2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

පෙම් හබයකට පැටලී දිවිදුන් නැට්ට කොටා..

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 376

කලාවැව් තෙරේ දියකඳ දෑස මානයේ පෙනුණත් පවස නිවන්නට තබා තොල කට තෙමාගන්නටවත් දියපොදක් ගන්නට වාරුවක් නැත. සිරුරෙන් සද්දන්තයෙක් වුවද ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව හෝරා ගණනාවක් තිස්සේ පණ අදින ඌ නැට්ටකොටාය. අලි පරපුරේ එක් හස්ති රංචුවකට නායකත්වය සපයා දළ ඇතුන් බහුලවම ගැවසෙන කලාවැව අභය භූමියේ වැව් තාවුල්ල කෙළවරක වේදනාකාරීව අවසන් හුස්ම හෙළූ නැට්ටකොටා උගේ රැළට තවමත් නායකයෙකි.

කලාවැව ජාතික වනඋද්‍යාන පරිශ්‍රයේ පොලොම්බෑව පුවක්පිටිය වැව් ඉස්මත්තේ බරපතළ තුවාල සහිතව වැටී මියගොස් සිටි නැට්ටකොටා සද්දන්තයාගේ මළගමට අවසන් ගෞරව දක්වන්නට පැමිණෙන ලොකු කුඩා විවිධ වයස් සීමාවේ පසුවන අලි ඇතුන් රාශියකි. රංචු පිටින් සහ කුඩා අලිපැටව් මැදිකරගනිමින් පැමිණෙන වැඩිහිටි වනඅලි සපිරි රංචුව මැරී වැටුණු නැට්ටකොටා නම් අලියාගේ සිරුර වටා රොක්වෙමින් සිටියහ. ලොකු කුඩා බේදයකින් තොරව පැමිණෙන අලි ඇතුන් මනා සංයමයකින් යුතුව නැට්ටකොටා වටා රැස්වී මියැදුණු අලි නායකයාගේ දේහය හොඬවැලෙන් ස්පර්ශ කරති. මඳ වේලාවක් ඒ දෙස බලා සිටිති. ඇතැම් අලි මියගිය සද්දන්තයාගේ සිරුරට ඔවුන්ගේ හොඬ තබා පිරිමදිති. ටික වේලාවක් සංවේගයෙන් හැසිරෙන ඔවුන් අවසානයේ හොඬ උස්සා දේහයට ආචාර කර එතැනින් නික්ම යති.
මියගිය සද්දන්තයාට අවසන් ගෞරව දක්වන අලි රංචුව අතර එක් සුවිශේෂී සද්දන්ත සිරුරකි. උගේ හැසිරීම රංචුවේ සෙසු පිරිසටත් සංවේගයක් දනවන සුළුය.

මියැදුණු හස්තියා අසල දැවටෙමින් පැද්දෙමින් මළසිරුර වටා හොඬය පිරිමදිමින් හිඳින ඒ හස්ති රුව නැට්ටකොටාගේ පෙම්වතිය බව කියන කෙණරය. මේ ආකාරයට කාලයක් පුරා සිය රංචුවට නායකත්වය සැපයූ අලියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්වූ අලි රංචුව එතැනින් නික්ම යන අතරතුරදී එතැනට තනිවම පැමිණි තවත් සද්දන්ත චණ්ඩියෙකි.

මේ ඇත් රජාගේ හැසිරීම පෙර කී අලි පන්තියේ පිරිසට හාත්පස වෙනස් වූවකි. ඌ බිහිසුණුය. ප්‍රචණ්ඩකාරීය. මියගිය නැට්ටකොටා අසලට පැමිණි වහා ඌ උගේ ඉදිරිපාදය ඔසවා වැරෙන් මළසිරුරට පහර දෙන්නට විය. එම පහර හේතුවෙන් මියගොස් සිටින නැට්ටකොටාගේ සිරුර ඒ මේ අත සෙලවෙයි. හිස දෙසට එල්ල කරන දැඩි පහර හමුවේ හොඬය හා හිස ඒ මේ අතට යයි. ඊට පෙර අලි රංචුව සිය නායක හස්තියාගේ මරණය පිළිබඳ සොවින් කල්ගෙවූවද මේ ඇත් රජාගේ හැසිරීම කෝපාවිශ්ටය. මේ ඇත්රජා අනෙකෙක් නොව තවත් ඇත් රැළකට නායකත්වය සපයන දීඝජන්තු-02 ලෙස වනජීවී නිලධාරීන් හඳුන්වන දැවැන්තයාය.

