2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

පුත්තලම අනුරාධපුර දහස් ගාණකට බොන්නවත් වතුර නෑ

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 247

වැව හා වනය යන දෙකම රජරටට අහිමි වී යමින් පවතී. නියඟය දැඩි ලෙස පැතිරෙන්නට පටන්ගෙන ඇත්තේ ඒ නිසාය. වැවයි වනයයි විනාශ වී නියඟය උග්‍රවෙද්දී ජනතාවට සහන සැපයීමට රජයට සිදුවේ. එයින් රටේ ආර්ථිකයට සිදුවන බලපෑම සමස්ත රටේ ජනතාවට භුක්ති විඳීමට සිදුවේ.

වාරි තාක්ෂණයෙන් පරිපූර්ණ මහා ජලාශ රැසකින් සමන්විත රජරට නියඟයට ගොදුරු වීමෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් දහස් ගණනක් පීඩාවට පත්වී සිටිති. නියං තත්ත්වය දරුණු ලෙස අනුරාධපුරයට බලපා ඇත. වසර දෙකක් පුරා පැවති අධික නියඟය හමාර කරමින් මාස හතරකට පෙර ඇදහැළුණු වැසි සමඟ පුත්තලම දිස්ත්‍රික්කයේ විශාලතම වැව වූ තබ්බෝව ජලාශය ඇතුළු මධ්‍යම, කුඩා වැව් වාන් දමමින් නියං තත්ත්වය පහව ගොස් කන්න හතරක් ගොවිතැන අහිමි වූ ගොවින්ට කෘෂිකර්මාන්තයේ නිරත වීමටද අවස්ථාව උදාවිය. එහෙත් මාස තුනකට පෙර ජලයෙන් පිරි ඉතිරී ගිය වැව්වල අද දක්නට ඇත්තේ මහපොළව වියළී ඉරි තැලී ගොස් ඇති දර්ශනයකි.

රජරට අනුරාධපුර, පුත්තලම වියළී කලාපයන්ය. මෙම ප්‍රදේශවල නිතැතින්ම පවතින්නේ වියළි කාලගුණයකි. වසරේ වැඩි කාලයක් පුරාවට වැටෙන දැඩි හිරැ රශ්මියෙන් මහපොළව දැවී කරකුට්ටම් වී යයි. වියළි කාලගුණය පහව යමින් කෙටි කාලයක් තුළ පවතින වර්ෂාව කරකුට්ටම් වූ පොළව දියබත් වී වගාවට සුදුසු සරුසාර පොළවක් බවට පත්කරයි.

එම තත්ත්වය ප්‍රායෝගිකව අවබෝධ කරගත් හෙළ රජදරුවන් සුදුසු තැන්වල මහා වැව් බැඳ ගම්මාන ආශ්‍රිතව කුඩා වැව් බැඳ අනුරාධපුර දිසාවේ පමණක් වැව් 3472 ක් ඉදිකර ඇත. ගමක් පාසා ඉදිකර තිබූ වැව්වලින් නිතර සිදුවූ වාෂ්පීකරණය නිසා ජලවාෂ්ප එකතුවී වැස්ස ලැබීම තුළින්  අනුරාධපුර පුරාවට නියං තත්ත්වයක් ඇති වීමට තිබූ ඉඩකඩ ඇහිරී තිබුණි.

වැව් බැඳි රටේ ආත්මය වූ අනුරපුරය නියඟයෙන් මෙල්ල කිරීමේ සාධකය වැව කුඹුර බව පෙර රජවරු දැන සිටි නිසා වැව් බැඳ කුඹුරු ගොවිබිම් නිර්මාණය කර ගොවිබිම් වලට ජලය ගලා ඒමට සලස්වා වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි නිර්මාණය කළ ද වර්තමානයේ රජවරු සිදුකරමින් තිබෙන්නේ කුඹුරු ගොඩකර පැරණි නිර්මාණ වෙනස්කර වැවයි, කෑම්පෙකයි, ග්‍රවුන්ඩ් එකයි නිර්මාණය කිරීමයි.

