2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

ඇතුළේ පත්තුවෙන කුමන්ත්‍රණ කතාව

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 232

වර්තමානය වන විට සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම කැළඹිළි සහගත තත්ත්වයකට මුහුණ පා ඇත. එක් පැත්තකින් පොලීසියේම ඩී. අයි. ජී. වරයෙක් ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයක හවුල්කරුවකු බවට පත්ව සිටී. තවත් පැත්තකින් පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ ගැටලුවක් ඉස්මතුව ඇත. මේ නිසාම පොලිස් දෙපාර්තමේන්තුව තුළින් ඇසෙන කතා, දැනගන්නට ලැබෙන කතා එතරම් සුළුවෙන් සැලකිය හැකි වන්නේ නැත. සමාජය තුළ ඇති ප්‍රශ්නවලටත් වඩා පොලීසියේ ප්‍රශ්න උග්‍ර වී ඇත. එහෙත් එම ප්‍රශ්න පොලීසියට සහ රජයට මිසක වෙනත් පිරිසකට විසඳන්න හැකියාවක් නැත. නඩුත් හාමුදුරැවන්ගේය. බඩුත් හාමුදුරුවන්ගේය.

 

කෙසේ වෙතත් ව‍ර්තමානයේ පොලීසියේ ලොකුම ප්‍රශ්නය වී ඇත්තේ ජනපති සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයයි. ඒ සඳහා පිඹුරුපත් සැකසීම පොලීසියේම නියෝජ්‍ය පොලිස්පතිවරයකු විසින් සිදුකර ඇති බවට වන චෝදනාව සිද්ධිය බරපතළ කරවීමට හේතු වී ඇත.

කෙසේ වෙතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ ආරම්භයේ පටන් ඇල්මැරුණු ස්වභාවයක් දක්නට තිබීම සුවිශේෂී කරුණක් විය. සාමාන්‍ය පහළ පොලිස් නිලධාරියකු සුළු වැරැද්දක් කළ විට ඔහුට හෝ ඇයට එරෙහිව අදාළ පරීක්ෂණ ආරම්භ වන්නට ප්‍රථමයෙන් අදාළ නිලධාරියා ගෙදර යවා අවසානය. එහෙත් මෙකී පරීක්ෂණ ආරම්භ කළේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනත් ස්ථානයකට මාරැකර යැවීමෙනි. එසේ මාරැ කළේ ද මාධ්‍ය විසින් දිගින් දිගටම පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරන විටය. එතෙක් නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය තනතුරේ වැඩ කළේ කිසිදු දෙයක් නොසිදු වූ පරිදිය.

කෙසේ වෙතත් පොලිස්පතිවරයා විසින් මෙම පරීක්ෂණ ආරම්භ කිරීමට පෙරම මේ හඬපටය සැකසහිත බව එක්තරා මාධ්‍යයකට ප්‍රකාශයක්දී තිබුණේය. කෙසේ වෙතත් මෙවැනි කුමන්ත්‍රණයක සාක්ෂි ලැබූ සැණින් ඒ ගැන පරීක්ෂණයක් සිදුකිරීමට පෙර මාධ්‍යයට එවැනි ප්‍රකාශ ලබාදීම කෙතරම් නිත්‍යනුකූල ද යන්න ගැටලුවකි. එහෙත් එය සිදුකර ඇත.

කෙසේ වෙතත් මේ සිද්ධිය පිළිබඳව පරික්ෂණය පොලිස්පතිවරයා විසින් පවරන්නේ විශේෂ විමර්ශන ඒකකයටය. ඒ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමටය. එහෙත් රටේ ජනාධිපතිවරයාත්, හිටපු ආරක්ෂක ලේකම්වරයාත් ඝාතනය කිරීමට උත්සාහ ගන්නවා නම් එය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට විනා වෙන කිසිදු ආයතනයකින් සිදු කළාට පලක් වේද? පුදුමය නම් එය පොලිස්පතිවරයාට නොවැටහීමය. අවසානයේ රජයේ මැදිහත්වීම මත  පරීක්ෂණ රහස් පොලීසියට බාර විය.

