2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

පඳුරෙන් වී කිලෝවක් නෙලන ස්වයංජාත වී

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1838

 

මඩ සහිත නොවන සාමාන්‍ය පොළවක වී පඳුරක් අඩි දහයක් එකොළහක් පමණ උසට වැඩෙනවා කිවහොත් එය නම් ඔබව පුදුම  කරවනු ඇත. එසේම එක වී පඳුරකින් වී කිලෝවක් පමණ ලබාගත හැකි බව කිවහොත් ඔබ එයද කිසිවිටෙකත් විශ්වාස නොකරනු ඇත.

එක් ගොයම් ගසකින් වී කිලෝ එකකට වැඩියෙන් ලබාගත හැකි ගොඩ වගා කළ හැකි නව ඇල් වී විශේෂයක් මහරගම ගොවිමහතකු විසින් වගාකර ඇත. ගොඩ ගොවිතැන පිළිබඳව උනන්දුවක් දක්වන හා ගෙවතු වගාව සඳහා කැප වී සිටින වැඩිහිටියකු වන මහරගම, කටුවාවල පදිංචි උපාලි දයානන්ද මහතා මෙම ගොයම් වගාවේ හිමිකරුවාය.

මහරගම, කටුවාවල පාරේ අපේක්ෂා රෝහල පසුකරමින් මඳ දුරක් ගොස් ඉන්පසු අඹගහපුර හන්දියද පසුකරමින් ගිය අපිට පහසුවෙන්ම දයානන්ද මහතාගේ නිවෙසට ළඟාවීමට හැකියාව ලැබිණි. ගෙවත්තට පිවිසුන විගසම දැකගත හැකිවූයේ සැලසුම් සහගතව හා මනා පිළිවෙළට වගා කටයුතු සිදුකර ඇති ආකාරයයි. ගෙවත්තේ සෑම තැනකම විවිධ ඖෂධ, පළතුරු, පලාවර්ග, අලවර්ග, බඩඉරිඟු, වරා, රණවරා ඇතුළු ශාක විශාල ප්‍රමාණයක් දක්නට ලැබුණ අතර මේ අතරින්ද අප සොයාගෙන ගිය වී ශාකයද තේජවන්තව බැළෙන්නට විය.

මගේ ලොකු ආසාවක් තියෙනවා පුරාණයේ අපේ තිබුණ කෘෂිකාර්මික ක්‍රමවේද යළි ව්‍යාප්ත කරන්නට. ඉතින් ඔය අතරේ තමයි මගේ හිතවත් මහාචාර්ය විමල් විජේරත්න මහත්තයා මට මේ වී බීජ ගෙනත් දුන්නේ. ඔහුට මේවා හමුවෙලා තිබුණේ සීගිරියේ පුරාවිද්‍යා පර්යේෂණ කටයුතුවල නියැලී සිටින අවස්ථාවේ. මම ඒ වී බීජ කීපය වගා කළා. ඒවා තමයි මේ සරුසාර විදිහට වැවිලා තියෙන්නේ.

සැබැවින්ම නියං කාලයකට වුවද ඔරොත්තු දිය හැකි යම් වගාවක් වේ නම් එවිට පසුගිය කාලයේ ඇතැම් වගකිවයුත්තන් පැවසූ ආකාරයට නියං සමයේ කොස්කොළ, ක්‍රෝටන් කොළ කෑමටද අවැසි නොවනු ඇත. දයානන්ද මහතාගේ ගෙවත්තේ වවා ඇති වී වර්ගයේ විශේෂත්වය වන්නේද ඒවා නියං සමයට ඔරොත්තු දෙන ශාකයක් වීමය.
මෙම සහල් වර්ගය අපි හඳුනාගෙන තියෙන්නේ ස්වයංජාත රත්හැල් කියලා. අප මහා බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව සමයේ පෙරුම් පුරද්දී ගම් නියම්ගම් පසුකරමින් වැඩම කරන අවස්ථාවල සිටුවරු, සිටු දියණිවරු ස්වයංජාත රත්හැල් සහලෙන් තමයි උන්වහන්සේට දානෙ පූජා කරලා තියෙන්නේ. මේ සහලට කුඹුරු ඕනෙ නෑ. මඩ ඕනෙ නෑ. ගොඩබිම කොහෙ හරි කමක් නෑ. මිරිස්, වම්බටු ආදිය වවනවා වගේ වවන්න පුළුවන්. ඒ වගේම මේ සඳහා පොළොව සරුසාරව තියෙන්න ඕනෙ. සැප්තැම්බර් මාසෙ මුල් සතියේ තමයි බීජ වගා කළේ. මට ලැබුණේ බීජ නවයක් වගේ. ඒ ඔක්කොම වැඩුණා.

මේ වී ශාකය බටගස්, උක් ගස් වගේ අඩි 12ක් විතර ඉහළට යනවා. ඒකෙ මුදුනෙන් උක්ගසක වගේ කරල් පීදෙනවා. මාස තුනකින් අස්වැන්න නෙලාගන්න පුළුවන්. වී ශාකයේ පුරුක් වැනි ප්‍රදේශවලිනුත් කරල් අටක් දහයක් පමණ හටගන්නවා. මේ අනුව සම්පූර්ණ ගහකින් වී කිලෝ එකක් විතර ලබාගන්න පුළුවන්.

ස්වයංජාත රත්හැල් වී වල පොත්ත නැති නිසා කොටන්න ඕනෙ නෑ. පොහොර දාන්න ඕනෙත් නෑ. ඇත්තටම මේ වගාවට මට සතයක්වත් වියදම් වෙලා නෑ. මේ ගස් පරිස්සම් කරගන්න ඕනෙ. නැත්නම් ගසේ බරට සුළඟට නැමෙනවා. මම ඒ ගස් තදට නැතිව ලණුවලින් නූල්වලින් බැඳලා සමූහයම එකට තියනවා. එහෙම වුණාම ඒවා වැටෙන්නේ නෑ. 
දැන් මගේ වයස අවුරුදු 80යි. මට තවත් හොඳට වැඩකරන්න පුළුවන්. කෘෂි වගාවන් ගැන වුණත් මම කවදාවත් ඉගෙන ගෙන නැහැ. ස්වයංජාත රත්හැල් වී වගාව තවදුරටත් ව්‍යාප්ත කරන්නට මම බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය ඕනෑම කෙනෙකුට බීජ ලබාදෙන්නටත්, උපදෙස් ලබාදෙන්නටත් මම කටයුතු කරනවා. ඇත්තටම මේ වගාවන් නිසා මට විශාල මානසික තෘප්තියක් දැනෙනවා. අවසන ඔහු කීය.

♦ හේමමාලා කුමාරි රාජකරුණා
ෙස්යාරුව I සුමුදු ෙහ්වාපතිරණ