2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

තොරතුරු පනතින් වැඩගත් පුරවැසියෝ

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 65

තුන්වැනි තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනය සැප්තැම්බර් 28 දිනට යෙදී තිබේ. ඊට සමගාමීව 2018 වසරේදී තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ සතියක් ප්‍රකාශයට පත්කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව සැප්තැම්බර් 21-28 අතර සතියේ තේමාව තොරතුරු අයිතිය තුළින් රාජ්‍ය සේවාවේ විශිෂ්ටත්වය යන්නයි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් වශයෙන් නීතිගත කොට 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත නමින් පාර්ලිමේන්තුවේ සම්මත කෙරිණි. රටේ පුරවැසියන්ට තොරතුරු පනත මගින් පෞද්ගලික හෝ රටට හිතැති වැදගත් තොරතුරු දැනගැනීමටත් ලබාගැනීමටත් නීතිමය හිමිකම මේ ඔස්සේ ලැබී තිබේ. මේ ආකාරයට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම භාවිත කරමින් තම ප්‍රදේශයේ පැවති පාරිසරික ගැටලුවක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමටත් ඒ හරහා ඊට විසඳුමක් ලබාගන්නටත් පානදුර, සිරිල් ජෑන්ස් මාවතේ පදිංචි රාජේන්ද්‍රන් විජේසිංහ මහතා සමත්ව ඇත. තොරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලුම් කළ පළමු පුරවැසියා වශයෙන් සටහන්ව ඇත්තේද ඔහුය.

“මම පානදුර නගරසීමාවේ පදිංචිකරුවෙක්. සිරිල් ජෑන්ස් මාවත සුළු වැස්සට පවා යටවෙන ප්‍රදේශයක්. එහෙම තියෙද්දී පහත් බිමක් විශාල වශයෙන් ගොඩකරමින් තිබුණා. ඒක ප්‍රදේශයට විශාල ගැටලුවක්. ජනතාවගේ විරෝධතාවය නැගුණත් දේශපාලකයන්ගේ සහායෙන් දූෂිත විදිහට ගොඩකිරීම සිදුකරමින් තිබුණා. නමුත් අපිට තොරතුරක් හොයාගන්න ක්‍රමයක් තිබුණෙ නෑ. නගර සභාවට පැමිණිලි කළත් ඉල්ලීම් කළත් විසඳුමක් ලැබුණෙ නෑ. 2016 දී තොරතුරු පනත ගැන දැනගත්තම අවධානයෙන් හිටියා. ඒ සම්බන්ධ ගැසට් එක පළකළාම මම තොරතුරු පනත යටතේ අයැදුම්පතක් යොමුකළා. ඒකට කිසිම ප්‍රතිචාරයක් ලැබුණෙ නෑ. සති තුනක් ගෙවුණාම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට යොමුකළා. මට කැඳවීමක් ලැබුණාම දැනගත්තේ මම තොරතුරු ඉල්ලුව පළමු පුරවැසියා කියලා. එතනදී මට අවශ්‍ය කරන ලිපිගොනු වාර්තා ලැබුණා. සිදුවුණේ මොකක්ද? අකටයුතුකම් මොනවාද? අක්‍රමිකතා මොනවද කියලා දැනගන්න ලැබුණා. මේ සඳහා දායක වුණු ආයතන කිහිපයක් තිබුණා. ඒ ඇතැම් අයගේ වැරදි ක්‍රියා සහ අක්‍රමිකතා හෙළිවුණා. ඒ අනුව අපි බලාපොරොත්තු වූ විදිහට පහත් බිම ගොඩකිරීම නතර කර තිබෙනවා. මේ ජයග්‍රහණය ලැබුණේ තොරතුරු පනත නිසයි” යනුවෙන් රාජේන්ද්‍රන් සත්‍යජිත් විජේසිංහ මහතා පැවසීය.

ජාතික සහයෝගිතා සංවර්ධන පදනම කන්තලේ පිහිටි සිවිල් සංවිධානයකි. එහි සභාපති සුරංග රූපසිංහ මහතාය. එම සංවිධානය මගින් සිදුකෙරෙන ප්‍රධාන කාර්යය වන්නේ ප්‍රජාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් සිදුකිරීමයි. යාන් ඔය හරස් කරමින් ඉදිකරන ජලාශයක් හේතුවෙන් ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිකරුවන් රාශියකට උන්හිටිතැන් අහිමිවීමේ අවදානමක් ඇතිව තිබුණි. ඔවුන්ගේ යටවන ඉඩම් ප්‍රමාණය ලැබෙන වන්දි හෝ ඉඩම් ප්‍රමාණය පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති පසුබිමක පෙර කී සංවිධානය මගින් ප්‍රදේශයේ කාන්තාවක වූ මාලා මහත්මිය නායකත්වය ගෙන මහවැලි අධිකාරිය හරහා තොරතුරු ඉල්ලා ඇත. එය නොලැබුණු පසුව තොරතුරු පනත අනුව ක්‍රියාත්මක වී සිය ගම්වාසීන්ට ඉඩම් ලැබෙන ආකාරය, ප්‍රමාණය, මුදල් වන්දි ප්‍රමාණය ඇතුළු සියල්ල අනාවරණය කරගෙන ජනතාවට දන්වා ඇත. කාලයක් තිස්සේ ගමේ ජනතාව මුහුණදුන් ගැටලුවට විසඳුමක් ලබාදුන් මාලා මහත්මිය ගම්වාසීන්ගේ එකඟත්වයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොට්ඨාසයේ මන්ත්‍රීවරිය ලෙස පත්කරගන්නට ක්‍රියාකර තිබුණි.

මේ ආකාරයට කන්තලේ සීනිපුර ප්‍රදේශයේ ගමකට තැපැල් දෙපාර්තමේන්තුව හරහා ලිපි නොලැබීමේ ගැටලුවක් විසඳාගන්නට එම ප්‍රදේශයේ පුංචි බබා නැමැති අයකු සමත්ව ඇත. එසේම කන්තලේ සූරියපුරගම බිසෝමැණිකේ මහත්මිය තොරතුරු පනත හරහා අයැදුම්පතක් යොමුකර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන නිවාස සංවර්ධන අධිකාරියේ නිවාස ව්‍යාපෘතියක දූෂණ අක්‍රමිකතා හෙළිකරගන්නට සමත්ව සිටී. එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ජනතාවට ලබාදීම සඳහා නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණද අවසානයේ ලැබිය යුතු පිරිස් මඟහරවා නුසුදුසු පිරිස් වෙත නිවාස ලැබීමේ වාර්තා වී ඇත. මෙහිදී ක්‍රියාත්මක වූ බිසෝ මැණිකේ මහත්මිය තොරතුරු පනත යටතේ නිවාස ලැබීමට සුදුසුකම් මොනවාද යන්න විමසා ඇත. එහිදී අනාවරණය වී තිබුණේ ප්‍රදේශයේ එ.ජා.ප. සංවිධායකවරයකු වශයෙන් කටයුතු කරන වෛද්‍ය අමරසිරි නැමැති මන්ත්‍රීවරයකු මැදිහත් වී ඔහුට හිතවත් ඡන්දදායකයන්ට නිවාස ලබාදී තිබෙන බවය.

මේ ආකාරයට කන්තලේ නගරය ආසන්නයේම පිහිටි අතුරු පාරක් කොන්ක්‍රීට් කිරීම අතරමග නැවතීමේ සිදුවීමක් පිළිබඳව ප්‍රදේශයේ පදිංචි ස්වර්ණලතා මහත්මිය තොරතුරු පනත යටතේ අයැදුම්පතක් යොමුකර ව්‍යාපෘතිය සඳහා වෙන්කළ මුදල, වැය වූ මුදල, ඉදිකළ දුර ප්‍රමාණය, කොන්ත්‍රාත්කරු ආදී සියල්ල ඉල්ලා සිටීමේදී අදාළ ව්‍යාපෘතියේ සිදුව ඇති අක්‍රමිකතා රැසක් හෙළිකරගැනීමට හැකිව තිබේ. ඒ අනුව ප්‍රාදේශීය සභාව මැදිහත් වී මාර්ගයේ ඉතිරි කොන්ක්‍රීට් ඇතිරීම සිදුකරවාගැනීමට එම මහත්මියට හැකිවී ඇතැයිද පැවසීය.

තොරතුරු පනත යටතේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් පාලන ආයතන, පොලීසි, අධිකරණ, රජය පිළිගත් හෝ රජයේ අරමුදල් ලබන පෞද්ගලික අධ්‍යාපන ආයතන, රාජ්‍ය නොවන සංවිධාන ආදියෙහි මෙන්ම රජයෙන් බලපත්‍ර ලබාගෙන පවත්වාගෙන යන පෞද්ගලික තොරතුරු ලබාගත හැකිය. ඒවා සටහන්, විද්‍යුත් තැපෑල, වාර්තා, පිඹුරු, සිතියම්, ඡායාරෑප, වීඩියෝ, හඬපට, පරිගණක වාර්තා වශයෙන් නොයෙක් විදියට ලබාගැනීමේ පහසුකම් සහිතය. මේ සඳහා උපරිම වැඩකරන දින 14ක් ප්‍රමාණවත්ය. තොරතුරු පිළිබඳ සෑහීමකට පත් නොවන්නේ නම් යළිත් දින 14ක් තුළ අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාද තිබේ.

ජාතික ආරක්ෂාව, පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු අන්තර්ජාතික ගිවිසුම් ඇතුළු සුවිශේෂී අංශ කිහිපයක් පිළිබඳ තොරතුරු ලබාදීම පනත යටතේ සිදුනොකළද මහජන සුබසිද්ධියට හේතුවන ඕනෑම තොරතුරක් ලබාගත හැකිය. මේවාට පිටුපෑමට රාජ්‍ය නිලධාරීන්ට අවස්ථාවක් නැත. එවැනි තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර වරදකරු වන්නේ නම් රුපියල් පනස් දහසක දඩයක් අවුරුදු දෙකක සිරදඬුවමක් හෝ ඒ දෙකම ක්‍රියාත්මක කිරීමට අධිකරණයට බලය තිබේ.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00