙනත් විකල්පවලට යාමට පාරිභෝගිකයාට නොහැක. කෙතරම් බැණුම් ඇසුවද ආණ්ඩු ආදායම් එපා කියා බදු අඩුකිරීමක් සිදුනොකරයි. ඉන්ධන සඳහා සංස්ථාව වියදම් ඇතුළත් මිල රැපියල් සියයක් නම් රජය  බදු ලෙස තවත් රුපියල් හැටක් අය කරයි. 

ඇත්තෙන්ම මිල සූත්‍රය හා බදු සූත්‍රය දෙකක් ලෙස අපට හැඟේ. මුදල් අමාත්‍යවරයාට අනුව නම් එය එකම සුත්‍රයකි. නමුත් අයකරන බදු මුදල් අඩු කරමින් ජනතාවාදී වීමට පාලකයන්ට හැකිය. ඔවුන්ගෙන් එය සිදුනොවේ. තවත් පසෙකින්  සංස්ථාවද ලීටර් ගාණකට බදු ගෙවිය යුතුය. ඇතැම්විට රජයේ සහන සංස්ථාවේ කරපිටින් තබා බදු මුදල් රජය අයකරගැනීමට කටයුතු කරන අතර තෙල් සංස්ථාවේ පාඩුවලට මෙය එක් හේතුවකි. මෙසේ බැලූවිට ඉන්ධන මිල හේතුවෙන් සංස්ථාවද පාරිභෝගිකයෝ ද එක සේ පාඩු ලබති. 

දැන් අපේ සංවාදය ඉන්ධන පාරිභෝගිකයෙක්ගේ පාර්ශ්වයට යොමු කරමු. ඉන්ධන ඉහළ යනවිට රටේ පාරිභෝජන භාණ්ඩ මිල අධික වේ. සෘජුවම බස් ගාස්තු, ත්‍රීරෝද රථ ගාස්තු, විදුලි ගාස්තු ඉහළ යයි. ප්‍රවාහන වියදම් වැඩිවීම  හරහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල වැඩිවීම හේතුවෙන්ද අයහපත් බලපෑම් ජනතාව එල්ල වේ.

මෙරට පොදු ප්‍රවාහනයේ ප්‍රමුඛතම ස්ථානයේ සිටින පෞද්ගලික බස් හිමියන්ගෙන් මේ සම්බන්ධ මතය විමසුවෙමු. ගැමුණු විජේරත්න මහතා අපට සම්බන්ධ කරගත හැකි විය.

ඉන්ධන මිල සූත්‍රයක් ගෙන ඒමේ වරදක් නැතත් පොදු ප්‍රවාහන සේවාවන් සඳහා යම් සහනයක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව ඒ මහතා සඳහන් කරයි. මෙයට අමතරව පොදු ප්‍රවාහනය වෙත මගී ජනතාව යොමුකර ඉන්ධන පරිභෝජනය හා රටේ මුදල් ඉතුරු කර ගැනීමේ හැකියාවක් පවතින බව තවදුරටත් කියවෙයි. බසයෙන් පසුව මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රබලයා ත්‍රීරෝද රථයයි. අපි ලංකා ස්වයංරුකියා වෘත්තීකයන්ගේ ජාතික ත්‍රීරෝද සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා සම්බන්ධ කරගතිමු. ඔහුට අනුව ත්‍රීරෝදකරැවෝ තෙල් මිල හරහා ඉතා අසරණව සිටිති. තෙල් සහනාධාරයක් ඉල්ලා ජනාධිපතිවරයාට ලිපි යොමුකර ඇතත් ඒවා අමාත්‍යාංශය අතර නිරර්ථක  ලෙස මාරුවෙනවා මිස පිළියම් ලැබෙන්නේ නැත. කෙසේ නමුත් මීටර් ත්‍රීරෝදවල දෙවැනි කිලෝමීටරයකට රුපියල් දහය වැඩිකරගැනීමට ඔවුන් සමත්ව සිටීමත්, මීටරේ වෙනස්කම් කිරීමේ වියදම අධික වීමත් හේතුවෙන් ඉදිරියේ ත්‍රීරෝදවල ගාස්තු ඉහළ නොදමන බව ඔවුහු සඳහන් කරති. 

සූත්‍රයක් ඇතිවිට ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යනවිට මෙරටද මිල ඉහළ යාම අරැමයක් නොවේ. මෙරට ණය බර සහ ආර්ථික පීඩනයද සත්‍යයකි. එහෙත් යතුරුපැදියේ පවා ගමනක් යන්න බැරි තත්ත්වයක් රටේ උද්ගතව ඇත. විටෙක ඉන්ධන මිල ඉහළ යනවාද නැතිනම් රථවාහනවල ඉන්ධන  ටැංකි බැලුන් මෙන් පිම්බෙනවාද යන්න නොතේරෙන වග ඇතැම් වාහන හිමියෝ කියති. ආණ්ඩුව ආ සැටියේ ඉන්ධන මිල පහළ දැමීමට ගත් තීරණය යහපත්ය. නමුත් එය ප්‍රායෝගිකව වූවාද යන්න සැකයකි. දැන් එය පරණ මිල හා සමාන මට්ටමකට පැමිණ තිබේ. අර ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුවේ එක  රුපියලක් අඩු යැයි විවිධ කතා කියා නිදහසට කරැණු දැක්වීම අනුවණකමකි. 

මේ සියල්ල තුළින් අවධාරණය වන්නේ ඉන්ධන මිල ඉහළ යාම මත රට පුරා අර්බුද රාශියක් නිර්මාණය වී ඇති බවයි. තෙල් සංස්ථාව යම් අර්බුදයකය. මහජනයා මේ  සියලු අර්බුදවල වින්දිතයන්ව සිටිති. තෙල් මිල යනු රටේ සමස්ත ණය බරට උරදීමට තිබෙන එකම විකල්පය නොවේ. එය වරදවා වටහාගැනීමෙන් මේ සහ විසල් අර්බුදයක් නිර්මාණය වී තිබේ. ආණ්ඩු ආදයම් ලැබීමට වෙනත් ක්‍රම සොයාගැනීමෙන් මහජන පීඩා ඇති නොවන ලෙස කටයුතු කළ යුතුය. ඉන්ධන මිල සූත්‍රයට අදාළ බදු රජය විසින් පැහැදිලිව රට හමුවේ තැබිය යුතුය. එම බදු මුදල් මැති ඇමැති සුඛවිහරණය සඳහා අවභාවිත නොවන බවට තහවුරැ කරන්නැයිද අවසානයේ අපි පාලකයන්ට යෝජනා කරමු.

 චමිඳු නිසල් ද සිල්වා