2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

අඩුපාඩු උතුරන මැණිකුඹුර ආර්ථිකය

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 158

හාරිස්පත්තුව සුළු අපනයන භෝග වගාකරුවන්ගේ නිෂ්පාදන අලෙවිය සඳහා කටුගස්තොට නගරයේ මැණික්කුඹුර ඉදිකළ ආර්ථික මධ්‍යස්ථානය පසුකලෙක මහනුවර එළවළු තොග වෙළෙඳ අංශයට ලබාදීමට මහනුවර මහනගර සභාව පියවර ගත්තේ එයින් දේශපාලන වශයෙන් තමන්ට වාසි ලබාගැනීමේද මූලික පරමාර්ථය ඇතිවය.

දෙවැනි කාරණය වශයෙන් මහනුවර මහනගර සභාව සඳහන් කළේ මහනුවර නගරයේ තදබදය මෙන්ම මහනුවර මධ්‍යම වෙළෙඳපොළේ තදබදයද එයින් මඟහැරී යන බවයි.

කෙසේ වෙතත් මෙම වෙළෙඳ සංකීර්ණයේ සියලු පරිපාලන කටයුතු නඩත්තුව, සනීපාරක්ෂක සේවාව, ආරක්ෂාව සැපයීම, පරිපාලනය, අනෙකුත් පොදු පහසුකම් සැපයීමේ වගකීම ද මහනුවර මහනගර සභාව යටතේ පවතියි. මෙම තොග වෙළෙඳ මධ්‍යස්ථානය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දෙවැනි වූ මධ්‍යම පළාතේ දැනට තිබෙන විශාලතම මධ්‍යස්ථානය වශයෙන්ද හැඳින්විය හැක.

මෙහි තොග වෙළෙඳාම් කටයුතුවල නිරත ව්‍යාපාරික ප්‍රජාව නගර සභාවට ගෙවිය යුතු බදු මුදල් මෙන්ම රජයට ගෙවිය යුතු බදු මුදල්ද නොඅඩුව ගෙවීම් කරති.
මධ්‍යම පළාතේ එළවළු වෙළෙඳාමට අදාළ සියලු ව්‍යාපාරික කටයුතු මෙහි සිදුකෙරෙයි. මෙම මධ්‍යස්ථානයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් කීප දෙනෙකු පත් කිරීමටද පොලිසිය කටයුතු යොදා තිබූ අතර එම පොලිස් නිලධාරීන් වෙනුවෙන් මෙහි පොලිස් මුර‍පොළ පවත්වාගෙන යාමට කුඩා ගොඩනැගිල්ලක්ද ඉදිකර තිබේ. එම ස්ථානය අසලම පොදු වැසිකිළි පද්ධතියක් ඉදිකර තිබීම නිසා එම පොලිස් මුරපළේ රැඳී සිටීමට නොහැකි දුෂ්කර තත්ත්වයක් පොලිස් නිලධාරීන්ට උද්ගත වී ඇත.

හතර වටේම අනාරක්ෂිතව පවතින නිසා ආරක්ෂක වැටක් (සවිමත්ව විධිමත්ව) සවිකළ යුතුය. ආරක්ෂක වැටක් නොමැතිකම නිසා මෙම තොග වෙළෙඳ මධ්‍යස්ථානයේ දේපළ සොර සතුරන් සහ මංකොල්ලකරුවන් විසින් පැහැර ගැනෙයි. අවට අපද්‍රව්‍ය ගලා යන කාණු පද්ධති අවහිර වීම නිසා ඩෙංගු මදුරුවන් බෝවීමේ තත්ත්වයක්ද මෙහි පවතියි.

වත්මන් නගර සභා දේශපාලන අධිකාරියට සහාය දැක්වූ මෙහි ව්‍යාපාරිකයන් බහුතරයක් දේශපාලනඥයන් දුන් බොරු පොරොන්දුවලට හසුවී ඇතැයි ඔවුන් හා කළ කතාබහේදී අනාවරණය කරගත හැකි විය.

නිසි ලෙස පවත්වාගෙන යෑමට හැකි මෙම තොග වෙළද සංකීර්ණයේ ආරක්ෂාව සඳහා එම වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන්ගේ සංගමය විසින් තම වියදමින් මාසිකව රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක් වැය කරමින් පෞද්ගලික ආරක්ෂක සේවාවක් ඔවුන් විසින්ම පවත්වාගෙන යයි.

