2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

යාල්දේවි දුම්රියේ දෝෂය හැදිල්ල

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 173

වරද හොයාගෙන හැදුවේ මමයි - තාක්ෂණික නිලධාරී

වොෂර් හරියට දාලා එන්ටර් කළේ මමයි - ජනිත් දීමන්ත

 

1965 වසරේ අප්‍රේල් 23 වැනිදා උතුර දකුණ අතර ශක්තිමත් පාලමක් වෙමින් යාල් දේවිය නම් දුම්රිය යාපනයට සිය කුළුදුල් ගමන් ඇරඹුවාය. එක් දුම්රියක් කොළඹ සිට යාපා පටුනටත් තවත් යාල් දේවි දුම්රියක් යාපා පටුනේ සිට කොළඹටත් ගමන් කෙරිණි. එහි ගමනාන්තය වසර 29කට පමණ සීමා වූයේ 1985 වසරේ ජනවාරි 19 වැනිදා ත්‍රස්තවාදයේ අඳුරැ සෙවනැලි අතර යාල් දේවියත් තව එක් ම්ලේච්ඡ ඉලක්කයක් බවට පත්වීමත් සමඟය.

නැවතත් 1989 වසරේදී සුපුරුදු ගමන් යාමට යාල් දේවිය පන්නරය ලැබූ නමුත් එම වසරේම ජුනි මස 12 වැනිදා එම ගමන ද කඳුලින් අවසන් වූයේ මිලේච්ඡ ත්‍රස්තවාදය හේතුවෙනි. ඉන් වසර 22කට පසු නැවතත් යාල් දේවිය උතුරේ තල් රුප්පාවේ සිට දකුණේ පොල් රුප්පාව දක්වා ගමන් ආරම්භ කරනු ලැබූයේ 2014 ඔක්තෝබර් මස 13 වැනිදාය. එදා පටන් අද දක්වාම යාල් දේවිය උතුර දකුණ යා කරමින් ඇදෙන්නේ සියලු දෙනාගේ බලාපොරොත්තු ද කැටිකර ගනිමිනි.

යාල් දේවිය ගැන පැරුණි මතකයන් අවදි කිරීමට සිදුවූයේ පසුගිය දිනක යාල් දේවිය මුහුණ පෑ අකරතැබ්බයක් සහ එම අකරතැබ්බය නිම වීමෙන් පසුව මේ වනවිට සමාජයේ බොහෝ දෙනා කතාවන සිදුවීමක් පාදක කොටගෙනය.

පසුගිය සැප්තැම්බර් මස 19 වැනිදා සවස යාපනයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ අංක 4021 දරන නගරාන්තර සීඝ්‍රගාමී යාල්දේවී දුම්රිය ගල්ගමුව දුම්රිය ස්ථානයට ආසන්නව මහගල්කඩවල කැලෑබද ප්‍රදේශයකදී කාර්මික දෝෂයකට ලක්විය. එය නිවැරදි කිරීමට දුම්රිය කාර්මික ශිල්පියාට නොහැකි වූ බවද එම දෝෂය නිවැරදි කර යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූයේ එම දුම්රියේ ගමන් කළ සිසුවකු නිසා බවට ද පසුගිය දා මාධ්‍යවල වාර්තා පළවිය.

මෙලෙසින් එම දුම්රිය දෝෂය නිවැරදි කර ඇති බවට පැවසුණේ මොරටුව ජර්මානු කාර්මික ආයතනයේ අධ්‍යාපනය ලැබූ සිසුවකු වන ජනිත් දීමන්ත වන අතර ඔහු කළ මෙම ක්‍රියාව ඇගයීමට විෂය භාර අමාත්‍යවරයා විසින් පසුගියදා කටයුතු කර තිබිණි.

එහෙත් පසුගිය දිනක Sri Lanka Railway Journal නැමති අන්තර්ජාල වෙබ් පිටුවක් මඟින් මෙම දුම්රියෙහි ඇති වූ කාර්මික දෝෂය නිවැරදි කළ සිසුවා සහ එහි කාර්මික නිලධාරියා අතර සිදු වූ දුරකථන සංවාදයක් මුදා හැර තිබූ අතර එහි සුලමුල පිළිබඳව දැන ගැනීමට දේශයේ අපි අදාළ පාර්ශවයන්ගෙන් විමසීමක් කළෙමු.

දුම්රිය වෘත්තිය සමිති ඒකාබද්ධ පෙරමුණේ කැඳවුම්කරු

සම්පත් රාජිත

පසුගිය මාසේ 19 අංක 4021 දුම්රිය අඩාල වුණා යාපනය සිට කොළඹ දක්වා ගමන් කිරීමේදී. එහිදී දුම්රිය අලුත්වැඩියා කරන්න අපේ කාර්මික ශිල්පියෙක් යොදවනු ලැබුවා. එහිදී අලුත්වැඩියා කටයුතු කරන්න පොඩි ප්‍රමාදයක් වෙලා තියෙනවා. එහිදී එම ප්‍රමාදය අතරවාරයේ මොරටුවේ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක් පැමිණිලා දුම්රිය ධාවනය කළා කියලා තමයි දැන් සමාජ ජාලා හරහා පැතිරී යන්නේ. නමුත් එහිදී වෙලා තියෙන්නේ පොඩි උදව් කිරීමක් විතරයි. ඕනතරම් මේ වගේ දේවල් වෙනවා. නමුත් මේකට ලොකු ප්‍රසිද්ධියක් ලබා දීලා තියෙනවා. ඇත්තටම උදව් කිරීමක් පමණයි එහිදී වෙලා තියෙන්නේ. ඕක තමයි දැනට තියෙන තත්ත්වය.

අදාළ දුම්රිය කාර්මික දෝෂයට ලක්වූ අවස්ථාවේදී දුම්රියේ සිටි කාර්මික නිලධාරීවරයා වූ ඩබ්ලිව්. එම්. වයි. නිමලසිරි මහතා ප්‍රකාශ කළේ ජනිත් දීමන්ත නම් තරුණයා දෝෂය නිවැරදි කරගැනීමට සපෝට් කළ බවයි.

කෝච්චිය ඉස්සර වෙලාම නැවතුණා. එහෙම නැවතුණාම ඩ්‍රයිවර් මට කතා කරලා කිව්වා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. පස්සේ එන්ජින් එක ළඟට ඇවිල්ලා බලලා වැරැද්ද මුලින්ම සොයාගත්තේ මම. එහිදී ටෙන් බාස් කියන පයිප්පය ගැලවිලා තිබුණේ. ඒ වෙලාවෙම මගේ සහයකයා එක්ක මම එන්ජින් එක ඇතුළට ගියා. ගිහින් මේ තියන විදිහට ඒ පයිප්පය උස්සලා දාගන්න තමයි බැලුවේ. නමුත් ඒක හරි ගියේ නෑ. මේකට ඕන කරන යතුරු මොනවත් අපි ගෙනිහින් තිබුණෙත් නැහැ. ඊට පස්සේ මම ඒ පයිප්පය ගලවලා බැලුවා. නමුත් එහි දෝෂයක් තිබුණේ නැහැ. ඊටපස්සේ මේ දේවල් හයිකර ගෙන යනකොට මගේ සහයකයා නැවත ගියා උපකරණ වගයක් රැගෙන ඒමට. ඒ යන අතරතුරේ මම හුඟක් උත්සාහ කළා බටය දාගන්න. ඒක මම හරියට සෙට් කරගෙන තිබුණේ. එහෙම සෙට් කරලා තිබෙන අතරතුර තමයි අර මල්ලි ආවේ. එයා ඇතුළට මට සහයට එද්දි එයාගේ තරාතිරම මම හෙව්වේ නෑ. එයා කිව්වා අයියා මම ඔයාට සපෝට් එකක් දෙන්නම් කියලා. ඒ වෙලාවේ මම කිව්වා එයාට එහෙනම් මල්ලි මට තරහා නැතුව මේ පයිප්පේ උස්සලා දෙන්න කියලා. ඒ වෙලාවේ එයා මට උදව් කළා. හැබැයි ඒ පයිපේ උස්සපු ගමන් ඒක වැටුණේ නෑ. ඊට පස්සේ තමයි ඒක තද කළේ. ඊටපස්සේ මේ ඔක්කොම කරගත්තට පස්සේ ඒ මල්ලිත් එළියට ගියා. ඊට පස්සේ මම ඩ්‍රයිවර්ට කිව්වා ස්ටාර්ට් කරන්න කියලා. එතකොටත් මම එන්ජින් එක අස්සේ. ඊට පස්සේ කිසිම අවුලක් තිබුණේ නැහැ. එයාට තිබුණේ ඔය පයිප්පේ  උස්සන එක විතරයි. වෙන කිසිදෙයක් කළේ නැහැ. ඇත්තටම ඔය වැඩේ සම්පූර්ණයෙන් කළේ මම විතරයි. මට ඕන මගේ ජොබ් එක හරියට කරන්න. ඒ වගේම මගේ හිත දන්නවා මම ඒක කළා කියලා. නමුත් එයා මාධ්‍යට කියලා තියෙනවා ඒ රින්ග්ස් එහාට මෙහාට වුණා කියලා. නමුත් වෙච්ච දේ එතන හිටිය අය දන්නවා.

මේ වනවිට මෙම සිදුවීම පිළිබඳව මුළු රටම කතාබහ කිරීමට පටන්ගෙන ඇති අතර එහිදී ප්‍රශංසා මෙන්ම දෝෂාරෝපණයන් ගැන ද සමාජය පුරාවටම විවිධ මත පළවෙමින් තිබේ. අදාළ සිදුවීමට සම්බන්ධ තරැණයා වූ ජනිත් දීමන්ත විතානාච්චිගෙන් ද අපි අදහස් විමසුවෙමු.

