2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

ණයවෙලා ගෙයක් හැදූ ඉන්දියාවේ අගවිනිසුරු

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 262

යන යකා කොරහත් බිඳගන යනවා යැයි පරණ කතාවක් තිබේ. ඉන්දියාවේ හිටපු අගවිනිසුරු දීපක් මිස්රා විශ්‍රාම ගියේ ද හරියටම ඒ ආකාරයටමය. ඉන්දියාවේ හතලිස් පස්වැනි අගවිනිසුරු ලෙස පත්වූ මිස්රා, ඉන්දියාව මතුනොව ලෝකයම හෙල්ලුම් කන ආකාරයේ ආන්දෝලනාත්මක තීන්දු රැසක් ප්‍රකාශයට පත් කළ යකඩ විනිශ්චයකාරවරයකු හැටියට ප්‍රසිද්ධය. විශ්‍රාම යන්න ඔන්න මෙන්න තියා ඔහු යටත් විජිත යුගයේ සිට පැවත එන, සම්ප්‍රදායික හින්දු සමාජයේ පදනම දෙදරුම් කවන ආකාරයේ නීති දෙකක් සම්මත කළේය. සමරිසි හෙවත් සමලිංගික විවාහය නීතිගත කළ ඓතිහාසික තීන්දුව හා පරදාරය හෙවත් අනියම් සැමි ඇසුර හේතුවෙන් කාන්තාවක් වැරැදිකාරියක කළ නොහැකි බවට වූ අලුත්ම අදහස් නීති පොතට එක් කිරීමත් සමඟිනි. ඊටත් පෙර ඔහු ඉන්දීය සම්ප්‍රදායික සමාජය තුළ රැඩිකල් පියවර ලෙස හැඳින්විය හැකි නෛතික තීන්දු තීරණ රැසක්ම ගන්නට මූලික වූ දඩබ්බරයකු හැටියට ප්‍රසිද්ධව තිබුණි.‍

අයාලේ යන බල්ලන් මරාදැමීමේ සිට, මිනීමරු කොටි දඩයම, පාතාලය නීතිය අතට ගැනීම, කුණු කඳු ගොඩගැසීම, පමණක් නොව මුස්ලිම් දික්කසාද නීතිය දක්වා කවුරැත් නොහිතන මාදිලියේ අමුතු අංශ ගණනාවකම නීති රීති ආන්දෝලනාත්මක වෙනසකට ලක් කරන තීන්දු ලබාදීම මගින් පසුගිය කාලයේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පුවත් මවන තැනක් බවට පත්ව තිබුණි. මේ අමුතු සහ අපූරැ තීන්දු රැසක් ගැනීමට මුල්වූ විනිසුරු කණ්ඩායමේ ප්‍රධානියා වූයේ දීපක් මිස්රාය. ඔහු ගාන්ධි පැලැන්තියට අයත් යුක්තිය හා සාධාරණය අංක එක ලෙසට පිළිගත්, ඒ රැකදීම සඳහා තමන්ගේ ජීවිතය පවා පරදුවට තබන්නට තරම් නිර්භීත වූ විශිෂ්ට පන්නයේ ඉන්දියානු විනිසුරුවරයෙක් ලෙස ඉතිහාසයට නම එක්කළ තැනැත්තෙකි. 2017 අගෝස්තු 28 වැනිදා ඉන්දියාවේ 45 වැනි අග්‍රවිනිශ්චයකාරවරයා ලෙස පත්වූ මිස්රා එයට පෙර පැට්නා සහ දිල්ලි මහාධිකරණවල අගවිනිසුරු ධූරය හෙබවූ තැනැත්තෙකි. සමරිසි විවාහ තීන්දුව සහ පරදාර කර්මය නීතිගත කිරීම වැනි ආන්දෝලනාත්මක තීන්දු රැසක් ලබාදීමට පියවර ගැනීම මගින් ඔහු ඉන්දියානු නීති ක්ෂේත්‍රයේ පරමාදර්ශී චරිතයක් බවට පත්ව තිබේ.

වසර 157කටත් වඩා පැරැණි යටත් විජිත යුගයේ සිට පැවත එන සමරිසි විවාහ තහනම සහ කාන්තාවක් පරපුරුෂයෙකු හා සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් වූ නීති රෙගුලාසි විප්ලවකාරී ලෙස වෙනස් කිරීම නිසා මිස්රා ගැන දැඩි කතාබහක් ඔහු විශ්‍රාම යන කාලයේ ඇතිවිය. එයට පෙරද ඔහු අමුතු තීන්දු ගණනාවකටම මුල්විය.

            දීපක් මිස්රා                         රන්ජන් ගොගොයි

ඔඩිස්සා නුවර උගත් පවුලකින් පැවත එන මිස්රාගේ මාමණ්ඩිය ඉන්දියාවේ 21 වැනි අගවිනිසුරුවරයාය. පැට්නා සහ දිල්ලි මහාධිකරණ විනිසුරු පදවියට පත්වූ මිස්රා 2011 දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලම එක්ව 2017 දී අගවිනිසුරු ධූරයට පත් වූයේය. එතැන් සිට ශ්‍රේෂ්ඨාධිකරණය වඩාත් ශ්‍රේෂ්ඨත්වයට පත් කළ අන්දමේ අමුතු තීන්දු තීරණ රැසක් අහන්නට ලැබුණි.

පසුගිය දෙසැම්බරයේ ඇසුණු ‘නිර්භයා’ නඩු විභාගය කාගේත් ඇස් යොමුවූ කාරණයක් විය. බස් රථයක් තුළ අපචාරයට හා දූෂණයට ලක්කර පසුව මරාදැමුණු 23 හැවිරිදි අනුපූරක වෛද්‍ය සිසුවිය පිළිබඳ යුක්තිය ඉටුකිරීම සම්බන්ධයෙන් දීපක් මිස්රා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලට මුළු මහත් ලෝකයෙන්ම ලැබුණේ සුබ ප්‍රතිචාරයකි. මේ නඩුවේ ප්‍රධාන චූදිතයන් 4 දෙනෙක්ම පෝරකය වෙත දැක්කීමට තීන්දුව සමත් විය. මේ සිද්ධිය 2012 සිදුවූවකි. සාධාරණය ඉටුවූයේ වසර 6කට පසුව මිස්රාගේ ප්‍රධානත්වයෙනි.

ඉන්දියාවේ වාර්තා වූ ප්‍රබලම ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැලකෙන මුම්බායි බෝම්බ සිද්ධියේ සැකකරු යාකුබ් මෙනන් එල්ලා මැරීමට ආන්දෝලනාත්මක තීන්දුව ලබාදුන්නේද දීපක් මිස්රාය. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසයේ මුල්වරට උසාවිය දහවල් 1ට රැස්වූ ප්‍රථම අවස්ථාවේම මරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කරන්නට ඔහු පියවර ගත්තේ නිර්නාමික මරණ තර්ජන එල්ල වී තිබියදීමය. ඉන්දීය ජාතික ගීය සියලුම සිනමා ශාලාවල චිත්‍රපට ආරම්භයට පෙර වාදනය කළ යුතු බවට ඓතිහාසික තීන්දුව ලබාදුන්නේ ද දීපක් මිස්රාය.

පැහැදිලිව පෙනීයන වරදක් සම්බන්ධයෙන් මූලික පැමිණිල්ලක් ලැබී පැය 24ක් තුළ ඒවා පොලීසිය මගින් පරිගණකගතව වාර්තාගත කළ යුතු බවට වූ නීතිය පැනවූයේද මිස්රාය. එමඟින් පොලිස් කාර්යභාරය වඩාත් විනිවිදභාවයට පත් කරන අතරම වින්දිතයාට වඩාත් ඉක්මන් සහ ක්‍රමවත් සාධාරණයක් ඉටුවීමට අවස්ථාව සැලසිණි.