කෙසේ වෙතත් රහස් පොලීසියට පරීක්ෂණය බාරවූ සැණින් පොලිස්පතිවරයාත් රහස් පොලීසියේ ඉහළ නිලධාරීන් අතරත් රහසිගත සාකච්ඡාවක් පොලිස් මුලස්ථානයේ සිදුවී ඇත. එහිදී රහස් පොලිස් නිලධාරීන් පොලිස්පතිවරයාට දන්වා ඇතැයි පැවසෙන්නේ මෙම පරීක්ෂණය ස්වාධීනව සිදුකළ යුතු නිසා කිසිවකුගෙන් මැදිහත් වීම් සිදුනොවන ලෙසට කටයුතු කරන ලෙසටය. ඒ අනුව පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය.

ප්‍රථමයෙන් නාමල් කුමාර නැමැත්තා කැඳවා රහස් පොලීසිය මඟින් ප්‍රශ්න කෙරිණි. ඔහු හෙළිදරව්ව කළ හඬපට රහස් පොලීසියට ලබාදුන් අතර රහස් පොලීසිය එහි හඬපට එවෙලේම ලේඛනගත කර රජයේ රස පරීක්ෂකරයාට යොමු කළේය. ඒ සැබැවින්ම ඒ හඬ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේද යන්න කියා තහවුරු කරගැනීමටය.

පසුව නාමල්ගෙන් ප්‍රශ්න කරනු ලැබීය. නාමල් සඳහන් කරන පරිදි ඔහු ප්‍රථමයෙන්ම ඇමතුම ලබාගෙන ඇත්තේ පොලිස්පති පූජිත ජයසුන්දර මහතාටය. ඒ ඔහු සමීපයේ මහනුවර ප්‍රදේශයේ තොරතුරු ඇති බවත් ඒ පිළිබඳව දැනුම් දීමට අවශ්‍ය බවත් කියාය. ඒ වනවිට මහනුවර ප්‍රදේශයේ ගැටුමක් ඇතිකළ මහසෝන් බලකායේ අමිත්ත වීරසිංහ ඇතුළු පිරිස බන්ධනාගාර ගතවී සිටියහ. එම තොරතුරු අතර ඔවුන්ගේ ද තොරතුරු ඇති බව සඳහන් විය. සැබවින්ම ඔහුට අවශ්‍ය වී ඇත්තේ ඇත්තට හෝ බොරැවට හෝ පොලිස් ඔත්තුකරුවෙක් වීමටය. පසුව පොලිස්පතිවරයා විසින් ඔහුට විශ්වාසවන්තම ගෝලයා ලෙසත් ඉදිරියේ ඔහුත් සමඟ ගනුදෙනු කරන ලෙසත් පවසමින් නාලක ද සිල්වා සම්බන්ධ කර ඇත. ඒ අනුව නාලකත් පොලිස් ඔත්තුකරැත් අතර මාස දෙකක කාලයක් මේ දුරකථන සංවාදය සිදුවී ඇති බවට සැක කෙරේ.

මේ අතරතුර නාමල් විසින් පොලිස්  ඔත්තුකරැවකු ලෙස පෙනී සිටිමින් තොරතුරැ ලබාගෙන ඇති අතර එකී තොරතුරුවලට ලක්ෂ පහක මුදල් ත්‍යාග පවා පොලිස්පතිවරයා අතින් නාමල් ලබාගෙන තිබේ. මේ සම්බන්ධය වැඩි වැඩියෙන් ගොඩ නැගෙන විට නාමල්ගෙන් තොරතුරු වෙනුවට නාමල්ගෙන් උදව් උපකාර ඉල්ලන තැනට නාලක පත්ව ඇත.

විශේෂයෙන් තමා සේවය කළ පසුව මාරු කළ රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානි තනතුර ගැනීම සඳහා වර්තමාන ප්‍රධානියාට මඩ ගසන ලෙසට යෝජනා කරයි. එසේම විශේෂ කාර්ය බලකාය කඩා වැට්ටවීම සඳහා එහි ප්‍රධානියා වන ලතීෆ් එම ධූරයෙන් ඉවත් කරන්න උදව් කරන ලෙසත් ඉල්ලා සිටියි. ඊට අමතරව ස්වාමින්වහන්සේලා ගැටලුවලින් බේරන එකම පුද්ගලයා බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා නිසා ඔහුව ද එම ධූරයෙන් ඉවත් කරන ලෙසට දන්වා සිටියි. මේ තොරතුරැ හෙළි කරන්නේ නාමල් කුමාරය.