අවට ආරක්ෂිත වැටක් ඉදිකිරීමට නගර සභාවේ බලධාරීන්ට අවස්ථා ගණනාවකදී දැනුම් දී ඇතත් එම ආරක්ෂක වැටවල් ඉදිකිරීම ප්‍රමාද කරමින් පවතී. මේ සම්බන්ධව මහනුවර නියෝජ්‍ය පුරපති ටී. ඉලාහි ආබ්දීන් මහතාගෙන් විමසූ විට නියෝජ්‍ය පුරපතිවරයා මෙසේ ප්‍රකාශ කළේය.

“කටුගස්තොට තොග වෙළෙඳ මධ්‍යස්ථානය වටේ ආරක්ෂක වැටක් ඉදිකිරීම සඳහා ලක්ෂ 16ක මුදලක් වෙන්කර තිබෙනවා. එහි ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට කිසියම් ආයතනයකට නගර සභාවේ ක්‍රියා පටිපාටිය අනුව ටෙන්ඩර් කැඳවීමට පියවර ගනු ලබනවා. මෙම වෙළෙඳ මධ්‍යස්ථාන භූමියේ තාර දමා සංවර්ධනය කිරීමටත් රැපියල් ලක්ෂ 11ක් වෙන්කර තිබෙනවා.

මෙම වෙළඳ මධ්‍යස්ථානයේ අඩුපාඩු ගැන නගර සභාව විශේෂ අවධානයක් යොමුකරලා තිබෙනවා. මේ සම්බන්ධව මහනුවර පුරපති කේසර සේනානායක මහතාගේ උපදෙස් අනුව මවිසින් අදාළ සංවර්ධන කාර්යයන් සිදුකිරීමට කටයුතු යොදා තිබෙනවා. මේවා හදිසියේ කරන්න බැහැ. විධිමත් ටෙන්ඩර් පටිපාටියක් මතයි සංවර්ධන කටයුතු කළ යුත්තේ. මෙම වෙළෙඳ මධ්‍යස්ථානයේ පරිපාලන කටයුතු සම්බන්ධව සොයාබැලීමට පත්කර සිටින නගර සභාවේ නිලධාරීන් මෙහි පවතින ප්‍රශ්න ගැටලු හා අඩුපාඩු පිළිබඳව අපට දැන්විය යුතුයි.

මෙහි අඩුපාඩු රුසක් තිබෙනවා. ඒවා ක්‍රම ක්‍රමයෙන් සකස් කරගෙන යනවා. මේ වෙළෙඳ මධ්‍යස්ථානය පිරිසිදුව තබා ගැනීමට මෙහි ව්‍යාපාර කටයුතු කරන ව්‍යාපාරික මහත්වරුන්ද සහාය දිය යුතුයි.”

නියෝජ්‍ය පුරපතිවරයා එලෙස පැවසුවද එහි ආපනශාලාව බදුගත් දේශපාලනඥයකු එය පවත්වාගෙන යාම සඳහා වෙනත් පුද්ගලයකුට කුලියට දී තිබෙන බවත් ඉතාම අපිරිසිදු තත්ත්වයේ පවතින එම ආපන ශාලාවට දන්නා අයකු නොයන බවත් වෙළෙඳ මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෝ පැවසූහ.

අංගසම්පූර්ණ ආපන ශාලාවක් පවත්වාගෙන යාමට තමන්ට අවස්ථාව ලබාදෙන්නේ නම් ඉතා පිරිසුදුවටත් සහන මිලකටත් ආහාර පාන ලබාදීමට එක්සත් තොග වෙළෙඳ සංගමයේ තමන්ට හැකි බව සංගමයේ නිලධාරියෙක් පැවසීය.

වෙළෙඳ මධ්‍යස්ථානයේ නඩත්තු කටයුතුද නිසි පරිදි සිදු කිරීමට මෙහි පරිපාලන කටයුතු භාරව සිටින මහනුවර මහ නගර සභාව මීට වඩා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සඳහා තමන්ද සහාය ලබාදෙන බවත් වෙළඳ සංගමයේ සභාපති නන්දසිරි ද සිල්වා ලේකම් එස්.එම්. තිස්ස ද සිල්වා සහ භාණ්ඩාගාරික පී.බී. දිසානායක යන මහත්වරු පැවසූහ.

►ජේ.ඒ.එල්. ජයසිංහ
සේයාරූ - තෙල්දෙණිය චන්දන උඩුවාවල

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00