තරුණියකට සියදිවි නසාගන්නා තැනට වැඩ සිද්ධකළ තැනැත්තෙකු සම්බන්ධ තීන්දුවකදී මිස්රා ප්‍රකාශ කළේ “කිසිදු කෙනෙකුට තමන්ට ආදරය කරන ලෙස තරුණියකට බලකළ නොහැකි” බවය. “කෙල්ලන්, ගැහැනුන් වම දකුණ මැද හැමපැත්තකින්ම දූෂණයට ලක්වෙනවා” යැයි ප්‍රහසනාත්මක අදහසක් ප්‍රකාශ කළේද ඔහුය. දරුවන් යොදාගත් අසභ්‍ය ලිංගික දර්ශන ඇතුළත් වෙබ්අඩවි තහනමද ඔහුගේ වැඩකි. මුස්ලිම් දික්කසාද ක්‍රමයක් වන “තලාක් තලාක්” ක්‍රමය ඉවත් කර ඒ වෙනුවට ක්‍රමවත් සාධාරණ නව නීති තැනිය යුතු බවට ඔහු රජයට උපදෙස් දුන්නේය. ඉන්දියාවේ භාවිත වන පුද්ගලික තොරතුරු ඇතුළත් ජාතික හැඳුනුම්පතක් බඳු ආධාර් කාඩ්පත ව්‍යවස්ථානුකූල නොවන බව ප්‍රකාශයට පත් කළේ මිස්රාය. ඒ හේතුවෙන්ම සිම්පතක් ලබාගැනීමේ සිට බැංකු ගිණුම් ඇරුඹීම දක්වා කුදු මහත් එදිනෙදා වැඩවලදී මහා බාධකයක්ව තිබූ මේ හැඳුනුම්පතේ අයහපත් බලපෑම ඉවත් කරන්නට හැකිවිය.

ඉන්දියාවේ බිලියන 1.3ක් වූ මහා ජනගහණයකට යුක්තිය සාධාරණය ඉටුකරන ප්‍රධාන ආයතනය වන ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු පදවිය ඉහළම බලයක් සහිත ප්‍රභූ ධූරයකි. එය සල්ලි මවන විශ්වකර්ම තනතුරකි. එය යටත් විජිත සැම්පලයට අයත් රෝස පැහැයෙන් ආලේප කළ උත්තුංග ගොඩනැගිලි සහ අලංකාර උද්‍යානයකින් යුතු ගම්භීර තැනකි. නමුත් සතියේ උසාවි දිනවල එතැන ඉන්දියානු දුම්රියපළක් බඳු මහා හිස් ගොඩක් සහිත මහා ජනකායක් ගැවසෙන තදබද තැනකි. මේ ආයතනය බොහෝ දෙනාගේ ජීවිත අයිතිය පවා තීන්දු තීරණය කරනා බලවත් තැනක් වන අතරම ලෝකයේ ඇති අතිශය කාර්යබහුල තැනකි.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මේ වනවිට 25 දෙනකුගෙන් යුතු විනිසුරු මඩුල්ලකින් සමන්විතය. එයින් එක් අයෙක් පමණක් මුස්ලිම්ය. දෙදෙනෙක් ක්‍රිස්තු භක්තිකය. කාන්තාවන් සිටින්නේ තිදෙනෙක් පමණකි. මේ අයගේ වත්කම් සියල්ල ශ්‍රේෂ්ඨාධිකරණයට බැඳීමේදී හෙළිකළ යුතුව තිබේ. මේ අයගේ බැංකු ශේෂය සාමාන්‍ය රජයේ නිලධරයකුගේ ගිණුමක් බඳු සොච්චම් මුදලක් සහිත බව වාර්තාගතය. කතාවට කියන්නේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් “හිඟන්නන්” කියාය. ඔවුන්ගේ වැටුප් සංශෝධනය ගැන කතාබහ ඇරැඹී ඇත්තේ බොහෝ කලක සිටය. අගවිනිසුරුගේ පවා වැටුප ලක්ෂයකට සීමාවී තිබේ. ඒ අතින් බලනවිට මෙය ගරුනම්බු සහිත නමුත් සාක්කුව හිස්ව තිබෙන රාජකාරියකි. දිනකට සාමාන්‍යයෙන් නඩු 700ක් පමණ විභාග වන තැනක් වන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ සමහර සාර්ථක නීතිඥවරු දිනකට ලක්ෂ 50 උපයන අවස්ථා පවතින බව වාර්තාගතය. දීපක් මිස්රා වැනි අය ඒ අන්දමට සලකා බලනවිට ‘දුප්පත්’ තනතුරක් ලෙස පෙනෙන අගවිනිසුරු පදවියට පත්ව ඇත්තේ එහි ඇති ශ්‍රේෂ්ඨත්වය රැකගැනීමේ පරමාදර්ශී චරිත බවට පත්වීමේ අභිලාෂය නිසාය. එසේ ශ්‍රේෂ්ඨත්වයට පත් විනිසුරුවරුන් ගණනාවක්ම වෙති. ක්‍රිෂ්ණ අයියර් සහ පී.එන්. භගවති  වැනි විනිසුරුවන් මිල මුදලට වඩා සාධාරණය සමානාත්මතාව යුක්තිය සහ මිනිස්කම ගරුකළ ශ්‍රේෂ්ඨ ආදර්ශයන්ය. දීපක් මිස්රාද ඒ සාම්පලයටම අයත් තැනැත්තෙකි. ඔහුගෙන් පසුව දැන් අගවිනිසුරු තනතුරට නම්කර ඇති රන්ජන් ගොගොයි ද එවැන්නෙකි. ඉහත කී සැම්පලයට අනුව සලකා බලනවිට දීපක් මිස්රා දුප්පතෙක් නම් රන්ජන් ගොගොයි අන්ත දුප්පතෙකි.