මෙහි බරපතළම ප්‍රකාශය වන්නේ ජනාධිපතිවරයාත් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ කතාවයි. ඔහු පවසන ආකාරයට ජනාධිපතිවරයාත් ගෝඨාභයත් එක්වීමට සුදානම් නිසා එය බිඳීම අවශ්‍ය වී තිබේ. ඒ නිසා ජනාධිපතිවරයා මඩකලපුව ප්‍රදේශයේ සංචාරයකදී මාකඳුරේ මදූෂ් ලවා ක්‍රියාත්මක කොට යම් සිදුවීමක් සිදුකිරීමත් පසුව එය මඩකලපුව ප්‍රදේශයේ සිවිල් ක්‍රියාකරුවකුගේ ගිණුමට බැර කිරීමටත් කතා වුණු බව නාමල් විසින් දන්වා ඇත. කෙසේ වෙතත් මෙය කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් නිසා තමන් විසින් සමාජයට මේ කතාව නිරාවරණය කරන බව ද නාමල් පවසා ඇත.

මීට අමතරව ඩෑන් ප්‍රියසාද්, අමිත්ත වීරසිංහ වැනි බෞද්ධ සංවිධානවල කටයුතු මෙහෙයවන්නන්ගේ චරිත ඝාතන වැඩ පිළිවෙළක් ද ක්‍රියාත්මක කරන්නැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් තමන්ගෙන් ඉල්ලූ බව නාමල් කීය. මේ කරැණු හෙළි වූ නාමල්ගේ ප්‍රකාශය දවස් දෙකට පැය දහයකට අධික කාලයක් තිස්සේ සටහන් කරගෙන ඇතැයි සඳහන් වේ.

මේ අතර මෙම හඬ පටයේදී ඇතැම් නිලධාරීන්ගේ නම් ගම් ද එළියට ආවේය. ඒ නිසා ඉදිරියේදී ඔවුන් කැඳවීමට නියමිතව ඇත. පරීක්ෂණ සිදුවන අතරවාරයේදි නාලක ද සිල්වා අනිවාර්ය නිවාඩු යවනු ලැබීය. ඒ පරීක්ෂණවලට රුකුලක් වීම සඳහාය.

කෙසේ වෙතත් නාලක සිල්වා සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව තුළින් එතරම් හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ නැත. ඔහුට මෑතක එල්ලවූ චෝදනාව වන්නේ නුගේගොඩ ප්‍රදේශයේ එක්තරා රහසිගත තැනක දුරකථන සබඳතාවලට සවන්දෙන ස්ථානයක් පවත්වාගෙන ගෙන ගිය බවය. එහිදී ඔහු පොලීසියේ ඉහළ නිලධාරීන්ගේ දුරකථනවලට සවන් දුන්න බවටත් චෝදනා එල්ල වෙයි. පුදුමය නාලක වැනි අයකුට එය ලබා දීමය. මේ සබන්ධයෙන් ‍ පොලිස් නිලධාරීන් ගණනාවකගෙන්ම ජේ්‍යෂ්ඨ පොලිස් කොමිසමට පැමිණිලි ලැබී තිබිණි.

කෙසේ වෙතත් දැන් නාලක ඉන්නේ වැට උඩය. වැටෙන් බාගයක්ම පෙර‍ළෙන්නට ඔන්න මෙන්න ඇත්තේ වැරදි පැත්තටය. එදාට නාලක ඔය උඩ ඉන්නා ලොකු ලොක්කන්ගේ ද පැටිකිරි හෙළිදරව් කිරීමට ඉඩ තිබේ. ඒ නිසා ඒ අයද ඉන්නේ එකම වැටේය. කියන්නට ඇත්තේ නාලක කුමාර වැනි අය සමඟ ගනුදෙනු කිරීමට ගොස් අමාරැවේ වැටෙන්නේ කව්දැයි බලා සිටින පිරිසක් ද සිටින බවය.

 ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00