කලාවැව ඉස්මත්තේ අවසන් හුස්ම හෙළූ නැට්ටකොටාගේ අවසානයට හේතු වූයේ දීඝජත්තුය. ඌට පහර දී ඝාතනය කරන්නට සමත් වූ දීඝජත්තු ඇත් රැළක නායක ඇතකු වන අතර, ගැටුමට හේතුව මෙම වනඅලි නායකයාගේ පෙම්වතිය බව කියන කෙණර පිළිබඳව දෙදෙනා අතර වූ විරසකයක් බව වනජීවී නිලධාරීහු පවසති. එය මනුලොවදීත් නිතර දැකිය හැකි සිද්ධියක් නොවේද?

කලාවැව වනඋද්‍යානය අවට පදිංචි ජනතාව පවසා තිබුණේ දින ගණනාවක් තිස්සේ වනඅලි රංචු දෙකක දැවැන්තයන් දෙදෙනකු ඒ මේ අත යනු දකින්නට ලැබුණු බවය. එසේ දින කිහිපයක් ගතව තිබියදී කලාවැවේ ධීවර කටයුතු සඳහා ගිය ධීවරයන් පිරිසක් දැක ඇත්තේ සද්දන්තයෙක් කලාවැව තාවුල්ලේ මැරී වැටී සිටින බවකි. ඒ වෙලාවේ සිය ධීවර කටයුතු අතරමඟ නවතා සිද්ධිය පිළිබඳව කලාවැව ජාතික වනඋද්‍යානය දැනුම්වත් කරන්නට ඔවුහු පියවර ගත්හ. ඒ අනුව පැමිණි නිලධාරීන් අනාවරණය කර තිබුණේ මියගිය හස්තියා අලි රංචුවකට නායක අලියකු වූ නැට්ටකොටා නමින් හඳුන්වන අලියා බවය. වැඩිදුරටත් එම නිලධාරීන් ප්‍රකාශ කර සිටියේ රංචු දෙකක නායක අලින් දෙදෙනකුගේ ගැටුමක් පිළිබඳව තොරතුරු ඊට පෙර වාර්තා වී තිබූ බවය.

ගල්කිරියාගම වනජීවී නිලධාරී රාමසිංහ මහතා සමඟ අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ ඇතුළු පිරිස එහි පැමිණ සිටියදීද මියගිය හස්තියාට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල අලි ඇතුන් සංඛ්‍යාවක් කලාවැව පුවක්පිටිය වැව් ඉස්මත්තට රැස්වී සිට ඇත. ඒ අතර මියගිය නායක අලියාගේ පෙම්වතිය බව කියන කෙණර පැහැදිලිව හඳුනාගන්නට හැකිවූ බවද ඔහු කීවේය. සෙසු අලි ඇතුන් මළසිරුර අසලින් නික්මෙද්දී දීඝජත්තු ඇතා පැමිණ යළි යළිත් ප්‍රහාර එල්ල කළ බවද සඳහන් කළ පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා,

“මියගිය අලියාගේ සිරුර නිරීක්ෂණයෙන් පැහැදිලි වෙනවා ඇතෙක් දළයෙන් ඇනීම නිසා මරණය සිදුවෙලා ඇතිබව. ඊට සමාන තුවාල 26ක් පමණ සිරුරේ දකින්න ලැබුණා. ඒවා ගොඩක් ගැඹුරට සිදුවෙලා. හස්තියාගේ හිස, යටිබඩ, පිටකොන්ද, පපුව ඇතුළු ස්ථාන කිහිපයකම තුවාල දකින්න ලැබුණා. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව සිරුර කලාවැව ඉස්මත්තේ වළදැමීම සිදුකළා.”

හස්තියාගේ අවසන් කටයුතු සිදුකිරීමට කටයුතු සූදානම් කරමින් සිටින අතරතුර හදිසියේම නැවතත් මියගිය හස්තියාගේ පෙම්වතිය බව කියන කෙණර ඇතුළු අලි රංචුවක් යළිත් මළසිරුර අසලට පැමිණීමට විත් තිබේ. නිලධාරීන් ඔවුන් පළවාහැරීමට අලිවෙඩි භාවිත කිරීමේදී අලි රංචුව පසුබැස ගියමුත් මිනිත්තු කිහිපයකට පසුව ගම්මුන් නිලධාරීන්ට දන්වා තිබුණේ දීඝජන්තු-02 ඇතා නැවතත් මියගිය නැට්ටකොටා නායකත්වය දුන් අලි රැළේ දෙවැනි නායක අලියාට පහරදෙන බවය. ඒ අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් අදාළ ස්ථානය සොයා ගොස් අලිවෙඩි දමා ඔවුන් පළවාහැරීමට කටයුතු කර තිබුණි.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර