2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

මහ පාරේ වෙන්දේසි වන යතුරුපැදි දඩ

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 151

පොලිසිය මහා මර්ගවල වාහන පරීක්ෂාව සීරුවට කරගෙන යයි. මාර්ග නීති කැඩීම, අධික වේගය, ආදායම් බලපත්‍ර ආදිය මේ මෙහෙයුම්වලදී පරීක්ෂාවට ලක්කෙරේ. මෙලෙස වැඩි වශයෙන්ම සෝදිසියට ලක්වන්නේ ත්‍රීරෝද රථ හා යතුරුපැදිය.

එක අතකින් ත්‍රී-රෝද රථ මෙන්ම යතුරුපැදිය සැලකිය හැක්කේ දුප්පතාගේ වාහන හැටියටය. සුපිරි ධනවතුන් යතුරුපැදිවල යන්නේ නැත. ත්‍රීරෝද රථවල කුලියට යන්නේ ද නැත. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් වැඩි ප්‍රතිශතය සාමාන්‍ය ආදායම් සහිත පහළ මධ්‍යම පාන්තිකයෝ වෙති. රටේ නිෂ්පාදන ක්‍රියාවලියට මෙන්ම සේවා සම්පාදනයට ද වැඩිපුර හවුල්වන්නෝ මේ පිරිසමය. ඒ අනුව මේ අයගේ කටයුතුවලට හා දෛනික පැවැත්මට සහයෝගය දැක්වීම රාජ්‍ය ආයතනවල වගකීමක් සේ සැලකිය හැකිය. එහෙත් ප්‍රවාහන ක්ෂේත්‍රයට හෝ නීති ක්ෂේත්‍රයට හෝ අදාළ ආයතන එසේ ක්‍රියාකරන බවත් පෙනෙන්නට නැත. හෙල්මට් පිළිබඳ ප්‍රශ්නයේදී වැඩි වූ දඩමුදල පිළිබඳ ප්‍රශ්නයේදී ද යතුරැපැදි සංගමයටම ඊට විසඳුම් සෙවීමට සිදුවී ඇත්තේ ඒ හේතුව නිසාය.

වරදට දඬුවම් පැමිණ වීම සාධාරණය. ඊට එරෙහි තර්ක නගන්නේ නැත. නමුත් නීතිය සැමට එකසේ ක්‍රියාත්මක විය යුතුය. එහෙත් බොහෝ යතුරැපැදිකරුවන් හා රියදුරන් තමන්ට අදාළ වරදට ලබාදෙන දඩ මුදල් පත්‍රිකාව වෙනුවට පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබාදීමට හුරුවී ඇතිබව සමස්ත ලංකා යතුරුපැදි හිමියන්ගේ සංගමය කියයි.

සමස්ත ලංකා යතුරුපැදි හිමියන්ගේ සංගමයේ සභාපති ශිරන්ත අමරසිංහ ඒ ගැන මෙසේ අදහස් දැක්වීය.

“රථ වාහන වැරදි සඳහා පසුගිය කාලයේ දඩ මුදල් වැඩි කිරීමක් සිදුකරනු ලැබුවා. එහිදී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයත්, අප සංගමයත් කරන ලද සමීක්ෂණවලදී හෙළි වූ කරුණක් වූයේ යතුරුපැදිකරුවන් හා අනෙකුත් රියදුරන් වැඩියෙන්ම කැමති දඩ මුදල් නොගෙවා පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබාදීමට බවයි. මේ විදියට රටේ රථ වාහන වැරදි සම්බන්ධව දඩ මුදල් ඉහළ ගියාම මේ වගේ ඒ ක්‍රමය මගින් කවදාවත් සාර්ථක රියදුරන් බිහිවෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ දඩ මුදල් වැඩි කරා කියලා අප සංගමයට වාර්තා වන අනතුරුවල විශාල අඩුවක් දක්නට ලැබෙන්නෙත් නැහැ. මෙතනදී පැහැදිලි වෙන්නේ දඩ මුදල් වැඩි කිරීම තුළින් අනතුරු අඩුකරගන්න නොහැකි තත්ත්වයක් උදාවෙලා තියනවා. මේ පිළිබඳ තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ඉල්ලීමක් කරලා තියනවා. නමුත් මේ පිළිබඳ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව තාමත් කටයුතු කරලා නැහැ. මේ මගින් සිදුවුණේ වෙනත් දෙයක්. දූෂිත නිලධාරින්ගේ පටිය තවත් තදවීමක් පමණයි.

ජේ.ජේ. වික්‍රමතිලක යතුරුපැදිකරුවෙක්

අපි උදේ හවසට වැඩට යන්නේ එන්නේ යතුරුපැදියේ සමහර අවස්ථාවල නොදැනුවත්ව අපෙනුත් වැරදි වෙනවා ඒක අපි නැහැයි කියන්නේ නැහැ. නමුත් ඇතැම් පොලිස් නිලධාරීන් අපි වැරැද්ද නොකරත් ඒවට දඩ ලියන්න සූදානම් වෙනවා. එහෙම අපි කතා කරන්න ගියොත් නැති වැරදිවලට පටලවන්න හදනවා. අර කතාවක් තියනවනේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා. අන්න ඒ නිසා තමයි වැඩිහරියක් ඒ වෙලාවට කියක් හරි ගාණක් දීලා එතනින් යන්න හදන්නේ. කොහොමත් දිනපතා රස්සාවකට යන කෙනෙක්ට උසාවි ගානේ රස්තියාදු වෙනවාට වඩා එහෙම ගාණක් දීලා යන එක හොඳයි. හැබැයි දැන් සමහර නිලධාරීන් දඩ මුදල් ගාස්තු වැඩි කරපු නිසා පොඩි ගාණක් ගන්නෙත් නෑ. අපි දන්නවා මේ විදියට පොලිස් නිලධාරීන්ට අල්ලස් දෙන එක වැරදියි කියලා ඒ වුණාට අද ගොඩක් දෙනා හුරුවෙලා තියෙන්නේ මේ ක්‍රමයට. පොලිසිය නිසි නිලධාරීන් පත්කරන්න ඕන මේ වගේ දේවල් සොයාබලන්න. කවුරැත් කැමති නෑනේ වැරැද්දක් නොකර තමන්ගේ ලයිසන් එක පොලිසියට දෙන්න.

පී.එච්. නිශ්ශංක - බොරලැස්ගමුව

රථ වාහන වැරදි කිහිපයට නියමිත දඩ මුදල ඉහළ දැමීමෙන් යතුරුපැදිකරුවන් හැටියට අපි මහත් අපහසුතාවයට පත්වෙලා තියනවා. ඒ වෙන මොනවත් හේතුවක් නිසා නෙවෙයි සමහර අවස්ථාවල නිලධාරීන්, අපෙන් අධික ලෙස මුදල් ගන්න තමයි උත්සාහ කරන්නේ. අපි දිනපතාම වගේ යතුරුපැදියෙන් තමයි ගමන් යන්නේ. නමුත් එම නිලධාරීන් සමහර අවස්ථාවල නැති වැරදි කියලා දඩ ලියන්න උත්සාහ කරන අවස්ථා බොහෝමයක් තියනවා. ඒ වෙලාවට ඇතැම් අය වාද කරන්න ගියත් බොහෝ දෙනෙක් කීයක් හරි ගාණක් දීලා එනවා. ඒ ක්‍රමය අනුමත කරන්න බැහැ. ඒක වැරැද්දක් ඒ වගේම තමයි දැන් මේ දඩ මුදල්වල වෙනම සිදුවීමක් සමඟම ඇතැම් දූෂිත නිලධාරීන් දඩයත්, නඩුවත් දෙනවා වෙනුවට ගාණක් හොයන්න තමයි කතා කරන්නේ සමහර යතුරුපැදිකරුවන්. මේවගේ ඉල්ලන ගාණක් දෙන්න සූදානමින් ඉන්න අවස්ථාත් තියනවා. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන එහෙම නැති වුණොත් වෙන්නේ මුළු පොලිස් දෙපාර්තමේන්තුවට අවනම්බුවට පත්වීමක්.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ

රටක් දියුණු වීමේදී ප්‍රවාහන ක්ෂේත්‍රය සංවර්ධනය විය යුතුයි. විනයගරුක රියදුරන්ගේ සේවය අවශ්‍ය වෙනවා නැත්නම් අනතුරු, වාහන තදබදය ඉහළ යනවා. මේක රටේ ශ්‍රම බලකායට ගැටලුවක්. ඒ වගේම තමයි පසුගිය අයවැයෙන් විශේෂ දඩ මුදලක් යම් වැරදි කිහිපයක් සම්බන්ධව වැඩිවීමක් සිදුකළා. මේකෙන් ප්‍රධාන අපේක්ෂාව වුණේ රථ වාහන අනතුරු අඩුකර ගැනීම. අනික දඩ මුදල් අඩුවෙද්දී මිනිස්සු වැරදි කරන්න පෙළඹෙන ප්‍රවණතාවය වැඩියි.

ඇතැම් රියැදුරන් සමහර අවස්ථාවල පොලිස් නිලධාරීන්ට යම් යම් අල්ලස් මුදල් ලබාදීමට තැත් කරනා අවස්ථා බොහෝමයක් තියනවා. සමහර දූෂිත නිලධාරීන් පවා දැන් මේ වනකොට මේ දඩ මුදල් වැඩි කිරීමක් වගේ එම අල්ලස් මුදල් පෙර දෙනවාට වඩා වැඩියෙන් ඉල්ලන බවත් වාර්තා වෙන අවස්ථා තිබුණා. කෙසේ වෙතත් මේ සම්බන්ධව අපි පොලිසිය පවා දැනුවත් කරලා තියෙන්නේ. වැරැද්දක් කළොත් ඕනම අයෙක් ඒකට දඬුවම් විදිය යුතුයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර

දූෂණය වැඩි වුණා කියලා දඩය වැඩි නොකර ඉන්නේ නැහැ. අනිවාර්යයෙන් දඩය වැඩි කරනවා. පසුගිය කාලයෙන් පොලිසියේ යම් අතලොස්සක් දූෂණ ක්‍රියාවන්ට සම්බන්ධ බව වාර්තා වුණා. ඔවුන්ට විනය හා නීතිමය වශයෙන් ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගත්තා. වරදකරු වුණානම් සේවයෙන් පහකළ අවස්ථා තිබුණා. අපරාධ නීතිය වගේම රථවාහන නීතිය ක්‍රියාත්මක කරන්නෙත් පොලිසිය. රියදුරන්, පදිකයන්, මහජනතාව, දැනුවත් කරන වැඩසටහන් කරගෙන යනවා මේ සම්බන්ධයෙන්. මේ වෙද්දී පොලිස් නිලධාරීන්ගේ වැටුප 40%කින් නංවලා තියෙන්නේ. අල්ලස් ගැනීම වූගේ අල්ලස් දීමත් හිරේ යන වරදක්. අල්ලස් නොගන්න තැනට පොලිස් නිලධාරීන්ගේ මානසිකත්වය අපි හදනවා. එවිට අල්ලස් ලබාදෙන කෙනා වුණත් උසාවියට ඉදිරිපත් කරන්න වෙනවා.

දඩ මුදල් කෙසේ වුවද එය නියම කිරීමේ බලය පිහිටා ඇත්තේ රථවාහන පොලිසිය වෙතය. එම නිලධාරීන්ගේ සේවය ස්වාධීන විය යුතුය. නොඑසේනම් වන්නේ වංචාව ඉහළ යෑමය. එය මහජන විරෝධයට හේතුවක් වන අතර මේ වනවිටත් ජනතාව සිටින්නේ එවැනි මතයකය.

හසිත් අංජන  

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00