2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

බෙහෙත්වලට කෝඩෙ ගහලා සමහර බෙහෙත් නැතිවෙන ලකුණු

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:31 108

ලෙඩ නොවූ කෙනෙක් මෙලොව නැත්තා සේම රෝගී වූ පසු ජීවිතයේ එක් වරක් හෝ ඔසු ලබා සුව නොලද්දෝ ද ලොව නැත. එහෙත් ඔසු පිළිබඳව වර්තමාන ලෝකයේ වෙළෙඳපොළ කතාව නම් ඇසූවන් කලකිරවන සුළුය. මෙරට ද අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කිහිපයක වෙළඳපොළ හිඟයක් පිළිබඳව පසුගිය සතියේ තොරතුරු වාර්තා විය. ඒ අනුව අපි ඒ පිළිබඳව යම් සොයා බැලීමක් කිරීමට තීරණය කළෙමු.

මෙම ඖෂධ හිඟය ඇතිවීම හේතුව ලෙස සඳහන් වී ඇති කාරණාව පළමු පහදා ගැනීම වටී. ජාතික ඖෂධ නියාමනය අධිකාරිය ඖෂධ මිල නියාමන කිරීම මෙම හිඟයට හේතු වූ බව කියවුණි. ඒ අනුව ප්‍රමුඛ පෙලේ ප්‍රමිතියකින් යුත් ඇතැම් ඖෂධ සමාගම් මෙරට වෙළෙඳපොළෙන් ඉවත්ව ගොස්  ඇත. මෙම මිල නියාමනය අධිකාරිය විසින් සිදුකරනු ලැබුව ද ලංකාවට ආනයනය කරනු ලබන ඖෂධවල ප්‍රමිතිය පරික්ෂා කිරීමේ ක්‍රමවේදයක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නොමැත. එසේ හෙයින් මිල නියාමන හරහා ඖෂධ හිඟයක් ඇති වීමට මෙන්ම ප්‍රමිතියෙන් තොර ඖෂධ වෙළෙඳපොළ එක්වීමද සිදුව තිබේ.

රුපියලේ අගය පහළ යාම නිෂ්පාදනය වියදම අධික වීම යන හේතු ද ඖෂධ හිඟය පිටුපස ඇති හේතූන් අතර තිබේ. ඉහත කාරණාවන්ට සමගාමීව මෙරට ඖෂධ මිල නියාමනය අදාළ තීරණයේදී විදේශීය සමාගම්වලට හිටි හැටියේ මිල ගණන් වෙනස් කිරීමට නොහැකි බව කියති. ඒ අනුව ඔවුන් මෙර වෙළෙඳපොළ හැරයෑම සිදුව තිබේ. එම හැරයාම හේතුවෙන් ඖෂධ වර්ග කිහිපයක හිඟයක් ඇතිවී ඇත. ඉදිරියේදී එය රටට දැනෙන ප්‍රබල ගැලුවක් වීමට ඉඩ ඇතැයි යන මතය තදින්ම පැතිරෙයි.

අප ඉහත දක්වනු ලැබූවේ ඖෂධ හිඟයක් ඇතිවිය හැකියයි කියවෙන පදනම මත මේවන විට ඉදිරිපත් වී ඇති මතයයි. තවදුරටත් මේ පිළිබඳව සොයා බැලීමට රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සම්බන්ධ කරගතිමු. එහි දී එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත් අලුත්ගේ මහතා අප වෙත කරණු පැහැදිලි කළේ මෙසේය.

