2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

ලක්ෂ ගණන් වැය කර, ඇඳට වැටුණු දිරිය දියණිය රකින මාපියෝ

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 272



පියා දියණියට සත්කාර කරමින්

ජීවිතේ හරිම පුදුමාකාරය. අවුරුදු තිස්හතක් වූ හර්ෂනී කුමාරි නවරත්න වසර ගණනාවක් තිස්සේම ගෙවන්නේ ලෙඩ ඇඳේය. කුඩා කල දුවපැන ඇවිද අපූරුවට සෙල්ලම් කළ, අධ්‍යාපනයේ ඉහළම ලකුණු ලබපු සුන්දර රූපයකට හිමිකම් කියපු තම එකම දරුවා අද ගෙවන ජීවිතය දෙස බලා හර්ෂනීගේ මවත් පියාත් ගෙවන්නේ අසරණ කාල පරිච්ඡේදයකි.

1981 වසරේදී ජයන්ති පෙරේරාගේත් ඩබ්ලිව්. නවරත්නගේත් පුංචි කැදැල්ලට සිඟිත්තියක් එක් වූවාය. ඇය නමින් හර්ෂනී කුමාරි නවරත්නයි. පොලිස් නිලධාරියකු වූ නවරත්නගේ උපන් ගම රත්නපුරයයි. විවිධ පොලිස් කාර්යාලවල සේවය කළ නවරත්නගේ අවසන් පොලිස් කාර්යාලය වූයේ හෝමාගම පොලිසියයි. නමුත් අඩු වයසින් නවරත්නට විශ්‍රාම ගැනීමට සිදුවිය. එයට හේතුව වූයේ රාජකාරි අවස්ථාවක උස් මහලකින් පහළට වැටී කොඳුඇට පෙළට සිදුවූ හානිය හේතුවෙනි. ඔහුට ඒ සඳහා සැත්කමක් කිරීමට ද සිදුවිය. 

අවුරුදු දෙකහමාරක් නවරත්න ලෙඩ ඇඳට පමණක් සීමා විය. එවිට හර්ෂනී ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙමින් සිටියාය. හර්ෂනී මූලික අධ්‍යාපනය ලැබු‍වේ හෝමාගම ජනාධිපති විද්‍යාලයේය. ශිෂ්‍යත්වයට හර්ෂනීව සූදානම් කරන ලද්දේ ද ලෙඩ ඇඳේ සිටි නවරත්නය. ශිෂ්‍යත්ව විභාගයෙන් හර්ෂනී ඉතා හොඳින් ඉහළින්ම සමත්ව නුගේගොඩ අනුලා විද්‍යාලයට ඇතුළත් වූවාය. හර්ෂනී අනුලාවේ දක්ෂතම ශිෂ්‍යාවක් වූවාය. සාමාන්‍ය පෙළ විභාගයේදී ඇයට “ඒ” සාමාර්ථ දහයක් ලැබිණි.

පාසලේදී ඇය නායකත්ව ගුණාංග පෙන්නුම් කළාය. ඇය අඩි පහමාරක් පමණ උස ශිෂ්‍යාවකි. අනුලා විද්‍යාලයේ වෙනත් ශිෂ්‍යාවක් වරක් ක්ලාන්තය දමා බිම ඇඳ වැටුණාය. හර්ෂනී වහා මැදිහත් වී තනිවම එම ශිෂ්‍යාව දෑතට ගෙන තට්ටු තුනක් ඉහළට රැගෙන ගියාය. ඇගේ ආච්චිඅම්මා මියගිය අවස්ථාවේ හර්ෂනී එකදිගට රාත්‍රී තුනක් නිදිමරා රැය පහන් කර තිබිණි. ඇය ඉතා කඩිසර තරුණියක් වූවාය. ඕනෑම දෙයක් දරාගැනීමේ හැකියාවක් කුඩා කල සිටම හර්ෂනී තුළින් දිස්විය.

සතුන්ට හර්ෂනී අසීමිතව ආදරය කළාය. පාසල් යන හැම දිනකම පාසල් නිල ඇඳුමේ සාක්කුවක මාරි බිස්කට් පැකට්ටුවක් අමතක නොකර හර්ෂනී පාසලට ගෙන ගියාය. අතරමගදී මුණගැහෙන බල්ලන්, පූසන්ට ඒ මාරි බිස්කට් දීම හර්ෂනීගේ සිරිත විය. දඩාවතේ යන සැර බල්ලන් පවා හර්ෂනී ඉතා අපූරුවට යාළු කරගත්තාය. පහුවදා ඒ සත්තු හර්ෂනී එනතුරු බලාසිටියහ. වත්තට එන සතුන්ට ද ඇය කරුණාව දැක්වූවාය. කටුස්සන්ට ඉරටුවකට බත් ඇට අමුණා කෑමට දීම හර්ෂනීගේ එක් ආශාවක් විය. ඉරටුවේ අඟල අඟල කොට කරමින් කටුස්සන් තම දෑතට ගන්නට තරම් හැකියාවක් පසුව ඇයට තිබිණි. වෙනත් තරුණියන් විලාසිතාවලට ඇළුම් කරද්දී ඇයගේ කැමැත්ත කොහේදෝ වෙනත් අපූරු දිශාවකට රැගෙන ගියාය.

මධ්‍යම පන්තියේ අන්තිම අඩියේ ජීවත් වූ හර්ෂනීට හීනයක් තිබුණි. ඒ ජාන තාක්ෂණ විද්‍යාඥවරියක වීමටයි. දේපල උගස් කරමින් හිතවතුන් කිහිපදෙනකුගේ උදව්වෙන් නවරත්නත්, ජයන්තිත් මුදල් සොයාගනිමන් හර්ෂනීව ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයට යවන ලද්දේ බොහෝ බලාපොරොත්තු කන්දරාවක් හිත් කොනේ ගුලි කරමිනි. ඕස්ට්‍රේලියාවේ දී හර්ෂනී ජාන වෛද්‍ය විද්‍යා උපාධිය හැදෑරුවාය.

ඕස්ට්‍රේලියාවේ ඉන්න කාලය පුරාම හර්ෂනී සෑම දිනකම ලංකා වේලාවෙන් සවස හතරට පමණ අම්මාටත් තාත්තාටත් දුරකතනයෙන් කතාකර දුක සැප විමසුවාය. ඇතැම් දිනවලදී ඇය අම්මාට “අම්මා අදත් ඇප්ලිකේෂන් එකක් ආවා.” කීවාය. ඒ ඇප්ලිකේෂන් එක ගෙන එන ලද්දේ ඕස්ට්‍රේලියාවේ ඉන්න තරුණයන් විසිනි. තමන්ගේ ආදරය පතා එන පිරිමි ළමුන් ගෙනඑන සෑම ආදර යෝජනාවක් පිළිබඳව ඇය අම්මාට දැනුම් දුන්නාය. වරක් නවරත්න “දුව ඇපල් මලක ෆොටෝ එකක් එවන්න.” යැයි කියා සිටියදී ඊළඟ ලියුමත් සමඟ ඇපල් මලක් සමඟ ගත් ඡායාරූපයක් ඇය පියාට තැපෑලෙන් එව්වාය. ඒ ඡායාරූපය පිටුපස ඇය “ඔබ ඇපල් මලක් වාගේ” යැයි තම අත්අකුරෙන් ලියා තිබිණි.

අවසන් වසරේ අවසන් මාස කිහිපයේදී ඇයගෙන් පළමු රෝග ලක්ෂණය මතුවිය. ඒ ඇගේ දකුණු අත වාරු නැතුව යාමය. ඒ 2004 වසරේදීය. “අම්මා... මගේ අතින් පෑන වැටුණා. ඒක මට අහුලගන්න බැරි වුණා. ඇයි දන්නේ නැහැ. කොම්පියුටරය වැඩ කරද්දීත් මවුස් එක අතින් ලිස්සනවා.” යැයි හර්ෂනී දිනක් මවට පැවසුවාය. තවත් දිනෙක ඇය තම යෙහෙළින් දෙදෙනකු සමඟ පාරේ ගමන් කරද්දී ඉන්දීය පිරිමි ළමයෙකු ළඟින් යද්දී ඇය ඔහුගේ ඇඟට මඳක් විසි වී තිබිණි. “අම්මා මට හිතාමතා ඇඟේ වැදුණේ නැහැ. ඒ පිරිමි ළමයා “මෝඩ කෙල්ල” කියලා මට බැන්නා.” යැයි හර්ෂනී එදින හවසට මවට පැවසුවාය.

මේ නිසාම හර්ෂනී එරට මේ සඳහා ප්‍රතිකාර ගැනීමට උත්සාහ දැරුවද ප්‍රතිකාර සඳහා යන අධික මිල හේතුවෙන් ඇය ප්‍රතිකාර ගැනීම කල් දැමුවාය.

රාත්‍රී අඳුර වැටෙද්දී හර්ෂනීට කාන්සියක් දැනුණි. ඒ හැමවිටම ඇය තම නිවසට කතා කළාය. හර්ෂනී අධ්‍යාපනය ලබන අතරතුරේදී එරට අලුතින් තනනා ගොඩනැගිලිවල පිරිසිදු කරන්නියක ලෙස අමතර රැකියාවක් ද කළාය. “අම්මා දැන් මගේ Exam ඉවරයි. මම ඉක්මනට එනවා. ආච්චි අම්මාට කියන්න මම වෙනුවෙන් බෝධි පූජාවක් තියන්න කියලා.” යැයි හර්ෂනී දිවයිනට ඒමට පෙර අම්මාට කීවාය.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් හර්ෂනී දිවයිනට ළඟා විය. ඒ 2005 වර්ෂයේදීය. ගුවන් තොටුපළෙන් ඇය අම්මා වෙත දිව ආවේ මඳක් කලබලයෙනි. ඇය අත ඇගේ පාස්පෝට් එක නොතිබුණි. කෙසේ හෝ අවසානයේදී ඇයගේ පාස්පෝට් එක සොයාගත හැකිවිය. මඳක් අමතක වීමේ ලක්ෂණ ද ඇය කෙරෙන් පහළ වෙමින් තිබිණි.

එක දිනක් ඇය හොඳින් ගෙදර සිටියාය. දෙවැනි දින රාත්‍රියේදී ඇයට අපස්මාරය වැනි රෝග ලක්ෂණ මතුවිය. ඇය මුණින් අතට පෙරළී දඟලන්නට පටන් ගත්තාය. වහාම ඇයව රෝහල් ගත කරනු ලැබීය. මාසයකදී ඇයගේ රෝගය සොයා ගැනීමට හැකිවිය. සරම්ප විෂබීජයක් මොළයට යාම හේතුවෙන් මොළයේ සෛලවලට දැඩිලෙස සිදුව තිබූ හානිය එම රෝගය විය.


හර්ෂනීට අවශ්‍ය පිටි වර්ග

අද ඇය දවස ගෙවන්නේ ඇඳ මතයි. වසර දහතුනක් තිස්සේ ඇය කිසිවක් කතා නොකරයි. ආහාරය වන්නේ බටයක් ආධාරයෙන් පොවන දියර වර්ග පමණි. අනුලාවේ ඉගෙන ගත් ඉතා දක්ෂ දියණියකගේ බලාපොරොත්තු අද කිසිවක් නැත. ගොඩගැසුණු ඇගේ අධ්‍යාපන සහතික ඇඳ මත තනිය මකයි. ඇය වෙනුවෙන් වෛද්‍යවරුන් පිටි කිරි වර්ග දෙකක් නිර්දේශ කර ඇත. එම එක පිටි වර්ගයක් දිනකට ටින් එකක් අවශ්‍යය. එය ජර්මනියේ නිෂ්පාදිත ISOGAL නම් පිටි වර්ගයයි. එම පැකට්ටුවක මිල රුපියල් දෙදහස් දෙසීය හැටකි. ජර්මනියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හර්ෂනී වෙනුවෙන් මෙවැනි පිටි පැකට් එවන්නට හැකිනම් එය මේ දිරිය දියණියට මහත් උපකාරයක් වනු ඇත.

“අපි කාගෙන්වත් සල්ලි බලාපොරොත්තු වෙන්නේ නෑ. පුළුවන් නම් මගේ දරුවා වෙනුවෙන් ඒ අවශ්‍ය කරන පිටි, සනීපාරක්ෂක තුවා වැනි දේ පමණක් අපිට ලබාදෙන්න. ඒක ලොකු පිනක්. ඒ වගේම PROGAIN පිටි එකත් දුවට දෙනවා. ඒ පිටි එකත් දවස් පහකට පාවිච්චි කරන්න පුළුවන්. අවුරුදු දහතුනක් මායි මගේ මහත්තයයි දුව වෙනුවෙන් බොහෝ දේවල් කළා. අපේ එකම දරුවට මෙහෙම වුණේ කොහොමද?” යැයි හර්ෂනීගේ මව පැවසීය.

“මට දැන් වයස අවුරුදු හැත්තෑවයි. මගේ නෝනට දැන් වයස අවුරුදු හැට තුනයි. අපි දෙන්නගේ මානසික තත්ත්වයයි ශාරීරික තත්ත්වයයි නිසා අපි දෙන්නා ඉන්නේ ලොකු පීඩනයක. මම ඉන්නකන් මගේ නෝනට බයක් නැහැ. මම නැති වුණ දාට මගේ නෝනයි, දුවයි තනිවෙනවා. නෝනාත් නැති වුණදාට අපේ දරුවා මේ ලොකේ තනි වෙනවා. අපිට දේපල අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මගේ දරුවා බලාගන්න පුළුවන් යම් කෙනෙක් හෝ ආයතනයක් තිබෙනවා නම් මේ අපේ දේපල වුණත් දෙන්න අපි ලෑස්තියි. හැබැයි ඉතා විශ්වාසනීයව ඒ දේ කරන්න ඕනේ. අපි ඉන්නකන් අපි නොකා නොබී හරි අපේ දුවව බලාගන්නවා.” යැයි හර්ෂනී පියා දේශයට පැවසීය.

නවරත්න උපන් ගම රත්නපුරය. මැණික්වලට ප්‍රසිද්ධ ප්‍රදේශයක ජීවත් වූ නවරත්නට නිල් මැණිකක් ලැබුණේය. ඒ ආදරණීය දියණියයි. ජීවිතේ බොහෝ බලාපොරොත්තු එක්ක සතුටින් ජීවත් වුණු හර්ෂනීගේ ලෝකය තියෙන බලාපොරොත්තු මොනවාද? අම්මාව තාත්තාව සතුටින් තියන්නට හීන මැවූ ඒ අනුලා කුමාරිගේ අද ඇඳටම සීමා වූයේ මොන පාපයකින්ද...?

♦ දිශානි ජයමාලි කරුණාරත්න
ඡායාරූප - සුමුදු හේවාපතිරණ 

ඔබ ආධාර යොමු කළ යුත්තේ
ඩබ්ලිව්.ඒ.එච්.කේ නවරත්න
ලිපිනය - 25, ප්‍රගති මාවත,
හෝමාගම (පොලිසිය ඉදිරිපිට)
ගිණුම් අංකය - 1355338
ලංකා බැංකු ශාඛාව
හෝමාගම

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30