මේ සිද්ධිය වුණේ මහගල්කඩවල ප්‍රදේශයේදී. මෙම අදාළ සිදුවීම වෙලා විනාඩි 45ක් විතර යනකම් මම නිදාගෙන හිටියේ. අම්මා කිව්වට පස්සේ තමයි ඉස්සරහට ගියේ. මම ගියාට පස්සෙත් මේ අය දෙවතාවක්ම උත්සාහ කළා. ඊට පස්සේ තමයි මම ඔය ටෙක්නීෂියන්ගෙන් ඇහුවේ මම ඇතුළට එන්නද කියලා. ඊට පස්සේ එයා කිව්වා ඇතුළට ඇවිත් බලන්න කියලා. බටේ ගැලවුණා කියලා කවදාවත් එහි තියන වොෂර් වෙනස් වෙන්නේ නැහැ. එතකොට මට හොඳටම පෙනුණා උඩට එන්න ඕන වොෂර් එක යටට දාලා තියෙන්නේ කියලා. ඒ නිසා ඒක ප්‍රෙෂර් වුණාම ගැලවෙනවා කියලා. ඊට පස්සේ මම වොෂර් ටික හරියට දැම්මා. ඊට පස්සේ ඉස්සරහා යුනියන් එකත් තද කළා. එහෙම එන්ටර් කළේ මම. හැබැයි ඒවා තද කළේ ඔය කියන කාර්මික ශිල්පියා එක්ක. ඊට පස්සේ අපි එළියට ඇවිල්ලා ස්ටාර්ට් කළා. එයාගේ ටෙක්නිකල් දැනුම ගැන මට කියන්න ඕන නැහැ. එතන හිටපු මිනිස්සු ඔක්කොම දන්නවා සහ දෙවැනි පාරට ට්‍රයි කරන අවස්ථාවේදී නිව් මැටික් ලයින් එක ළඟ ඉඳන්ම ඔහු ඒක ස්ටාර්ට් කරන්න කිව්වා. කවදාවත් ටෙක්නිකල් නොලේජ් එකක් තියෙන ටෙක්නීෂියන් කෙනෙක් වුණත් ප්‍රේෂර් වන ලයින් එන බටයක් ළඟ ඉඳලා ඔන් කරන්න කියන්නේ නැහැ. එයා එයාගේ ටෙක්නිකල් නොලේජ් එක පාවිච්චි කරලා ටෙක්නීෂියන් කෙනෙක් කරන්න පුළුවන් දේවලා කළා. එතැනදී මම කියන්නේ නැහැ මම සාර්ථකයි එයා අසාර්ථකයි කියලා. වෙලාවකට ටෙක්නීෂියන් කෙනෙක් කරන දේවල් හරියන්න පුළුවන් වරදින්න පුළුවන්. එයා පුළුවන් දේ කළා.

ඒ වගේම තමයි එයා මට දෝෂාරෝපණය කරලත් තිබුණා. නමුත් මම මේ සිදුවීම ගැන කාටවත් කිව්වේ නැහැ. ඒකට හේතුව වුණේ මේ ට්‍රේන් එකේ එන්ජින් ඩ්‍රයිවර් මට කතා කරලා කිව්වා එයාගේ ජොබ් එක ඉන්ටඩික් වෙන්න යන්නේ, ඒ නිසා මෙයාට විරැද්ධව පරීක්ෂණයක් පවත්වයි, මල්ලි කවුරුහරි ඇහුවොත් මෙහෙම කියන්න කියලා එයා මට කිව්වා. එහෙම කිව්වට පස්සේ තමයි දැනට ඔය සමාජ ජාලා වෙබ් අඩවි හරහා දුරකථන සංවාදයේ තොරතුරැ යන්නේ. ඇත්තටම මට ඕන වුණේ ජනතාව පීඩාවට පත්වෙන එක වළක්වන්න. මේ විදිහට උදව් කළාට පස්සේ ඇතැම් මිනිස්සු කරන දේවල් ගැන ඉතාමත් කනගාටුයි.

වාර්තා වන ආකාරයට මෙම තරුණයා අදාළ දුම්රිය අලුත්වැඩියා කිරීමට පැමිණ ඇත්තේ එහි සිටි මගීන් වෙනත් දුම්රියකට මාරු කිරීම සඳහා නිවේදනය නිකුත් කළාට පසුවය. එහෙත් ඇතැම් සමාජ ජාලා මොහු මේ වනවිටත් වැරදිකරුවකු ලෙස හංවඩු ගසා අවසන්ය. එසේම සිද්ධිය මාධ්‍යයට ලබා දී තිබුණේ ද එම දුම්රියේ සිටි මගීන් මිස මේ තරැණයා නොවන බවද සඳහන්ය.

 හසිත් අංජන 

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30