“සේනක බිබිලේ ප්‍රතිපත්තියනේ ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ. නමුත් සේනක බිබිලේ ප්‍රතිපත්තිය ඕක නෙවෙයි. මිල නියාමන එක්ක බාල ඖෂධ ගෙන්වීම නෙවෙයි සේනක බිබිලේ ප්‍රතිපත්තිය වෙන්නේ. දැනට අපිට පේන්න තිබෙන කාරණාව තමයි විද්‍යාත්මක ප්‍රමිතියකින් තොරව මිල නියාමනය කිරීම හරහා ප්‍රමිතියෙන් යුක්ත සමහර ඖෂධ වර්ග වෙළඳපොළෙන් ඉවත් කරගැනීමට සිදු වී තිබීම. අවුරුදු තුනකට කලින් අපි සෞඛ්‍ය ඇමැතිතුමා සමඟ ඔය සම්බන්ධ කතා කරන වෙලාවේ පැහැදිලිවම කිව්වා මිනිස්සුන්ගේ පැත්තෙන් මිල අඩුකරන එක බොහොම හොඳ දෙයක්. නමුත් ඊට සමාන්තරව ප්‍රමිතිය නියාමන කරන්න අවශ්‍ය රසායනාගාර පහසුකම් ලංකාවේ හදන්න කියලා. දැන් අපි දන්නේ නෑ ලාබෙට ලැබෙන ඖෂධවලින් ලෙඩේ හොඳ වෙනවද කියලා. උදාහරණයක් විදිහට නුවරඑළියේ ඇස්වල ප්‍රශ්නයක් වුණු එන්නත සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේ වාර්තාව තවම එළියට දාන්නේ නෑ. ඒත් එක්කම මිනිස්සු තුළ සැකයක් ඇතිවෙනවා. මෙරටට ගෙන එන ඖෂධ සම්බන්ධ ඇති ප්‍රශ්න පිළිබඳව. පිළිකා රෝග සම්න්ධයෙනුත් යම් ප්‍රශ්නයක් ඇතිවුණා. ඒ නිසාවෙන් මෙහිදී විය යුතු දේ තමයි මෙරටට ආනයනය ඖෂධවල තත්ත්වය පරික්ෂා කිරීම සඳහා පහසුකම් සැපයීම"

මෙම පැහැදිලි කිරීම සමඟ අනාවරණය වූ තවත් කරුණු කිහිපයක් නම් දැනට ප්‍රබල ඖෂධ හිඟයක් හටගෙන නැති බවයි. රෝහල් අතර ඖෂධ හුවමාරු සිදුවීම ඊට හේතුවයි. දැන ඖෂධ වර්ග කිහිපයක පමණක් හිඟයක් තිබේ. ඌව පළාතේ ජලභීතිකා එන්නතක් හිඟයක් වෙයි. හෘද රෝග සඳහා වන එනොස් පාරීන් නම් ඖෂධයේත් යම් හිඟයක්  මාතලේ දිස්ත්‍රිකයේ තිබේ. ඒ නමුත් ස්ථිර පිළියමක් නොලැබුණහොත් ඉදිරි සති කිහිපයේ දී මෙම තත්ත්වය රටටම බලපානු ඇති බව අනතුරු ඇඟවෙයි.

මේ අතර පසුගිය 14 වැනි දා සෞඛ්‍ය අමාත්‍ය රාජිත  සේනාරත්න මහතා අම්බලන්ගොඩ පැවති සුවපති ගාලු දිසා අභිශේකය නම් උත්සවයකදී පවසා තිබුණේ ඖෂධ හිඟයක් නොමැති බවයි. කිසිම රෝහලක ඖෂධ හිඟයක් ඇති නොවන බවත් එහි දී සඳහන් විය. ඖෂධ හිඟයක් ඇති නොවීමට රෝහල් අධ්‍යක්ෂකවරුන්ට උපදෙස් දී ඇතැයි ද එහිදී සඳහන් විය. තවද ලෝකයේ අධ්‍යාපන හා සෞඛ්‍ය යන අංශවලින් දියුණු ඉහළ රටවල් දෙක තුන අතරට අප රට ද එක්ව සිටින බවද අමාත්‍යවරයා  ප්‍රකාශ කර තිබුණි.

ඖෂධ මිල නියම කිරීම සඳහා සූත්‍රයක් වන බව ද කියවේ. එය තෙල් මිල සූත්‍රය මෙන්ම තවම රටට පහදා ගැනීමට අපහසුය. එහෙත් පසුගිය කාලේ යම් ඖෂධ ප්‍රමාණයක මිල අඩු කිරීම ඇතුළු යහපත් ප්‍රවණතා ද දක්නට ලැබුණි. මිල සූත්‍රය ද ජනතාව වෙනුවෙන් ඖෂධ මිල අඩු  කිරීමට ඉදිරිපත් වූවක් බව කියවේ.

මෙම තත්ත්වය පිළිබඳව තොරතුරු පහදා ගැනීමට මහචාර්ය ලාල් ජයකොඩි මහතා සම්බන්ධ කරගතිමු. ඒ මහතාට අනුව “හයි එන්ඩ්” බෙහෙත් සඳහා විශාල වෙළෙඳපොළක් නැත. ඒවා මේ රටින් ගියත් එය විශාල ප්‍රශ්නයක් නොවන අතර වෛද්‍යවරුන්ට ඊට විකල්ප ලෙස නොයෙකුත් ඖෂධ පාවිචි කිරීමේ හැකියාවක් තිබේ.

උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව විමසීමට අපි දිගින් දිගටම ජාතික ඖෂධ නියාමන අධිකාරිය සම්බන්ධ කරගැනීම උත්සාහ දැරුවෙමු. එහෙත් දුරකථන නාදවන නමුත් කිසිදු ප්‍රතිචාරයක් නොවීය.

ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානම කෙසේ වෙතත් මෙහිදී ජනතාව අවබෝධ කරගත යුතු කරුණු කිහිපයක් වෙයි. ඖෂධ සමාගම් ද තම අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට විවිධ උපාය මාර්ග මේ මොහොතේ අනුගමනය කරමින් සිටිනවා විය හැකිය. බොහෝ වෛද්‍යවරු ප්‍රසිද්ධියේ මේ පිළිබඳව කතා කරන්නට මැලිවෙති. ප්‍රසිද්ධියේ නොකීව ද වෛද්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ මිල නියාමනය යහපත් බවත් එත් ඊට සමගාමී ප්‍රමිතිය නියාමනයක් ද සිදුවිය යුතු බවත්ය. චීන රජයේ ආධාර මත මේ සඳහා අවශ්‍ය පහසුකම් සංවර්ධන කිරීමක් ගැන පසුගිය කාලයේ කතාවක් පැවතුණ ද  දැන් ඒ පිළිබඳව සඳහනක් නැත.

සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය තුළ වූ ප්‍රධානම කාරණක් වන්නේ මෙරටට ගෙන එන ඖෂධ සීමාසහිත වීමයි. විවිධ වෙළෙඳ නාම සහිත ඖෂධ රාශියක් විවිධ මිල ගණන් යටතේ වෙළඳපොළේ තිබේ. වෛද්‍යවරු ඖෂධ නාමයෙන් රෝගීන්ට අවශ්‍ය ඖෂධ නිර්දේශ කළ විට  විවිධ වෙළෙඳ නාම යටතේ ඇති එම ඖෂධය සමාන ප්‍රතිඵල සහිත වීම වැදගත්ය. විශාල වෙළෙඳ නාම ප්‍රමාණයක් ද වෙළෙඳපොළට අනවශ්‍යය. මෙම ඖෂධ සඳහා ලෝක මට්ටමේ විවිධ ප්‍රමිති කරණ තිබුණ ද ඒවායෙන් සමහරක් ගැටලු සහගතය. මන්ද තරගකාරී ඖෂධ වෙළඳපොළේ පවතින්නේ මාෆියාවක්ය.

මේ සියල්ල මත අවසානයේ අප අවධාරණය කළ යුතු එක් කරුණක් ඇත. සුවෙන් සතුටින් සැපසේ සිටින්නන්ට ඖෂධ අවශ්‍ය නොවේ. කුමන තරාතිරම අයෙක් වුවද රෝගී වී අසරණ වූ විටදීම පමණක් ඖෂධ අවශ්‍ය වෙයි. එසේනම් ඖෂධ සමඟ කරන මෙම ගනුදෙනු මිනිස්සුගේ ජීවිතයේ අසරණකම සමඟ කරන ගනුදෙනුවයි. එසේ හෙයින් වගකිවයුත්තෝ ද මානුෂික දුරදක්නා නුවණින් යුතුව කටයුතු කළයුතුය. 


►චමිඳු  නිසල් ද සිල්වා