වසර 21ක් විනිසුරුවරයකු ලෙස කටයුතු කළත් දීපක් මිස්රා විශ්‍රාම යනවිටත් බැංකුවට ණයකාරයෙකි. දිල්ලියේ තට්ටු නිවාසයක් මිලදී ගැනීම සඳහා ඔහු ලක්ෂ 22 ½ක බැංකු ණයක් ගෙන ඇති අතර විශ්‍රාම යනවිටත් එය ගෙවමින් සිට ඇත. ඒ හැර මිස්රාට අයත්ව කුට්ටුක් නුවර ඔහුම ඉදිකළ නිවසක් තිබේ. ගුවාහතී නුවර ඔහු මිලදී ගත් ඉඩමක් මෑතකදී ලක්ෂ 65කට අලෙවි කර තිබුණි. ඔහු රන්මුදු දෙකක් සහ රන් මාලයක් පළඳින තැනැත්තෙකි. ඔහු මේ සියල්ලම තමන්ගේ වත්කම් ප්‍රකාශයට ඇතුළත් කර තිබුණි. මිස්රා හා සසඳා බලන කල රන්ජන් ගෝගී වසර 17ක සේවා කාලයක් හිමි අයෙකි. ඔහුගේ බිරියට මංගල තෑග්ගක් ලෙස ලැබුණු රන් භාණ්ඩයක් හැරුණුවිට ගෝගි සතුව රත්රන් බඩු නැත. ඔහුට ඔහුගේම කියා නිවසක්වත් නැත. ඔහුම කියන පරිදි ගෙවල් තැනීමට උත්සාහ නොගත් නිසා තමන් බැංකුවලට ණය වීද නැත. ඒ නිසා තමන් කිසිවකුට බයක් නැතිබව ගෝගි කියා තිබේ. මේ දෙදෙනාම තමන්ට හිමි නිලරථ පමණක් භාවිතා කරන අයයි. ඒ හැර පෞද්ගලික වාහන කිසිවක් ඔවුන් දෙදෙනාටම නැත.

අනෙක් බොහෝ ඉන්දියානු නීති ක්ෂේත්‍රයේ ලොකු ලොක්කන් මෙන් මේ දෙදෙනා ව්‍යාපාර කොටස් හිමිකරුවන්ද නොවෙති. ගෝගි සතුව ඇති සියලුම වත්කම බැංකු ගිණුමේ ඇති ලක්ෂ 30ක් වූ සාධාරණව උපයා ඉතිරි කළ මුදල පමණි. මේ දෙදෙනාම එකම සැම්පලයකට අයත් ගාන්ධි ප්‍රතිපත්ති රකින දෙදෙනෙකි. මේ නිසාම රන්ජන් ගෝගිගේ ප්‍රධානත්වය යටතේද ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය වඩාත් ශ්‍රේෂ්ඨ ආදර්ශමත් තීන්දුවලට එළැඹෙනු ඇතැයි අපට බලාපොරොත්තු විය හැකිය.

සුගත් පී කුලතුංගආරච්චි

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30