අනුරාධපුරයට පවතින නියං තත්ත්වය පිළිබඳ ගවේෂණයක නිරතවූ අපට නියං තත්ත්වයක් ඇතිවීමට හේතු කාරණා පිළිබඳ උගතුන්ගෙන් මෙන්ම බුද්ධිමතුන්ගෙන් බොහෝ තොරතුරු ලැබුණි. විශේෂිත වූ තොරතුරු සටහන් කිරීම වැදගත් යැයි සිතුණේ අවධානය යොමුවීම තුළින් අතීත රජවරුන්ගේ සංකල්පය ක්‍රියාවට නැංවීමට වර්තමාන දේශපාලඥයින් මතක් කර දීමේ අරමුණිනි.

පවතින නියං තත්ත්වය පිළිබඳ විමසීමේදී කරුණ පැහැදිලි කළ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වාරි කර්මාන්ත සියල්ලම වගේ සිඳීලා ගිහින්. කෘෂිකර්මාන්ත කටයුතුවල, දැනට සියලු අංශවලින් වගා කටයුතු කළ වගාවන් අක්කර එක්ලක්ෂ විසිතුන්දාහක් පමණ නියං තත්ත්වය නිසා අහිමි වෙලා තිබෙනවා. නියඟය නිසා වගා කටයුතු කළේ රාජාංගනය, නොච්චියාගම කොටසයි මහවැලි එච් කලාපය කොටසයි බීමට ජලය බෙදනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකොළහක පවුල් (පහළොස් දාහක්) 15,000 ක පුද්ගලයන් (පනස් දාහක්) 50,000 විතර දැනට ජල මූලාශ්‍ර සොයාගන්න බැරි තත්ත්වයක් අනුරාධපුරයේ තිබෙනවා. නගරයට සහ නගර ආසන්නයට ජලය සපයන ජලසම්පාදන මණ්ඩලයට ජලය සපයන ජලාශවල ජලය සපයන්නට බැරි තත්ත්වයට ජල මට්ටම පහළ බැහැල තිබෙනවා. මහවැලි ජල පාලන කමිටුවෙන් වතුර දෙන නිසා යම් තරමක සහනක් තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් අග වෙනකොට වර්ෂාව ලැබෙයි කියලා.

පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂක ඒ.එම්.ආර්.එම්.කේ අලහකොන් මහතා:

ග්‍රාම නිලධාරී වසම් 48ක පවුල් 14,671ක සාමාජිකයින් 46,722 පීඩාවට පත්වෙලා සිටිනවා. දැනට ග්‍රාම නිලධාරී වසම් හයක පවුල් 658ක 1898 ජලය බෙදාදීම සිදුවෙනවා. නවගත්තේගම, පල්ලම, කරැවලගස්වැව, මහකුඹුක්කඩවල නියඟයට ලක්වෙලා තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්. එච් චිත්‍රානන්ද මහතා:

කොට්ඨාස නවයක පවුල් 45948 සඳහා නියං ආධාර ලබා දෙන්න ජාතික ආපදා සහන සේවා එකට දැනුම් දීලා ඉල්ලීම් කරලා තිබෙනවා.

මේ ලිපිය කියවා තේරුම් ගෙන නියං කාලයේදී සහන සැපයීමට වඩා නියං තත්ත්වයට මුහුණදීමට පෙර රජ දරුවන් කළ ඒ ක්‍රියාන්විතය වර්තමාන සහ අනාගතයේ පත්වන  රජයන් ක්‍රියාත්මක කරන්නේ නම් කුඹුර, වැව, වනය රැකීමට කටයුතු කරන්නේ නම් අනාගතයේදී නියං රකුසාගෙන් රජරට මුදවා ගත හැකිවනු ඇත.

►රෝවන් පෙරේරා - පුත්තලම